මෙච්චර බය ඇයි? - උපුල් ජෝශප් ප්‍රනාන්දු


"මම ජේ.ආර්.ට කියනවා පුළුවන් නම් මාව බැඳල තියෙන යකඩ දම්වැල් ලිහල මාත් එක්ක ජනාධිපති සටනට එන්න කියලා. ජේ.ආර්. කියන්නෙ බයගුල්ලෙක්. කාන්තාවකට බය පිරිමියෙක්...."
 
 මේ බණ්ඩාරනායක මැතිනිය 1982 ජනාධිපතිවරණයට දින නියම කරන්න කලින් කී කතාවය. ජේ.ආර්. ඇගේ ප්‍රජා අයිතිය අහෝසි කර තිබූ නිසා ඇයට තරග කළ නොහැකි විය.

ඇත්තටම ඇය කී කතාව හරිය. ජේ.ආර්. මැතිනිය කියන අකුරු හතරටත් හිටියේ පණ බයෙන්ය. මැතිනියට ජනතාව ආකර්ෂණය කර ගන්න ලොකු බලයක් තියෙන බව ජේ.ආර්. දැන සිටියේය. ඇය ලොව ප්‍රථම අගමැතිනියය. ඝාතනය වූ ලංකාවේ ජනප්‍රියතම නායකයකු වූ බණ්ඩාරනායකගේ වැන්දඹු බිරියය. 1970 තුනෙන් දෙකක ජන වරමක් දිනා ගත්ත නායිකාවක්ය. තුන්වැනි ලෝකය එකට එකතු කරන නොබැඳි සමුළුවේ නායිකාවක්ය.
මේ හේතු නිසා ජේ.ආර්. මැතිනියට බය වීම සාධාරණය.
 
හැබැයි අද මහින්ද රාජපක්ෂ බය වෙලා ඉන්නේ මැතිනිය වැනි මහා දැවැන්ත ප්‍රතිරූපයකට නොව එ.ජා.ප. නායකත්වය වෙනස් වුණොත් නායකත්වයට පත්විය හැකි සහ සජිත් ප්‍රේමදාසටය. සජිත් හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙකි. මහින්දගේ දේශපාලන ජීවිතයට වසර 43ක් පමණය. සජිත් පාර්ලිමේන්තුවට ආවේ 2000දීය. 1994 ආසන සංවිධායකයෙක් විය. සජිත්ගේ පාර්ලිමේන්තු ජීවිතයටත් තවම වසර 13ක් පමණි.
හැබැයි මහින්ද සජිත් යූ.ඇන්.පී. නායකයා වී ඊළඟ ජනාධිපතිවරණයට එයි කියල පණ බයය. මහින්ද රනිල්ව ආරක්ෂා කරන්නේ සජිත් එයි කියන බයටය.
මෙයින්ම මහින්දගේ මානසිකත්වය තේරුම් ගන්න පුළුවන. මහින්ද ඉන්නා තැන අනුමාන කරන්න පුළුවන.
 
"පළාත් සභා ඡන්ද ප්‍රතිඵලවලින් ජනතාව මට ශක්තිය දුන්නා...."
මහින්ද බොහොම ආඩම්බරයෙන් කියයි. ඒත් රනිල් එක්ක තරග කරල දිනන පළාත් සභා ජයග්‍රහණයක් තුළ ජනමතයක් නැත. ඒක වන් හෝස් රේස් එකකි. ඒ බව මේ රටේ ගමේ ගොඩේ අප්පුගේ සිට කොළඹ හතේ තානාපතිවරුත් දනිති.
 
"රනිල් ඉන්නකන් මහින්දට හොඳයි...."
හැමෝම කියති. වෙනතක් තබා ආණ්ඩුවේ ඇමැතිවරුත් කියති. ඒ කියන්නේ මහින්ද දිනන්නේ රනිල් නිසා මිස මහින්දට ජනතාව කැමැති නිසා නොවේ. නැතිනම් ප්‍රභාකරන් වැනි ලොව දරුණුතම ත්‍රස්තවාදියාටත් බය නැතිව ගහපු මහින්ද සජිත් ප්‍රේමදාසට බයේ නළියන්නේ නැත.
 
සජිත්ව පක්ෂ නායකත්වයට පත් කරන්න කියලා එ.ජා.ප. පාක්ෂිකයන් තාප්ප කඩාගෙන ගේට්ටු කඩාගෙන සිරිකොතට එක්රොක් වූයේ 2010 පක්ෂ සම්මේලනයේදීය. එතකොට සජිත් නිකම්ම නිකන් හම්බන්තොට මන්ත්‍රිය. හැබැයි මහින්ද පරල විය. රාජ්‍ය මාධ්‍යවලින් සජිත්ට ගහන්න පටන් ගත්තේය. එම සම්මේලනයට පසු 2011 පැවැති පළාත් පාලන ඡන්දවලදී මහින්ද ප්‍රේමදාස යුගයේ භීෂණය ගැන ප්‍රසිද්ධ වේදිකාවල කතා කරමින් යළිත් එවැනි යුගයක් ඇති කරන්න යනවා යැයි සජිත්ගේ නම නොකියා ගැහුවේය. ඒ යළි ප්‍රේමදාස යුගයක් ඇති කරනවා යැයි සජිත් කී කතාවට බයෙන්ය.
2011 එ.ජා.ප. නායකත්වය සඳහා පැවැති තරගයේදී මහින්ද කීවේ තම පියාව දෝෂාභියෝගයෙන් බේරාගත් රනිල්ට කළගුණ සලකන්න නොදත් සජිත් ගුණමකුවෙක් යැයි කියාය.
 
මංගල සමරවීර මහින්දගේ පරම හතුරෙක් කියා හැමෝම සිතා සිටියහ. ඒත් පසුගියදා සජිත් මංගලට නොසරුප් වචනවලින් බැන වැදුණාය කියා පපුව උණු වුණේ මහින්දගේය. සජිත් එහෙම මංගලට කතා කරපු එක හරිම වැරැදියි කියමින් මහින්ද කරු ජයසූරිය ඇතුළු යූ.ඇන්.පී. මන්ත්‍රිවරුන්ට කියා තිබිණි. හරි නම් තමාගේ පරම හතුරාට ගහපු සජිත්ව රාජ්‍ය මාධ්‍යවලින් පුම්බා ලොකු ප්‍රචාරයක් දිය යුතුව තිබිණි. ඒත් එහෙම වුණේ නැත. මේ දවස්වල මහින්ද ආණ්ඩුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රිනි කමලා රණතුංග දමල පුළුවන් නම් දකුණේ මහ ඇමැතිකමට ඉල්ලන්න යැයි සජිත්ට අභියෝග කරවයි.
2010 ජනාධිපතිවරණයෙන් ෆොන්සේකා පරද්දන්න එළිපිට වැඩ කර 2010 මහ මැතිවරණයෙන් පරාජය වූ වජිර අබේවර්ධනලා දමල කරන්නේත් සජිත්ට අභියෝග කරන එකය. සජිත් වගේ දේශපාලන කොලු ගැටයකුට මහින්ද වගේ දේශපාලන පතාක යෝධයකු බය වීමත් පුදුම හතෙන් එකක් වගේය.
"ලොක්කා දිනන්නේ මිනිස්සු කැමැති නිසා නෙවේ. රනිල් හින්දා..."

මේ ඇතැම් මැති ඇමැතිවරුන් රහසේ මහින්දට කෝචොක් කරන හැටිය. සමහරු මේ කතාව ප්‍රසිද්ධියේම කියන්නේ කෝචෝක් එකටය.
ඇත්තටම එහෙම බලද්දී චන්ද්‍රිකා ශ්‍රී ල.නි.ප.යට හිමි කර දුන් ජයග්‍රහණවලට මහින්දට අලගු තියන්නවත් බැරිය. චන්ද්‍රිකා 1994 ජනාධිපති ධුරයත් ආණ්ඩුවත් නැතිව මුහුණ දුන්නේ විජේතුංගගේ නායකත්වයෙන් ගාමිණී, රනිල්, රුක්මන්, රොනී, අනුර එකට එක් වූ දැවැන්ත පක්ෂයකටය.
ඇය ඒ ඡන්දය කෙසේ හෝ ජය ගත්තාය. ඒ වගේම ඇය 1999දීත් 2000දීත් මුහුණ දුන්නේ එකල ශක්තිමත් රනිල්ගේ නායකත්වයටය. ඒ වේලාවේ අනුර, කරු, ගාමිණී අතුකෝරාල වැනි ජනප්‍රිය චරිත එ.ජා.ප.යේ සිටියහ. ඇය 2004 දී මුහුණ දුන්නේ එස්.බී., ජී.එල්., බන්දුල, මහින්ද විජේසේකර වැනි පොදු පෙරමුණේ හිටපු පතාකයන් එක් වූ යූ.ඇන්.පී.යකටය. ඇය කොහොම හරි ඔවුන්ට මුහුණ දී ශ්‍රී ල.නි.ප.යට ජය හිමිකර දුන්නාය.

තුන්වරක් මහ ඡන්දවලින් පරාජය වුණ, පළාත් සභා සහ පළාත් පාලන ඡන්ද වැලකින් පරාජය වුණ රනිල් එක්ක 2005 තරග කරල මහින්ද දින්නේ සුළු ඡන්ද සංඛ්‍යාවකින්ය. 2010 ෆොන්සේකා එක්ක තරග කරලා දින්නේත් රනිල් එක්ක යටින් හොර ගිවිසුමක් ගහගෙනය.
2010 මහ මැතිවරණයේදී හතර ගාතෙන් වැටුණු රනිල් සහ එ.ජා.ප.ය පරාජය කරල තුනෙන් දෙකක් දිනා ගන්න මහින්දට බැරි විය. 2010 සිට පළාත් සභා ඡන්ද ඔක්කොම දින්නේ දිනන්න බැරි රනිල්ව නායකත්වයේ තියාගෙන ජනප්‍රිය එ.ජා.ප. මන්ත්‍රිවරුන් එකා දෙන්නා බා ගනිමිනි.
"මේක ජයක්ද....?"
 
ජයක් නෙමේ පවකි. තමාගේ සතුරා කවුද කියල තමාම තීරණය කරල දිනල මම දින්නා කියන රජ්ජුරුවන්ට ඇමැතියොත් හිනාවීම අරුමයක් නොවේ.
ඇත්තටම මහින්ද දේශපාලන වීරයෙක් නොවේ. දේශපාලන ගේම්කාරයෙකි. වීරයන් වීරවරියන් මතුවන්නේ සතුරන් පරාජය කරගෙනය. 56 වීරයා බණ්ඩාරනායකය. 1960 වීරවරිය බණ්ඩාරනායක මැතිනියය. 65 වීරයා ඩඩ්ලිය. 70 වීරවරිය යළිත් මැතිනියය. 77 වීරයා ජේ.ආර්.ය. 94 වීරවරිය චන්ද්‍රිකාය.
2014 දීත් වීරයෙක් මතුවෙයි යැයි මහින්දගේ පපුව ඩග් ඩග් ගාලා ගැහෙනවා විය යුතුය. 1948 නිදහසින් පසු ලංකා ඉතිහාසයේ කවදාවත් රාජ්‍ය නායකයන් තමාගේ සතුරා කවුරු විය යුතුද කියලා තීරණය කරන්න ගියේ නැත. ජේ.ආර්. මැතිනියට බයේ වෙව්ලුවත් ජේ.ආර්.ට ශ්‍රී ල.නි.ප.ය තුළ තමන්ට අවශ්‍ය නායකයකු හදන්න බැරි විය. ඔහු ඒ සඳහා උත්සාහ කළේත් නැත. 1980 මැතිවරණ කොමසාරිස් අත ලකුණ සහ පක්ෂ මූලස්ථානය හිමි මැතිනියට යැයි කියන විට ජේ.ආර්. ඒකට අත දමන්න ගියේ නැත. ප්‍රේමදාස ඝාතනය වීමට කලින් කීවේ මැතිනිය හෝ ලලිත් හෝ ගාමිණී හෝ තුන්දෙනාම එකතු වෙලා හරි එන්න මම දිනන හැටි පෙන්වන්නම් කියලාය.
 
මහින්ද එහෙම නොවේ. සිරිකොත ඉදිරිපිට රනිල්ට පක්ෂව උද්ඝෝෂණ කරන්න ඉඩ දෙයි. රනිල් විරෝධී උද්ඝෝෂණ කරන විට කාපට් කරන්න ඕනෑ කියා පාර වසයි.
මහින්ද මෙපමණ කලක් දින්නේ රනිල් නිසාය. අද බලයේ ඉන්නේත් රනිල් නිසාය. කණ්ණාඩියක් ඉදිරිපිටට ගියොත් මහින්දට පේන්නේ මහින්දව නොව රනිල්වය. මහින්ද අපේ කාලයේ දේශපාලන වීරයෙක් නොවන්නේම ඒ නිසාය.