ශිෂ්‍යත්වය අසමත් වීම නිසා රත් කළ යකඩ බටයකින් දරුවා පිළිස්සූ තාත්තාගේ කතාව

ලක්බිම

PDF
09-1දරුවන් රටේ අනාගත ජීවනාලිය බව අපි දන්නෙමු. සෑම දෙමවුපියෙකුටම තම දරුවා මහානර්ඝ වස්තුවකි. දරුවන් උදෙසා දෙමවුපියන් බොහෝ කැපකිරීම් කරයි. ජීවිත පවා පරදුවට තබා තම දරුවන් බේරාගත් දෙමවුපියන් ගැන අප කොතෙකුත් අසා ඇත. එවැනි මවුපියන් ලබන දරුවෝද වාසනාවන්තයෝය.
ඇතැම් දෙමාපියන් තම දරුවන් සතුරන් සේ සලකමින් එම දරුවන්ට කුඩා කාලයේදී නොයෙකුත් තාඩන පීඩන හා අමානුෂික වද හිංසා දෙන අයුරු අප අසා දැක ඇත. ඇතැම් පියවරුන් අතින් තමන් විසින්ම ජාතක කරන ලද දියණිවරුන්
දූෂණය වන අවස්ථාද වත්මන් සමාජයේ නිරන්තරයෙන් දකින්නට අසන්නට ලැබෙන සුලබ කරුණකි.
දරුවන් සහ දෙමාපියන් ගැන මෙවන් පූර්විකාවක් ලිවීමට සිදු වූයේ, ඉකුත් 03 වන දින රාත්‍රී හැටන් බගවන්තලාව තේ වතු යායේ පදිංචි දස හැවිරිදි පාසල්  දරුවෙකුට තම පියා විසින් කරන ලද වදහිංසාවක් පිළිබඳව වාර්තා වූ නිසාය. බගවන්තලාව තේ වතු යායේ දෙමළ කනිෂ්ඨ විද්‍යාලයේ පස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම දරුවා නමින් කමල්රාජ් සිවදර්ශන් වේ.
සිවදර්ශන්ගේ දෙමවුපියෝ බගවන්තලාව තේ වත්තේ කම්කරුවෝ වෙති. කමල්රාජ්ට වැඩිමහල් සහෝදරයෙකු හා බාල සහෝදරියක සිටී. 13 හැවිරිදි වැඩිමහල් සහෝදරයා අධ්‍යාපනය ලබන්නේ බගවන්තලාව නගරයේ පිහිටි “හෝලි රෝසරි” දෙමළ මහා විද්‍යාලයේය. තවමත් පාසැල් නොයන බාල සහෝදරියට වයස අවුරුදු තුන හමාරකි.
මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට කමල්රාජ් සිසුවාද පෙනී සිටියේය. පසුගියදා නිකුත් වූ ප්‍රතිඵල අනුව ඔහු ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 92ක් ලබා ගෙන තිබුණි.
ශිෂ්‍යත්වයට පෙනී සිටි සිසු සිසුවියන්ට වඩා දෙමවුපියන් තම දරුවන්ගේ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන දැඩි අවධානයකින්  පෙරමග බලා සිටින්නේ එය
ළමුන්ගේ  විභාගයකට වඩා දෙමවුපියන්ගේ විභාගයක් වී ඇති නිසාය. කමල්රාජ්ගේ දෙමවුපියන්ද තම පුතණුවන්ගේ ළකුණු දැනගැනීමට පෙරමග බලා සිටියේ ඒ ආකාරයෙන්මය.
ජාත්‍යන්තර ළමා දිනය යෙදී තිබූ ඔක්තෝබර් 01 දින ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් විය.  කමල්රාජ් එදින පාසලට ගොස් තමන්ගේ ළකුණු තත්ත්වය බලාගෙන ආවද එය පැවසුවේ තම මවට පමණි. පියාට එය පැවැසීම ප්‍රමාද කළේ ඔහු තමන් ගැන විශාල බලා‍පොරොත්තු රැසක් ඇතිව සිටි බව දැන හුන් නිසාය. ලකුණු ප්‍රමාණය ඇසූ විගස පියා තමන්ට දඬුවම් කරාවියි කියා පුංචි කමල්රාජ්ගේ හිතේ බියක්ද තිබුණි.
කෙසේ වෙතත් ඉකුත් 3 වෙනි දින රාත්‍රී කමල්රාජ්ගේ නිවසේ රාත්‍රී ආහාර ගන්නා අවස්ථාව එළඹ තිබුණි. කමල්රාජ්ගේ පියා සමග නිවැසි සැම මුළුතැන්ගෙයි අසුන්ගෙන ආහාර ගැනීමට සූදානම් විය. කමල්රාජ්ගේ මව සිය ස්වාමියාට දරුවාගේ ශිෂ්‍යත්ව ළකුණු 92ක් බව පැවැසීමත් සමග පියා තුළ හටගෙන ඇත්තේ දැඩි කෝපයකි. හෙතෙම කමල්රාජ්ට බැණ වැදී තිබේ. නමුත් එයිනුත් ඔහුගේ කෝපය සන්සිඳුවාගත නොහැකි වූ අයුරකි. ඔහු වාඩි ගෙන සිට ඇත්තේ මුළුතැන්ගෙයි ළිප අසල බංකුවකය. කෝපයෙන් ගිනියම්ව, ඉවසිලි නැතිව සිටි ඔහු ළිපට පිඹිණ යකඩ බටය ගෙන එය ළිප තුළට දමා ගිණියම් කර සිය දරුවාව පිළිස්සුවේය. එහිදී දරුවාගේ මුහුණටද පිලිස්සුම් තුවාල ඇති විය.
එදින රාත්‍රී 08.00ට පමණ සිදු වූ මෙම සිද්ධියත් සමග පිළිස්සුම් තුවාල ලැබූ කමල්රාජ් දරුවා මරලතෝනි දෙමින් කෑගසද්දී වතු නිවාස පේළිය හරහා එම වේදනාබර හැඬුම පැතිරී ගියේ අසල්වාසීන්ගේද අවධානයට ලක්වෙමිනි. කමල්රාජ්ගේ මවගේ හා මිත්තණියගේ (පියාගේ මව) දැඩි විරෝධය මැද පියා විසින් දරුවා පුළුස්සනු ලැබ ඇති බව බගවන්තලාව ‍පොලීසිය පවසයි.
ළකුණු 92ක් ලබාගත් තම දරුවා ගැන සෑහීමකට පත් නොවුණු පියා රාක්ෂයෙකු මෙන් දරුවාගේ ශරීරය රත් කළ යකඩයකින් පිළිස්සීමට තරම් දරුණු මානසිකත්වයක් ඇති කර ගත්තේ කුමන හේතුවක් නිසාද? මේ තම ලෙයින් බිහි කළ දරුවා යැයි ඔහුට නොසිතුණිද? මත්පැන් පානය කිරීමෙන් ඔහු තිරිසනෙකු වී සිටියේද?
කෙසේ වෙතත් මෙම සිද්ධිය අසල්වාසීන් විසින් ඉකුත් 04 දා බගවන්තලාව ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක සරත් සමරවික්‍රම මහතාට දන්වා තිබේ.
ක්ෂණිකව ක්‍රියාත්මක වූ ‍පොලිස් ස්ථානාධිපතිවරයා කමල්රාජ්ගේ නිවසට ගොස් සිද්ධිය පිළිබඳ පරීක්ෂා කර, තුවාල ලබා සිටි කමල්රාජ්ව බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සැකකාර පියා වන පී. කමල්රාජ් අත්අඩංගුවට ගත්තේය. දරුවා
පිළිස්සීමට උපයෝගී කරගත් යකඩ බටයද ‍පොලිස් ස්ථානාධිපතිවරයා එම නිවසේ තිබි සොයාගත්තේය.
කමල්රාජ්ගේ  පියා අත්අඩංගුවට ගෙන බගවන්තලාව ‍පොලීසියට ගෙනවිත් ප්‍රශ්න කිරීමේදී ‍පොලිස් ස්ථානාධිපතිවරයාට ඔහු  පවසා ඇති කතාවද හැඟීම්බර වූවකි.
“අපි ගොඩක් දුප්පත්. මම පාසල් ගියේ 10 වෙනි ශ්‍රේණියට විතරයි. මම ඉගෙන ගන්න හරි ආසයි. ඒත් අපේ දෙමවුපියෝ වතු කම්කරුවෝ. මගේ පියා මම 10 ශ්‍රේණියේ ඉගෙන ගනිද්දී හදිසියේ මියගියා. ඊට පස්සේ අපි ජීවත් වුණේ හුඟක් ආර්ථික ප්‍රශ්න මැද්දේ.
‘මට වැඩිදුර අධ්‍යාපනයක් දෙන්න අපේ අම්මාට ශක්තියක් තිබුණේ නැහැ. තාත්තා මැරුණට පස්සේ මටත් තේ වත්තේ කම්කරුවෙක් විදිහට වැඩට යන්න සිද්ධ වුණා. අම්මත් අසනීපෙන් හිටියේ.
09-2
‘ටික කලකින් මම කසාද බැන්දා. දැන් මට ළමයි තුන්දෙනෙක් ඉන්නවා. මම දුක් මහන්සි වෙලා වත්තේ වැඩ කරනවා. බිරිඳත් එහෙමයි. මම හිතාගත්තා මට ඉගෙනගන්න බැරිවුණාට මගේ දරුවො තුන්දෙනාට හොඳට උගන්වනවා කියලා. මම රෑ දවල් දරුවන්ට කීවා “උඹලගේ තාත්තයි අම්මයි තේ වත්තේ දලු කැඩුවට උඹලා  නම් ඒ රස්සාව කරන්න එපා, අපි කොහොම හරි වියදම් කරන්නම් ඉගෙන ගෙන හොඳ රස්සාවකට යන්න කියල. ඒ හින්දා මම නිතර ළමයින්ගේ අධ්‍යාපනය ගැන හොයල බලල උනන්දු කළා. මට ලොකු වේදනාවක් ආවා, පුතා ෆේල් වෙලා කිව්වට පස්සේ. එදා රෑ ළමයට මම දොස් කියලා අපේ දුක ගැන කියන කොට ඔහු මගෙත් එක්ක එකට එක කියන්න ආවා. මට හුඟක් තරහ ගියා. ඊට පස්සේ කේන්තිය වාවගන්න බැරුවයි මම ළිපට පිඹින බටේ රත් කරලා ළමයාගේ කකු‍ලේ තිබ්බේ. මම අහිතකින්, ළමයාට නරකක් කරන හිතකින් හෝ ළමයාට වද දෙන අදහසකින් ඒක කළේ නෑ. මට සමාවෙන්න.’ කමල්රාජ්ගේ පියා එම  ප්‍රකාශය ඉතා හැඟුම් බරව හඬමින් කළ බව බගවන්තලාව ‍පොලිස් ස්ථානාධිපති සරත් සමරවික්‍රම මහතා කීවේය.
09-3
කෙසේ වෙතත් මෙම කරුණ දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි. නීතිය නොදන්නාකම සමාව දීමට කරුණක් නොවන බවත්, ළමා ආරක්ෂාව වෙනුවෙන් ‍පොලීසියේ රාජකාරිය නිවැරදිව කළ යුතු බවත් ‍පොලිස් ස්ථානාධිපතිවරයා මෙහිදී පියාට පැහැදිලි කර දී තිබේ.
පිළිස්සුම් තුවාල සහිතව බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සිටි කමල්රාජ් සිවදර්ශන් දරුවා පරීක්ෂා කර ප්‍රතිකාර ලබා දුන් බගවන්තලාව රෝහ‍ලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ඒ.එස්.කේ. ජයසූරිය මහතා අප සමග කියා සිටියේ, පිළිස්සුම් තුවාල බරපතළ නොවුණත් මෙලෙස අමානුෂික ක්‍රියාවන්හි යෙදීමට දෙමවුපියන්ට අයිතියක් නොමැති බවයි.
කෙසේ වෙතත් මෙයින් නැවත වරක් පැහැදිලි වන්නේ කුඩා දරුවන් මුහුණ දෙන විභාග පවා ජීවිතයත්, මරණයත් අතර සටනක් වන තරමට බිහිසුණු තත්ත්වයකට පත්ව තිබිමේත්, එයින් අහිංසක දරුවන් මෙන්ම දෙමවුපියන්ද මුහුණ දෙන වේදනාකාරී පීඩනයේත් ඛිෙදවාචකය විනා අන් කවරක්ද?

ඡායාරූප හා සටහන ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක