මාධ්‍යවේදීන්ට වෙස් මුහුණු පළඳන්නේ කවුද ?



මාධ්‍යවේදීන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙරට පළමු ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල ඊයේ (10) සවස බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවතුණි. මේ අවස්ථාවේදී කළු පැහැ මුහුණු ආවරණයක් පැළඳ වසරේ ප්‍රශස්ත ගවේෂණාත්මක ගුවන්විදුලි වැඩසටහන (සිංහල මාධ්‍ය) ට හිමි සම්මානය ලබාගන්නට පැමිණි චාමිකර ගීත් ගයාන් බණ්ඩාර වෙත කාගේත් අවධානය යොමුවිය. චාමිකරට මේ සම්මානය හිමිවු‍ණේ 2017 නොවැම්බර් 6 හා 16 දින විකාශය වූ ‘බැලුම්ගල ආමි අසංග 1 හා 2‘ වැඩසටහන වෙනුවෙනි. 

චාමිකර සිය සම්මානය ලබාගන්නා මොහොතේදී සම්මාන උළෙල සිංහල බසින් මෙහෙයවමින් සිටි නිවේදකයා පවසන්නේ, ‘‘මේ ආකාරයෙන් පැමිණෙන්නේ ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලට විරෝධතාවය දක්වන්න නෙමෙයි. ඇතැම් වෙලාවක මාධ්‍යවේදියාගේ භූමිකාව ඉතා බිහිසුණු අඩවියක සිදුවෙනවා. ඒ හින්දා තමන්ගේ ජීවිතය නොතකා රට වෙනුවෙන් උතුම් වූ මාධ්‍යකරණයක නියැලෙන චාමිකර ගීත් ගයාන් බණ්ඩාරට හොඳ අත්පොලසන් නාදයක් ලබාදෙන්න, ඒ ඔහුගේ අනන්‍යතාවයයි‘‘ යනුවෙනි. 

සිය මුහුණ ආවරණය කරගනිමින් සම්මාන උළෙලක වේදිකාවට පිවිසෙන තැනට පත්වන්නට චාමික මෙන්ම මෙරට ජීවත්වන අතලොස්සක් වූ ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ට සිදුව තිබෙන්නේ කාගේ වරදින්ද ?, සම්මාන උළෙල මෙහෙය වූ නිවේදකයා පැවසූ අන්දමින් ගවේෂණාත්මක මාධ්‍යවේදීන් නියැලෙන්නේ රට වෙනුවෙන් වූ උතුම් මෙහෙවරක නම් ඒ මෙහෙවර නොපිරිහෙලා ඉටුකිරීම වෙනුවෙන් පෙරළා රජය ඔවුන්ට දක්වන අනුග්‍රහය කුමක්ද ?. ඝාතනය කරදැමීම, අඩන්තේට්ටම්, පැහැර ගැනීම්, දරුණු වධ බන්ධන වලට ලක්කිරීම නැතිනම් මරණ තර්ජන ද ?. 

සැබැවින්ම, මෙරට තුළ කටයුතු කරන ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ට නිදහසේ සිය වෘත්තීය සිදුකළ හැකි පරිසරයක් පවතිනවාද ? ඊට සුදුසු වාතාවරණයක් නිර්මාණය කරන බවට පවසමින් බලයට පත්වූවන් මෙතෙක් සිදුකළේ හා මේ මොහොතේ පවා සිදුකරමින් සිටින්නේ කුමක්ද ?. 

මිග් යානා ගනුදෙනුව ගැන ගවේෂණාත්මක වාර්තාකරණයේ නියැළුණු ලසන්ත වික්‍රමතුංග ට ජීවිතය අහිමි වී ගිය විට, එක්නැලිගොඩ පැහැර ගැනීමට ලක්වූ විට ඒවාට සම්බන්ධ වගකිවයුත්තන්ට නිසි දඬුවම් ලබාදුන්නාද ?. විශේෂයෙන්ම, දකුණේ දේශපාලඥයින්ට අමතක වී ගොස් සිටින දමිළ මාධ්‍යවේදීන් වන නිමලරාජන්, නඩේසන් හා සිවරාම් ඇතුළු  පිරිස ගැන පරීක්ෂණ නිසිලෙස සිදුවෙනවාද ? ඒවායේ ප්‍රගතිය කෙසේද ?. 

ශ්‍රී ලංකාව, ජනමාධ්‍යවේදීන්ගේ නොවිසඳුණු ඝාතන අතරින් මුල්පෙළේ සිටින රටක් බව ජනමාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව (CPJ) 2014 අප්‍රේල් 16 වැනිදා නිකුත් කළ ගෝලීය  සංරචකයෙන් දක්වා ඇත. ඉන් වසර පහක ඇවෑමෙන් අප සාධනීය ප්‍රගතියක් ලබා තිබේද ?. මෙරට තුළ යහපාලනයක් ස්ථාපිත කරන බවට එදා පොරොන්දු වූ පිරිස බලයට පත්වී දැන් වසර හතරක් ද ඉක්ම ගොස් ඇත. අප නැවතත් ජනාධිපතිවරණයක් අභියසය. 

නමුත්, එදා පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන අද ජනාධිපති වී සිටියද ඒ පොරොන්දු අද එලෙසින්ම ඉටුවී නැත. ඉදින් උදාවන හෙට දවසේදීත් ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ට වෙස් මුහුණු පළඳින පරිසරයක් නිර්මාණය කර තිබෙන්නේ කවුද ?