'ජාතිවාදීන් නිර්මාණය කළ ව්‍යවස්ථා බිල්ලා රටපුරා ගෙනියන්නේ මාධ්‍යයි' - අනුර කුමාර






මාධ්‍ය තුළින් කතාබහට ලක්වන යෝජිත නව ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ පැතිරෙන අසත්‍ය තොරතුරු පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද (2) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.





ව්‍යවස්ථා බිල්ලා ජාතිවාදීන් විසින් නිර්මාණය කරන ලද්දක් බවත් එහි වාහකයින් වී සිටින්නේ මාධ්‍ය බවත් මෙහිදී පවසා සිටි ඔහු වැඩිදුරටත් පැවසුවේ,









සෑම පුරවැසියෙකුගේම ගෞරවය ආරක්ෂා කරන ව්‍යවස්ථාවක් රටට වුවමනයි





''සෑම පුරවැසියෙකුගේම ගෞරවය ආරක්ෂා කරන ව්‍යවස්ථාවක් මේ රටට අවශ්‍යයි. අපි හැම මැතිවරණයකදීම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි ඉදිරිපත් කරලා තියෙනවා 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතුයි කියලා. ඒක අපි හංගලා තියෙන දෙයක් නෙමෙයි. 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඕනෑවටත් වැඩියෙන් අපේ රටේ අර්බුද නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා මේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළුමනින්ම ඉවත් කොට නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කළයුතු බවට කියන ස්ථාවරයේ අපි ඉන්නවා.









පෙබරවාරි 4 වැනිදට කලින් අලුත් ව්‍යවස්ථාවක් එනවා කියලා ජාතිවාදීන් කියනවා






හැබැයි දැන් මේ හඬ නගන ව්‍යවස්ථාව සිදුවෙමින් තිබෙනවාද ?. දැන් මං දැක්කා ජාතිවාදී කණ්ඩායම් කියනවා පෙබරවාරි 4 වැනිදට කලින් මේ ව්‍යවස්ථාවක් එනවලු පාර්ලිමේන්තුවට. රනිල් වික්‍රමසිංහගේ හරි, සුමන්දිරන්ගේ හරි, නැත්නම් මහින්ද රාජපක්ෂගේ හරි එහෙම නැත්නම් අපේ හරි, ඔළුවේ හැදෙන හිතුළු වලට ව්‍යවස්ථා සම්පාදනය කරන්න බැහැ අපේ රටේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලි ලෙස සටහන් කොට තිබෙනවා තිබෙන ව්‍යවස්ථාව පරිඡ්චින්න කොට නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් කෙසේද කියලා.










ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමේ ක්‍රියාදාමයක් තියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වත් නැහැ






එහෙනම් මොකක්ද මේ පාර්ලිමේන්තුවේ සිදුවුණු ක්‍රියාදාමය. අද මේ පාර්ලිමේන්තුවේ සිදුවෙමින් තිබෙන ක්‍රියාදාමය කිසිසේත්ම නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමේ ක්‍රියාදාමය නෙමෙයි. මං මේ රටේ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා, මාධ්‍යවේදී ඔබෙන් ඉල්ලා සිටිනවා, කවුරුහරි වේදිකාවක නැගලා, කවුරුහරි මාධ්‍ය සාකච්ඡාවකට ඇවිත් ඔහේ ගිරව් වගේ කියවනවා, වට්ටෝරු ඕගොල්ලෝ වාර්තා කරන්න එපා. ඒක මේ රටට කරන අපරාධයක්.






ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීම සඳහා ක්‍රියාදාමයක් තියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වත් නැහැ. මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත වුණා. 2016 ජනවාරි 9 වැනිදා යෝජනාවක් සම්මත වුණා. ඒ යෝජනාවේ තිබෙන්නේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාවක් හදන්නේ කොහොමද ?. පාර්ලිමේන්තු ව්‍යවස්ථාවක් හැදුවට පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා එම ව්‍යවස්ථාව සම්මත කරන්නේ කෙසේද ? කියලා.









ඒ නිසා මං මේ රටේ මාධ්‍ය වලින් ඉල්ලා සිටින්නේ ඉතාම වැදගත් ලෙසින් වාර්තා කරන්න කරුණු දෙකක්. මේ නව ව්‍යවස්ථාවේ ක්‍රියාවලිය කොටස් දෙකකින් සමන්විතයි. එකක් ව්‍යවස්ථා සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය. දෙක ව්‍යවස්ථාව සම්මත කිරීමේ ක්‍රියාවලිය. දැන් සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද ?. දැන් සිදුවෙමින් තිබෙන්නේ ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය.
කොහොමද සම්පාදනය කරන්නේ. ඒ සඳහා යෝජනාවක් සම්මත කරගත්තා 2016 ජනවාරි මාසේ 9 වැනිදා පාර්ලිමේන්තුවේදී. කවුරුවත් මේ යෝජනාවට විරුද්ධ වුණේ නැහැ. දිනේෂ ගුණවර්ධනලා මේ යෝජනාවට යම් යම් සංශෝධන ගෙනාවා. ඒ සංශෝධන ඇතුළත් කොට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාදාමය පටන්ගත්තා. මේ ඒ යෝජනාව. මං යෝජනාවේ වැදගත් කොටස් කියවන්නම්. කරුණු 33 ක් සමන්විතයි.









ඉස්සරලම මේ පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් බවට පත්වෙනවා. එතකොට දැන් පාර්ලිමේන්තුවත් තියෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නියෝජනය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් තියෙනවා. මොකද වෙන්නේ, ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පාර්ලිමේන්තු සභා ගර්භයේ රැස්වෙනවා. මං දැක්කා සමහර අවස්ථා වල මාධ්‍ය වාර්තා කරලා තිබුණේ ‘පාර්ලිමේන්තුව රැස්වේ‘ කියලා. පාර්ලිමේන්තුව රැස්වෙන්නේ නැහැ. එදා රැස්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය.






මේ යෝජනාව සම්මත කරගත්තා. ඊට පස්සේ ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ සභාපතිවරයා බවට කතානායකවරයා පත්වෙනවා. ඒ නිසා කතානායකවරයා උඩ පුටුවේ එදාට වාඩි වෙන්නේ නැහැ. පහළ පුටුවේ තමයි කතානායකවරයා වාඩි වෙන්නේ. ඒක පාර්ලිමේන්තුව නෙමෙයි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය. ඊට පස්සේ මේ 225 ටම එකතු වෙලා ව්‍යවස්ථාවක් සාකච්ඡා කරන්න බැහැ. ඒක කවුරුත් පිළිගන්නවා. ඒ නිසා මේ 225 නියෝජනය වන පරිදි ස්ථාවර මෙහෙයුම් කමිටුවක් පත්කරන්න ඕන. ඒ අතර තව අනු කමිටු ගණනාවක් පත්කරා. එක එක විෂයන් වෙන වෙනම කොටස් ලියන්න කියලා.










නීතිය හා සාමය පිළිබඳව අනුකමිටුවක් පත්කළා. ඒකට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරු හිටියා. අපිත් හිටියා. රාජ්‍ය පරිපාලනය පිළිබඳ ව්‍යවස්ථා සම්පාදනය කරන අය පත්කළා, ඒකේ මේ පක්ෂය නියෝජනය කරන අය හිටියා. ඒ විතරක් නෙමෙයි, ව්‍යවස්ථාවේ මූල්‍ය පිළිබඳ කමිටුවක් පත්කළා. ඒ කමිටුවේ සභාපතිවරයා බන්දුල ගුණවර්ධන. එතකොට මේ ව්‍යවස්ථාවේ කොටස් බෙදලා අනු කමිටු ගණනාවක් පත්කළා. ඊට පස්සේ මෙහෙයුම් කමිටුව කියන ප්‍රධාන කමිටුවට ප්‍රධාන කරුණු තුනක් පවරගත්තා. එකක් ඡන්ද ක්‍රමය, බලය බෙදීම පිළිබඳ ප්‍රශ්නය සහ විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ ප්‍රශ්නය.










ඒක අයිති මෙහෙයුම් කමිටුවට. ව්‍යවස්ථාවේ අනික් කොටස් අනු කමිටුවට බෙදලා දෙනු ලැබුවා. මතක තබාගන්න. ඊට පස්සේ මොකක්ද කරන්න ඕනකම තිබෙන්නේ මේකේ 17 වෙනි වගන්තියේ මෙහෙම කියනවා. අනු කමිටුවල සහ මහජන අදහස් යන අදහස. ‘‘කමිටුවේ වාර්තා සලකා බැලීමෙන් අනතුරුව මෙහෙයුම් කමිටුව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කළයුතුයි. එකී වාර්තාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතත් සමග ඉදිරිපත් කළයුතුයි. දැන් අවස්ථා ගණනාවක් මෙහෙයුම් කමිටු ගණනාවක් රැස්වෙලා තියෙනවා. අනු කමිටු වල වාර්තා ඇවිල්ලා තියෙනවා. මහජන අදහස් ලබාගැනීමේ කමිටුවේ වාර්තාව ඇවිල්ලා තියෙනවා. මේ සමග ව්‍යවස්ථා කෙටුම්පතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කරන්න ඕන. තාම එහෙම එකක් වෙලා නැහැ.









ඊළඟ එක එහෙම ඉදිරිපත් වුණාට පසුව ඉක්බිතිව මෙහෙයුම් කමිටුව විසින් යෝජිත ව්‍යවස්ථා සංශෝධනයක් වේ නම් ඒවාද සැලකිල්ලට ගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් සලකා බැලීම පිණිස අවසන් වාර්තාවක් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කළයුතුයි. ඉස්සරලම අර මෙහෙයුම් කමිටු වල වාර්තාත්, අනුකමිටු වල වාර්තාත්, මෙහෙයුම් කමිටු වල වාර්තාත්, ඒ වගේම මින් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතකුත් ඉදිරිපත් කරනවා. ඒක විවාද කළාට පස්සේ පාර්ලිමේන්තුවේ එන යෝජනා ද සැලකිල්ලට ලක්කොට නැවත මෙහෙයුම් කමිටුවට පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය නියෝගයක් දෙනවා අපිට ව්‍යවස්ථාවක් හදලා එවන්න කියලා. එතකොට ව්‍යවස්ථාව හදලා එවනවා, එතකොට පළවෙනි කාරණේ වෙලත් නැහැ. ඊළඟ ව්‍යවස්ථාවක් හදලා එවන්න ඕන. විවාදෙන් පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ ඡන්දයක් විමසනවා. ඒ ඡන්දේදී පාර්ලිමේන්තුවේ 2/3 ක් ලැබුණොත් ක්‍රියාවලිය ඉස්සරහට යනවා. 2/3 ක් නොලැබුණොත් මේක කියනවා ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ සභිකයින් අතරින් 2/3 ක් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් අනුමත නොකරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය හා මෙකී යෝජනාව යොමුගත කමිටුව විසුරුවා හැරීම.‘






https://www.facebook.com/anurakumara/videos/1150364558474297/








තුනෙන් දෙක නැත්නම් එතැනම ඉවරයි









2/3 ක් නැත්නම් එතැනම ඉවරයි. ව්‍යවස්ථාව හදන එක මහ වැඩක්, සම්මත කරන එක නෙමෙයි. 2/3 ක් තිබ්බොත් ඊළඟට කියනවා මෙහෙම, ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත 2/3 ක බහුතර ඡන්දයෙන් අනුමත කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මෙහෙයුම් කමිටුව විසින් අමාත්‍ය මණ්ඩලයට යවනවා.‘ එතකොට ව්‍යවස්ථාව හදලා ඉවරයි. එහෙනම් දැන් යන්නේ ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලියටත් වෙන්න ඕන මොකක්ද දැන්. එකක් තමයි අර වාර්තාව ඉදිරිපත් කරන්න ඕන, ව්‍යවස්ථා කෙටුම්පතක් එක්ක. ඒක විවාද කරලා නැවත ව්‍යවස්ථාව සමග වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕන. ඒක 2/3 න් සම්මත වෙන්න ඕන. දැන් එතැනින් මේක ඉවරයි. ඒක 2/3 න් සම්මත වුණොත් ඒක දානවා කැබිනට් මණ්ඩලයට. කැබිනට් මණ්ඩලය කිව්වම මේ අනුකමිටු ඔක්කොම විසුරුවා හැරෙනවා. මොකද ව්‍යවස්ථාව හදලා ඉවරයි.










ඊළඟට පටන්ගන්නවා ව්‍යවස්ථාව සම්මත කිරීමේ ක්‍රියාවලිය. ඒකේ කියන්නේ, ‘ඉක්බිතිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන්න ඕන.‘ ඊට පස්සේ අග්‍රමාත්‍යවරයා විසින් එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන. ඊට පස්සේ මේක ගැසට් කරන්න ඕන. ගැසට් කරාට පස්සේ සියළු පළාත් වලට යවන්න ඕන. දැන් පළාත් සභා ඇත්තෙත් නැහැ. ඒ පළාත් සභා වල අනුමැතිය ආවට පස්සේ නැවත පාර්ලිමේන්තුවේ මේක විවාද කරන්න ඕන. පාර්ලිමේන්තුවේ විවාද කරලා මේකට 2/3 ක් හම්බුණාට පස්සේ ‘ඉක්බිතිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85: 1 ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් ජනමත විචාරණයක් මගින් ජනතාවගේ අනුමැතිය පිණිස ඉදිරිපත් කළයුතුයි. පනත් කෙටුම්පත ජනතාව විසින් අනුමත කර තිබේනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 වැකිය ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් සහතික කිරීම මත ව්‍යවස්ථාව වෙනස් වෙනවා‘









දැන් මේ මොන බිල්ලෙක්ද ? මවන්නේ









කොච්චර දුර කාලයක්ද ?. දැන් මේ මොන බිල්ලෙක්ද මවන්නේ. අඩුම තරමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කරලා නැහැ. ඒක නැවත සංශෝධනය කරන්න යළි ඉදිරිපත් කරන්න ඕන. ඒකට 2/3 තිබ්බේ නැත්නම් එතැනින්ම ඉවරයි. ඒකට 2/3 ආවත් කැබිනට් මණ්ඩලයට යන්න ඕන. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ආවොත් ගැසට් කරන්න ඕන. ගැසට් කරාට පස්සේ පළාත් සභා 9 ට යන්න ඕන. ඊට පස්සේ පාර්ලිමේන්තුවට යන්න ඕන.









ෆෙඩරල් ව්‍යවස්ථා එනවලු - රට කඩන ව්‍යවස්ථා එනවලු






මොකක්ද මේ කියන්නේ ෆෙඩරල් ව්‍යවස්ථා එනවලු. රට කඩන ව්‍යවස්ථා එනවලු. පට්ටපල් බොරු මේ නායකයින්ගේ. ඒ නිසා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ මවන බිල්ල බොරු බිල්ලෙක්. බොරුවක් මේ කරන්නේ. අපි මේ රටේ මාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටිනවා. ඔබලා තමයි මේ බොරුව රටපුරා ගෙනයන්න උදව් කරන්නේ. වාහකයෝ ඕගොල්ලෝ. බොරුවේ නිර්මාපකයෝ ජාතිවාදීන්. ඕගොල්ලොත් විචාරශීලීව වාර්තා කරන්න. ව්‍යවස්ථාවක් එනවා නම් කවුද ගේන්නේ, කොහොමද ගේන්නේ. මොකක්ද ගෙනඑන ක්‍රමවේදය. සම්මත කරපු යෝජනාව කෝ ‘‘ යන්නයි.