ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් දණ්ඩ මුක්තිය අහෝසි කිරීමේ දිනය අදයි - ඝාතකයින්ට මොකද වුණේ ?

ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් දණ්ඩ මුක්තිය අහෝසි කිරීමේ ජාත්‍යන්තර දිනය අද ට (නොවැම්බර් 2) යෙදී තිබේ. මෙදිනට සමගාමීව පසුගියදා (ඔක්තෝබර් 29) ප්‍රකාශයක් නිකුත් කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරස් මහතා පවසන්නේ,


 

‘‘සිය කාර්යභාරය ඉටුකිරීමේදී මාධ්‍යවේදීන් දහසකට අධික සංඛ්‍යාවක් පසුගි දශකයකට වැඩි කාලයක් තිස්සේ ඝාතනයට ලක්වුණා. මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් පවතින නඩු 10 ක් අතරින් 9 ක් නොවිසඳුණු ඒවා බවට පත්වී තිබෙනවා. කාන්තා මාධ්‍යවේදීන් පුවත් වාර්තාකරණයේදී පමණක් නොව කාන්තාවන් වීම නිසාම තර්ජනයන් මෙන්ම ලිංගික හිංසනයන් වලටත් ලක්වෙනවා. 


 

මේ වසරේදී පමණක් මාධ්‍යවේදීන් 88 දෙනෙකු ඝාතනයට ලක්වී තිබෙනවා. මාධ්‍යවේදීන් දහසකට අධික ප්‍රමාණයක් විවිධ චෝදනා මත  නඩු නොවිසඳා බන්ධනාගාරගත කර රඳවා තබාගෙන සිටිනවා. මේ ප්‍රකෝපකාරී තත්ත්වය සාමාන්‍ය අතට පත්විය යුතුයි. මාධ්‍යවේදීන් ඉලක්කගත වනවිට සමාජයට ද ඊට මිලක් ගෙවීමට සිද්ධ වෙනවා. 


 

ජනමාධ්‍යවේදීන්ට එරෙහි පහරදීම් දිනෙන් දින සීඝ්‍රයෙන් වැඩිවීම හා දුර්විපාක නොලබා සිටීමේ සංස්කෘතියක් පැවතීම ගැන මා අතිශය කණගාටුවට පත්වෙනවා. ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමට හා ඔවුන්ට කටයුතු සිදුකරගැනීමට අවශ්‍ය කොන්දේසි නිර්මාණය කිරීමට  ජාත්‍යන්තර ප්‍රජාව මෙන් සියලු රාජ්‍යයන් වලට මා ආරාධනා කර සිටිනවා. සෑම දිනකදීම බියවැද්දීම් හා තර්ජන මැද සිය රැකියාවේ නිරත වෙන ජනමාධ්‍යවේදීන්ට මගේ උත්තමාරචාරය පුදකර සිටිනවා. 


 

මේ මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය මෙන්ම ජීවිත අහිමි වී ගිය ඔවුන්ගේ සගයින් අපට නැවත නැවතත් සිහිපත් කර දෙන්නේ භාෂණයේ - අදහස් ප්‍රකාශනයේ මූලික අයිතියට අප දක්වන කැපවීම හා  සත්‍යය කිසිදා මිය නොයන බවයි...‘‘ 

 

 



 

මෙදිනට සමගාමීව නිවේදනයක් නිකුත් කරන ‘නිදහස් මාධ්‍ය ව්‍යාපාරය‘ මෙරට ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවීම පිළිබඳ සිය බලවත් කණගාටුව පළකර සිටියි. 2000 සිට 2015 අතර කාලසීමාවේදී ජනමාධ්‍යවේදීන් ඝාතනයට ලක්වීම ඇතුළු සිදුවීම් 30 ක් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අවධානයට ලක්වුවද පොලිසියේ සහ නීතිපතිවරයාගේ දුර්වල ක්‍රියාකාරිත්වය හේතුවෙන් මේ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකිරීමට නොහැකි වූ බව වැඩිදුරටත් අවධාරණය කරයි. 


 


නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ ගැන වැඩිදුරටත් පැහැදිලි කර සිටින්නේ මෙලෙසිනි. ‘‘දණ්ඩ මුක්තිය සම්බන්ධයෙන් 2000 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා කාල සීමාව තුළ සිදු වු සිදුවීම් 30 ක් ඇසුරෙන් අප කළ අධ්‍යයනයකට අනුව, ජනමාධ්‍යවේදීන් ඝාතන 12ක්ද, අතුරුදහන් කිරීම් 02ක්ද, පැහැර ගෙන ගොස් පහර දීම් 3 ක්ද, පහර දීම්  6ක්ද, තර්ජනය කිරීම් 2ක්ද, මාධ්‍ය ආයතන වලට ප්‍රහාර එල්ල කිරීම් හෝ විනාශ කිරීම් 5ක්ද වේ.


 

වඩාත් බරපතල තත්ත්වය වන්නේ මෙම කිසිදු සිදුවීමක චුදිතයන්ට අධිකරණය හරහා දඩුවම් පැමිණවීමට ශ්‍රී ලංකා රජය තවමත් අසමත් වීමයි. 2015 වර්ෂයේ සිදුවු ආණ්ඩු වෙනසත් සමඟ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමට කටයුතු කෙරුණත් විවිධ බලපෑම්, පොලිසියේ සහ නීතිපතිවරයාගේ දුර්වල ක්‍රියාකාරිත්වය සහ ඒ පිළිබඳ සැබෑ උනන්දුවක් නොමැතිවීම ආදී විවිධ හේතු මත එම පරික්ෂණ ද අඩපණ වී ඇති බව අපගේ නිරීක්ෂණයයි.


 

එබැවින් ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වන චුදිතයන්ට අධිකරණය මගින් දඩුවම් ලබාදී යුක්තිය ඉටු කරන ලෙසත්, මාධ්‍ය නිදහස තහවුරු කරන ලෙසත්, ජනමාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ හඬ නැගු සංවිධානයක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වගකිව යුතු සියලු පාර්ශ්වයන් වෙත යළි අවධාරණය කර සිටී.‘‘