ඇන්. ඇම්. කියූ, වර්තමාන සම සමාජ නායකයන් නොකියූ දේවල්

|  චමීර පෙරේරා

1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ඇති කළ විධායක ජනාධිපති ධූරය, අනාගත දේශපාලනය කෙරෙහි ඇති කළ හැකි බලපෑම පිළිබඳව ඇන්. ඇම්. පෙරේරාට තිබුණු කියවීම, ඔහු ලියූ කුඩා පොතේ ඇති දේශපාලන කරුණුවලට වඩා තියුණු හා බරපතලය. විශේෂයෙන්ම විවිධ අවස්ථාවන්වලදී ඒ පිළිබඳව මහාචාර්ය ඔස්මන්ඞ් ජයරත්න සමඟ කතා කළ අවස්ථාවලදී ඇන්. ඇම්. පලකළ අදහස් වෙනින් කවරදාකටවත් වඩා අදට කෙතරම් ගැලපේද යන්න සිතා බැලිය හැක. ඇන්. ඇම්. දැඩි රෝගී තත්ත්වයකින් පීඩා විඳිමින් සිටින අතරතුර ජේ. ආර්. ජයවර්ධන ගෙනා ව්‍යවස්ථාව පිළිබඳව ඔහුගේ දැඩි අවධානය යොමු වීම පිළිබඳව මහාචාර්ය ඔස්මන්ඞ් ජයරත්න වඩා විමසිලිමත් වෙමින්, මෙතරම් වෙහෙසෙමින් කටයුතු කිරීම පිළිබඳ ප‍්‍රශ්න කර ඇත. එවන් අවස්ථාවක ආචාර්ය ඇන්. ඇම්. ප‍්‍රකාශ කර ඇත්තේ ‘ඔසි මේ මනුස්සයා කරන්න යන දේ කොච්චර භයානකද කියලා දන්නවද? සියලූම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන ටික අල්ලාගෙන, අසීමිත බලයක් තනි පුද්ගලයකුට පවරාගන්න යන්නේ, ඒ කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මළගම. ආයිත් පාර්ලිමේන්තුවට, අධිකරණයට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ… මේ ආකාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය හමුවේ එල්ලවන අභියෝග ගැන දැඩි ලෙස කලබලවී සිටින ඇන්. ඇම්. විධායක ජනාධිපති හමුවේ සෙසු දේශපාලන කි‍්‍රයාකාරීත්වයන්ට අත්වන ඉරණම පිළිබඳව අපූරු පැහැදිළි කිරීමක් මහාචාර්ය ඔස්මන්ඞ් ජයරත්නට කර ඇත. ‘ඔසි බලන්න මේ මිනිහාගේ බලය නිසා පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයන්ට වෙනදේ. ජනතා නියෝජිතයන්ගේ අභිමානයත්, ගෞරවයත් මේ මහා බලයක් ඉදිරියේ නැතිවෙලා යනවා. ඒ විතරක්ද ජනතා නියෝජිතයන්ට වෙන්නේ දේශපාලන ඇබිත්තයෝ වෙන්න. ජනාධිපතිට නමස්කාර කරගෙන ඔහුට අවනතව දෙන දෙයකින් සෑහීමකට පත්වෙන්න… ඕක තමයි ලංකාවේ අනාගත දේශපාලනය වෙන්නේ… මට කියන්නේ මේක දැක දැක අහක බලන් ඉන්නද? මිනිස්සුන්ට මේක ගැන අනතුර අඟවන එක මගේ වගකීමක්, ඉතුරු ටික අනෙක් අය බලාගන්න ඕනේ’…

මේ සංවාදය ඔස්මන්ඞ් ජයරත්න, ඇන්. ඇම්. පිළිබඳව ලියා ඇති මතක සටහනකින් උපුටා ගත්තකි. 1990 වර්ෂයේ ඇන්. ඇම්. අනුස්මරණ ලිපි එකතුවක මෙය පලවී ඇත. (ඇත්ත පත‍්‍රය බෙදාහැරීම නතර කළ පරිදිම, ඇන්. ඇම්. පිළිබඳව මෙම මූලාශ‍්‍ර ද අතුරුදහන් වුවහොත් එයද ඇන්. ඇම්. දුටු අනාගත දේශපාලනයේම වර්ධනයක් බව කිවයුතු නොවේ.)

කෙසේ වුවද ඇන්. ඇම්. ඉතා අපූරුවට උපකල්පනය කර ඇත්තේ වර්තමානය නොවේ නම් වෙන කුමක්ද? විධායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවටත්, අධිකරණයටත් වර්තමානයේ අත්කර ඇත්තේ එවන් ඉරණමක් නොවේද? 1978 විධායක ජනාධිපති ධූරය ආරම්භ කළ අවස්ථාවේ සිට එය වහා අහෝසි කළ යුතු යැයි හඬ නැගූ සම සමාජ නායකයන් සිටි පක්‍ෂයක්, හිටි අඩියේම විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වෙනුවට එය වඩ වඩාත් ශක්තිමත් කළ නායකයකුට සහය පලකිරීමට තීරණය කරන්නේ කවර හේතූන් නිසාද? වර්තමාන සම සමාජ නායකයන්ට ඇත්තේ ඉතා සරල හේතුවකි. වර්තමාන ජනාධිපතිවරයා ගමේ පාරවල් කාපට් කිරීම, බෝක්කු සෑදීම වැනි ඉතා සරල කාරණාය. තමන්ගේ පැවැත්ම ආරක්‍ෂා කරයි නම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන හරයන්ට හෙණ ගැහුවද කමක් නැතැයි යන ඇන්. ඇම්. විරෝධී දේශපාලනයයි. තමන් ඉදිරිපත් කළ සර්ව පාක්‍ෂික කමිටුවේ වාර්තාව අබමල් රේණුවකින්වත් සලකා නොබැලූ වර්තමාන ජනාධිපතිවරයා, කැබිනට් අමාත්‍යවරයකු ලෙස තමන් අවමානයට ලක් කරද්දීත්, කිසිම හැඟීමක්, දැනීමක් නොමැතිව දෙන දෙයක් භාරගන්නා, ඇන්. ඇම්. කියූ ඇබිත්ත දේශපාලනය මෙය නොවේනම් වෙන කුමක්ද?

විශේෂයෙන්ම වර්තමානයේ විධායක ජනාධිපති තමා හා තම පවුලට අවශ්‍ය ආකාරයට ආර්ථික වශයෙන් වැදගත් අමාත්‍යාංශ පවරා ගනිමින්, අසීමිත මුදල් පාලනයක් තම පවුල සතුකර ගැනීම පිළිබඳව සම සමාජ පක්‍ෂයේ ප‍්‍රාදේශීය කි‍්‍රයාධරයන් මැසිවිලි නඟමින් නිතර මතුකරයි. විශේෂයෙන්ම මැතිවරණවලදී තම පවුලේ හිතවතුන්ට වාසි සහගතවන ලෙස, ජනාධිපති මුක්තියට මුවාවී අල්ලස් ස්වරූපයෙන් මුදල් වියදම් කරන ආකාරය සම සමාජ පක්‍ෂයේ ලේකම්වරයාගේ දේශපාලන වාර්තාව තුළද මතුකර ඇති චෝදනාවකි. එසේ චෝදනා කළත් කිසිවිටක නිදහස්කාමීභාවය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයාකාරීත්වයට ප‍්‍රමුඛතාවය දීම වෙනුවට ගැලවුම්කරුවා දෙන දෙයක් භාරගෙන, ඔහුට අවනතව සිටීමේ ‘ඇබිත්ත’ දේශපාලනයෙන් ඉවත් වීමට වර්තමාන සම සමාජ නායකත්වය සූදානම් නැත. මෙම ඇබිත්ත දේශපාලනය එක්තරා ආකාරයකට සැසැඳිය හැක්කේ ආණ්ඩුවේත් ඇස්. බී. දිසානායක, රෝහිත අබේගුණවර්ධන, අන්වර්, විමල් වීරවංශ වැනි අයගේ කියුම්, කෙරුම් සමඟ පමණකි. ආර්ථික සංවර්ධනයත්, ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා හොඳින් ඉටුකර ඇත්තේ ඒකාධිපති පාලකයන් යැයි පසුගිය දිනක මාධ්‍ය වැඩසටහනකට එක්වෙමින් ඇස්. බී. දිසානායක පැවසුවේය. වර්තමාන සම සමාජ නායකත්වය වෙනස් ආකාරයකින් පවසන්නේත් එයමය. වර්තමාන පාලකයා හා ඔහුගේ පවුල අධිකාරිවාදී හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී බව සැබෑ වුවත් ඔවුන් ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා ඉටුකරන බැවින් ඔහුට අවනතව සිටිය යුතු බවයි. ඇන්. ඇම්ගේ දේශපාලන පරිකල්පනය තුළ ‘ඇබිත්තයන්’ මොවුන් නොවේ නම් වෙනින් කවුරුන්ද? ඇන්. ඇම්. දේශපාලනය ලෙස නිතරම ප‍්‍රකාශ කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන සමඟ සම්බන්ධ වෙමින්, ඒ තුළ යම් භූමිකාවක් ඉටු කිරීමයි. ඔහු පක්‍ෂයේ 25 වන සංවත්සරය වෙනුවෙන් ලියූ ලිපියක මෙසේ පැහැදිලි කර ඇත.

‘‘අපෙන් ඉටුවූ විශාලම සේවය ජනතාව දේශපාලනයට ගෙන ඒමයි. ජනතාවට තමන්ගේ ජීවිතය වෙනස් කිරීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයාදාමය තුළ කටයුතු කිරීමේ ආත්ම ශක්තිය ලබාදීමයි. අපි සමාජවාදය තුලින් බලාපොරොත්තු වන්නේත් ජනතාවගේ දේශපාලන කි‍්‍රයාකාරීත්වය වඩ වඩාත් තහවුරු කිරිමයි’’ ඇන්. ඇම්. පක්‍ෂයෙන් බලාපොරොත්තු වූයේත් එයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයාදාමය තුළ භූමිකාවක් ඉටුකිරීම විනා වර්තමානයේ මෙන් ජනාධිපතිවරයාට ඇබිත්තකම් කිරීම නොවේ.

ත‍්‍රාසජනක ක‍්‍රියාකාරකම් නොකළ යුතුවා මෙන්ම ජනතා භූමියෙන් ඈත්ව හුදෙකලාව සිටීමද නොකළ යුතු බව ඇන්. ඇම්. 1950 ගණන්වල බොල්ෂෙවික් සම සමාජ පක්‍ෂය සමඟ කළ ලිපි හුවමාරුවකදී පෙන්වා දී තිබේ. විශේෂයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍ර කි‍්‍රයාකාරීත්වය ශක්තිමත් කරන මහජන දේශපාලනය තහවුරු කිරීමට මැදිහත් විය යුතුය යන්න, බොල්ෂෙවික් සම සමාජ පක්‍ෂයට ඇන්. ඇම්. කළ යෝජනාවයි. කෙසේ වුවද එක් පැත්තකින් ත‍්‍රාසජනක කි‍්‍රයාවලට ඌණනය වෙමින්, ජනතා දේශපාලන භූමියෙන් ඈත් නොවීය යුතුය යන්න සේම, ජනතාවගේ දේශපාලනය ප‍්‍රජාතන්ත‍්‍රීය කි‍්‍රයාකාරීත්වයෙන් ඉවත් කොට එදිනෙදා ජීවිතයේ අවශ්‍යතාවයන් හා මනුෂ්‍ය කි‍්‍රයාකාරීත්වය ගෘහ ජීවිතයේ අවශ්‍යතාවයන්ට සීමා කිරීමටද ඇන්. ඇම්. ආරම්භයේ සිටම විරුද්ධ විය. ‘‘අප කළේ ජනතාව දේශපාලනයට ගෙන ඒම, ජනතාවට තම ජීවිතය වෙනස් කිරීමට දේශපාලනය කළ යුතු යැයි පෙන්වා දීම යනුවෙන්’’ ඔහු පක්‍ෂයේ 25 වැනි සංවත්සරයේදී ප‍්‍රකාශ කරන්නේ, දේශපාලනය කිරීම පිළිබඳව සම සමාජ නායකයන්ට තිබූ විශ්වාසය නිසාවෙන්මය. එවන් සම්ප‍්‍රදායක් තිබුණද වර්තමාන සම සමාජ නායකත්වය, දේශපාලනය කිරීම පිළිබඳ දක්වන්නේ ඉතා පසුගාමී අදහසක්ය. එදිනෙදා ගෘහ ජීවිතයේ කටයුතු වැඩිකර ගැනීම උදෙසා මනුෂ්‍යයන් කි‍්‍රයා කළ යුතුය යන නව ලිබරල් ආකල්පය දරණ මෙම වර්තමාන සම සමාජ නායකයන්, දේශපාලනය කිරීම රාජපක්‍ෂ පවුලට සීමා කිරීම වෙනුවෙන් පළමුවෙන් පෙනී සිටි කණ්ඩායම වේ. එසේ නොවේනම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන හා කි‍්‍රයාකාරීත්වය තමන්ගේ පාලනයට ගෙන ඇති වර්තමාන විධායකය රැුකගැනීමට, ඇන්. ඇම්ගේ දේශපාලනය කිරීම වෙනුවෙන් දැක්වූ උනන්දුව හා සම්ප‍්‍රදායන් කැප කරන්නේ නැත. අනාගත දේශපාලනය මෙතරම් ජරාජීර්ණ හා දේශපාලන ඇබිත්තයන්ගෙන් පිරෙනු ඇතැයි දුටු ඇන්. ඇම්, කිසිවිටකත් තම බෑණනුවන්ද එවන් දේශපාලන ‘ඇබිත්තයකු’ වනු ඇතැයි නොසිතන්නට ඇත. ඇන්. ඇම්. පැවසූ පරිදිම එක්වරක් මෙම විධායක ජනාධිපති ධූරයේ රස විඳි කෙනෙක් කිසි විටකත් එය අත්හැරීමට සූදානම් නොවනු ඇත යන්න සේම, විධායක ජනාධිපතිගේ අනුකම්පාවට ලබන තනතුරු, වරප‍්‍රසාද හා පාක්කුඩම් බුක්ති විඳින කිසිවකු මේ ගැලවුම්කරුවාට පිටුපෑමට සූදානම් නොවනු ඇත.

ඇන්. ඇම්. 1939 වගේ ඈතක, ගම්මුලාදැණි ක‍්‍රමයට එරෙහිව ව්‍යවස්ථාදායක සභාවේදී කල කතාවකින් මෙය අවසන් කරමි. ‘‘ගම්මුලාදැණි ක‍්‍රමය රටට මහා පිළිලයක්, ගම්මුලාදැණියා කවදාවත් තමන්ගේ පාලනය අවසන් කරන්නේ නැහැ. කොහොමහරි තමන්ගේ දරුවන්ට, පරම්පරාව අතේ ජනතාවගේ පාලනය තියාගන්න බලනවා. පවුල්, පරම්පරාවන් හා තම වරිගයාගෙන් පිට අන් අයට නිදහසේ කටයුතු කරන්න ඉඩ නොදීම නොදියුණු ලක්‍ෂණයක්. එය වර්තමාන ලෝකයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයට නොගැලපෙන්නක්. ඒ නිසා මේ පරම්පරා බෝ කරන ගම්මුලාදැණි ක‍්‍රමය අහෝසි කළ යුතුයි.’’ පරම්පරා බෝ කරන, තම වරිගයා නඩත්තු කළ ගම්මුලාදැණි ක‍්‍රමයත්, තමා හා තම පවුලට දේශපාලන කි‍්‍රයාකාරීත්වය සීමා කර ඇති විධායක ජනාධිපති ක‍්‍රමයත් අතර ඇති වෙනස කුමක්ද? ඇන්. ඇම්. මේ දෙකෙන්ම දුටු ‘ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධිභාවය’ හැර වෙන කුමක්ද?

– චමීර පෙරේරා -

මූලාශ්‍රය: ‘කතිකා‘ අධ්‍යයන කවය https://kathika.wordpress.com/