මෙරට මුස්ලිම් ජනතාව වෙනසට සූදානම්



මෙරට ජීවත්වන සියලුම ජනතාව එකාවන්ව කටයුතු කළ යුතු බවත් පාස්කු ඉරිදා ඇතිවූ ත්‍රස්ත ප්‍රහාරය හා ඉන්පසු ඇතිවූ සිදුවීම් වලින් අප පාඩමක් ඉගෙනගත යුතු බව අද (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මෙරට මුස්ලිම් විද්වතුන් මෙන්ම දේශපාලඥයින් ද පැවසීය. 

විශේෂයෙන්ම, විවිධ ජාතීන්ට වෙනස් පාසල් නොමැතිව එකම පාසල් ජාලයක් පැවතීම මෙන්ම දේශපාලඥයින්, මාධ්‍යවේදීන් ඇතුළු සියලු පුරවැසියන් එකාවන්ව කටයුතු කළයුතු බව ද මෙහිදී අවධාරණය කෙරුණි.

අමාත්‍ය කබීර් හෂීම් මෙහිදී අදහස් දක්වමින් පැවසූවේ,

''අපි ලාංකිකයින් හැටියට එකතු වීම ඉතාම වැදගත්. මුස්ලිම් ප්‍රජාවේ අපට සමහර අය අරාබිකරණය කියලා වචනයක් පාවිච්චි කළා. විදෙස් සංස්කෘතීන් ඒකට ඇතුළත් වුණා. දහම් පාසල් ආදී වශයෙන් පිරිවෙන් අධ්‍යාපනය ගැන පාලනයක් නැහැ කියලා කිව්වා. ප්‍රශ්න ගොඩක් තිබුණා. අපේ මුතුන් මිත්තන් ගත්තම අපිට සිංහල නම් තියෙන්නේ, ඒ නම සිංහල. අපි ජීවත්වෙන්නේ සියලුදෙනාත් එක්කම. මම හිතන්නේ ලාංකිකයින්ගේ එකතුවක්. මට ඒක වෙනස් විදියට හිතන්න බැහැ. මම ප්‍රධාන ධාරාවේ මුස්ලිම්වරයෙක්. මම වෙනස් නැහැ. ඒ සුළුතරය දිහා බලලා හැමෝම මනින්න එපා. අද අපි අපි ගැන ආත්ම පරීක්ෂාවක්, ස්වයං විවේචනයක් කරන්න ඕන කියලා හිතුවා. අපි ඒකට ලැජ්ජාවෙන්නෙත් නැහැ, බය වෙන්නෙත් නැහැ. 

අපි ඒ ස්වයං විවේචනය ආත්ම පරීක්ෂාව කරන්න ඕන. අපි අතර තිබුණු විශ්වාසය බිඳවැටෙන්න අපෙත් වැරදි වෙලා ඇති. එහෙමනම් අපි ඒක වෙනස් කරන්න ඕන. අපි ලෑස්තියි ඒක වෙනස් කරන්න. ශ්‍රී ලාංකිකයින් හැටියට හිටගන්න අපි ලෑස්තියි'' යන්නයි. 


ජනාධිපති නීතිඥ, අලි සබ්රි - ''පොදුවේ සමාජයක් හැටියට අපි සියලුදෙනා එකතු වෙලා කරගත යුතුදේවල් තියෙනවා. උදාහරණයක් විදියට අපේ පාසල. මම හිතනවා සිංහල, ද්‍රවිඩ මුස්ලිම් කියලා අපේ පාසල් තියෙනකොට අපේ දරුවන් කොහොමද ඉගෙනගන්නේ. අවුරුදු පහේ ඉඳලා මේ ළමයි වෙන්කරන කොට. අවුරුදු 17 දී ඔවුන් වෙන වෙනම ජීවත්වුණාට පස්සේ කියනවා ජාතික සමගිය ඇතිකරන්න කියලා. අපේ ජාතික ගීයේ කියනවා ‘එක මවකගේ දරු කැළ බැවිනා, යමු යමු වී නොපමා’ කියලා. ඉතිං, එක මවකගේ දරුවෝ යන්න ඕන වෙන වෙන පාසල් වලටද ?. එක මවකගේ දරුවෝ යන්න ඕන එකම පාසල් වලට. අපි හිතනවා මේක අපිට හොඳ අවදියක් ඒ සම්බන්ධයෙන් කල්පනා කරලා බලලා ජාතික පාසල් බිහිකරන්න. මේ වගේ දේවල් අපිට එකතුවෙලා කරන්න පුළුවන්. අපිට බෙදිලා කරන්න පුළුවන් දේවල් නෙමෙයි.'' 

ෆේරියල් අෂ්රොෆ් - ''ක්‍රියාකාරී දේශපාලනයෙන් විශ්‍රාම අරන් ඉන්න මම මේ අවස්ථාවේදී ශ්‍රී ලාංකික අනන්‍යතාව වෙනුවෙනුත්, ඒ වගේම ශ්‍රී ලංකාවේ මුස්ලිම් අපි තාමත් ශ්‍රී ලාංකිකයි කියන එක පෙන්වාදීම සඳහාත් අද මේ සභාවට පැමිණියා. විශාල ප්‍රශ්නයක් පාස්කු ඉරිදා වුණු දේ ගැන තාම කම්පනයකින් ඉන්නේ. ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී කාදිනල්තුමාට, එතුමා නොහිටින්න අද අපි මෙහෙම වාඩිවෙලා කතා කරාවිද දන්නේ නැහැ. මොකද වුණු කම්පනය නිසා ජනතාව තුළ ඇතිවුණු ඒ ක්‍රෝධය සාධාරණයි. ඒ වුණාට ශ්‍රී ලාංකික අපිට පුළුවන් වුණා ඉවසලා ඒ කම්පනයෙන් ඉවසීමෙන්, දුකකින් විතරක් ඒ ඉතුරු ටික කරන්න. හැබැයි අවාසනාවකට වගේ ඒ දින කීපයකට ඉස්සරලා බලාපොරොත්තු නොවුණු විදියට මුස්ලිම් ජනතාව කෙරෙහි ඒ ක්‍රෝධය හැරිලා තියෙනවා. අපි මෙතෙන්ට ආවේ කියන්න අපි තුළ ඒ විදියේ ම්ලේච්ඡ ක්‍රියාවන් කරන්න කට්ටිය ඉඳීවි කියලා හීනෙකින්වත් අපි හිතලා තිබුණේ නැහැ.


ඒ නිසාමදෝ අපි නැවත වතාවක් ඇස් ටිකක් ලොකුවට ඇරලා බලන්න ඕන අපි පිලිබඳව අපි නැවත පරීක්ෂණයක් පවත්වන්න ඕන කියලද දන්නෙත් නැහැ මේ විදිහේ සිදුවීම් ඇතිවුණේ. මොකද ශ්‍රී ලංකාවේ ජීවත්වන අපිට පොඩි මං හිතන්නේ, පොදුවේ ජාතියක් හැටියට වැඩිදුර හිතන්න ඕන නැහැ බොහොම සතුටෙන් ඉන්න පුළුවන් අවස්ථාවක් අපි උදාකරගෙන තියෙනවා. වැඩිය හොයාබලන්නේ නැහැ. කාටහරි පාලනය භාරදෙනවා. ඊට පස්සේ ඒ අය ගැන දොස් කියනවා. අපි අපි තුළ තියෙන යුතුකම් ගැන කල්පනා කරනවා මදිදෝ කියන දේ අපේ හිත තුළ තියෙනවා.'' 



ඉමිතියාස් බාකීර් මාකර් - ''අපි අපේ රටේ ඉතිහාසයේ සංධිස්ථාන ගොඩනගලා තියෙනවා. අද අපේ හැසිරීම තීන්දු කරනවා අපේ මාතෘභූමියේ අනාගතය. මම ඉල්ලීමක් කරන්න කැමතියි මේ රටේ සියලුම දේශපාලන නායකයින්ගෙන්, මාධ්‍ය වලින්, ආගමික නායකයින්ගෙන් ඉල්ලීමක් කරන්න අවස්ථාවක් කරගන්නවා. අපේ අනාගතය අද අපේ සමාජයේ අපේ හැසිරීම් මත රැඳිලා තියෙන්නේ. රටක් හැටියට ඉතාම ම්ලේච්ඡ ප්‍රහාරයකට අපි මුහුණ දුන්නේ. මට පෙර කතාකරපු කබීර් හෂිම් මැතිතුමා, අලි සබ්රි මහත්මයා, ෆේරියල් අෂ්රෆ් ඇමතිතුමිය සඳහන් කරපු විදියට අපේ රට ඉතාම අවසනාවන්තයි එක පැත්තකින් බලනකොට. අපි අවුරුදු 7 – 8 කට සැරයක් මේ වගේ අවාසනාවන්ත සිද්ධි වලට මුහුණදෙනවා. 50 දශකයේදී දෙමළ - සිංහල ප්‍රශ්නයක් දැක්කා. 60 දශකයේදී අපි කතෝලික ආක්‍රමණයක් ගැන ප්‍රශ්නයක් ඇතිවුණා. 70 දශකයේදී පංති අරගලයක් අපි දැක්කා. 80 වේදී නැවතත් දෙමළ-සිංහල ප්‍රශ්නයක් ආවා. 90 දී ක්‍රිස්තියානි පල්ලි වලට පහරදෙනවා දැක්කා. 2000 දශකයේදී ආයෙත් මුස්ලිම් උදවිය ගැන ප්‍රශ්නයක් ආවා.


කාදිනල්තුමා කරපු ප්‍රකාශය උපුටා දක්වන්න මං කැමතියි, එතුමා මුස්ලිම් රටවල තානාපතිවරු හම්බ වුණු වෙලාවේ මමත් හිටියා, උන්වහන්සේ කිව්වා ‘මං මේකේ ගැඹුර දකිනවා’ කියලා. ‘ළග පිංතූරය නෙමෙයි මම දකින්නේ දුර පිංතූරය’ කියලා. ‘මේක පිටිපස්සේ තියෙන බලවේගය ගැන මම කල්පනා කරනවා’ කියලා. එතුමා තානාපතිවරුන්ට කිව්වා, ‘මේ කියන්න යන දේ ඔයගොල්ලන්ට තේරෙනවනේ, මම විස්තර කරන්න ඕන නැහැ’ කියලා. මං මේක ලඝු කරන්න යන්නේ නැහැ. තීන්දු දෙන්න යන්නේ නැහැ. සමහරු කියනවා ජාත්‍යන්තර බලවේග කියලා. සමහරු කියනවා වෙළඳ තරගය කියලා. සමහරු කියනවා ලංකාවේ දේශපාලන බල තරගය කියලා මේකට හේතුව. ඔය මොන විග්‍රහ තිබුණත් රටක් හැටියට මේක මට දරාගන්න පුළුවන්කමක් නැහැ. අපට මෙහෙම යන්න පුළුවන්කමක් තියෙනවද ?''