ගජ මිතුරෝ - උපුල් ජෝශප් ප්‍රනාන්දු


බෙලරූස් රටේ භාෂාවෙන් "බැට්ස් කා" කියන්නේ තාත්තාටය.

"බැට්ස් කා"


බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝට එරට රජයේ පාලනය යටතේ පවතින මාධ්‍ය කියන්නේ එහෙමය. ඔහු ජනාධිපතිවරණ ඡන්ද සටනේ යද්දී ඔහුගේ අනුගාමිකයන් කෑගහන්නේ "බැට්ස් කා" නැතහොත් "අපේ තාත්තා" කියාය.

"මිනිසුන් අතර මිනිහෙක්"
 


ලුකෂෙන්කෝව එරට හඳුන්වන්නේ එහෙමය. සෝවියට් දේශය කඩා වැටුණාට පසු නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්වූ බෙලරූස්හි 1994 සිට ජනාධිපතිවරයා ලුකෂෙන්කෝය.

"යුරෝපයෙන් බේරිලා ඉන්න අවසන් ඒකාධිපතියා"

බටහිර රටවල් ඔහුව හඳුන්වන්නේ එහෙමය.

"බෙලරූස් දුෂ්ට කුරිරු රාජ්‍ය පාලකයන්ගේ මුරපොළවල් හයෙන් එකක්"
 
2005දී ඇමෙරිකානු රාජ්‍ය ලේකම් කොන්ඩලීසා රයිස් ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝව හැඳින්වූයේ එසේය.

"මම මේ වගේ කතා අවුරුදු 10ක් තිස්සේ අහල තියෙනවා. මම දැන් ඕවාට පුරුදු වෙලා ඉන්නේ. අපි ඕවාට උත්තර දෙන්න යන්නේ නැහැ. බෙලරූස්වල ඡන්දය තියෙන්නේ බෙලරූස් ජනතාවටයි. අපේ රාජ්‍යයේ මාස්ටර් අපේ ජනතාවයි...."
 
මේ ඔහු බටහිර රටවල් කරන විවේචන ගැන කී කතාවය.

"අපේ තාත්තාව පන්නන්න බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් දියත් වෙනවා"

ඇලෙක්සැන්ඩර්ගේ ආණ්ඩුවේ හෙංචයියන් කියන්නේ ඔවැනි කතාය. හැබැයි ඇලෙක්සැන්ඩර් ලුකාෂෙන්කෝට ඔහුගේ නිලධාරීන්ට යුරෝපයට ඇතුළු වීම තහනම්ය. ඒ වගේම යුරෝපය පමණක් නොව ඇමෙරිකාවද බෙලරූස්වලට ආර්ථික සම්බාධක පනවා ඇත.
 
"මේවා ඔක්කොම පරදේශක්කාර කුමන්ත්‍රණ"

ආර්ථික සම්බාධකවලින් හෙම්බත් වී සිටින ජනතාව ඇලෙක්සැන්ඩර් සනසන්නේ එහෙම කියලාය.
 
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයකුට ජනාධිපති ධුරය දැරිය හැක්කේ දෙවරක් පමණි. ඒ අනුව 1994 ජනාධිපති ධුරයට පත් ඇලෙක්සැන්ඩර්ගේ නිල කාලය 2006න් අවසන් වීමට නියමිතව තිබිණි. කෙසේ හෝ මෙම නිල කාල සීමාව වෙනස් කරන්න ඇලෙක්සැන්ඩර්ට අවශ්‍ය විය. 2004 සැප්තැම්බර් 7 වැනි දින ඔහු ජාතිය අමතමින් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ පරාජය කරන්න ඔහුට 2006 ජනාධිපතිවරණයට තරග කළ හැකි සේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ජනමත විචාරණයක් කැඳවන බව නිවේදනය කළේය. ඔහු 79.42%කින් ජනමත විචාරණය ජයගත් බව නිවේදනය කළේය. ඇමෙරිකාව ඇතුළු යුරෝපා සංගමය ජනමත විචාරණය දූෂිත ඡන්දයක් ලෙසට ප්‍රකාශයට පත්කළේය.
 
ව්‍යවස්ථා සංශෝධනයෙන් 2006 ජනාධිපතිවරණයට තරග කළ ඇලෙක්සැන්ඩර් එයද ජයගත්තේ ජනාධිපතිවරණය දූෂිත බව ඇමෙරිකාව ඇතුළු යුරෝපා සංගමය ප්‍රකාශ කරද්දීය.

"මම තාම කොල්ලෙක් වගේ තරුණයි. 2010ටත් මම ජනාධිපති ධුරයට තරග කරනවා"
 
ඔහු 2006 දී කීවේය. 2010 ජනාධිපතිවරණයට ආ ඇලෙක්සැන්ඩර් ජනාධිපතිවරණ දිනයේ විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයන්ට පොලිසිය ලවා මැර ප්‍රහාර එල්ල කළේය. විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයන් 7ක් ඔහු අත්අඩංගුවට ගත්තේය. මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගත්තේය. ඇලෙක්සැන්ඩර් ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන දිනයේ යුරෝපා රටවල තානාපතිවරු දිවුරුම් දෙන උත්සවය වර්ජනය කළහ. ඔහුට සහ ඔහුගේ නිලධාරීන්ට යුරෝපා රටවලට යෑම තහනම් කළේ එම ජනාධිපතිවරණයට පසුවය.

දැන් ඔහුට යුරෝපයට යන්න බැරිය. ඔහුගේ රටට යුරෝපයේ හෝ වෙනත් බලවත් රටවල රාජ්‍ය නායකයන් එන්නේත් නැත. මහින්ද බෙලරූස් රටට යන්නේ ඇලෙක්සැන්ඩර් සිය රටට රාජ්‍ය නායකයෙක් ගෙන්වා ගන්නා සාපිපාසාවෙන් පෙළෙද්දීය.
 
ඇත්තටම මහින්දට හෝ මහින්දගේ නායකත්වය යටතේ ඇති ලංකාවට බෙලරූස්වලට අත්ව ඇති ඉරණම අත්වී නැත. ඇලෙක්සැන්ඩර් වගේ ඒකාධිපතියකු ලෙස මහින්දව හංවඩු ගැසී නැත. ඔහුව පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපති ධුරයට පත් කරන්න රටවල් 54ක් එකඟත්වය පළකොට ඇත. මහින්දට ඇමෙරිකාවට හෝ යුරෝපයට යන්න තහනමක් නැත. ලංකාවට ආර්ථික සම්බාධක පනවාද නැත.

"එහෙනම් ඇයි බෙලරූස් වගේ ලෝකයම කොන් කරන රටවල්වලට යන්නේ?"
 
"ඇලෙක්සැන්ඩර් ලුකාෂෙන්කෝ වගේ ලෝකයම පිළිකුල් කරන දුෂ්ට කුරිරු නායකයන්ව බැහැදකින්න යන්නේ?"

මහින්ද බෙලරූස් යන්න පෙර ප්‍රසිද්ධ වේදිකාවකදී අපූරු ප්‍රශ්නයක් ඇසුවේය.

"විපක්‍ෂයේ දෙතුන්දෙනෙක් මම ඒකාධිපතියෙක් කියනවා. මම ඒකාධිපතියෙක්ද හාමුදුරුවනේ?"
 
මහින්ද එහෙම ඇහුවේ මහා සංඝරත්නයෙන්ය.

"එක ජාතියේ කුරුල්ලෝ වහන්නේ එක ගහේ"
 
ගමේ ගොඩේ එහෙම කතාවක් තිබේ. මහින්ද ඇලෙක්සැන්ඩර්ලා පසුපස යද්දී ලෝකයා කියන්නේ ඔය ගමේ ගොඩේ මිනිස්සු කියන කතාවය. මෑතකදී මහින්දව හමුවෙන්න ආ උගන්ඩා ජනාධිපතිවරයාද 1989 කුමන්ත්‍රණයකින් බලයට ඇවිත් විපක්‍ෂය මර්දනය කරගෙන ඉන්න පාලකයෙකි. 2006 ජනාධිපතිවරණයට පෙර ඔහුද ජනාධිපතිවරයකුට වාර දෙකකට වඩා ජනාධිපති ධුරයට තරග කළ නොහැකි සේ පනවා තිබූ ව්‍යවස්ථා සීමාව ව්‍යවස්ථා සංශෝධනයකින් ඉවත් කරගෙන දූෂිත මැතිවරණ තබමින් ලොව ඒකාධිපතියකු ලෙස හංවඩු ගසාගෙන ඉන්නා පාලකයෙකි. මහින්ද ඔහුව බැහැදකින්න දෙවරක්ම එරටට ගියේය. ඔහුත් රාජ්‍ය නායකයන් ගෙන්වා ගැනීමේ සාපිපාසාවෙන් පෙළෙන අයෙකි.
 
මහින්ද මෙවැනි රටවල රාජ්‍ය නායකයන් බැහැදකින්න යෑමෙන් ලංකාවේ ප්‍රතිරූපයට සිදුවන්නේ ලොකු හානියකි. ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ලොව නමක් දිනාගෙන තිබෙන රටකි. එවැනි රටක් ලොව කුරිරුතම දුෂ්ට රාජ්‍ය නායකයන් පසුපස යෑම තුළින් රටට හිමි වන්නේ කීර්තියක් නොව අපකීර්තියකි.

තමන් ඒකාධිපතියකු නොවේ යැයි පෙන්වන්න මහින්දට දැන් ලොකු වුවමනාවක් ඇතිවී තිබෙන බව ඔහුගේ කතාවලින්ම පෙනේ. ඒ; පොදුරාජ්‍ය මණ්ඩල සභාපති ඔටුන්න පේන තෙක්මානයේය.
 
ජනාධිපති ඔටුන්න දාගන්නවා වගේ ලේසියට පොදුරාජ්‍ය මණ්ඩල ඔටුන්න දමාගන්න බැරිය. ජනාධිපති ඔටුන්න දමාගන්න ප්‍රජාතන්ත්‍රවාදය නමට තිබුණත් ඇතිය. හැබැයි පොදුරාජ්‍ය මණ්ඩල ඔටුන්න දමාගන්න හැමදේම අකුරට තිබිය යුතුය.