‘‘කලාත්මක චිත්‍රපට කරන නවකයින් දුෂ්කරතා රැසකට මුහුණදෙනවා‘‘ - මලිත් හෑගොඩ





- බෙනිල් ශාන්ත -


“දැකල පුරුදු කෙනෙක්” අධ්‍යක්ෂ මලිත් හෑගොඩ දිගු කලක සිට පැවති තම සිනමා සිහිනය 2013 වසරේදී සැබැ කරගත්තද, චිත්‍රපට ප්‍රදර්ශන මාෆියාවක සිරකරුවකු වී ප්‍රදර්ශන අවස්ථා ලබා ගැනීමට 2019 වසර දක්වා කල්බැලුවද ලබා ගැනීමට හැකි වූයේ සීමිත ප්‍රදර්ශන අවස්ථාවක් පමණි. 

වර්තමානයේ මෙරට විකල්ප ධාරාවේ නව සිනමාකරුවන්ට ඔවුන්ගේ චිත්‍රපට වල අඩංගු විය යුතු දෑ පිළිබඳ උපදෙස් දීමට පෞද්ගලික බෙදාහැරීමේ සමාගම්වල ව්‍යාපාරිකයින් පෙරමුණ ගෙන සිටීම ඛේදයකි. එය 1972 පෙර වැඩෙන්නට නොදී පෞද්ගලික ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු අත සිර වී තිබු දේශීය සිනමාව පැවති තත්ත්වයට සමානය. 

ප්‍රදර්ශනයට වරම් අහිමි වුවද, ගෙවුනු කාලය තුළ “දැකල පුරුදු කෙනෙක්” මෙරට පැවති සිනමා උළෙල කිහිපයක සම්මානයට පාත්‍ර වීම සහ විදේශීය චිත්‍රපට උළෙල කිහිපයක සම්මානයට නිර්දේශ වීම සිනමාකරුවෙකු ලෙස මලිත් හෑගොඩ ලද ජයග්‍රහණයකි. වෙහෙස නොබලා චිත්‍රපට ප්‍රදර්ශන මග බාධක දුවමින් සිටින ඔහු ලංකාදීප රසවින්දන වෙත පලකළ අදහස්ය මේ.  



දැකලා පුරුදු කෙනෙක් කතා සංකල්පය (concept) කුමක්ද ?

අපේ ජීවිත වල තිබෙන ස්ථාවර සබඳතා අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව උල්ලංඝනය කරන බව සනාථ කරන සිනමා ප්‍රකාශනයක්. පවුල් ජීවිතය ගෙවන විට අනෙකාගේ ප්‍රකාශයකට, විමසීමකට ප්‍රතිචාර නොදැක්වීම, නැත්නම් ගණන් නොගැනීම නිසා අපේ ජීවිත වලට කොතරම් බලපෑමක් ඇති කරනවාද ? යන්න විග්‍රහ කිරීම මගේ අරමුණ වුණා. 

නොසලකා හැරීම්, නැත්නම් සබඳතා උල්ලාංඝනය කිරීම් අපේ සමාජයේ සුලබයි. එය පවුල් ජීවිතයට පමණක් සීමා වී නෑ. දරුවන් අතරේ මෙන්ම හිතවතුන් අතරේ ද තිබෙනවා. 

අපි සමහර විට කෙනෙකු සමග කතානොකර මගහැර යනවා. ඒත් එකට හේතුව සමහර විට අනෙකාත් නොදන්නා සුළු කරුණක් විය හැකියි. නමුත් අපේ දුරස්ථ වීම දුර දිග යනවා.

විකල්ප ධාරාවේ සිනමාකරුවන් බොහෝ විට “තිර රචනය” තමන් විසින්ම සකසා ගන්නවා. ඔබ එසේ නොකළේ ඇයි ?

මේ චිත්‍රපටයේ තිර රචනය ලියන්නේ බූපති නලින් වික්‍රමගේ. එය ඔහුගේ කතාවක්. පාසල් කාලයේ සිටම අප දෙදෙනා අතර මිත්‍රකම තිබුණා. අපි දෙදෙනාම එදා සිටම චිත්‍රපට වලට කැමතියි. බොහෝ චිත්‍රපට බැලුවා. ඒ පිළිබඳ කතා කළා. වෙනත් සිනමා සාකච්ඡාවලට සහභාගි වුණා. අප දෙදෙනා අතර සිනමා ආශාවක් සහ භාෂාවක් ගොඩනැගුණා. එහි ප්‍රතිඵලය “ දැකලා පුරුදු කෙනෙක්”

මේ චිත්‍රපටයේ කැමරකරණය ප්‍රවීණ කැමරා ශිල්පි එම්. ඩී. මහින්දපාල. ඔහුගේ හා අපේ අදහස් හොඳින් ගැලපීම නිසා චිත්‍රපටය සාර්ථක වුණා. 

චිත්‍රපටය නිමවා වසර පහකට අධික කාලයක් ප්‍රදර්ශනය සඳහා කල් මැරීමට සිදු වීමෙන්, සිනමා අධ්‍යක්ෂවරයෙකු ලෙස ක්‍ෂේත්‍රයේ තහවුරු වීම මගහැරුණු කාලය වෙනුවෙන් වගකිව යුත්තේ කවුරුන්ද?

ඒ සඳහා සිනමා ක්‍ෂේත්‍රයේ සියලුදෙනා එනම්, චිත්‍රපට වල වැඩකරන ශිල්පීන්ගේ සිට ජාතික චිත්‍රපට සංස්ථාව හා බෙදාහැරීමේ මණ්ඩල දක්වා වගකිව යුතුයි. ප්‍රධාන වශයෙන් චිත්‍රපට සංස්ථාවට වගකීමක් තිබෙනවා. ඒකට හේතුව නියාමනයක් නොමැති වීම. පෞද්ගලික බෙදාහැරීමේ මණ්ඩල ක්‍රියාත්මක වන්නේ වෙළඳ අරමුණු මත පමණයි. තිර කාලය තීරණය කරන්නේ ව්‍යාපාරිකයන්. නියාමනයක් සිදුවනවා නම්  ඔවුනට හිතුමතේ ක්‍රියා කිරීමට නොහැකියි. දැන් සිනමා ක්‍ෂේත්‍රය තුළ නිසි ක්‍රමවේදයක් නොමැති නිසා අයාලේ යනවා. 

ගෙවුණු අවුරුදු පහ තුළම මගේ චිත්‍රපටය ප්‍රදර්ශනය නොවීම ප්‍රශ්න කලත් කිසිවෙකුගෙන් පිළිතුරක් ලැබුනේ නැහැ. ඒ නිසා මම අධ්‍යක්ෂවරයෙකු ලෙස මේ ක්‍ෂේත්‍රයට පැමිණීම වසර පහකින් ප්‍රමාද වුණා. වෙනත් චිත්‍රපට කිරීමට තිබු අවස්ථා මග හැරුණා. ඒක මේ රටේ නව සිනමාකරුවන්ගේ ඛේදවාචකයක්.


තම ප්‍රථම චිත්‍රපටය ප්‍රදර්ශනය වන අද දවසේ පවතින චිත්‍රපට බෙදාහැරීමේ ක්‍රමය පිළිබඳ අත්දැකීම් මොනවාද ?

මට ලැබුණේ සීමිත ප්‍රදර්ශන අවස්ථාවක් ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබී වසර 04ක් පෝලිමේ බලා සිටියා. ඒ අතරේ දේශීය හා විදේශීය වශයෙන් චිත්‍රපටය ඇගයීමට ලක්වුණා.

ප්‍රධාන ප්‍රදර්ශන ධාරාවේ රිලීස් කරන්න බලා සිටියා. නමුත් මණ්ඩල එසේ මුදාහැරීමට එකඟ වුනේ නැහැ. ඔවුන් චිත්‍රපටයේ සිදුකළ යුතු වෙනස්කම් පැවසුවා. නමුත් නිර්මාණකරුවෙකු ලෙස මම එවැනි කප්පාදුවකට එකඟ වුණේ නැහැ. තවත් කාලයක් බලා සිටීමට නොහැකි නිසා මේ තත්ත්වයෙන් හෝ ප්‍රදර්ශනයට එකඟ වුණා.

විකල්ප ධාරාවේ සිනමාකරුවකුට වර්තමානයේ බොහෝවිට ප්‍රදර්ශන අවස්ථාව ලැබෙන්නේ සිනමාහලක දර්ශන වාර 04න් එකක් පමණි (ප්‍රේක්ෂක ආකර්ෂණයෙන් තොර ප. ව. 4.15). එය සිනමාකරුවකු ලෙස එකවර බහුතර ප්‍රේක්ෂක පිරිසක් අතරට යාමට පවතින බාධාවක් නේද ?

ඔව්. අනිවාර්යයෙන්ම බලපානවා. දිනකට ඉතාම කුඩා ප්‍රේක්ෂක පිරිසක් යොමුවන 4.15 දර්ශන වාරයේදි පමණයි මේ චිත්‍රපටය නැරඹීමට ලැබෙන්නේ. ඒ නිසා චිත්‍රපටයේ පිරිවැය පියවා ගැනීමට හැකි වන්නේ නැහැ. 

මේ ප්‍රශ්නය බලපාන්නේ කලාත්මක චිත්‍රපට කරන නවකයින්ට පමණයි. ප්‍රවීණයින්ට බොහෝ විට මේ බාධක ජයගත හැකි වෙනවා. නමුත් නවකයින්ට ක්‍ෂේත්‍රයට පිවිසෙන මග අහුරාදමා තිබීම නිසා සිනමාවේ වර්ධනයට දැඩි බලපෑමක් ඇති විය හැකියි. පල නොකියා පළා බෙදනවා. බෙදාහැරීමේ මණ්ඩලවල වට්ටෝරුවට චිත්‍රපටය වෙනස් කරන්න පැවසීම හරිම ඛේදනීය තත්ත්වයක්.

සංස්කෘතිකමය වටිනාකමක් තිබෙන චිත්‍රපට වලට අද අපේ රටේ ඉඩක් නැහැ. ඒ නිසා රාජ්‍ය ආයතනයක් විසින් නියාමනය කිරීම ජාතික වගකීමක්. ඒ සඳහා දැනට පිහිටුවා තිබෙන එකම රාජ්‍ය ආයතනය ජාතික චිත්‍රපට සංස්ථාවයි. නියාමනය චිත්‍රපට ප්‍රදර්ශනයට පමණක් සීමාවිය යුතු නැහැ. ප්‍රවේශ පත්‍රවල අධික මිල ගණන්, සිනමාශාලා වල ආහාරපාන ආදී ප්‍රේක්ෂක පහසුකම් සියල්ල ඊට ඇතුළත් විය යුතුයි.

චිත්‍රපටය තුළ යම් අවස්ථාවකදි “සචිත්‍ර” විසින් ආගමික ශාස්තෘවරයෙකුගේ රූපයක් නිවසේ ඉදිරි දොරට උඩින් බිත්තියේ සවිකිරීමෙන් සිදුකරන ආගමික සන්නිවේදනයේ අරමුණ කුමක්ද ?

දිනිති සහ සචිත්‍ර ආගම් දෙකක. නමුත් එසේ වීම ඔවුන්ගේ විවාහයට හා පසුව කාලයක් ජීවත්වීමේදී ගැටලු මතුකර නැහැ. චිත්‍රපටයේ මුල්කොටසේදි ආගමික පසුබිමක් ගැන හඳුනගැනීමට බැහැ වගේ. නමුත් අපිට අනෙකාට “ගහන්න” අවශ්‍ය වුනාම හැම එකෙන්ම ගහනවා වගේ. එතෙක් පටපත් කර තිබූ ඔවුන්ගේ ආගම මෙතැනදි මතුකර දැක්වීම සිදුකරනවා. 

චිත්‍රපටයේ අවසන් රූප රාමුවට ඔවුන්ගේ මංගල උත්සව අවස්ථාවේ දර්ශනයක් ගෙන ආවේ ඇයි ?

මධ්‍යම පන්තියේ මංගල උත්සව අධික වියදමකින් උත්කර්ශවත් ලෙස පවත්වනවා. නමුත් පසුව ආදරය පවත්වාගෙන යාම සඳහා කුඩා ප්‍රශ්න කතාකර විසදා ගැනීමට යොමුවන්නේ නැහැ. කතාකිරීමට අවශ්‍ය හඬ සහ හැගීම් පමණයි. ඒ සඳහා කිසිම වියදමක් නැහැ. එය අවධාරණය කරන්නයි පවුල් ජීවිතයේ ආරම්භක රූප රාමුව අවසානයට දැක්වූයේ. 

දිනිති සහ සචිත්‍ර පදිංචි නිවසේ බිත්ති මෙන්ම ගෘහ භාණ්ඩද පුරා විසිරුණු ප්‍රබල සුදු වර්ණය අර්ථ ගන්වන්නේ කුමක්ද ?

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ “සචිත්‍ර” ගෘහ නිර්මාණ ශිල්පියෙක්. මේ නිවස ඔහුගේ තේරීමක්. සුදු වර්ණයෙන් දැක්වෙන්නේ ඔහුගේ පිළිවෙල හා පිරිසිදු බව. ඔහු ඉතාම පැහැදිලි ලෙස යමක් පවත්වාගෙන යාමට අවශ්‍ය පුද්ගලයෙක්. නමුත් මගේ චිත්‍රපටය විවිධ අර්ථකතන වලට විවෘතයි. ඔබ ඇවිත් බලන්න මේ “දැකල පුරුදු කෙනා” කවුද කියලා. 


ඔබේ නමත් සමග අපට නිරායාසයෙන් සිහිපත් වන නාමයත් තිබෙනවා. ඒ ඔබේ පියාවූ ප්‍රවීණ නිශ්චල ඡායාරූප ශිල්පි ලාල් හෑගොඩ. චිත්‍රපටයේ රූප සැකැස්මට අතීතයේ සිටම පියාගෙන් ලද ආභාෂය කෙබඳුද ? 

අතීතයේ මම ඡායාරූප ශිල්පයට යොමු වී සිටියේ නැහැ. ගෙදර තිබූ තාත්තාගේ ඡායාරූප හා කවිපොත් නිසා මට ඒ පිළිබඳ අදහසක් තිබුණා. නමුත් මගේ ආසාව තිබුණේ චිත්‍රපට වලට. තාත්තා මාව චිත්‍රපට නරඹන්න රැගෙන යනවා.  

ලංකාවේ ධර්මසිරි බණ්ඩාරනායක, ප්‍රසන්න විතානගේ සහ අශෝක හඳගමගේ චිත්‍රපට මට බලපෑමක් කළා. විශේෂයෙන් හඳගමගේ චිත්‍රපට මට බලපෑමක් කළා. ඔහුගේ “මේ මගේ සඳයි” චිත්‍රපටය මට වගේ බොහෝ චිත්‍රපටකරුවන්ට බලපෑවා. ඒ “අමු” ගතියට මම එදා වික්ෂිප්ත වුණා. ඒ කාලේ මට වැඩි වයසක් නැහැ. නමුත් ඒ චිත්‍රපටය නැරඹුවාට පසු මොකක්ද වුණා. එහි දේශපාලනය හා මිනිසුන්ගේ ජීවිත පෙන්වන අයුරු මාව කම්පනයට පත් කළා. ඒ කාලේ බූපති සමග කෙටි චිත්‍රපටයක් කිරීමට උත්සහ කළත් හරි ගියේ නැහැ.







(2019.03.15 දින ලංකාදීප ‘රසවින්දන‘ අතිරේකයේ පළවූවකි.)



සබැඳි පුවත් 


''දැකල පුරුදු කෙනෙක්'' බලන්න පමා නොවන්න