2014 මහින්ද එක්ක සටනට එන්නේ කවුද?

 උපුල් ජෝශප් ප්‍රනාන්දු
                                                

"මොකක්දෝ වෙන්න යනවා කියලා මට ඉවට දැනෙනවා..."මේ ලංකාවේ ජේ‍යෂ්ඨතම දේශපාලනඥයෙක් කී කතාවකි.
 
"මොකක් හරි ලොකු විපරීතයක්....."

ඔහු තවත් පැහැදිලි කරමින් කියයි.

"එන්න එන්නම දේශපාලනය රත් වෙනවානේ....."

ඔහු ඔහුගේ ඉවට හේතු පාඨ කියයි.
 
දේශපාලනය රත් වෙන්න පටන් ගත්තෙ මහින්ද 2014 ජනාධිපතිවරණයකට යනවා කියන කතාවත් එක්කය.

"2014 නොවැම්බර්වලට පස්සේ මහින්දට එච්චරම ජේ‍යාතිෂ සුබ නැහැ. ඒ නිසා ඊට කලින් ජනාධිපතිවරණයකට යයි....."

මේ ජේ‍යාතිෂවේදියෙක් කී කතාවකි.

"මහින්ද හිතන් ඉන්නේ මහින්ද එක්ක තරගයට එන්නේ රනිල් කියලයි...."

මේ ආණ්ඩුවේ ඇමැතිවරයෙක් පාර්ලිමේන්තු ලොබියෙදී කිව්වාය කියන කතාවකි.
 
"මහින්ද ඉන්දියාවේ බලපෑම් මායිම් නොකර විමල්ලා, චම්පිකලා සනසන්න 13ට ගහන ගැටවලින්ම පේනවා 2014 ඡන්දෙට යන්න මහින්දට මේ පක්ෂ ඕනෑ කියන එක...."
 
දේශපාලන විචාරකයෝ කියති

මහින්ද අඳින මේ දේශපාලන මාර්ග සිතියම දිහා බලන් ඉන්නකොට තේරෙන්නෙ ඉතිහාසයේ එකම දේ නැවත නැවත සිදු වෙනවාය යන දහමේ මහින්ද තදින්ම ඇලී ගැලී ඉන්නා බවය.
 
හැබැයි දේශපාලනය කියන එක වෙනස් වෙනසුලුය. බණ්ඩාරනායක මැතිනිය සිය ප්‍රජා අයිතිය හිමි වූවාට පසු ඊළඟ ජනාධිපතිවරණයට තරග කරන්න බලාගෙන හිටියේ ජේ.ආර්. එක්කය. ඇය හිතුවේ ජේ.ආර්. අන්තිම මොහොතේ හෝ දෙවරකට වැඩි වාර ගණනක් තරග කළ නොහැකි සේ පනවා තිබූ ව්‍යවස්ථා වගන්තිය වෙනස් කොට ජේ.ආර්.ම තරගයට එයි කියාය. ජේ.ආර්.ව විනාශ කරන ප්‍රචාරක ව්‍යාපාරය පටන් ගත්තේ ඒ අනුවය. ජේ.ආර්.ගෙ ප්‍රතිරූපය විනාශ කරන්න මැතිනිය සහ ඇගේ පක්ෂය ප්‍රේමදාසව පිම්බුවේය. ප්‍රේමදාසට ඉන්දු-ලංකා ගිවිසුම් විරෝධී සන්ධානයකට එන ලෙස ආරාධනා කළාය. ප්‍රේමදාස සැබෑ දේශප්‍රේමියෙක් යැයි කීවේය. හැබැයි මැතිනියට තරු පෙනුණේ ප්‍රේමදාස අපේක්ෂකයා ලෙස ජේ.ආර්. නම් කළ විටදීය.
 
ඒ වගේම 1988 ජනාධිපතිවරණය ජය ගත් ප්‍රේමදාස හිතාගෙන හිටියේ ඊළඟ ජනාධිපතිවරණයේ තමා එක්ක තරගෙට එන්නේ මැතිනිය කියාය. අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා රෝද පුටුවේ යන මැතිනියට ප්‍රේමදාස සරදම් කළේය. මැතිනියද ලලිත් සහ ගාමිණී සමඟ එක්වී දෝෂාභියෝගයෙන් ප්‍රේමදාස ප්‍රතිරූපය විනාශ කළේ තමාට තරග වදින්න වෙන්නේ ප්‍රේමදාස එක්ක යැයි සිතාය. ප්‍රේමදාස ඝාතනය වී ඩී.බී. විජේතුංග ජනාධිපති වූ විට යළිත් මැතිනියට තරු පෙනුණි. ඩී.බී.ත් නොඉවසිලිමත්ව හිටියේ රෝද පුටුවෙන් යන මැතිනියව තරග කොට පරාජය කරන්නටය. ඒත් ඩී.බී.ත්, එ.ජා.ප.යත් නොහිතපු ලෙස මැතිනිය නායකත්වයේ සිටියදීම බස්නාහිර සහ දකුණු පළාතේ ජනතාව ශ්‍රී ල.නි.ප.යට අලුත් අපේක්ෂිකාවක් හදල දුන්හ. ඇය චන්ද්‍රිකාය. කෙදිනක හෝ ඇයට මුහුණ දෙන්න වෙයි කියා එ.ජා.ප.ය හිතුවේත් නැත. 1993 ජනාධිපති වූ විජේතුංග හිතුවේත් නැත.
 
1999 ජනාධිපතිවරණය පරාජයට පත් වූවාට පසු රනිල් සහ එ.ජා.ප.ය හිතුවේ ඊළඟ ජනාධිපතිවරණයට ව්‍යවස්ථාව වෙනස්කොට හෝ චන්ද්‍රිකා එයි කියාය. චන්ද්‍රිකාට ව්‍යවස්ථාව වෙනස් කර ගත නොහැකි වී 2004 මහ මැතිවරණ පරාජයෙන් පසු හිතුවේ අනුර එයි කියලාය. එහෙම හිතාගෙන එ.ජා.ප.ය බණ්ඩාරනායකවරු විනාශ කොට මහින්ද රාජපක්ෂගේ ප්‍රතිරූපය පුම්බන ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කළේය. රනිල් සහ එ.ජා.ප.ය හිතුවේ කවදාවත් චන්ද්‍රිකා මහින්දට අපේක්ෂකත්වය නොදෙයි කියලාය. චන්ද්‍රිකා මහින්දට අපේක්ෂකත්වය දුන් විට රනිල්ට සහ එ.ජා.ප.යට තරු විසි විය.
 
2005 ජනාධිපති වූ මහින්ද හිතුවේ ඊළඟ ජනාධිපතිවරණයට තමා එක්ක තරගයට එන්නේත් රනිල් කියාය. යුද්ධය දිනල ජනාධිපතිවරණය තියන්න තීරණය කළ මහින්ද හිතුවේ ඒ ජනාධිපතිවරණය වන් හෝස් රේස් කියාය. ඒත් යුද්ධය දිනවල දුන්න ෆොන්සේකා විපක්ෂයේ අපේක්ෂකයා වූ විට මහින්දටත් තරු වීසි විය.

ලංකාවේ බොහෝ අවස්ථාවල ජනාධිපතිවරණ දිනල තියෙන්නේ අන්තිම මොහොතේ එන අපේක්ෂකයන්ය. ප්‍රේමදාස අපේක්ෂකයා ලෙස මතු වූයේ ජනාධිපතිවරණයට මාස 4ක් තිබියදීය. චන්ද්‍රිකා මතු වූයේ මාස 6ක් වැනි කාලයක් තුළදීය. මහින්ද මතු වූයේත් මාස තුනක් වැනි කාලයකදීය. මේ හැමෝම ජයග්‍රහණය කළහ. මාස තුනක් තුළ මතු වී පරාජය වුණු එකම අපේක්ෂකයා ෆොන්සේකාය.
 
මහින්ද 2014 ජනාධිපතිවරණ මාර්ග සිතියම අඳින්නේත් රනිල් දිහා බලාගෙනය. එහෙම අඳින එක විපක්ෂයට හොඳය. අලුත් අපේක්ෂකයකුට මතු වෙන්න මාස තුනකුත් ඇතිය.

1994 මතුව ආවේ වැස්සටවත් පාර්ලිමේන්තුවට පය ගහල නොතිබුණු චන්ද්‍රිකාය. ඒ වගේ අන්තිම මොහොතේ හිතන්නේ නැති අපේක්ෂකයෙක් හෝ අපේක්ෂිකාවක් මතුවීම බැහැර කළ නොහැකිය.
 
මහින්දගේ තියරිය ඉතිහාසයේ එක් වරක් සිදු වූ දේම එපරිදිම නැවතත් සිදු වෙනවාය කියන එකය. ඉතිහාසයේ එක්වරක් සිදුවූ දේ නැවත සිදුවිය හැකි යැයි කීවේ හේගල්ය. හැබැයි කාල් මාක්ස් කිව්වේ ඉතිහාසය එපරිදිම සිදුවන්නේ

පළමුවර ඛේදවාචකයක් විදියට දෙවැනි වර විගඩමක් විදියට යැයි කියාය.