ගොක්කොළ පෙනෙන උඩරට තේ කර්මාන්තය


                         

එදා උඩරට තේ කර්මාන්තය තරුණය. සුපිරිය. ලෝක වෙළඳ පොළේ “සිලොන් ටී නාමය“ රජ කළේය. සුපිරි වතු කළමනාකරණ පන්තියක්ද එකළ බිහිව තිබූ අතර මොවුන් තෝරාගනු ලැබුවේ මෙරට සුපිරි පාසැල්වල ඉංග්‍රීසි කතාකළ පැලැන්තියෙන් පමණි. නමුත් අද උඩරට තේ කර්මාන්තය වැලේ වැල් නැති අඩියකට ගමන් කරමින් තිබෙන බව අනාවරණය වේ.

මේ අනුව, මෙම ලිපියෙන් අදහස් කරන්නේ මේ වනවිට උඩරට තේ කර්මාන්තය මුහුණදී තිබෙන අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමටයි.

එදා සුද්දා විසින් ආරම්භ කළ උඩරට තේ වගාව මේ වනවිට අවුරුදු හැටකටත් වඩා පැරණිය. මෙම පැරණි වගාවෙන් ලබාගත හැකි අස්වැන්න අඩුවීමත්, වතු කම්කරුවන් නඩත්තු කිරීමේ වියදම දිනෙන් දිනම ඉහළ යාමත්, ලෝක වෙළඳ පොළේ මෙරට තේ දැඩි තරගයකට මුහුණ දී සිටීමත් වැනි හේතු නිසා උඩරට තේ කර්මාන්තය ඉදිරියට ගෙන යාමට නම් අළුත් මොඩලයක් සොයා ගැනීම අත්‍යවශ්‍ය කාරණාවකි.

ප්‍රාදේශීය වැවිලි සමාගම් විසින් නිකුත් කර තිබෙන දත්ත වලට උඩරට වැවිලි සමාගම් වලින් තේ කිලෝ ග්රෑම් එකක් නිපදවීම සඳහා යන පිරිවැයේ සියයට 60-70 ක් පමණම ශ්‍රමයට යන වියදම ඇතුළත් වේ.

1998 වසරේදී වතු කම්කරුවෙකුගේ දිනක වැටුප රුපියල් 115 ක්වූ අතර 2013 වනවිට එය රුපියල් 620 ක් දක්වා වැඩිවී ඇත. වැවිලි සමාගම් පවසන්නේ තවදුරටත් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම කළ හැක්කේ ඔවුන්ගේ ඵලදායීතාවය වැඩිවන්නේ නම් පමණක් බවත් එසේ නොමැති වුවහොත් මෙම කර්මාන්තය කනත්තට රැගෙන යාමට සිදුවන බවයි.

වැවිලි සමාගම් විසින් ප්‍රකාශයට පත්කර තිබෙන දත්ත වලට අනුව ශ්‍රී ලංකාව සමග තරග කරන දකුණු ඉන්දියාවේ, කෙන්යාවේ හා ඇසෑමයේ කම්කරු වැටුප් අඩු බවත් එම රටවල තේ කිලෝවක් කම්කරු වැටුපට වැඩි මිලකට අලෙවි වන බවත් හෙළි වේ.

නමුත්, ශ්‍රී ලංකාවේ තේ කිලෝවක් මේ වනවිට අලෙවි වන්නේ උඩරට වතු කම්කරුවෙකුගේ දෛනික වැටුපටත් වඩා අඩු මිලකටය.

උදාහරණයකින් මෙය පවසනවා නම් 2010 වසරේදී ශ්‍රී ලංකාවේ වතු කම්කරුවෙකුගේ දිනක වැටුප ඩොලර් 3.54 කි. ලංකාවේ තේ කිලෝ ග්රෑම් එකක් එකළ විකුණනු ලැබූවේ ඩොලර් 3.28 ක මිලකටයි. (එකළ පැවති විනිමය අනුපාතය අනුව). නමුත්, දකුණු ඉන්දියාවේ වතු කම්කරුවෙකුගේ දිනක වැටුප 2010 දී ඩොලර් 2.65 ක්වූ අතර ඔවුන්ගේ තේ කිලෝවක් ඩොලර් 2.85 කට අලෙවී තිබුණි. මීට අමතරව, කෙන්යාවේ වතු කම්කරුවෙකුගේ වැටුප ඩොලර් 2.01 ක් වෙද්දී කෙන්යානු තේ කිලෝවක් ඩොලර් 2.54 කට අලෙවි වී ඇත.

2013 වනවිට ප්‍රශ්නය තවත් උග්‍රවේ

2013 වසර වනවිට, මෙරට වතු කම්කරුවෙකුගේ දිනක වැටුප ඩොලර් 4.90 ක් දක්වා ඉහළ යනවිට ලෝක වෙළඳ පොළේ මෙරට තේ කිලෝවක් අලෙවි වී තිබෙන්නේ ඩොලර් 3.39 ක මිලකටයි. එනම්, වතු කම්කරු වැටුප හා තේ කිලෝවක් ඉපැයූ මිල අතර වෙනස අවාසි සහගත ලෙස තව තවත් පුළුල් වී තිබෙන බව මෙයින් අනාවරණය වේ.
අළුත් මොඩලයක අවශ්‍යතාවය


මෙවැනි කරුණු නිසා උඩරට තේ කර්මාන්තය දිගුකාලීනව පවත්වාගෙන යාමට තිරසාර මොඩලයක අවශ්‍යතාවය මතු වෙමින් ඇත. කම්කරුවන්ගේ අවශ්‍යතාවය මත ඉදිරියේදීත් වැටුප් වැඩිකිරීම් වලින් මිදී සිටීමට මෙම වැවිලි සමාගම් වලට නොහැකිය. එවැනි, අභියෝග හමුවේ කර්මාන්තය පවත්වාගෙන යන්නේ කෙසේදැයි වඩාත් විමර්ශනාත්මකව සිතා බැලීම වටී.  

උපුටා ගැනිම විමසුම