ළමා අපයෝජනවලින් 58%ක්‌ම ලිංගික හිංසා



ජී. ඩබ්ලිව්. ජයතිස්‌ස - කොත්මලේ

2012 වර්ෂයේ නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ සිදු වී ඇති ළමා අපයෝජනයන්ගෙන් 58.7% ක්‌ ලිංගික අපයෝජන වන අතර 18.3% ක්‌ කායික අපයෝජන වන බවත්, 3.9% ක්‌ මානසික අපයෝජන වන බවත්, දරුවන් නොසලකා හැරීම් නිසා 19.1% ක්‌ වන බවත් නුවරඑළිය දිස්‌ත්‍රික්‌ ළමා සංවර්ධන කමිටුවේදී එළිදක්‌වන ලද ළමා අපයෝජනය පිළිබඳ විශ්ලේෂණයක්‌ හා නමැති නව ළමා අපයෝජන විශ්ලේෂණ වාර්තාවෙන් අනාවරණය වෙයි.

පසුගියදා නුවරඑළිය දිස්‌ත්‍රික්‌ ලේකම් ඩී. පී. ජී. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේදී පැවැති දිස්‌ත්‍රික්‌ ළමා සංවර්ධන කමිටු රැස්‌වීමේදී ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ දිස්‌ත්‍රික්‌ නිලධාරී චම්පික කේ. අයගම මහතා විසින් මෙම ළමා අපයෝජන දැල හෙවත්  නමැති නව ළමා අපයෝජන විශ්ලේෂණ ක්‍රමවේදය හඳුන්වා දෙනු ලැබීය. එම වාර්තාවේ ඇතුළත්වන තොරතුරු අනුව අපයෝජනයන්ගෙන් වැඩි ප්‍රමාණයක්‌ නිවසේදී හා වෙනත් ස්‌ථානවලදීත්, ඉතා සුළු ප්‍රමාණයක්‌ පාසලේදීත් සිදු වී ඇති බව හෙළිදරව් වේ. වාර්තා වූ ළමා අපයෝජනයන්ගෙන් 58.9% ත් අවුරුදු 11 ත් 15 ත් අතර වයසේ පසුවන දරුවන්ට එරෙහිව සිදුවීමත් 26.6% අවුරුදු 06 ක්‌ 10 ක්‌ අතර වයසේ පසුවන දරුවන්ට එරෙහිව සිදුවීමක්‌ සුවිශේෂ කරුණක්‌ වේ. එබැවින් එම වයස්‌ කාණ්‌ඩයේ දරුවන්ගේ ආරක්‍ෂාව පිළිබඳව කාගේත් වැඩි අවධානය යොමු විය යුතු බවත්, දරුවන් අපයෝජනයට ලක්‌කර ඇති අපයෝජකයන්ගෙන් 98.2% ක්‌ම දරුවන් හොඳින් දන්නා හඳුනන පුද්ගලයන් බවත් පෙන්වාදී ඇත.

නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ ළමා අපයෝජනය ප්‍රාදේශය ලේකම් කොට්‌ඨාස අනුව අඹගමුව කොට්‌ඨාසයේ 36.50% ක්‌ද, නුවරඑළිය කොට්‌ඨාසයේ 24.60% ක්‌ද, කොත්මලේ කොට්‌ඨාසයේ 18.30% ක්‌ද, වලපනේ කොට්‌ඨාසයේ 12.70% ක්‌ද, හඟුරන්කෙත කොට්‌ඨාසයේ 7.90% ක්‌ ද වශයෙන් සිදුවන බව විශ්ලේෂණ වාර්තාවෙන් හෙළිවේ.

ජන වර්ගය අනුව ළමයින් ලිංගික අපයෝජනයට ගොදුරු වී තිබෙන්නේ සිංහල ළමයින් 46.10% ක්‌ද, දමිළ ළමයින් 51.30% ක්‌ද, මුස්‌ලිම් ළමයින් 2.60% ක්‌ ද වශයෙන් වන අතර, අපයෝජනය සිදු වූ ස්‌ථානය අනුව නිවසේදී 40.50% ක්‌ද, වෙනත් ස්‌ථානයකදී 59.50% ක්‌ද, පාසලේදී 00.00ඉ % ක්‌ද වශයෙන් සිදු වී ඇත.

 උපුටා ගැනිම දිවයින