''මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න සහය දෙන්නේ නෑ'' - අගමැති



පර පණ නැසීම එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තීන්ට විරුද්ධ බැවින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට සහය  දැක්වීමට තමන්ට හැකියාවක් නොමැති බවත් පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණයට උරදුන් විශාලතම පක්ෂය හා ආණ්ඩුවේ ප්‍රධානතම පක්‍ෂය වන එක්සත් ජාතික පක්‍ෂයත්, මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ විපක්‍ෂයත්, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ එක්සත් සන්ධානයත් මරණ දඬුවම යළි ක්‍රියාත්මක කරලීමට එකඟ නැති බව ද අගමැතිවරයා ඊයේ (30) මොණරාගල දිස්ත්‍රික්කයේ මාරිඅරාව ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමෙන් අනතුරුව මාරිඅරාව සතිපොළ භූමියේ පැවැති ජනහමුව අමතමින් පැවසුවේය. 

අද අපි ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ පාසල් ගොඩනැගිලි දෙකක් ඉදිකළා. ඒ වගේම මේ ප්‍රදේශයේ ජනතාවට ඍජුවම බලපාන මාරිඅරාව ජල යෝජනා ක්‍රමය අද විවෘත කළා. ඒ වෙනුවෙන් රජය වැය කළ මුදල රුපියල් ලක්‍ෂ 1120 ක් පමණ වනවා. බුද්දම - මාරිඅරාව මාර්ගයට රුපියල් ලක්‍ෂ 3500 ක් සහ හයේ කණුව - මාරිඅරාව මාර්ගයට ලක්‍ෂ 3000 ක් අපේ රජය යටතේ වෙන්කර තිබෙනවා. ඒ අනුව ලක්‍ෂ 8000 කට ආසන්න මුදලක් මේ ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් වෙන් කිරීමට අපි කටයුතු කළා. මේ අපේ ආණ්ඩුවෙන් සිදු වෙන සංවර්ධනය බව පැවසිය යුතුයි.

සමස්ත මොණරාගල දිස්ත්‍රික් ජල යෝජනා ක්‍රමයට රුපියල් ලක්‍ෂ 25,000 ක් ලබාදීමට අපි කටයුතු කර තිබෙනවා. ඒ වගේම තවත් වැඩකටයුතු රාශියක් ඉදිරියටත් සිදු කරනවා. මේ ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් මීට පෙර කිසිම ආණ්ඩුවක් මෙතරම් මුදලක් වෙන් කර නැහැ. නොදියුණු මොණරාගල දිස්ත්‍රික්කය දියුණු දිස්ත්‍රික්කයක් බවට පත් කිරීමට රංජිත් මද්දුම බණ්ඩාර ඇමැතිතුමා කරන සේවය අපි අගය කළ යුතුයි. මේ ආකාරයට එතුමා දියුණු කරන්නේ අතීතයේ සුද්දන් විසින් විනාශ කළ වෙල්ලස්සයි.

මොණරාගල ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම අපේ අරමුණයි. වෙළඳ කලාප, සංචාරක කලාප ඉදිකරන අතරම මේ ප්‍රදේශවල ජන ජීවිතය නඟා සිටුවීමටත් එතුමා කටයු කරනවා.

පසුගිය සතියේ අපි මොණරාගලට පැමිණ ඉඩම් ඔප්පු ලබාදුන්නා. පසුගිය අවුරුද්දේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මෙහි ක්‍රියාත්මක කළා. අපේ සංවර්ධන වැඩ කටයුතු ක්‍රියාත්මක වන්නේ ඒ ආකාරයටයි. රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ සැලසුම් අනුව මොණරාගල ඉදිරියට යනවා නම් තව අවුරුදු 05 ක් පමණ ගතවන විට මොණරාගලට විශාල දියුණුවක් ඇති වෙනවා.

1977 දී මම මොණරාගලට පැමිණෙන විට මෙහි තිබුණේ පුංචි පැල්පත් පමණයි. හොඳ මට්ටමේ නිවාස 02 ක් පමණ පිහිටා තිබුණා. එදා තත්වය මම විශේෂයෙන් සඳහන් කළ යුතු නැහැ. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා මොණරාගලට ගෙම් උදාවෙ ගෙන ආවා. ඒ අනුව අද වනවිට මේ ප්‍රදේශය විශාල දියුණුවක් ඇති කරගෙන තිබෙනවා. මෙහි දියුණුව ඇති වූයේ එක්සත් ජාතික පක්‍ෂ රජයන් යටතේ බව පැවසීය යුතුයි.

මොණරාගල ප්‍රදේශයට මම ලබා දීමට සැලසුම් කළ ගුවන් තොටුපොළ පසුගිය පාලකයින් විසින් මොණරාගලින් ඉවත් කොට මත්තල ඉදි කළා. දැන් එතන ගුවන් යානා වෙනුවට සිටින්නේ මොණරුන් පමණයි. නමුත් අපි ඉන්දීය සමාගමක් සමග එකතු වෙමින් මේ වසර අවසන් වීමට පෙර මත්තල ගුවන්තොටුපළ  ක්‍රියාකාරී ගුවන්තොටුපළක් බවට පත්කිරීමට කටයුතු කරනවා.

අපේ රජයේ පළමු අවුරුද්දේ දී රටේ සෑම ග්‍රාමනිලධාරී කොට්ඨාශයකටම රුපියල් ලක්‍ෂ 10 බැගින් ලබා දුන්නා. ඉන් පසුව රටේ නිවාස නොමැති ජනතාව වෙනුවෙන් නිවාස ඉදි කළා. "හොඳම පාසල ළඟම පාසැල" වැඩසටහන යටතේ පාසැල් වලට ආධාර උපකාර ලබාදුන්නා. පාසැල් සඳහා පුහුණු ගුරුවරුන් ලබාදුන්නා. "රන් මාවත්" වැඩසටහන යටතේ මාර්ග ඉදිකිරීම ආරම්භ කළා. ජල යෝජනා ක්‍රම ආරම්භ කළා. රටේ විදුලි බලය නොමැති ප්‍රදේශවලට විදුලිය ලබාදුන්නා. මේ ආකාරයට රටේ ජනතාවගේ අවශ්‍යතා හඳුනාගෙන අපි වැඩකටයුතු රාශියක් සිදු කර තිබෙනවා.

වාරිමාර්ග ප්‍රතිසංස්කරණය, වැව් ඉදිකිරීම ආදී වැඩසටන් ගණනාවක් හරහා අපි සෑම අංශයක්ම දියුණු කරමින් ඉදිරියට ගමන් කරමින් සිටිනවා. ගෙම්පෙරළියෙ වැඩ සටහන යටතේ ග්‍රාමීය මට්ටමට මුදල් ලබා දීම ආරම්භ කිරීමට අපිට හැකි වුණා.

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු බොහෝ දෙනා පැවසූවේ දැන් රට කඩා වැටෙනවා යනුවෙනුයි. නමුත් ප්‍රහාරයෙන් පසුත් අපි "ගම්පෙරළිය" වැඩසටහනට රුපියල් මිලියන 100 ක මුදලක් ලබාදුන්නා. නව සමෘද්ධිලාභීන්ට සමෘද්ධිය ලබාදීම ආරම්භ කළා. පාසැල් සඳහා ටැබ් යන්ත්‍ර ලබාදීම ආරම්භ කළා. ඉඩම් ඔප්පු ලබාදීමත් එම ඔප්පු සින්නක්කර අයිතියක් බවට පත් කිරීමටත් අපි කටයුතු කරනවා. ඉදිරි මාස කිහිපයකදී කෙසේ හෝ සංචාරක ව්‍යාපාරය නැවතත් දියුණු කර ගැනීමට කටයුතු කරනවා. ගැටළු තිබුණත් ඒ සියල්ලට මුහුණ දෙමින් අපි ඉදිරියට පැමිණ තිබෙනවා. 

සාමාන්‍යයෙන් ලෝකයේ රටක් තුළ මෙවැනි ප්‍රහාරයක් සිදුවූ විට නැවත යථා තත්ත්වයට පත්වීමට වසර 02 ක් පමණ ගත වෙනවා. නමුත් අප උත්සාහ කරන්න් ඊට වඩා වේගයෙන් රට නැවත යථා තත්ත්වයට පත් කිරීමයි.
අපි ආණ්ඩුවක් ලෙස ප්‍රශ්නවලින් පැන යන්නේ නැහැ. ඒවාට මුහුණ දෙනවා. මේ දිනවල රටේ ඇති විශාලම ගැටළුව නම් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමයි. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ජනාධිපති බවට පත්වූ අවස්ථාවේ සිට ප්‍රකාශ කළේ රට තුළ මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොකරන බවයි. ප්‍රේමදාස ජනාධිපතිතුමාත් එම තීරණය තුළම සිටියා. ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරණායක ජනාධිපතිවරුන් රට තුළ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළේ නැහැ. ඉන්පසුව මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාත් මරණ දණ්ඩනය අත් හිටුවා තිබුණා.



 2015 දී අප බලය ගැනීමෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති බවට පත්වුණා. ඒ කාලයේදීවත් මරණ දඬුවම ක්‍රියාත්මක කළේ නැහැ. නමුත් අවාසනාවකට දැන් රට තුළ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට යෝජනාවක් ගෙනැවිත් තිබෙනවා. එය අපේ පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධයි. ජනාධිපතිවරණයට වැඩ කළ විශාලතම පක්‍ෂයේ ප්‍රතිපත්ති සමග මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ගැලපෙන්නේ නැති බව මම අවධාරණය කරනවා. 

හිටපු ජනාධිපති විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට තමන් එකඟ නැති බව ප්‍රකාශ කර තිබුණා. ඉන් පසුව මම එතුමා සමගත් මේ ගැන අදහස් හුවමාරු කරගත්තා. ජනතා විමුක්ති පෙරමුණත් මරණ දඬුවම ක්‍රියාත්මක කරලීමට විරුද්ධයි. දෙමළ ජාතික සන්ධානය දරන්නේත් ඒ මතයම යි. ඒ අනුව රටේ ප්‍රධාන පක්‍ෂ 04ම රට තුළ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට විරුද්ධත්වය පළ කර තිබෙනවා. 

2016 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ යෝජනාවක් ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාව ඊට සහය පළ කළා. ඒ වෙනුවෙන් ඡන්දය ලබාදිය යුතු බව කැබිනට් මණ්ඩලය තීරණය කළා.

එම අවස්ථාවේ ජනාධිපති ධූරය දැරුවේ මෛත්‍රීපාල සිරිසේන මහතායි. අගමැති ධූරය දැරුවේ මම යි. එම යෝජනාව වසර දෙකෙන් දෙකට අලූත් කරනවා. ඒ අනුව 2018 වසරේ එක්සත් ජාතීන් ඒ යෝජනාව යළි සමාලෝචනය කළ අවස්ථාවේදීත් ශ්‍රී ලංකාව ඊට සහය පළ කරමින් 2018 වසරේ දෙසැම්බර 17 වෙනිදා ඡන්දය ලබාදී තිබෙනවා. ඒ අවස්ථාවේ රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. අගමැති මහින්ද රාජපක්‍ෂ මහතායි. විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ සරත් අමුණුගමයි මහතායි. ඒ වනවිට මාව අගමැති ධූරයෙන් ඉවත් කර තිබුණා. මා යළිත් අගමැති ධූරයට පත් වුණේ 2018 දෙසැම්බර් මාසයේ 20 වැනිදා බව කිව යුතුයි. ඒ අනුව පක්‍ෂ දෙකම එකම ආණ්ඩුවේ සිටින විට 2016 දී කටයුතු කළ ආකාරයටම මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොකිරීමට සහයෝගය ලබාදී තිබෙනවා.

එම නිසා මේ පිළිබඳව පළමුවෙන් අමාත්‍ය මණ්ඩලය සමග සාකච්ඡා කර පසුව ජනාධිපතිතුමාත්, කථානායකතුමාත් සමග සාකච්ඡා කිරීමට මා බලාපොරොත්තු වෙනවා. ශිෂ්ඨ සම්පන්න රටක් ලෙස අපි ක්‍රියා කළ යුතුයි. මරණ දඬුවමට එරෙහි මතයක් දැන් නිර්මාණය වී තිබෙන නිසා අපි ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. අවශ්‍ය නම් ඒ වෙනුවෙන් පක්‍ෂ නායක රැස්වීමක් වුවත් කැඳවා සාකච්ඡා කළ හැකි බව මම අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා.'' යන්නයි.