නිළ ඇඳුම් බෙදාදීමට මහ උත්සව තිබුණත් පාසල් ළමුන්ට නිළ ඇඳුම් ලැබී නෑ


students
2014 වර්ෂය සඳහා පාසල් සිසුන්ට නොමිලේ නිළ ඇඳුම් බෙදාදීමේ ජාතික උත්සවය 2013 දෙසැම්බර් 02 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී අගමැති දි.මු. ජයරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් පැවැත්වුවද බොහෝ පාසල්වල දරුවන්ට නිළ ඇඳුම් ලබාදී නොමැති බව ලංකාගුරු සංගමය පෙන්වා දෙයි.

එසේම ඔවුන් වැඩි දුරටත් පවසන්නේ 2014 ජනවාරි 02 දින නව පාසල් වාරය ආරම්භ වීමට නියමිත අතර නව වසරේ නැවුම් හා පිරිසිදු සිතින් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව සලසාදීමට අධ්‍යාපන සේවා අමාත්‍යාංශය මගින් සියලූම පාසල් දරුවන්ට මෙම වසරේ අවසන් පාසල් වාරය නිමවීමට පෙර නොමිලේ නිළ ඇඳුම් ලබාදෙන බව ප‍්‍රකාශ කෙරුණු බවය. එහෙත් පාසල් දරුවන් බොහොමයකට නිළ ඇඳුම් ලැබී නොමැති අතර ඔවුන්ට නව වසරේ පාසල් පැමිණෙන විට නව නිළ ඇඳුම් අහිමි වී ඇත. එසේම 2014 වසරේ 10 ශ්‍රේණියට සමත් වූ පිරිමි දරුවන් දිග කලිසමක් සහිත නව නිළ ඇඳුමකින් සැරසී පාසල්වලට පැමිණිය යුතු අතර එම දරුවන් ද මහත් අපහසුතාවකට පත්වී ඇතැයි ගුරු සංගමය වාර්තා කරයි.
මෙසේ පාසල් දරුවන්ට නිළ ඇඳුම් ලබාදීම සඳහා රුපියල් මිලියන 2000 කට වැඩි මුදල් අධ්‍යාපන සේවා අමාත්‍යාංශය වැය කළ බවද රෙදි මීටර් මිලියන 11.2 ක් ඒ සඳහා මිලදී ගත් බව ද ප‍්‍රකාශ කර ඇතැයි එම සංගමය පවසයි.
අධ්‍යාපනය සඳහා රටේ ජනතාවගේ මුදලින් නඩත්තු කරන අමාත්‍යාංශ ගණනාවක් හා ඇමතිවරු විශාල පිරිසක් සිටියදී පිහිටුවන ලද අධ්‍යාපන සේවා අමාත්‍යාංශය අවම වශයෙන් පාසල් දරුවන්ගේ නිළ ඇඳුම් නියමිත වේලාවට ලබාදීමටවත් කටයුතු කර නොමැත. දළ ජාතික නිෂ්පාදිතයෙන් 2% ක් තරම්වත් නොවන සොච්චම් මුදලක් අධ්‍යාපනයට වෙන් කරන රජය එයින් විශාල ප‍්‍රමාණයක් වැඩකඩ නැති අමාත්‍යාංශ හා ඇමතිවරු නඩත්තු කිරීමට යොදවන අතර පාසල් දරුවන් වෙනුවෙන් වැය කරන මුදලින්වත් ඔවුන්ට නිසි ප‍්‍රයෝජන ලබාගැනීමට අවස්ථාව සලසා නැත. මෙසේ දරුවන්ට නියමිත වේලාවට නිළ ඇඳුම් රෙදි ලබා නොදීම පිළිබඳව ලංකා ගුරු සංගමය දැඩි විරෝධය පළ කර සිටී.
Lankanewsweb