”මධුෂ් කොටුකරගැනීමේ මෙහෙයුමට එමීර් රාජ්‍යයේ සහය ඉල්ලුවේ 2017 දී” – අැමති සාගල


ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු සහ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් සහ ඔහුගේ සහචරයන් අත්අඩංගුවට ගැනීම දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන ලද ක්‍රියාවලියක අවසන් ප්‍රතිඵලය බව අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.

කොළඹ වරායේ අද ( 07) සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් පසු මාධ්‍යයට අදහස් දැක්වූ රත්නායක මහතා ප්‍රකාශ කළේ ස්වාධීන පොලිස් කොමිසම හරහා පොලිස් සේවයේ ස්වාධීනත්වය තහවුරු වීම, දියුණු පුහුණුවීමේ පහසුකම් සහ යටිතල පහසුකම් ඉහළ නැංවීම වැනි සාධක මෙම සාර්ථක මෙහෙයුමට හේතු වූ බවයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා යටතේ මෙම සාර්ථක මෙහෙයුම සිදු කළ දිසාව ස්ථාපිත කළේ රත්නායක මහතා නීතිය සහ සාමය අමාත්‍යධූරය දැරූ කාලය තුළ වීම විශේෂත්වයකි. පොලිස් විශේෂ කාර්ය බලකාය, මත්ද්‍රව්‍ය නාශක අංශය මෙන්ම සංවිධානාත්මක අපරාධ විමර්ශනය ද මෙම දිසාව යටතට පත් කිරීමට අමාත්‍යවරයා කටයුතු කළේය.

“මෙම දිසාව ස්ථාපිත කරන අවස්ථාවේම අපි දැනගෙන හිටියා මෙයට නායකත්වය ලබා දීමට සුදුසුම නිලධාරියා ලතීෆ් මහතා බව. ඒ නිසා ඔහුට එම තනතුර ලබා දුන්නා. ඒ වගේම මේ වගේ දරුණු අපරාධකරුවෙකු අත්අඩංගුවට ගැනීම මහත් ඉවසීමකින් වගේම අධිෂ්ඨානයකින් සිදු කළ යුතු දෙයක් බවත් අපි දැනගෙන හිටියා,” යැයි ද රත්නායක මහතා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම දිසාවේ නිලධාරීන් දීර්ඝ කාලය තිස්සේ මධුෂ් සහ ඔහුගේ සහචරයන් හඹා ගිය බවයි. එමෙන්ම අවස්ථා කිහිපයකදී අවසන් මොහොතේ පොලිස් දැලෙන් පැනයාමට ඔහුට හැකිවූ බව ද රත්නායක මහතා අනාවරණය කළේය.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිවරයා වන අබ්දුල්ලා බින් සයෙඩ් අල් නහ්යාන් මහතා 2017 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා සහ තමන් මේ සඳහා ඔහුගේ සහය ඉල්ලා සිටි බවත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හිටපු තානාපතිවරයා ද මේ ක්‍රියාවලියේ දී සුවිශේෂ මෙහෙවරක් ඉටු කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“අප රජය බාරගන්නා විට වසර ගණනාවක් තිස්සේ පොලිස් නිලධාරීන්ට පුහුණුව ලබා දීම මගහැරිලයි තිබුණේ. ලෝකයේ ඕනෑම රටක පොලිස් සේවයක් හරියට ක්‍රියාත්මක වෙන්න නම් අඛණ්ඩව ඔවුන්ට පුහුණු වීම් ලබා දීම අනිවාර්ය වෙනවා. අපි ඒ ප්‍රශ්නය විසඳුවා. අපේ මේ වැඩපිළිවෙළේ ප්‍රතිඵල 2017 අවසන් වන විටම පෙනෙන්නට තිබුණා. විශේෂයෙන්ම 2017 දෙසැම්බර් වන විට දරුණු ගණයේ අපරාධ සියයට 30කින් අඩු කිරීමට පොලීසියට හැකියාව ලැබුණා,” යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

වරාය සහ නාවික අමාත්‍යංශය යටතේ දැනට සිදුවෙමින් පවතින කටයුතු ගැන කරුණු දැක්වූ අමාත්‍යවරයා එය අංශ කිහිපයකින් ශක්තිමත් කිරීමට කටයුතු යොදා ඇති බව සඳහන් කළේය.

“විශේෂයෙන්ම කියන්න ඕනෑ වරාය අධිකාරිය කියන්නේ මහා භාණ්ඩාගාරය මත යැපෙන ආයතනයක් නෙවෙයි. වරාය අධිකාරිය තමන්ගේ මෙහෙයුම් හරහා මුදල් උපයලා මහා භාණ්ඩාගාරයට බදුත් ගෙවනවා. නමුත් අපි බැඳී සිටිනවා රජයේ ප්‍රතිපත්ති වලට සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියට. නමුත් රජයේ ප්‍රතිපත්ති සම්පාදනයකරන විට අපේ අදහස් සමග එම ප්‍රතිපත්ති සම්පාදනය කිරීම අවශ්‍යයි,” යනුවෙන් ද අමාත්‍යවරයා පැවසීය.