‘‘බැංකු වල ණය පොලී ගාස්තු අඩුකිරීමට පියවර ගන්නවා‘‘ - අගමැති



බැංකුවල ණය පොලී ගාස්තු අඩුකිරීමටත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්වලට තවදුරටත් සහන ලබාදීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (10) මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

ණය පොලිය ඉහළ තත්වයක පැවතීම ව්‍යාපාර දියුණුකර ගැනීමට නොහැකි වන නිසා ඒ පිළිබඳව පුළුල්ව සාකච්ඡා කර මෙම තීරණයට එළඹි බව පැවසු වික්‍රමසිංහ මේ පියවර හරහා ව්‍යාපාරිකයින්ගේ ණය බර අඩුවී ව්‍යාපාර දියුණු කර ගැනීමට හැකිවනු ඇති බව පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළේ ණය පොලිය අඩු කිරීමට ගතහැකි පියවර සම්බන්ධව ඊට අදාල ආයතන කිහිපයක ප්‍රධානීන් සමඟ අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් ලබා දෙමිණි.

මෙම සාකච්ඡාවට අමාත්‍ය  මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යාංශය, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය, මුල්‍ය මණ්ඩලය, වරලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමය යන ආයතනවල නියෝජිතයන් හා රාජ්‍ය බැංකු ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් ලබාදෙමින් තවදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා පැවසුවේ, 

රටේ ණය පොලිය අඩුකිරීමට පියවර ගන්නවා 

''අද දින මුල්‍ය මණ්ඩලයේ සාමාජිකයන්, වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ සාමාජිකයන්, බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන්  මුදල් අමාත්‍යාංශය, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය යන ආයතනවල නියෝජිතයින් අග්‍රාමාත්‍ය ලේකම්තුමා, මලික් සමරවික්‍රම ඇමතිතුමා ආදි සියළු දෙනා එකතු වී රටේ ණය පොලිය අඩුකිරීමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළා. ඒ පිළිබඳව අප මේ වන විට වාර්තාවක් ද ලබා ගෙන තිබෙනවා. එම වාර්තාවට අනුව ඉදිරි පියවර ගැනීමට අපි කටයුතු කරනවා.

රටේ බැංකු වල ණය පොලි ගාස්තු අඩුකිරීමටත් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන්වලට තවදුරටත් සහන ලබා දීමටත් මෙම වැඩසටහන හරහා කටයුතු කරනවා. ඊට අවශ්‍ය නියෝග සහ උපදෙස් ජාතික මුල්‍ය මණ්ඩලය හරහා ඉදිරි සතියේ ලබා දෙනවා.

ව්‍යාපාරිකයින්ගේ ණය බර අඩුකරනවා 

මේ වැඩසටහන හරහා ව්‍යාපාරිකයන්ගේ ණය බර අඩුවී ව්‍යාපාර දියුණු කර ගැනීමට හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ණය පොලිය වැඩි වන විට ව්‍යාපාර දියුණු කර ගැනීමට අපහසුයි. පසුගිය වසරේ පොලිය අඩු කිරීමට අප තීරණය කර තිබුණත් දින 52 අර්බූදය නිසා එය ඉටු කිරීමට නොහැකි වුණා. 



  දින 52 නිසා ඩො.මි. 1000 ක පාඩුවක් රටට වුණා 

එම දින 52 අර්බූදය හේතුවෙන් රටට සිදුවූ පාඩුව ඩොලර් මිලියන 1000ක්. මෙම පාඩුව නිසා ගිය වසරේ මෙම සහනය ලබා දීමට නොහැකි වුණත් මෙම වසරේ දී එය ලබාදීමට අපට හැකි වුණා.

අප මේ වන විට රටේ ආර්ථිකයේ ස්ථාවරභාවය ආරක්ෂා කර තිබෙන නිසා මෙම සහන ජනතාවට ලබාදීමට අපට හැකියාව තිබෙනවා. රට විශාල ණය උගුලක සිරවී තිබුණත් එම ණය ගෙවීමට අප පසුගිය වසර දෙක තුළ අවශ්‍ය පසුබිම සකසා ගත්තා.

නමුත් මෙම වැඩසටහන අද සාකච්ඡා කිරීමෙන් පසුව ඉදිරි සති කිහිපයකින් නැවත හමුවී අවශ්‍ය සංශෝධන සිදු කිරීමටත් තවත් සහන ලබාදීමට අවශ්‍ය නම් ඒවාත් ලබාදීමට අප සුදානම් බව මම මේ අවස්ථාවේ පවසනවා.‘‘