Compas
කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියක් පස්වැනි මහලෙන් බිමට පැන සියදිවි නසාගැනීමත් සමග ඒ පිළිබඳව බොහෝ දෙනා  විවිධ අදහස් මතු කළහ. මෙවැනි සිද්ධියක් අසන්නට ලැබුණු විට ඕනෑම කෙනෙකුගේ සිතට නැගෙන මුල්ම අදහස වන්නේ දිවි නසාගැනීමට හේතුව ප්‍රේම සම්බන්ධතාවයක් කඩ වීම විය හැකි බවය. නමුත් වර්තමානයේ විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන අනේක විධ ගැටලු අතරේ ප්‍රේම  සම්බන්ධතා කඩ වීම යනු එක් ගැටලුවක් පමණි.

අපේ රටේ වසරකට දළ වශයෙන් හාරදහසක් පමණ සියදිවි හානි කර ගනිති. වෙනත් රටවලට සාපේක්ෂව අපේ රටේ වැඩිපුරම සියදිවි නසාගන්නේ තරුණ පිරිස ය. එය කෙසේවත් නොතකා හැරිය යුතු තත්ත්වයක් නොවේ.

සරසවි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් ගැන සලකන විට වර්තමානය තුළ ඔවුන් බොහෝ මානසික ගැටලුවලට මුහුණදී හිඳින බව අත්දැකීමෙන්ම මම දනිමි. මා එසේ කියන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය නිලධාරී ලෙස කටයුතු කරන මා වෙත දිනපතාම යම් සිසු සිසුවියන් ප්‍රමාණයක් උපදේශන සඳහා පැමිණෙන නිසාය. සරසවි සිසුන් බහුලව මුහුණ දෙන ප්‍රධාන ගැටලු කිහිපයක් පිළිවෙළින් අපි විමසා බලමු.

ප්‍රේම සම්බන්ධතා කඩවීම

Compas
විශ්වවිද්‍යාල තුළ ප්‍රේම සම්බන්ධතා හටගැනීම වගේම බිඳ වැටීමත් බහුල ය. එයට හේතුව මේ බොහෝ ප්‍රේම සම්බන්ධතා  හදිසි තෝරා ගැනීම්වල ප්‍රතිඵලයක් ලෙස ඇති වීමයි. මෙම හදිසි තෝරා ගැනීම් බොහෝවිටම වැරදි තෝරා ගැනීම් වේ.

මීට දශක කිහිපයකට එපිට අතීතයේදී අද තරම් බහුලව විශ්වවිද්‍යාල තුළ පෙම්වතුන්, පෙම්වතියන් ජෝඩු දැක ගත හැකි වූයේ නැත. එදා සිටි ඒ අල්ප ජෝඩු අදටත් එක්ව ගත කරනු අපට බොහෝවිට දැක ගන්නට ලැබේ. ඒ විවාහ වී දරුමල්ලන් ලබා මව්පියන් ලෙස එක වහලක් යට ජීවත්වන අය ලෙසිනි.

නමුත් හදිසියේ ඇතිවන ප්‍රේම සම්බන්ධතා මේ තත්ත්වය දක්වා දුරදිග යාම අඩු ය. ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යාමට නම් අරමුණක් තිබිය යුතුය. මෙහිදී මුල්ම අරමුණ විය යුත්තේ  එබඳු සම්බන්ධයකට උචිත සහකරුවෙකු හෝ සහකාරියක තෝරා ගැනීමය. එසේ නොවී හදිසි තෝරා ගැනීම් මත ඇතිවන සම්බන්ධතා බොහෝවිටම අනවබෝධය මත ඇති කර ගන්නා ඒවාය. අඩුතරමින් එලෙස සම්බන්ධතාවක් ඇති කර ගැනීමෙන් පසුව හෝ එකිනෙකාගේ වෙනස්කම් අවබෝධ කර ගෙන ඒවාට අනුව හැඩ ගැසෙන්නට සහ තමන්ගේ අඩුපාඩු හදා ගන්නට වර්තමාන තරුණ තරුණියන්ගේ උනන්දුවක් නැත. ඔවුන්ගේ ඊළඟ අරමුණ සම්බන්ධතාව අතහැර දැමීමය.

ඊළඟ කරුණ නම් අද ප්‍රේම සම්බන්ධතා ඇති කර ගන්නා අවිවාහක තරුණ තරුණියන්ගෙන් 80ක් පමණ ඉතා කෙටි කාලයකින් කායික සම්බන්ධතා පවත්වන තත්ත්වයට පත් වීමයි. මෙසේ කායික සම්බන්ධතා පවත්වන පෙම්වතුන් පවා මොනයම් හෝ හදිසි තීරණ මත තම පෙම් සබඳතාව අතරමග නතර කරන්නට පෙළඹීම අද දක්නට ලැබෙන සුලභ හා බරපතළ තත්ත්වයකි.

ප්‍රේම සම්බන්ධතා කඩවීම මත  මා වෙත උපදේශන ලබා ගැනීමට පැමිණෙන බොහෝ විශ්ව විද්‍යාල සිසුවියන් කියන කතාවක් වන්නේ “අනේ ඩොක්ටර් මට මැරෙන්නම හිතෙනවා.” යන්නය. එම සම්බන්ධය බිඳී ගියේ එය
නොගැළපීම නිසා බව උපදේශන මගින් ඔවුන්ට ඒත්තු ගැන්වූ පසු ඔවුන් බොහෝ දෙනෙක් විමසන ‍පොදු ප්‍රශ්නයක් තිබේ.

එනම් “මට කවදහරි විවාහයක් වෙන්න බැරි වේවිද? යන්නයි. තවදුරටත් කතාබහ කිරීමේදී පැහැදිලි වන්නේ එසේ විමසන හැම තරුණියකම පාහේ තමන් අතහැර ගිය පෙම්වතා සමග කායික සම්බන්ධතා පවත්වා ඇති බවය. විවාහයකදී තරුණියගේ කන්‍යාභාවය පිළිබඳව සලකන පිරිමින් තවමත් අපේ සමාජය තුළ සිටින නිසා ඔවුහු විවාහයට බිය වෙති.

ඒ නිසා ප්‍රේම සම්බන්ධතා බිඳී යාම තරුණයකුට වඩා තරුණියකට කිහිප ආකාරයකින්ම මානසික පීඩාවක් ඇති කරන්නක් වේ.

ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම මඳ වීම

සරසවි සිසුන් සෑහෙන පිරිසකට බලපාන විශාල ගැටලුවක් ලෙස මෙයද සැලකිය හැකිය. විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ හැර අනෙක් හැම පීඨයකම ශාස්ත්‍රීය කටයුතු සිදු කෙරෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි. බොහොමයක් සිසුනට ඊට සරිලන අන්දමේ ඉංග්‍රීසි භාෂා දැනුමක් පාසල් අධ්‍යාපනය තුළින් ලැබි නැත. මේ අභියෝගයට මුහුණ  දිය නොහැකිව විශ්වවිද්‍යාල අධ්‍යාපනය අත්හැර දමා ආපසු ගමට යාමට තරම් තදබල මානසික ඇද වැටීමකට ලක්වූ වෛද්‍ය සිසුන් පවා මට හමුවී තිබේ.


විභාග භීතිකාව සහ සමාජ භීතිකාව

විභාගයක් ආසන්න වන විට එයට මුහුණදීමේ තදබල බියකින් හෙවත් විභාග භීතිකාවෙන් (Exam phobia) පෙළෙන සිසු සිසුවියන්ද විශ්වවිද්‍යාල ප්‍රජාව අතරේ සුලබය. මේ අයට විභාගයක් ආසන්න වන විට දැඩි තිගැස්මක් , චකිතයක් වැනි හැඟීීම් ඇති වීම නිසා විභාගයට මුහුණ දීමෙන් වැළකී හිඳීමට උත්සාහ දරනු ඇත.

තවත් සමහර සිසුනට විභාග භීතිකාව ඇති වන්නේ අනෙක් සහෝදර සිසු සිසුවියන්ට වඩා ඉහළින් යාමට ඉලක්ක තබා ගැනීම නිසාය. එය තමාට ඉටුකර ගැනීමට නොහැකි වේය යන බිය නිසා විභාග භීතිකාව ඇති විය හැකිය. කණ්ඩායම් ක්‍රියාකාරකම්වලදී (Presentations)තමාට දැනුම තිබුණත් පිරිසක් ඉදිරියෙදී ඒවා ඉදිරිපත් කිරීමට විශාල තිගැස්මක් ඇති වීම සමාජ භීතිකාව (Social Phobia) නිසා ඇති වන තත්ත්වයකි. මෙයද විශාල මානසික ගැටළුවක් ඇති කරවන කරුණක් වේ.

ආර්ථික ප්‍රශ්න බාහිරට නොපෙනුණත් විශ්ව විද්‍යාල තුළ දැඩි  ආර්ථික

අපහසුතාවලින් පෙළෙන සැලකිය යුතු පිරිසක් සිටිති. මගෙන් උපදේශන ලබා ගැනීමට පැමිණි එබඳු එක සිසුවියකට දෙමාපියන්ගෙන් ලැබෙන්නේ මසකට රුපියල් දහසක් වැනි මුදලක් පමණි. එයද කුලී වැඩ තිබෙන කාලයටය. කුලී වැඩ නැති වුණොත් ඒකත් නැත. රුපියල් දහසකින් අද කාලයේ කළ හැකිදේ  ඉතා අල්පය. ඒකත් නැතිවීම යනු ඊටත් වඩා විශාල ඛිෙදවාචකයකි. එවැනි දැඩි දරිද්‍රතාවයෙන් පෙළෙන සිසු සිසුවියන් විශ්වවිද්‍යාලය තුළ රැඳී හිඳින්නේ අනිකුත් යහළු
යෙහෙළියන්ගේ උපකාරය නිසාය. මහ‍පොළ ශිෂ්‍යාධාරයද ශිෂ්‍යයෙකුට තම මාසික විය හියදම් පියවා ගැනීම සඳහා ප්‍රමාණවත් නොවේ.

මෙවැනි ගැටලු නිසාම අධ්‍යාපනය ලබන අතරතුර අර්ධකාලීන රැකියා කරන සිසු සිසුවියෝ බොහෝය. ගොඩනැගිලි හදන තැන්වල අත්වැඩ කරන, රාත්‍රියට පෞද්ගලික ආරක්ෂක සේවයෙහි යෙදෙන ශිෂ්‍යයෝද මේ අතර සිටිති. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුනට නිවෙස්වලට ගොස් ටියුෂන් ලබා දී මුදලක් සොයා ගන්නා ශිෂ්‍යයන්ද වේ. සමහර ශිෂ්‍යාවෝ ප්‍රචාරක ආයතනවල අර්ධකාලීන රැකියාවල යෙදෙති. මෙකී නොකී තාවකාලික රැකියාවන් හි යෙදී ජීවත් වීම සඳහාත්, අධ්‍යාපනය ලැබිම සඳහාත් මුදලක් අතට ලබා ගන්නා විට ඔවුන් මුහුණ දෙන මීළඟ ප්‍රධානතම ගැටලුව වන්නේ දේශන මගහැරී යාමය. ඒ අනුව ඔවුන්ගේ ප්‍රධාන අරමුණ ඉටුකර ගැනීමට වැට බැඳේ.

පවු‍ලේ ප්‍රශ්න

දෙමාපියන්ගේ අඬදබර, ඔවුන්ගේ අනියම් සම්බන්ධතා, දික්කසාද වීම්, පියාගේ බිමත්කම, තවත් සමහර සරසවි සිසුනට අධ්‍යාපන කටයුතු එපා කරවන ගැටලුවේ. “ගෙදර මොනව වෙනවද දන්නේ නෑ”කියමින් නිතරම බියෙන් පීඩා විඳීම නිසා අධ්‍යාපන කටයුතු සහමුලින් එපාවූ එවැනි සිසු සිසුවියන් බොහෝ විට මට හමුවී තිබේ.  එවැනි අත්දැකීම් ලබන සමහර සිසුවියන් “ගෙදර ප්‍රශ්න මතක් වෙන කොට මට හිස හැරුණු අතේ යන්න හිතෙනවා, මැරෙන්න හිතෙනවා” වැනි දේවල් වරින් වර මා සමග පැවසූ අන්දම මේ මොහොතේ ද මගේ සිහියට නැගේ.

සරසවි සිසු සිසුවියන් මුහුණ දෙන මෙවැනි අනේක විධ ගැටලුවලට විසඳුම් නැත්තේම නැත. මෙහිදී කළ යුතු මූලිකම දෙය වන්නේ එවැනි සිසු සිසුවියන් හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දිය හැකි මාර්ගවලට යොමු කිරීමය. වර්තමාන පරම්පරාව තුළ අභියෝගවලට මුහුණ දීමට හැකි ශක්තිය ධෛර්ය ඇති දරුවන් අඩුය. එය වසර ගණනාවක් තිස්සේම අපේ රටේ දිගින් දිගටම පැවත ආ විභාගවලට ලකුණු ලබා ගැනීමේ තරගයට පමණක් දරුවන් හුරු කරවීමේ අසාර්ථක අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිඵලයකි.

දැන් මේ තත්ත්වය බොහෝ සෙයින් ඔඩුදුවා තිබේ. දරුවන්ට ජීවිතයේ අත්දැකීම් ලබන්නට ජීවිතය විඳින්නට තිබූ ළමා විය අහිමිව ගියේය. එහි ප්‍රතිඵල වසර ගණනාවක් තිස්සේ අපේ රට දැන් භුක්ති  විඳිමින් සිටියි. මේ හේතුව මත සමාජය හා මුසු වීමේදී එළඹෙන විවිධාකාර අභියෝගවලට මුහුණ දීමට නොහැකිව මානසිකව කඩා වැටෙන විට දිවි නසාගැනීම තුළින් ඊට පිළිතුරු සොයන්නට යම් දරුවකු පෙළඹේ නම් ඊට වග කිව යුත්තන් කවුද? අශ්වයා පැන ගියාට  පසු ඉස්තාලය වසා පලක් නැත. නොපමාවම අපේ තරුණ පරපුර මුහුණ දී  හිඳින මේ ඛිෙදවාචකයෙහි අල ගිය තැන් මුල ගිය තැන් සොයා ඒවාට විසඳුම් සෙවිය යුතු වේ.