බොදු බල හමුදාවේ ‘අලූත්’ යුද්ධය




සුනන්ද දේශප‍්‍රිය

 චන්ඩිකමින් හෝ බලහත්කාරයෙන් හෝ දඩුවමින් හෝ ඇදහිල්ලක් හරි මඟ ගත හැකිද? එලෙස කල්පනා කරන ආගමික ඇදහිළි ගණනාවක් ලොව තිබෙන බව ඇත්ත ය. එනමුත් සිංහල බෞද්ධ සංස්කෘතික දායාදයෙහි නම් එවැනි නැඹුරුවක් තිබුණේ නැත. මෙම වෙසක් සමයෙහි සිය සේනාවෙහි භටයින් වේවැල් ආයුධ වලින් සන්නද්ධ වී වීදී සංචාරය කරමින් තමන්ගේ නියෝග පිළි නොපදින ජනයාට පහර දෙනු ඇතැයි බොදු බල සේනාව කියා සිටියේ ය. සිය හමුදාවේ පිරිස් විදේශයන්ගෙන් ගෙන්වන ලද වෙසක් ලාම්පු විකුණන වෙළද සැල් වටලනු ඇතැයි ද එම සේනාධිනායක ඥණසාර තෙර ප‍්‍රකාශ කර තිබුණි. 

වෙසක් දිනයෙහි කළ නොකළ යුතු දෑ නියෝගයක් මගින් පැනවූ සේනාධිපති තෙර ඒවා නොපිළිපදින්නන්ට තදබල දඩුවම් ලබා දෙන බව ද ප‍්‍රකාශ කර තිබුණි. ඥනසාර තෙරගේ හමුදාවට මෙම ප‍්‍රචන්ඩ බලය ලබා දුන්නේ කව්ද? බුදදහම පිළිබඳ අධිකාරයක් ඥණසාර තෙරට තිබේ ද? ඥාණසාර තෙරගේ දැක්මට පිටින් යන බෞද්ධ ඇදහිල්ලක් ශ‍්‍රී ලංකාවේ තිබිය නොහැකි ද? බොදු බල හමුදාවෙහි බුද්ධාගම ශ‍්‍රී ලංකාවෙහි පිහිටුවන්නට යන්නේ බලහත්කාරයෙන් බව දැන් කව්රුත් දන්නා කරුණකි. 

පසුගිය මාස ගණනාව තුළ ශ‍්‍රී ලාංකික සමාජයෙහි ත‍්‍රස්ත එනම් අනුන් බිය වැද්දවිය හැකි නායකත්වයක් අල්ලා මෙම ආගමික හමුදාව සමත් වී තිබේ. මෙම බිය ජනක බලය එහි ගිහි සේනාධිනායක වන දිලන්ත විතානගේ ගේ මුහුණට පවා ආරෝපනය වී ඇති බව ජායාරූප පෙන්නුම් කරයි. අප දන්නා තරමට චන්ඩිකම සහ බෞද්ධ ඇදහිල්ල එකට ගමන් කරන්නේ නැත. එසේ නමුත් යුද සමය තුළ බෞද්ධ ඇදහිල්ලෙහි බලහත්කාර ප‍්‍රවණතාවයන් ශක්තිමත් තරන ලදී. ඒ යුද්ධයට ප‍්‍රයෝජන ගැනීම පිණිස ය. ඊට පසුබිම සැකසුණේ එල්ටීටීඊ විරෝධී යුද්ධයේ ධජය ලෙස බෞද්ධ කොඩිය යොදා ගත් දේශපාලනය විසිනි. යුද්ධය කෙරුනේ හුදෙක් එල්ටීටීඊ සන්නද්ධ බලය පරාජය කිරීමේ අරමුණින් නම් ඒ සඳහා බෞද්ධ කොඩිය අත්‍යවශය සාධකයක් වන්නේ නැත. 

 යුද සමය තුළ වෘත්තීය යුද හමුදාවක සිට ශ‍්‍රී ලාංකික යුද්ධ හමුදාව සිංහල බෞද්ධ මතවාදී හමුදාවක් බවට පත් කිරීම අවශ්‍ය වූයේ වෙනත් කරුණක් උදෙසා ය. එනම් යුද්ධය එල්ටීටීඊ ය පරාජය කිරීමෙන් ඔබ්බට ගෙන ගොස් මෙරට වසන කිතුණු, හින්දු සහ මුස්ලිම් ආගමිකයින් මත සිංහල බෞද්ධ ආධිපත්‍ය පිහිටුවීම පිණිස ය. බොදු බල හමුදාවේ පැන නැගීම එම අවශ්‍යතාවය ඉටු කිරීමකි. යුද්ධය අවසන් වී සිව් වසරක් ගතවන මේ අවස්ථාවේ අප අත් දකින බොදු බල හමුදාව යනු යුද්ධ මතවාදයේ දිගුවක් මිස අහම්බයක් නොවේ. ශ‍්‍රී ලාංකික යුද්ධ බලයේ වත්මන් සංකේතය වන ගෝඨාභය රාජපක්ෂ සහ බොදු බල හමුදාව අරත ඇත්තේ පෙකෙණෙි වැළ සම්බන්ධයකි. 

බොදු බල හමුදාවේ ප‍්‍රචන්ඩ බලය පැන නගින්නේ රාජ්‍යයට බාහිර උල්පතකින් නොවේ. රාජ්‍ය බලයේ අතිරේක දිගුවක් වන එහි පැවැත්ම රදා පවතින්නේ රාජ්‍ය අනුග‍්‍රහය ඇති තාක් පමණකි. රාජ්‍ය ය විසින් මෙම හමුදාව රුක ගන්නා ආකාරය පෙනී ගිය අපූරු අවස්ථාවක් වූයේ අසාද් සාලි අත් අඩංඟුවට ගැනීම යි. බොදු බල හමුදාවේ මුස්ලිම් විරෝධී ක‍්‍රියාවන්ට සම්බන්ධයෙන් මුස්ලිම් ජනයා තුළ නැගි එන අසහනය සහ කණස්සල්ළට ප‍්‍රකාශනයක් බවට පත් වීමට අසාද් සාලි උත්සාහ කළේ ය. තවත් දේශපාලනඥයකු පමණක් වන සාලි එම පිළිවෙත කරා මාරු වුයේ හුදෙක් ජනප‍්‍රියවීමේ අරමුණින්ද නැතහොත් ඇත්ත වශයෙන්ම මුස්ලිම් අයිතීන් රුක ගැනීම උදෙසා ද යන ප‍්‍රශ්ණයට තවම හරි උත්තරයක් නැත. 

කෙසේ වෙතත් අන්තවාදී බොදු බල සේනා සේනාධිපතීන් අත් අඩංඟුවට ගන්නවා වෙනුවට සාලි සිර ගත කළ රාජ්‍ය ය ඉතා පැහැදිළි පණිවිඩයක් දුන්නේ ය. එනම් බොදු බල හමුදාවට අභිෝගයක් විය හැකි මුස්ලිම් දේශපාලන මතවාදී ව්‍යාපාරයකට ලෙහෙසියෙන් ඉඩ නොතබන බවයි. බොදු බල හමුදාව සිය ප‍්‍රචන්ඩ දේශපාලනය කර ගෙන යන අතර අසාද් සාලි දැන් නිහඩ ය. 

 බොදු බල හමුදාවේ තවත් ලක්ෂනයක් නම් අභ්‍යන්තර ප‍්‍රචන්ඩත්වය යි. ප‍්‍රචන්ඩත්වය යොදා ගැනීමට ඇති හැකියාව පමණක් නිසාම බලයක් ලෙස පවතින මෙම හමුදාව ස්වභාවිකවම එකමුතුව සඳහා ජන රුළිය වැනි සිය බාහිර විවේචකයින්ට පමණක් නොව අභ්‍යන්තර විවේචකයින්ටද සළකන්නේ ත‍්‍රස්තයෙනි. ඒ ප‍්‍රචන්ඩත්වය මත රඳා පවතින ඹ්නෑම සංවිධනයක ජන්ම ලක්ෂනයකි. ඊට හොඳම නිදසුනක් නම් සිය අභ්‍යන්තර විවේචකයින් දස වධ දී ඝාතනය කළ එල්ටීටීඊ ය යි. බොදු බල හමුදාවේ මෙම ත‍්‍රස්ත ස්වභාවය පෙන්වන එක් උදාහරණයක් විමර්ශන කටයුතු බාරය සිටි පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන හිමි විසින් ජනාධිපති වෙත යවන ලද ලිපියකින් හෙළිදරව් වේ. එහි මෙසේ සඳහන් වේ ‘‘ මා කාමරයකට දමා (බොදු බල හමුදාවේ සේනාධිපතීන්ගේ නම් සඳහන් ය* දොරගුළු වසා වීඩියෝ කැමරාවක් මගින් පටිගත කරමින් දිගින් දිගටම මගෙන් ප‍්‍රශ්න කළහ. මාගේ ජංගම දුරකථන දෙක ඔවුන්ගේ බාරයට ගන්නා ලද අතර එම සිම් පත් කඩා විනාශ කර දමන ලදි. ....මාගේ කාමරය විවෘත කොට ඔවුන් සියලූම දෙනා එයට ඇතුල්වී මාගේ පරිගණක යන්ත‍්‍රය, වොයිස් රෙකෝඩරය, පෙන් ඩ‍්‍රයිව් දෙකක්, ලිපි ලේඛන තවත් බොහෝ දේ බලහත්කාරයෙන් රැුගෙන ගියහ.’’ 

 බොදු බල හමුදාවේ ප‍්‍රචන්ඩත්වයන් ආරක්ෂා කරන රාජ්‍ය මර්දනකාරී උපාංග අවිහිංසාවාදී ලෙස හෝ එම හමුදාවට අභියෝග කරන කවරකුට වුවත් බෙදන්නේ යුද්ධයෙන් පසු සාමකාමීව සිය අයිතීන් ඉල්ලන දෙමළ ජනයාට බෙදන හැන්දෙන්ම ය. මැයි 22 දින වාර්තා වුයේ බොදු බල හමුදා කාර්්‍යාලය ඉදිරිපිට සාමකාමී විරෝධතාවයක යෙදී සිටි බෞද්ධ භික්ෂුන් පිරිසකට හමුදා පිරිස් පහර දීමෙන් එක් භික්ෂුවක් දන්ත ධාතුවක් ද නැතිව රෝහල් ගත කර ඇති බව ය. වඩා වැදගත්ම ප‍්‍රවෘත්තිය ද ඒ සමඟම අසන්නට ලැබුණි.

 එනම් උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට විරුද්ධව තමන් පාරට වඩින බව සේනාධිනායක ඥාණසාර තෙර විසින් අඥාවක් ලෙස නිවේදනය කර තිබීම ය. උතුරු පළාත් සභා මැතිවරණය කේන්ද්‍ර කර ගනිමින් බලවේග පෙළ ගැසෙමින් පවතින දෙමළ - මුස්ලිම් විරෝධී මතවාදී අරගලයේ පෙරමුණූ බලවේගයක් බවට පත් නොවී බොදු බල හමුදාවට පැවැත්මක් නැත. එය බොහෝ දුරටම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සටන් පෙරමුණ වන්නට ඉඩ තිබේ. ඇත්ත වශයෙන්ම නම් මෙය අලූත් යුද්ධයක් නොවේ. නිදහස් ලංකාවේ සෑම හැරවුම් ලක්ෂයකදීම පැවැති මතවාදී - දේශපාලන යුද්ධය යි. පැරණි බලවේග සහ අලූත් යුද්ධ මුහුණු. වෙනස එපමණයි.

 26.05.13