නමුත්... අපට ඒ ඓතිහාසික වරද කළ හැකිද?

ඇතැම් වෙබ් අඩවි තම කණගාටුව තුරන් කර ගැනීමට දැන්, රාජපක්‍ෂ පවුලේ කුණු අවුස්සා දැමීමට පටන්ගෙන තිබේ. ශිරාන්තිට හා රාජපක්‍ෂ අතර ගැටළුවක් යැයි පුවත් පළකරමින් සිටියි. නාමල්, යෝෂිත, රෝහිත තරුණියන් සමඟ අල්ලාප සල්ලාප යැයි ඡායාරූප විවිධ කෝණවලින් පළකරයි. ගෝඨාබය, චමල්, බැසිල් ඇතුළු පිරිස ගැන උපකල්පනය කර පුවත් පළකරමින් සිටියි. එක් පැත්තකින් එයද හොඳයි. ඔවුන් මෙවැනි පුවත් පළ කිරීමේ කටයුතුවල පමණක් කාලය ගතකිරීම යහපත්ය.
| නඩරාජා ගුරුබරන්

මිතුරණි රාජපක්‍ෂ පවුල් පාලනය නිමාවුණි... වැස්ස නිමාවුණත් හිරි පොද වැස්ස නතරවී නොමැතිවීම සත්‍යයකි...
රාජපක්‍ෂ පවුල් පාලනය අහවර විය. නමුත් අඩ සියවසක කාලයක් පැවැති ජාතිවාදී වැස්ස නිමාවී ප්‍රජාතාන්ත්‍රික අහසක් දර්ශනයවීමට පටන්ගෙන තිබේද? මෙම ප්‍රශ්ණය අමතක නොකළ යුතු සටහනක ලෙස සටහන්කරගමු. ජනාධිපති මැතිවරණය නිමාවී දින කිහිපයක්තුල සුළු වෙනසක් සිඳුව තිබේ. එම වෙනස ස්ථීර වෙනසකට මඟ සලසයි දැයි ඉවසීමෙන් බලා සිටිය යුතුයි.

නව පාලකයන් විසින් ගෙන එන ලද කඩිනම් වෙනස්කම් කිහිපයක්...

* මාධ්‍ය තහනම ඉවතට, ශ්‍රී ලංකාව තුළ සියළු මාධ්‍යන් වාරණයකින් තොරව බැලිය හැක.

* රාජපක්‍ෂ පාලනයදී ජීවිත තර්ජන මත රට හැර ගිය මාධ්‍යවේදීන්, බුද්ධිමතුන්, ව්‍යාපාරිකයන් ඇතුළු සියළු දෙනාටම යළි දිවයිනට පැමිණිය හැකි බවට මෛත්‍රී ආණ්ඩුව විසින් නිළ වශයෙන් දැනුම්දී තිබේ.

* උතුරු පළාතේ හමුදා ආණ්ඩුකාරවරයාව ඉවත් කර විශ්‍රාම ලැබූ රාජතාන්ත්‍රිකවරයකුව අළුතින් පත්කර තිබේ. ( ඔහු ගැන විමර්ශණ රැසක් ඉදිරිපත් කර ඇත)

* සුළු ජාතික ජන කොටස්වල නායකයන් වන මනෝ ගනේසන්, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්‍ධන්, මුස්ලිම් කොංග්‍රසයෙහි රවූෆ් හකීම්, රිෂාද් බදියුදීන් ඇතුළු පිරිසගෙන් යුතු ජාතික සභාවක් නව රජය විසින් පත්කර තිබේ.

* විදේශීකයන්ට උතුරේ සංචාරය කිරීම සම්බන්‍ධයෙන් පනවා තිබූ තහනම ඉවත්කර තිබේ.

මෙය ප්‍රතිපත්තිමය වශයෙන්වූ කටයුතුය. දින 100 වැඩපිළිවල යැයි ඔවුන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාවට ඇතුලත් කරුණුය. නව ආණ්ඩුවක් ධූරය භාරගෙන වෙනසක් සිඳුකරගෙන යන අවස්ථාවක ඔවුන් පාර්ලිමෙන්තු මැතිවරණයෙන් පසු රටේ ප්‍රධාන ප්‍රශ්ණවලට ස්ථීර විසඳුමක් සඳහා සාකච්ඡාවන් පවත්වන බවට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟවී තිබේ.

මෙවැනි තත්වයකදී විදෙස් ගතව ජීවත්වන අපි ශ්‍රී ලංකාවේ ජීවත්වන ජනතාවගේ මානසික තත්ත්වය, වාතාවරණය ගැන වටහා නොගෙන අපි ඔවුන් වෙනුවෙන් අදහස් නිර්මාණය කර තීරණයන්ද ඔවුන් වෙත පැටවීමට තැත් කරන්නෙමු. ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සැමැදාම දේශපාලනික නොසන්සුන් වාතාවරණයක් තුළ ජීවත්විය යුතු යැයි සංග්‍රාමිකවූ බොහෝ දෙනෙකුගේ අවශ්‍යාතවයක්වී ඇති බව දැනේ.

මෛත්‍රීපාල සිරිසේනගේ ආණ්ඩුව පැමිණ රටතුල සාමකාමි තත්වයක් ඇතිවුයේ නම් දේශපාලනික රැකවරණය පතා විදෙස් ගතවී මෙතෙක් පුරවැසිභාවය නොලැබුණු දහස් ගණනක ජනතාවන්ව බටහිර රටවල් යළි දිවයිනට යවනු ඇතයි ඇතමුන් පවසයි. ඇත්ත, වර්තමාණ ශ්‍රී ලංකා දේශපාලනික වෙනස දේශපාලනික රැකවරණය පතා පැමිණි පිරිසගේ තත්වය කෙරෙහි දැවැන්ත ප්‍රශ්ණයක් ඇතිවීමත් බටහිර රටවල් ඔවුන්ව යළි දිවයිනට යැවීමට පියවර ගැනීම ගැනත් සැකයක් නැත. 2002දී කොටි සංවිධානය හා ශ්‍රී ලංකා රජය අතර සාකච්ඡාවන් පැවැති සාම කාලයතුල බ්‍රිතාන්‍යාව විසින් ශ්‍රී ලංකාව සාමකාමි වාතාවරණයක් ඇති රටවල් යන සුදු ලැයිස්තුවට ඇතුලත් කිරීමෙන් බොහෝ දෙනෙකු දැඩි අපහසුතාවලට මුහුණදීමට සිඳුවුණි.

දහස් ගණනක දෙමළ ජනතාවගේ දේශපාලනික රැකවරණය අහිමිවනු ඇතයි සිතා, ශ්‍රී ලංකාවතුල ජීවත්වන ලක්‍ෂ ගණනක දෙමළ ජනතාවගේ ජීවිතයෙහි නොසන්සුන් තත්වයක් දිගටම තිබිය යුතු යැයි අපේක්‍ෂා කිරීම කුමන ආකාරයක මානව හැඟීමක්ද?

ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට පිළිගත හැකි විසඳුමක් නැතිනම් එය සඳහාවූ ආරම්භයක් උදාවන්නේ නම් එය පිළිගත යුතු කැපවීමක් අපට තිබේ. දේශපාලනික රැකවරණය ඉල්ලා සිටි පිරිස යළි දිවයිනට යවන්නේ නම් ඔවුන් කිසිම හිරිහැරයකින් තොරව ශ්‍රී ලංකාවතුල තම ජීවිතය පවත්වාගෙන යෑමට හැකි සහතිකය දෙමළ ජනතාවගේ දේශපාලනික විසඳුම් මාලාවට ඇතුලත් කිරීම අවශ්‍යවේ.

නිර්නාමිකව, රටක්, පුරවැසිභාවයක් නොමැතිව ජීවත්වීමේ ඇති ප්‍රශ්ණ හා වේදනාව දන්නා පිරිස දේශපාලනික වශයෙන් ආරක්‍ෂාකාරි සහතියක් ලබාදෙන අවස්ථාවක යළි දිවයිනට පැමිණීමට පසුබටවන්නේ නැහැ.

වෙබ් අඩවි රැසකට (මාධ්‍යවලට) රාජපක්‍ෂ පවුල් පාලනය අවසන්වීමත් සමඟම දේශපාලනය කලබලකාරි උද්වේගමත් කරුණක් නොවිය. කලබලකාරි, ත්‍රාසජනක, විශේෂත්වයක් නොවන පුවත් ජනතාව නොබලන (no clicks ) බවට ඔවුන් කණගාටුවට පත්වී සිටියි. ජනතාව අන්තර්ජාලය, පුවත්පත්, රූපවාහිනය බැලීම, ගුවන් විදුලියට සවන්දීම නවතා දමනු ඇතයි ඔවුන් කණගාටුවට පත්වී සිටියි.

ඇතැම් වෙබ් අඩවි තම කණගාටුව තුරන් කර ගැනීමට දැන්, රාජපක්‍ෂ පවුලේ කුණු අවුස්සා දැමීමට පටන්ගෙන තිබේ. ශිරාන්තිට හා රාජපක්‍ෂ අතර ගැටළුවක් යැයි පුවත් පළකරමින් සිටියි. නාමල්, යෝෂිත, රෝහිත තරුණියන් සමඟ අල්ලාප සල්ලාප යැයි ඡායාරූප විවිධ කෝණවලින් පළකරයි. ගෝඨාබය, චමල්, බැසිල් ඇතුළු පිරිස ගැන උපකල්පනය කර පුවත් පළකරමින් සිටියි. එක් පැත්තකින් එයද හොඳයි. ඔවුන් මෙවැනි පුවත් පළ කිරීමේ කටයුතුවල පමණක් කාලය ගතකිරීම යහපත්ය.

මන්ද, උතුර නැගෙනහිර ප්‍රදේශවල නොසන්සුන් තත්වයක් ඇතිකරන, ජාතික ප්‍රශ්ණයට විසඳුමක් ඉදිරිපත් කිරීමේ සාකච්ඡාවන් කඩාකප්පල් කරන අයුරින් පුවත්, මාධ්‍යවල හෝ සාමාජ වෙබ් අඩවිවල ඔවුන් පළනොකරන්නේ නම් එය ඉතා යහපත්ය.

මා සමඟ කථා කළ මිතුරකු විමසා සිටියා, ප්‍රශ්ණවලට විසඳුමක් ලැබුණේ නම්, ශ්‍රී ලංකාවතුල සාමකාමි තත්වයක් ඇතිවුයේ නම් ඔයාලට ඉන්පසු පුවත් නැහැනේ, ඉන් පසු ඔයාලට මාධ්‍ය වැඩ කටයුතු නැහැනේ, ව්‍යාපාරයක් නැතිවනවා නේද? ඉදිරියදී මොනවද කරන්නේ?.

ජනමාධ්‍ය මට ආදායමක් උපයා ගන්නා රැකියාවක් නොවේ. තවද ජනමාධ්‍ය ක්‍රියාකිරීමට සිඳුව තිබෙන්නේ විවෘත ආර්ථික පරිසරයකදීය. ජනතාව වැඩියෙන්ම බලන වෙබ් අඩවිවල තම දැන්වීම් පළකිරීමට ව්‍යාපාරික ආයතන උත්සහ කරයි. මෙය මාධ්‍ය ආයතනයකට ආදායමක්දවේ. නමුත් පුවත් වාර්තාවන් වෙළඳ භාණ්ඩයක් ලෙස මම හඳුන්වන්නේ නැහැ. ඒ සඳහා ජනතාවට රසවත් අයුරින් මුළාකරන පුවත් පළකරන්නේ නැහැ, පුවත් වාර්තාවන් පුවත් ලෙසම ලබාදෙන මාධ්‍ය සදාචාරය පිළිපැදින්නෙමි.

ජනතාව පරදුවට තබා ඔවුන්ගේ දුක් පීඩාවන් වේදනාව තබා මම මාධ්‍ය ව්‍යාපාරයක් කරන්නේ නැහැ. මාධ්‍යක් පවත්වාගෙන යා හැක්කේ යුද්දය, අරගලය, දෙමළ ජනතාවගේ පීඩාකාරි ජීවිතය, නොසන්සුන් භාවය, කොටි සංවිධානය, රාජපක්‍ෂ පවුල වටා පමණි යැයි සිතන්නේ නම් ඔහුට ජනමාධ්‍ය ගැන දැනුමක් නොමැති බව වටහාගත හැක.

ජාතික ප්‍රශ්ණ නොමැති, ජාතික ප්‍රශ්ණයක් හෙලි නොවූ, නැතිනම් ජාතික ප්‍රශ්ණයක් යටපත්ව තිබෙන රටවල්වල ජනමාධ්‍යක් නැද්ද? ලෝකය බල පංතියක් ලෙස හා පීඩිත පංතියක් ලෙස බෙදී සිටිනතාක්කල් මාධ්‍යවේදියකුට වැඩ කටයුතු තිබේ.

අද ජනතාවට වැඩියෙන්ම ආකර්ශනීයවූ පුවත් යැයි පවසන කරුණු කිහිපයක් නිර්මාණය කර තිබේ...

* කොටි සංවිධානය, එම සංවිධානයේ නායක වෙලුපිල්ලේ ප්‍රබාකරන්, බුද්ධි අංශයේ නායක පොට්ටු අම්මාන් සහ එම සංවිධානයේ ප්‍රධාන පෙල නායකයන් ගැනවූ පුවත් නැතහොත් ඔවුන්ගේ නම් ගැලපිය හැකි අයුරින් මනාකල්පිත පුවත්.

* රාජපක්‍ෂ පවුල සම්බන්‍ධ පුවත් (මහින්ද, ගෝඨාබය, බැසිල්, නාමල්, යෝෂිත, රෝහිත, ශිරාන්ති සම්බන්‍ධ පුවත්)

නමුත් මෙම පුවත්වල දේශපාලනික හා සමාජ වටිනාකම ගැන කිසිවකු සිතන්නේ නැත. මෙවැනි තත්වයක් දිගටම තිබිය යුතුද? සිතා බලන්න....

අන්තර්ජාලයට පිවිසිවූ විට උද්වේගය, ත්‍රාසජනක, ලිංගික ආස්වාදයකින් යුතු පුවත්, ඡායාරූප නැතැයි බලවත් ආශාවකින් පෙලෙන පාඨකයන් තම සංක්‍ෂය ගැන සමාලෝචන කරගත යුතුයි.

සංක්‍රාමික රටවල්වල සිටින දේශපාලනික ක්‍රියාකරුවන්ට, සංවිධානවලට, මානව හිමිකම් ක්‍රියාකරුවන්ට දැන් ඉතිං මොනවද වැඩ? ශ්‍රී ලංකාවතුල සාමයක් ඇතිවුයේ නම් අපට රැකියාවන් නැහැ යැයි ඇතමුන් කනස්සල් පළකරයි.

රැකියාවක් කළ හැක්කේ ශ්‍රී ලංකාවතුල දේශපාලනික නොසන්සුන් තත්වයක් තිබුණේ නම් පමණි යැයි කිව්වේ කවුරුන්ද? රැකියා අවස්ථාවන් රැසක් උදාවන්නේ සාමකාමි වාතාවරණයක් තිබුණේ නම් පමණි.

යුද්දය නිමාවී ඊළම ලැබුණේ නම් ඊළඟට ඔබ කුමක්ද කරන්නේ දැයි ජාත්‍යන්තර මාධ්‍යවේදියකු විසින් කොටි සංවිධානයේ නායක ප්‍රබාකරන්ගෙන් විමසූ විට, “මහාවිරු පවුල්වල ජීවනෝපාය ගැටළු ගැන අවධානය යොමු කරන්නෙමි, ආබාධිතයන් ලෙස පත්වූ හිටපු කොටි සාමාජිකයන්ව රැක බලා ගැනීමේ කටයුත්ත පවත්වාගෙන යන්නෙමි“ යැයි පවසා තිබුණි. මෙහිදී කොටින්ව ඔවුන්ගේ නායකත්වය විමර්ශණය කරන්නන් ඇත්තෙනම් ප්‍රබාකරන් එය කරයිද යැයි ප්‍රශ්ණ කළ හැකිය. නමුත් මෙතැන වැදගත්වන්නේ එය නොවේ. සාමකාමි පරිසරයක කළ යුතු දැය කුමක්දැයි ඔහු පැවැසූ කාරණාව වැදගත්ය.

සාමකාමී විසඳුමක් ලැබුණේ නම් යුද්දයෙන් විනාශයට පත්වී තිබෙන දෙමළ ප්‍රදේශයන් ආර්ථික, සමාජ, දේශපාලනික වශයෙන් නඟා සිටුවීමේ වැඩපිළිවලක්, යුද්දයෙන් සියළු දැය අහිමිවූ ජනතාවගේ ජීවිතය යළි යතා තත්වයකට පත්කිරීමේ වැඩපිළිවලක් මෙම සංක්‍රාමික සංවිධානවලට භාරගත හැකිය.

එක්සත් ජාතීන් සංවිධානයේ ජාත්‍යන්තර යුද අපරාධ විභාග කටයුතු ගැන බලපෑමක්ද ශ්‍රී ලංකාවතුලම ඇතිකළ හැකි ප්‍රජාතාන්ත්‍රික වශයෙන්වූ සහායක් ලබාදීමට උත්හස කළ හැක.

බ්‍රිතාන්‍යාව ඇතුළු ඇතම් රටවල් නව ආණ්ඩුව ජාත්‍යන්තර විභාගවලට සහාය ලබාදිය යුතු යැයි ඉල්ලා තිබේ. ඒ අනුව නිත්‍ය සාමයක් සඳහාවූ කටයුතු සිඳුකරන අවස්ථාවක ජාති ඝාතන සම්බන්‍ධයෙන් සාධාරණීය යුක්ති සහගත ජාත්‍යන්තර විභාගයක්ද අවධාරණය කරන බලපෑමක් ඉදිරිපත්කරන ඉඩකඩ තිබේ.

මෙම ලිපියෙහි අරමුණ දැවැන්ත විස්වාසයක් හෝ මිථ්‍යාවක් ඇති කිරීම නොවේ. වර්තමාණ තත්වය නිසිලෙස අධීක්‍ෂණය කර දේශපාලනික රාජතාන්ත්‍රික මාර්ගවලින් ප්‍රශ්ණවලට ප්‍රවේශවිය යුතුයි යන කාරණාවවේ.

දෙමළ ජනයාගේ තෙවන පරම්පරාවද  මතභේදවලට හිරවී විනාශවී යෑම යහපතක් නොවේ. මුහුණ දෙන ජාතික ප්‍රශ්ණයට සියළු පාර්ශවයම එක්වී සුදුසු විසඳුමක් ඉදිරිපත් කළ යුතුයි. චින්තන දර්ශනයන් පැවැසීමට ආකර්ශනීයව තිබෙනු ඇත, නමුත් එය ක්‍රියාත්මකවිය යුතුය.

තනි පුද්ගලයන් හා සංවිධාන තම වාසිය පමණක් උදෙසා අඩ සියවසක කාලයක් පීඩාවට පත්වී සිටින දෙමළ ජනතාව හමුවේ මාධ්‍ය  හෝ දේශපාලන සංදර්ශනයක් කිරීමට තැත් කරන්නේ නම් එය එයිතිහාසික වැරද්දකි....