ධර්ම චක්‌කරේ පැළඳගෙන ළමයින්ගෙ දත් කඩන රාලහාමිලා!



තිස්‌ස ගුණතිලක 
පසුබිම් තොරතුරු සහ ඡායාරූප - ප්‍රසන්න සිල්වා, දෙහිඅත්තකණ්‌ඩිය රණතුංග

අපි සල්පිටිගම ගියේ පාසලේ පොත් සොරකමකට පොලිසියේ මහත්තයෙක්‌ දතක්‌ කැඩෙන්න ගහපු පුංචි පසිඳු දිල්ෂාන්ව සොයාගෙන. සල්පිටිගම ගම්මානය පෙනෙන නොපෙනෙන මානයේ ඇත්තේ වස්‌ගමුව වනෝද්‍යානයයි. බක්‌මීදෙන හන්දියෙන් හැරිල රන්හෙලගම පහුකළාම දැනෙනවා මේ මිනිසුන්ගෙ ජීවන තත්ත්වය. පුංචි පුංචි පැල්පත්, ගස්‌ උඩ හදපු අට්‌ටාල. ඒ හැම එකක්‌ම දිස්‌වූයේ හරියට ජනාවාසයක ප්‍රාථමික අවදිය වගෙ. පිටස්‌තරින් සල්පිටිගමට පැමිණෙන්නකුට නම් මේක සුන්දර දසුනක්‌ වෙන්න පුළුවන්. ඒත් මේ සුන්දර දසුන් තුළ හැංගිලා තියෙන්නෙ මේ මිනිසුන්ගෙ ජීවිත කතාව. ඒ කතාවත් යාන්තමින් හෝ අපේ නෙත්වලට කියවගන්න ලැබුණෙ පසිඳුව හොයාගෙන සල්පිටිගමට යන්න සිදු වූ නිසා.

 ඇත්තටම මේ පුංචි කොලුවට දතක්‌ කැඩෙන්න පොලිසියෙන් ගැහුවෙ ඇයි? ඒ කතාවට මුලපිරුවෙ පසිඳුගේ අම්මා. පහුගිය සඳුදා දවල් ඉස්‌කෝලෙ ලොකු සර් පොලිසියෙ මහත්තයත් එක්‌ක පසිඳු පුතත් අරන් ගෙදර එනකොට මට දරාගන්න බැරි දුකක්‌ ඇතිවුණා. මොන වැරැද්ද කළත් ලොකු සර් ඇයි පොලිසි ගියේ කියල. ඒ ගැන සර්ගෙන් අහන්න හිතුනත් කතා කරල වැඩක්‌ නැති නිසා මම නිහඬවම හිටියා. පොලිසියේ මහත්තයා පුතාට සැර දැම්මා, අපිටත් බැන්නා. ඉස්‌කෝලෙ නැතිවුණ බඩු අරන්දෙන්න කිව්වා. දරුවා ගත්තෙ නැති දේවල් අපි කොහෙන් ගෙනත් දෙන්නද? 

මාත් මගෙ මහත්තයත් එයාලා කියන දේ අහගෙන හිටියා ඇරෙන්න මොකුත් කිව්වෙ නෑ. ඒත් ඒ අය ගියාට පස්‌සෙ පුතා ළඟට අරගෙන මං ඇහුවා ඇයි පුතේ කම්මුල ඉදිමිලා කියලා. පුතා කිව්වා පොලිසියේ මහත්තයා හක්‌කට ගැහුවා කියලා. කට ඇරල බලනකොට දරුවගෙ දතක්‌ බාගෙට ගැලවිලා. කටෙන් ලේ ගලනවා. අපි කොච්චර අමාරුවෙන්ද මේ දරුවා හදාගන්නෙ කියල ඕනම කෙනකුට අපි ජීවත්වෙන දිහා බැලුවහම පේනවා. එහෙම අපේ දරුවට පොලිසියෙ මහත්තයා ගැහුවා කිව්වාම මට උහුලගන්න බැරිව ගියා. ඒ වේදනාවටමයි අපි 1929 අංකයට කතා කරල මේ ගැන කිව්වෙ. ඒ කියපු එක දැන් පොලිසියට විෂවෙලා තියෙන්නෙ. එහෙම කියපු සල්පිටිගම අනවසර ගම්මානයේ පදිංචි එස්‌. එම්. ඥනවතී අම්මා ඇඳ සිටි ඇඳුමෙ කොණකින් කඳුළු පිසදාගත්තා. අපිට කරදරයක්‌ නොකර දවසකට එක වේලක්‌ හරි කාලා මේ පුංචි පැලේ වැටිල අපිට ජීවත් වෙන්න ඉඩ දෙන්න. ඇය පසිඳු පුතාගෙ ඔළුව අතගාමින් බැගෑපත් ඉල්ලීමක්‌ කළේ එහෙම. 

ඇත්තෙන්ම මේ මිනිසුන්ගෙ ජීවිත දිහා බැලුවහම අපිට සිහිගැන්වූයේ ආර්. ආර්. සමරකෝන්ගෙ කැලණි පාලම වේදිකා නාට්‍යය. මහවැලි ගං දෑලේ වස්‌ගමුව ජාතික වනෝද්‍යානය මායිමේ වන සල්පිටිගම ගමේ. මේ මිනිස්‌සුන්ගෙ මුල් පදිංචිය වලපනේ. රන්දෙණිගල ජලාශයට ඉඩම් යටවුනාම ඔවුන් සල්පිටිගමට ආවා. ඒ සල්පිටිගම දුෂ්කර ජීවිතය නොදැන නෙවෙයි. වෙන කරන්න දෙයක්‌ නැති තැන. අවුරුද්දෙ මාස හයක්‌ ජීවිතය දවාලන නියඟය. වස්‌ගමුව අලින්ගෙන් සිදුවන නිරන්තර හිරිහැර. නොවැම්බර්, දෙසැම්බර් මාසවල ඇදහැලෙන වර්ෂාව නිසා උතුරා යන මහවැලි ගඟේ අකීකරු සැඩපහරින් සේදෙන ඔවුන්ගෙ සේසත. ඒ තමයි පසිඳුලාගෙ ගමේ මිනිසුන්ට හැමදාමත් උරුම කරුම ජීවිතය. ඔවුන් ආයෙත් තාවකාලික පැල්පතක්‌ හදාගෙන සල්පිටිගමට එන්නෙ ගංවතුර බැස ගියාම. ඒ එනකොට මහවැලි කොමළියත් හරියට මේ අයගෙ දුක නොදන්නවා වාගෙ එහෙම දෙයක්‌ නොවූ ගානට නිසොල්මන්ව ගලා බහිනවා. දුරුතු මහෙ වැටෙන පුංචි වැස්‌සට සල්පිටිගම මිනිස්‌සු ගොඩගොවිතැන් කරනවා. මාස්‌ කන්නයේ කෙරෙන වී වගාව නම් බොහෝ දෙනකුට වසරක්‌ ජීවත් වෙන්නවත් ප්‍රමාණවත් නෑ. 

කුලී වැඩ කරන්නයි, ගඩොල් කපන්නයි මේ ගමේ වැඩි පිරිසකට සිදුව ඇත්තෙ ඒ නිසා. "දවසක්‌ කුලී වැඩකට යන්න බැරි වුණොත් අපිට දවස්‌ දෙකක්‌ බඩගින්නෙ ඉන්න වෙනවා. ළමා ආරක්‍ෂක අධිකාරියට අපි පැමිණිලි කළා කියලා පොලිසියේ අයට විසවෙලා. අපි අඟහරුවාදා පොලිසියට ගියාට පස්‌සෙ අපේ පුතාව බය කළා. අපිටත් අවවාද කරලා එන්න කිව්වා. අපි කිලෝමීටර් 4 ක්‌ විතර බක්‌මීදෙණිය හන්දියට ගිහිං එතන ඉඳන් බස්‌ එකේ දෙහිඅත්තකන්ඩිය පොලිසියට ගියා. එදා උදේ අපිව පැය ගණනක්‌ පොලිසියේ තියාගෙන හිටියට මොනවත් ලියාගත්තෙ නැහැ. මම අපරාධ අංශයේ ස්‌ථානාධිපතිතුමාට කිව්වා සර් මගෙ පුතාට ඔබතුමා ඇයි ගැහුවේ එයාගෙ දතක්‌ ගැලවිලා කියලා. ඒ මහත්තය කිව්වා මම ගැහුවේ නෑ කියලා. අපි දවල් දෙකට විතර ගෙදර ආවා.

 ඒ එන කොටම පොලිසියෙන් ඇවිත් කිව්වා ආපහු පොලිසියට ගිහිං කටඋත්තරයක්‌ දෙන්න කියලා. අපි බඩගින්නෙම අත දරුවත් අරගෙන ආයෙත් පොලිසියට ගියා. ඒ ගියාට පස්‌සේ දරුවාගෙන් කටඋත්තර ගත්තා. අපිට කිව්වා එළියට යන්න කියලා. අපිට දරුවා ළඟට යන්න දුන්නෙ නැහැ. අපිට එළියට ඇහුණා මහ හයියෙන් පොලිසියේ අය දරුවාට සැර කරනවා. එයාගෙන් කට උත්තරේ අරං තියෙන්නෙ පොලිසියේ මහත්තයා ගැහුවේ නෑ කියලා. මේ අය දරුවා පොලිස්‌ ජීප් එකේම ඉස්‌පිරිතාලෙට අරගෙන ගිහිං වෛද්‍ය වාර්තාවකුත් අරගෙන ආවා.

 ඇවිත් කිව්වා මේ ගැන පත්තරවලට කිව්වොත් කරදර වෙයි, දරුවා රිමාන්ඩ් කරනවා බදුල්ලේ යවනවා කියලා. අපි දරුවා අරගෙන එනකොට රෑ වුණා. පෞද්ගලික වෛද්‍යවරයෙක්‌ ළඟට ගිහිං ඇහුවා වෛද්‍ය සහතිකයක්‌ දෙන්න පුළුවන්ද කියලා. ඒ ඩොක්‌ටර් ඉස්‌පිරිතාලෙට මොනවාදොa ඉංගී්‍රසියෙන් කථා කළා. පස්‌සෙ දෙන්න බැහැ කිව්වා. පුතාගෙන් ඇහුවා ඇයි ඔයා පොලිසියෙදි ගැහුවෙ නෑ කියලා කිව්වේ කියලා. එයා කිව්වා බයට කිව්ව කියලා. ඥනවතී අම්මා එයාගෙ වේදනාව එක දිගට විස්‌තර කරන් ගියා. 

අපිට හිතුණා පුංචි පසිඳුගෙන්ම මේ ගැන ටිකක්‌ විස්‌තර දැනගන්න. අපි පසිඳුගෙන් මෙහෙම ඇහුවා. සෙනසුරාදා කොහෙද හිටියෙ? මමයි චාමරයි ඉස්‌කෝලෙට ගියා. කොහේ ඉස්‌කෝලෙටද? අපේ ඉස්‌කෝලෙට. සල්පිටිගම ඉස්‌කෝලෙට. එතකොට චාමර කියන්නෙ කවුද? එයා මගේ මාමගෙ පුතා. එයා ඉන්නෙත් අපේ ඉස්‌කෝලෙ හතරෙ පන්තියෙ. අපි ඉස්‌කෝලෙට යනකොට තුනේ පන්තිය ඇරල තියනව දැක්‌කා. ඊට පස්‌සෙ අපි පංතියට ගිහින් කබඩ් එක ඇරල බැලුවා. කබඩ් එකේ බඩු ගොඩක්‌ තිබුණා. කවකටු පෙට්‌ටියකට ආස හිතුන නිසා ඒකෙන් අපි දෙන්නා කවකටු පෙට්‌ටි දෙකක්‌ ගත්තා. ඊට පස්‌සෙ හතරෙ පංතියටත් ගියා. පහේ පංතියටත් ගියා. හැබැයි මොනවත් ගත්තෙ නෑ. ඊට පස්‌සෙ අපි ගෙදර ආවා. කවකටු පෙට්‌ටි දෙකට පුතාල මොනවද කරේ? ඒවා අම්මලට හොරෙන් අපි හැංගුවා. ලොකු සර් පොලිසියෙ මහත්තයත් එක්‌ක සඳුදා ගෙදර ආවට පස්‌සෙ ඒ දෙක දුන්නා. ඉස්‌කෝලෙදි පොලිසියෙ මහත්තයා ඔයාගෙන් මොනවද ඇහුවෙ? එයා මගෙන් ඇහුවා ගත්ත පොත්, පාටපෙට්‌ටි කෝ කියලා. මම කිව්වා අපි කවකටු පෙට්‌ටි දෙකක්‌ විතරයි ගත්තෙ කියල. එතකොට ඒ මහත්තයා මිට ගුලි කරල මගෙ හක්‌කට එකක්‌ ගැහුවා. ආපහු තුනේ පංතිය ළඟට එක්‌කරගෙන ඇවිත් තවත් දෙකක්‌ හක්‌කට ගැහුවා. ඔයාට ගහනවා කවුරුත් දැක්‌කෙ නැද්ද? ඉස්‌කෝලේ ඇරලා තිබුණ නිසා ළමයි හිටියේ නෑ. සර්ලා පොලිසියේ මහත්තයා එක්‌ක අපේ ගෙදර ආවට පස්‌සේ මම කවකටු පෙට්‌ටිය දුන්නා. පොලිසියෙදි මැඩම් කෙනෙක්‌ ඇහුවා පොලිස්‌ මහත්තයා ගැහුවද කියලා. ඒ මහත්තයා දැක්‌කම මට බය හිතුන නිසා කිව්වා ගැහුවෙ නෑ කියලා." 

 අපේ ප්‍රශ්නවලට පිළිතුරු බැන්ඳ පසිඳු මිටින්හල කුරුල්ලෙකු සේ දිව ගියේ වෙල් යාය කෙළවර සෙල්ලම් පිටියට. ඔහුගේ සෙලවෙන දත පෙන්වා සිනා සී යන්නට වුණේ තම මවටත් බාප්පාටත් ඉතුරු කොටස කියන්නට ඉඩ හරිමින්. "මහත්තයෝ අපි රන්දෙණිගලට ඉඩම් යටවුණ නිසා මෙහෙට ආවේ. අපේ ආච්චිලාට තමයි සල්පිටිගම ඉඩම් ලැබුණේ. අපේ අප්පච්චිට නුවරගල ගොඩ ඉඩමක්‌ විතරක්‌ ලැබුණා. මගෙ පවුලෙ සහෝදර සහෝදරියො හයදෙනයි. මම තුන්වැනියා. 2 වසරට යනකං සල්පිටියට ඉස්‌කෝලෙ ගියා. එතනින් 9 වසරට නුවරගල ඉස්‌කෝලෙ ගියා. අපේ අප්පච්චිට අලියෙක්‌ ගහලා මැරුණා. එතනින් පස්‌සේ ඉස්‌කෝලෙ යවන්න අම්මට ශක්‌තියක්‌ තිබුණෙ නැහැ. මම අනූ අටේ විවාහ වුණා. එතකොට මට අවුරුදු 16 යි. ලොකු පුතා ලැබුණෙ 99 යෙ. මෙයා දෙවැනියා මෙයා උපන්නෙ 2003 දී.

 උපතින් මෙයාට මළපහ කරන්න බැරි වුණා. ගුද මාර්ගය අවහිරවෙලා තිබුණේ. මෙයා හරි අමාරුවෙන් සනීපකර ගත්තේ. මෙයා එක වතාවක්‌ මැරිලා ගොඩ ආවේ. මෙයා අසනීපකාරයා නිසා හුරතලේට හැදුනේ. මගෙ පළමු කසාද මනුස්‌සයා වෙන ගෑනු කෙනෙක්‌ එක්‌ක සම්බන්ධ වෙලා මට හිරිහැර කළා. එයාට දරුවො දෙන්නා දීලා මම මේ කෙනා එක්‌ක විවාහ වුණා. දරුවො දෙන්නට තාත්තාත් එයාගෙ අලුත් නෝනත් හිරිහැර කරන්න පටන් ගත්තට පස්‌සේ පුතාලා දෙන්නම අපි ළඟට ගත්තා. තාත්තට වැඩිය ආදරෙන් බාප්පා මේ දරු දෙන්නට සලකනවා. මගෙ අක්‌කගෙ දුවත් ඉස්‌කෝලෙ නොයා ඉඳලා අපේ ළඟ ඉඳන් දැන් ඉස්‌කෝලේ යනවා. එයාට පරිවාස දෙපාර්තමේන්තුවෙන් උදව් කරනවා. 

අපි කුලී වැඩ කරල ගඩොල් කැටයක්‌ කපල ජීවිතයට මුහුණ දෙන්නෙ. වැහි කාලෙට ගංවතුරට ගෙදර යටවෙනකොට අඳින ඇඳුම් ටිකයි වළං මුට්‌ටි ටිකයි අරගෙන නෑදැ ගෙදරකට යනවා. වතුර බැහැල ගියාම ආයෙත් ඇවිත් ජීවිතේ පටන්ගන්නවා. 

මේ විදියට එදා වේල හොයාගෙන කන අපිට පොලිසිය කියනවා නඩු දානවා කියලා. පුතාට ගැහුව එස්‌. අයි. මහත්තයා කියනවා සමථ මණ්‌ඩලයට දාලා සමාදාන කරන්නම් කියල. ඉස්‌කෝලෙ පොත්පත්, පෑන්, පැන්සල් වගේ ගොඩක්‌ බඩු නැතිවෙලා කියල සර්ල කියනවා. ඒවා අරන් දෙන්න පුළුවන්කමක්‌ අපිට නෑ. මේ සිද්ධියෙන් පස්‌සෙ දරුවා බයේ ඉස්‌කෝලෙ යන්න බෑ කියනවා.

 දැන් මේ අවනඩුව මම කාට කියන්නද? අපි ඉල්ලන්නෙ මේ දරුවාට කරදරයක්‌ නැතිව ඉගෙනගන්න දෙන්න කියල. පසිඳුගේ අම්මට අද සාධාරණත්වය වෙනුවට ඉල්ලන්න වෙලා තියෙන්නෙ බියෙන් සැකයෙන් තොරව පොඩි දරුවකුට ජීවත් වීමේ අයිතිය. ඒ අයිතිය ලබාදෙන්න ධර්මචක්‌කරේ පැළඳගෙන ඉන්න රාළහාමි මහත්වරුන්ට වගකීමක්‌ තියනවා. එය එලෙස සිදුවෙනවා කියල දැනුණු දාට පසිඳු ආයෙත් ඉස්‌කෝලෙ යන්න බෑ කියන්නෙ නෑ කියල අපි දන්නවා. එදාට පසිඳු ආයෙත් ඉස්‌කෝලේ යනවා.