‘‘මේ ප්‍රහාරය ගැන අනතුරු අඟවා තිබුණා‘‘ - රාජිත


තරු පංතියේ සංචාරක හෝටල් හා ආගමික සිද්ධස්ථාන ඉලක්ක කරගෙන එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක මණ්ඩලය කැදවුවත් ආරක්ෂක මණ්ඩලය අරලියගහ මන්දිරයට නොපැමිණි බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අද (22) අරලියග මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසීය. 

අගමැති රනිල් ආරක්ෂක මණ්ඩලය කැඳවීම අසාර්ථක කළ හැටි

ඒ නිසා අගමැතිවරයාට ආරක්ෂක අමාත්‍යාංශයට යාමට සිදුවූ බවද, ආරක්ෂක අමාත්‍යාංශයේදීත් විනාඩි විස්සක් පමණ රාජ්‍ය ඇමැතිවරයාගේ කාමරයට වී ආරක්ෂක මණ්ඩලය රැස්වන තෙක් බලා සිටීමට අගමැතිවරයාට සිදුවූ බවද ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය. 

අගමැතිවරයා ආරක්ෂක මණ්ඩලය කැදවන විට ආරක්ෂක මණ්ඩලය රැස් නොවූවේ ඉහළින් පැමිණි නියෝගයක් අනුව යැයිද රාජිත සේනාරත්න පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රාජිත සේනාරත්න ඇමැතිවරයා මෙසේද පැවසුවේය.

ප්‍රහාරය ගැන ජාත්‍යන්තර බුද්ධ අංශ අප්‍රේල් 4 වැනිදා දැනුම් දුන්නා  - අගමැතිට ඔක්තෝබර් 26 න් පස්සේ ආරක්ෂක මණ්ඩලයට ඇරයුම් ලැබුණේ නැහැ

‘‘මේ ප්‍රහාරය පිළිබද ජාත්‍යන්තර බුද්ධි අංශ විසින් දැනුම්දී තිබුණේ පසුගිය අප්‍රේල් 4 වැනිදායි. ඉන් පසුව රාජ්‍ය බුද්ධි අංශය විසින් මේ ගැන වාර්තාවක් අප්‍රේල් 9 වැනිදා පොලිස්පතිවරයාට ලබාදී තිබෙනවා.

ඔක්තෝබර් 26 වැනිදා සිට අගමැතිවරයාට ආරක්ෂක මණ්ඩලයට කැඳවා නැහැ. ඔක්තෝබර් 26 න් පස්සේ හොර අගමැතිවරයා ආරක්ෂක මණ්ඩලයට කැදවා තිබුණත් අපි ආණ්ඩුව නැවත හැදුවට පස්සේ අගමැතිවරයාට ආරක්ෂක මණ්ඩලයට එන්න කිව්වේ නෑ. අගමැතිවරයාට ආරක්ෂක මණ්ඩලයේ සිදුවන දේ ගැන කිසිදු අවභෝදයක් ඒ නිසා ලබාගැනීමට නොහැකිවුනා. ඒ විතරක් නෙමෙයි ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයාට කැදවීමක් ලැබෙන්නේත් නෑ.

ආරක්ෂක අමාත්‍යංශය බලන්න කිසිවෙකු රටේ හිටියේ නැහැ

මේ සිදුවීම වන විට ජනාධිපතිවරයා විදේශගතව සිටියේ. මේ සිද්ධිය වන විට ආරක්ෂක අමාත්‍යාංශය හෝ පොලීසිය භාර දේශපාලන නායකත්වයක් ලැබී තිබුණේ නෑ. ඒ විතරක් නෙමෙයි නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් විසින් ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් චක්‍රලේඛයක් ඇති බව දන්නේ නෑ.

මේ සිද්ධිය වුණ ගමන් අගමැතිවරයා ආරක්ෂක මණ්ඩලය අරලියගහ මන්දිරයට කැදවුවා. ඒත් ආරක්ෂක මණ්ඩලය අරලියගහ මන්දිරයට පැමිණියේ නෑ. මේ අගමැතිවරයා - ජනාධිපතිවරයා විසින් පත් කළ අගමැතිවරයෙක් නෙමෙයි. ඡන්දයකින් පත්වූ අගමැතිවරයෙක්. ඒ නිසා ආරක්ෂක අමාත්‍යාංශයට අගමැතිවරයා ගියා. එතැනට ගිහිල්ලා දැන් ආරක්ෂක මණ්ඩලය රැස්වෙන්න පුළුවන් නේද කියලා ඇහුවා.

අගමැතිවරයා ආරක්ෂක මණ්ඩලයට කැඳවූවේ විනාඩි 20 කට පස්සේ

ඒ වෙලාවේ ආරක්ෂක මණ්ඩලයේ අය කතා කරලා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක මණ්ඩලයක් කැදවීමට හැකිදැයි තීරණයක් ගන්න පුලුවන්ද කියලා ඒ අය විනාඩි විස්සක් විතර කතා කරමින් සිටියා. ඒ වෙලාවේ අගමැතිවරයා රාජ්‍ය ආරක්ෂක ඇමැතිවරයාගේ කාමරයට ගිහින් බලාගෙන හිටියා. විනාඩි විස්සකට පස්සේ තමයි අගමැතිවරයාට ආරක්ෂක මණ්ඩලයට යන්න පුලුවන්කම ලැබුණේ.

අගමැතිවරයා ආරක්ෂක මණ්ඩලය කැදවීමෙන් පසුව කැබිනට් මණ්ඩලය කැදවූවා. ඒ වෙලාවේ කැබිනට් මණ්ඩලය කිව්වේ ආරක්ෂක මණ්ඩලය කැදවා සාකච්ඡා කළ යුතු බවයි. ඒ අනුව අගමැතිවරයා ආරක්ෂක මණ්ඩලය අරලියගහ මන්දිරයට කැදවන්න කියලා ජනාධිපති ලේකම්ට දැනුම් දුන්නා. ඒත් ඒ අය ආවේ නෑ. අගමැතිවරයා ආරක්ෂක මණ්ඩලක් කැදවූ විට ආරක්ෂක මණ්ඩලය නොපැමිණෙන එකම රට ලංකාව වෙන්න ඕන. මේක මහ තුච්චහි දේශපාලනය නිසා වෙන දෙයක්.

ඔක්තෝබර් 26 න් පස්සේ අගමැති ආරක්ෂක මණ්ඩලයට කැඳවූවේ අදයි

ආරක්ෂක මණ්ඩලය අද (22) උදේ නැවත රැස්වුණේ ජනාධිපතිවරයා ලංකාවට ආවයින් පස්සේයි. ඔක්තෝබර් 26 වැනිදායින් පස්සේ අගමැතිවරයා ආරක්ෂක මණ්ඩල රැස්වීමකට කැදවූවේ මේ අවස්ථාවේදීයි. මේ ගැන සෙවීමට කමිටුවක් පත් කරලා තියෙනවා. මේ කමිටුව ආරක්ෂක අමාත්‍යාංශයේ ඉදගෙනම මේ පරීක්ෂණ කරන්න ඕන. සිදුවූ ප්‍රහාරය ගැන අගමැතිවරයාට කලින් කරුණු වාර්තා කර තිබුණා නම් ඒ ගැන අපිට කලින් පියවර ගන්න තිබුණා. මේ ගැන අපි දැනුවත්වූ අවස්ථාවේ සිටම අපි කැබිනට් ඇමැතිවරු විවිධ අංශ භාරගෙන අවශ්‍ය කටයුතු කළා. අපි අගමැතිතුමා එක්ක සාකච්ඡා කළා. අපි සංවාදයක් ඇතිකරගෙන අවශ්‍ය කටයුතු සිදුකළා.

අප්‍රේල් 11 ට කලින් මෙවැනි ප්‍රහාරයක් එල්ල වේ යැයි අනතුරු අඟවා තිබුණා 

11 වැනිදාට පෙර පැය හතලිස් අටකට පෙර මෙවැනි ප්‍රහාරයක් එල්ල විය හැකි බවට බුද්ධි අංශ වෙතින් වාර්තා ලැබී තිබුණා. ඒ විතරක් නෙමෙයි ප්‍රහාරය එල්ලවීමට විනාඩි දහයකට කලිනුත් මේ ගැන වාර්තා කර තිබුණා.‘‘
යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.