ආණ්ඩුව සම සෞඛ්‍ය උපාධිය දෙන්න හදන්නෙ වතුරට බහින්නෙ නැතිව පිහිනන්න උගන්නන්නව වගේ - පුබුදු ජයගොඩ

විශ්වවිද්‍යාල තුළ මේ වන විට පොදුවේ මතුවී ඇති තත්ත්වය හා සිව් අවුරුදු සම සෞඛ්‍ය උපාධිය වසර තුනකට කප්පාදු කිරීම පිළිබඳවත් රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් 27 කගේ පංති තහනමට එරෙහිව ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට දින 150 ක් ගත වීත් තවමත් විසඳුම් නොලැබීම පිළිබඳවත් සිය මතය ප්‍රකාශ කිරීමේ මාධ්‍ය හමුවක් පෙරටුගාමී සමාජවාදී පක‍ෂය විසින් අද(08) උදෑසන කොළඹ නිපෝන් හෝටලයේදී පැවැත්විණි. 

මෙහිදී අදහස් දැක්වූ එම පක‍ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා සිය අදහස් දැක්වීම ආරම්භ කළේ වෘත්තීය පාඨමාලාවක් වන සම සෞඛ්‍ය උපාධිය අවුරුදු තුනකට කප්පාදු කිරීම පිළිබඳ අදහසිනි.  වෘත්තීය පාඨමාලාවක් සම්බන්ධව සැළකීමේදී එය අවුරුදු හතරක් විය යුතුයි. උදාහරණ ලෙස වෛද්‍ය, ඉංජිනේරු, නීති යන උපාධි ගත්තොත් ඒවායේ පාඨමාලා කාලය අවුරුදු හතරකි. ඒය ලෝක සම්මතයක්. ඊළගට මෙලෙස උපාධිය අවුරුදු තුනකට කප්පාදු කිරීමෙන් සිසුන්ට ලබාදිය යුතු සායනික පුහුණුව අහිමි කරලා තියෙනවා. ඒක හරියට වතුරට බහින්නෙ නැතිව පිහිනන්න පුරුදු කරනවා වගේ වැඩක්. ඒ වගේම ඔවුන්ට පර්යේෂණ කරන්න අවස්ථාවක් තිබුණා. මේ කප්පාදුවත් එක්ක ඒකත් නැතිවෙලා තියෙනවා. 

මේ තත්ත්වයට විරුද්ධව ශිෂ්‍යයො පේරාදෙණිය, කොළඹ කොටුවේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට වගේම ගාල්ලෙත් සත්‍යග්‍රහ කරනවා. ශිෂ්‍යයන් ඉල්ලන්නේ ගුණාත්මක සේවාවක් දෙන්න අවස්ථාවක් දෙන්න කියලා. ඒවගේම ශිෂ්‍යයො මීට විරුද්ධව අධිකරණයට ගියා. එහිදී ඒ එක්කෙම රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයත් මැදිහත් වුණා. එහිදී තීන්දුව වුණේ දැනට ඉන්න අයට සායනික පුහුණුව දීමටත් ඉතිරි අයට එය සාකච්ඡාවක් තුළ විසඳීමටත් යෝජනා වුණා. මේ සම්බන්ධයෙන් පත් කළ කමිටුවට සම්බන්ධ වෙලා තිබුණේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය හා අධ්‍යාපන අමාත්‍යංශය විතරයි. අඩුම තරමින් මේ කමිටුවට සිසුන්වත් ඇතුළත් කරලා නෑ. ඒ වගේම මේ සිසුන් අධ්‍යාපනයෙන් පසු ඇතුළත් වන පරිපූරක වෛද්‍ය සේවාවන්ටත් මෙහිදී අවස්ථාව ලැබිලා නෑ. තව දුරටත් මේ පිළිබඳව අදහස් දැක්වූ පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශ කළේ විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා පිළිබඳව තීන්දු ගන්න ඕනෙ විශ්වවිද්‍යාල පාලක සභාව හා ඒ වෙනුවෙන් පත්කළ විශේෂඥ කමිටු මගින් බවයි. මේ අතර රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විරුද්ධ වීම නිසා සිව් අවුරුදු උපාධිය දෙන්න බැරුව තියෙනවා යැයි ආණ්ඩුව කරන ප්‍රකාශය පට්ට පල් බොරුවක් බවත් ඔහු ප්‍රකාශ කළා. 

එතකොට අපි අහන්නෙ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විරුද්ධ වුණා කියලා මේක නවත්වනවා නම් මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නවත්වන්නෙ නැත්තේ ඇයි කියලා. මොකද මාළඹේ උපාධිය ලක‍ෂ 65 කට විකිණීමටත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විරුද්ධයි. එසේ තිබියදී දැන් එය ලක‍ෂ 100 කට විකුණනවා. අනෙත් එක තමයි කොතලාවල ආරක‍ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය ඇතුළේ තවත් උපාධි විකුණනවා. එතෙන්දි කියන්නෙ හමුදාවේ අයට දෙනවා කියලා. නමුත් මෙතැන හරි අපූරු වැඩක් වෙනවා. ඒක තමයි ඕනම කෙනෙකුට ඇවිත් මේකෙ උපාධිය හදාරන්න පුළුවන්. උපාධිය අරගෙන හමුදාවෙන් ඉවත් වීමට අදාළ ලක‍ෂ 20 දීලා හමුදාවෙන් අයින් වෙන්න පුළුවන්. ඒ කියන්නෙ වක්‍ර විධියට ලක‍ෂ 20 කට වෛද්‍ය උපාධිය විකුණනවා. ඒ වගේම තවත් වැඩක් මෙතැන වෙනවා. කොතලාවල සමසෞඛ්‍ය උපාධිය විකුණන්නෙ ලක‍ෂ 6 කට. ඒක අවුරුදු 4 යි. ඉතින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විරුද්ධ නිසා නම් මේ හැමදේම වෙන්නෙ ඒක පට්ටපල් බොරුවක්. ඒ හින්දා ආණ්ඩුව මේකට වගකියන්න ඕනා. 

පහුගිය දවස්වල පාර්ලිමේන්තුවෙදි විපක‍ෂය මේ පිළිබඳව අදහස් පළ කරලා තිබුණා. ඔවුන් පිළිගන්නෙ ආණ්ඩුව කියන කතාව. ඒ නිසා ඔවුන් කියනවා පාර්ලිමේන්තුවෙ සර්ව පාක‍ෂික කමිටුවක් පත්කරන්න කියාලා මේක විසඳන්න. කතානායකත් ඒක අගය කරනවා. අපි කියන්නෙ නන්දිමිත්‍ර ඒකනායක කියනවා නම් මේ උපාධිය අවුරුදු හතරක් කරන්න එයා කැමතියි කියලා එයාට කරන්න තියෙන්නෙ කොළඹ අට්ටාලයට ඇවිත් වාඩිවෙන්න. ඒ නිසා පැහැදිලිව මේ ප්‍රශ්නය ආණ්ඩුවේ පොදු වැඩපිළිවෙලේ කොටසක්. 

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ප්‍රශ්නයක් තියෙනවා තමයි. හැබැයි මේක වෙන්නෙ ඒ හින්දා නෙමෙයි. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ගෝත්‍රික හැසිරීමක් තියෙනවා. ඔවුන් කැමති නෑ ක්ෂේත්‍රයේ වෙන කාටවත් උපාධි හම්බවෙනවට. අපි කියන්නෙ වෛද්‍යවරු කැමති වෙන්න ඕනෙ තමන් සමග ඉන්න අනෙක් අයටත් උපාධි ලැබීම ගැන. ඉන් පහසු වෙන්නෙ එයාලටමයි. දැන් සූතිකාගාර පුහුණුව ගැන කතා කරනවා. අපි කියන්නෙ සියලූ දෙනාටම සූතිකාගාර පුහුණුව දෙනවා නම් හොඳයි කියලා. ඒක හැමෝම දැනගෙන ඉන්න එක හොඳයි. ගෝත්‍රිකව මේ ප්‍රශ්නය දිහා බැලීම වැරදියි. 

මෙහිදී තවදුරටත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න ගැන අදහස් දැක්වූ පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශ කළේ සටන් කළ යුත්තේ කා සමගද යන්න පිළිබඳව ශිෂ්‍ය ව්‍යාපාරයෙන් ආදර්ශ ගන්නා ලෙසයි. 

හෙදියන්ටත්, වින්නඹුවන්ටත් තව කොතෙකුත් ප්‍රශ්න තිඛෙන බවත්, ආණ්ඩුව විසින් ඒ ප්‍රශ්න ඇති කර පැත්තකට වී බලා සිටින බවත් ඔහු පැවසීය. අද හෙදියන්ට නායකත්වය දෙන මුරුත්තෙට්ටුවෙ හාමුදුරුවොත් වින්නඹුවන්ට නායකත්වය දෙන අයත් දෙගොල්ලොම ඉන්නෙ ආණ්ඩුව දෙපැත්තෙ සාක්කුවල. අන්තිමේට වෙන්නෙ සියලූ දෙනාම අපහසුතාවයට පත්වෙන  එක විතරයි. 

වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නය වන්නේ මේ සමඟ හෙදියන්ට පරිපාලනයේ අවස්ථාව ලැබීම බවත්, හෙදියන්ගේ ප්‍රශ්නය වන්නේ මේ සමඟ තම වැටුප රුපියල් දහසකින් වැඩිවීම බවත්, වින්නඹුවන්ගේ ප්‍රශ්නය වන්නේ මේ සමඟ රැකියා සුරක‍ෂිතභාවය නැතිවෙයි යන අනියත බිය බවත් ඔහු පැවසීය. 

වින්නඹුවන්ගේ සේවා සුරක‍ෂිතතාවය නැතිවන්නේ හෙදියන් නිසා නොවන බවත්, රජය විසින් කරගෙන යන ප්‍රජා සෞඛ්‍ය සේවය විනාශ කිරීමේ වැඩපිළිවෙලෙන් බවත්, ඔහු පැවසීය. ඉතා දුෂ්කර සේවා තත්ත්වයන් යටතේ සේවය කරන පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට අඩුම තරමේ ප්‍රවාහන පහසුකම්වත් දීමට ආණ්ඩුව මැදිහත් නොවන බවත් ගම්මට්ටමෙන් පවත්වා ගෙන යන සේවා සඳහා ඔවුන්ට ලැඛෙන්නේ රුපියල් 200 ක පමණ සොච්චමක් බවත් පැවසූ ඔහු විරුද්ධ විය යුත්තේ මේ සියලූම ප්‍රශ්න ඇති කරන පාලකයන්ට බවත් ප්‍රකාශ කළේය. 

මේ අතර රජරට විශ්වවිද්‍යාලයේ දැනට මතුවී ඇති තත්ත්වය ගැන අදහස් දැක්වූ ඔහු ප්‍රකාශ කළේ සිසුන්ට පංති තහනම් දී ඇත්තේ පරිපාලනය විසින් සංවිධානය කර පැවැත්වූ  අවුරුදු උත්සවයකට සහභාගී නොවී ශිෂ්‍ය වීර දිනයට සහභාගී වීම නිසා බවත්ය. අවුරුදු උත්සව පැවැත්වෙන්නේ බක් මාසයේ වුවත් මෙලෙස පොසොන් මාසයේ පැවැත්වූ අවුරුදු උත්සවයක් නිසා සිසුන්ගේ පංති තහනම් කිරීම විහිළු සහගත බව ඔහු පැවසීය. ලෝක තරුණ සමුළුවට පැමිණි තරුණයන්ට දේශපාලනය කිරීම ගැන කියා දෙන ලංකාවේ පාලකයන් තමන්ගේ රටේ තරුණයන් සක්‍රීයවම දේශපාලනය කරන විශ්වවිද්‍යාල තුළ අවුරුදු උත්සවයකට සහභාගී නොවීම නිසා පංති තහනම් කිරීමට තරම් අත්තනෝමතිකවීම ඔහු ප්‍රශ්න කළේය. ඒ සමඟම මේ සියලූ ප්‍රශ්න පිළිබඳ සිය විරෝධය පළ කිරීමට ඊයේ පැවැත්වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ උද්ඝෝෂණ පාගමන අවසානයේදී ශිෂ්‍යයන්ට පස්සා දොරෙන් සාකච්ඡාවට පැමිණීමට ආරාධනා කිරීම ගැනත් එහිදී ආණ්ඩුවේ හෙන්චයියන් මෙන් අරලිය ගහ මන්දිරයේ පිළිකන්නයෙන් රිංගීමට ශිෂ්‍ය ව්‍යාපාරය තබා ගමේ යෞවන සමාජයක්වත් අකමැති වීම පුදුමයට කරුණක් නොවන බවත් ඔහු පැවසීය.  අවසාන වශයෙන් සිසුන් සාකච්ඡාවට නොයාම ගැන මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශ කළේ මෙහි සාකච්ඡා කිරීමට තවත් දෙයක් නැති බවත් කළ යුතුව ඇත්තේ ප්‍රශ්නය විසඳීමට ආණ්ඩුවේ මැදිහත් වීම ලබාදීම බවත්ය. ඒ නිසා අවසාන වශයෙන් අපි ආණ්ඩුවට බලකර සිටිනවා සම සෞඛ්‍ය ගැටළුව කඩිනමින් විසඳීමට පියවර ගන්නා ලෙසත්, රජරට සරසවි සිසුන්ගේ පංති තහනම් ඇතුළු සියලූ රාජ්‍ය මර්දනය වහා නවතන ලෙසත