අපේ ගමේ හාමුදුරුවෝ

නිලන්ත ඉලංගමුව

අපේ ගමේ හාමුදුරුවෝ අපවත් වූහ. උන්වන්සේ පඥ්ඥානන්ද නම් වූහ. එය සිදු වුණේ මීට දින කිහිපයකට ඉහතදීය. අද උන් වහන්සේගේ දේහය පිළිබඳව අවසාන කටයුතු සිදු කරනු ඇත. උන් වහන්සේ එතරම් මහළු නොවුවද හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන්  මරණයට පත් වූහ.  


මරණය කාටත් පොදු දෙයකි. සිදුවන විලාසය සහ කාලය අතර වෙනසක් තිබුනද අවසාන ප්‍රතිඵලය එතෙක් කල් නඩත්තු කළ භෞතික ශරීරයට තව දුරටත් පැවතීමට නොහැකි  වීම සහ එය තවත් විෂයක ආහාරයක් බවට පත් වීම සිදු වේ. එය ඇති තැන තිබේ. නැති තැන නැත. එය නැති වූ පමණින් ලෝකය නැති වෙන්නේද නැත. එය නැති වීම සහ පැවතීම ලෝකයේ කොටසක් බැවින්, සදාතනික වස්තුව නොනැසී ආයතනික පද්ධතියේ වෙනස් කම් පමණක් සිදු වේ.

මරණය හෝ මරණින් පසු අප ජීවත් වූ එනම් අප සම්බන්ධකම් පැවැත් වූ සමාජ සංස්ථාවල අපි විසින් ඉතුරු කළ දෑ ගැන විස්තර කිරීම මෙහි අරමුණ නොවේ. එනම් මෙහි අරමුණ ගමේ පන්සලේ හාමුදුරුවන්ව මතක් කිරීමය. ඇතැම් විටක එය කිසිවෙකුට ප්‍රයෝජනයක්ද විය නොහැකිය. නමුත් උන් වහන්සේ හඳුනා ගත් බුදුන් වහන්සේ වෙනත් බොහෝ හාමුදුරුවරුන්ට හමු නොවුන බුදුන් වහන්සේ වූහ. උන්වහන්සේ, උන්වහන්සේගේ විශ්වාසයන් වෙනුවෙන් තිරව කටයුතු කළහ. සැතපුම් ගණන් පයින් ඇවිද ගිය උන් වහන්සේ කිසිඳු දිනක අධි සුඛෝපභෝගී ජීවිතයක් ගත් කිරීමට සිහිනයක්වත් තිබුනා යැයි කීමට අපහසුය.
උන් වහන්සේ  දහම් පාසලක් ආරම්භ කළහ. දහම් පාසල දිස්ත්‍රික් තරග වලින් ප්‍රධාන තැනකට පත්  වෙන විට උන් වහන්සේගේ මුව සිනහවෙන් පිරී ගියහ. තරග වලින් පරාජය වන විට උන් වහන්සේ  දුකට පත් නොවුවද ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියා මාර්ග ගැන විස්තර කළේය. 

එකල දහම් පාසල පාසලට වඩා විශාල එකක් විය. එහි සතුට පමණක් නොව බොහෝ දෑ ඉගෙන ගැනීමට අවශ්‍ය පරිසරය උන් වහන්සේ නිර්මාණය කර තිබුණහ.  උන් වහන්සේගේ ජීවිතය කුමන අරමුණක් වෙනුවෙන් කැප කළේද යන්නට ඇති සරලම පිළිතුර නම් ළමුන්ගේ අධ්‍යාපනය වෙනුවෙනි.  උන් වහන්සේ  සිදු කළ විශාලතම මෙහෙවර වූයේද එයයි.

සංඝයා වහන්සේ කෙනෙකු ලෙස, උන් වහන්සේ මහත්  ප්‍රිය උපදවන දෙයක් සිදු කළහ. එනම් කිසිඳු දිනක ලොකු බණක් කීමට නොයා ගමේ මිනිසුන් ගැන, සතා සීපාවා ගැන ගහ කොළ ගැන විස්තර කරමින් සරල දෑ ගැන දේශනා කිරීමය. ගමේ ජීවිතය ගැන මෙන්ම ඒ වටා හැදුනු ජීවන රටාවේ කොටස් කාරයෙකු බවට උන් වහන්සේ පත් වූහ.

පසු ගිය වසරේහි මා බුදුන් වහන්සේ බුද්ධත්වය ලැබූ ස්ථානයට ගොස් මාගේ දෙමාපියන් සමඟ ආපසු අපි නවාතැන් ගෙන සිටි ස්ථානයට එමින් සිටියෙමු. බුද්ධ ගයා පන්සල සමීපයේම ඇති පොත් හලකින් තිච් නහ්ට් නහ හිමියන් විසින් ලියනු  ලැබූ " ඕල්ඩ් පාත් වයින් ක්ලවුඩ්" නමැති කෘතීය මිලදී ගෙන එය ඉඩක් ලද සෑම අවස්ථාවකදීම  කියෙව්වෙමි. එහි කතුවරයා තම අදහස්  සරල සහ  සුමට ලෙස ලියා ඇත. බුදුන් වහන්සේ ගමන් කළ මාර්ගය සහ උන් වහන්සේ දේශනා කළ දෑ පිළිබඳව අතිශය සරල සහ මනසින් ඉතිහාසය දැකිය හැකි ආකාරයෙන් ලියා ඇත. එය බුදු හිමියන් පිළිබඳව දැනගැනීම සඳහා කියවීමට වැදගත් කෘතියකි.

එහි බුදුදහම ගැන ඇතැම් කරුණු ලියා ඇත. ඇතැම් කාරණා සම්ප්‍රදායික  විස්වාශයන් සමඟ බැඳී තිබුනද ඇතැම් කාරණා සරල ලෙස සියුම්ව විස්තර කොට ඇත.  බුදුදහම වූ කලී ආගමක් හෝ දර්ශනයක් නොවේ. එය අත් විඳීමකි. එය යථාර්තය අත් විඳීමකි. යමෙක් බොරුවක් කී විට ඊට රැවටුන කෙනා නොව එය කියපු කෙනා තම හර්ද සාක්ෂියෙන් විඳින වේදනාව වූ කලී යථාර්තයකි. එය කරත්තයට බැඳී ගොනා පිටුපස කරත්තය මෙන් ගමන් කරන දෙයකි. කන්දක් මුදුනේ, මහා සාගරයේ පතුලේ සැඟවුනද නිදහස් වීමට හැකියාවක් නැති දෙයකි. ඒ ආකාරයෙන් අප හා බැඳී ඇති සෑම සිදුවීමකම සහ එම සිදුවීම් අපට කරන බලපෑම සමබන්ධයෙන් ඇති නිශ්චිත යථාර්තය වන්නේ එයයි.

ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ ජීවිතයද ඉතා සරල එකක් විය. උන් වහන්සේ කළ දේශපාලනය නම් ගමේ ළමුන්ට අධ්‍යාපනය දීමය.  ඒ සඳහා කැප කිරීම් කිරීමය.  එය උන් වහන්සේගේ විපල්වය විය.