වික්ටර් හියුගෝගේ Les Misarables

එස්. නන්දලාල්

Les Misarables යනු වික්ටර් හියුගෝ (1802 - 1885) නම් ප්‍රංශ ජාතික මහා ලේඛකයා විසින් ලියන ලදුව 1862 දී ප්‍රකාශයට පත් කෘතිය හැඳින්වෙන නමයි. මේ කෘතිය 15 දෙනෙකු පමණ විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කරනු ලැබ ඇති අතර ඒ සෑම පරිවර්තනයට ම දී ඇත්තේ ප්‍රංශ මුල් පොතේ නම වන Les Misarables ම ය. සාහිත්‍ය නිර්මාණ විශාල සංඛ්‍යාවක කතුවරයා වන වික්ටර් හියුගෝ ප්‍රකට වැ සිට ඇත්තේ කවියකු වශයෙනි. එහෙත් ඔහු දීර්ඝ නවකතා සහ නාට්‍ය කිහිපයක් ද රචනා කළේ ය. හියුගෝ වඩා ප්‍රචලිත වූයේ අවුරුදු 17 ක් තරම් කල් ගෙන රචනා කරන ලද Les Misarables නිකුත් වීමෙන් අනතුරුව බව පැවසේ. එහි පළමුවන කොටස වන පැන්තිනේ නිකුත් වන විට කතුවරයා සිටියේ දුර බැහැරක ය. දින කිහිපයකට පසු ඔහු සිය

ප්‍රකාශකයාට “?” යනුවෙන් සඳහන් විදුලි පුවතක් එවූ බවත් ප්‍රකාශකයා ඊට පිළිතුරු වශයෙන් “!” සඳහන් පිළි

තුර විදුලි පුවතක් එවූ බවත් ප්‍රවාදගත ය. මෙය ඇසුරින් චිත්‍රපට, වේදිකා සහ රේඩියෝ නාට්‍ය, සංගීතමය වැඩසටහන්, ටෙලිනාට්‍ය විශාල සංඛ්‍යාවක් නිර්මාණය වී තිබේ. පසුගිය අවුරුද්දේ පවා Les Misarables නමින් චිත්‍රපටයක් නිර්මාණය කැරිණි.

Les Misarables යනු දුගී බවේ කතන්දරය ම නොවේ. එය හර්දය සාක්ෂ්‍යයේ කතාවයි. මෙහි එන ශාං වල්ශාං (සිංහලෙන් ජනවර්ජන, ඉංග්‍රීසියෙන් ජෝන් වැල්ජෝන්) සිය දිළිඳුකම නිසා සිරගත වන්නෙකි. වැන්දඹුවක් වන සිය සොහොයුරියගේ දරුවන්ගේ සාගිනි නිවන්නට පාන් ගෙඩියක් සොරකම් කළ නිසා ඔහු වසර 17 ක් වැනි දීර්ඝ කාලයකට සිරගත කෙරේ. සිරෙන් නිදහස්ව එන ශාං තමාට නවාතැන් දී කාරුණිකව සංග්‍රහ කළ බිෂොප් කෙනකුන්ගේ රිදී ඉටිපන්දම් ධාරක දෙකක් සොරකම් කරයි. පොලීසියට හසු වන ඔහු තමා වෙත රැගෙන ආ විට බිෂොප් තුමා පොලිසියට කියන්නේ ඒවා තමා ඔහුට තෑගි වශයෙන් දුන් දේ බවයි. එම භාණ්ඩ ඉතා වටිනා බවත් ඒවා විකුණා ලැබෙන මුදලින් ධාර්මිකව ජීවත්විය යුතු බවත් බිෂොප් වහන්සේ ඔහුට උපදෙස් දෙති.

ඉන්පසු ව ඔහු මතුවන්නේ මැඩෙලින් මහත්මා නමින් කම්හල් හිමියකු ලෙසිනි. මැලියම් ඇසුරින් පබලු නිපදවීමේ අලුත් තාක්ෂණයක් සොයා ගන්නා ඔහු එමඟින් විශාල ධනයක් රැස්කැර ගනියි. මේ අතර ඔහු නගරාධිපති තනතුරෙන් පිදුම් ලබයි. සිය දියණිය රක්ෂා කිරීම සඳහා සලෙල පහස ලැබූ එහෙත් දැන් තමාට රැකියාවක් තිබෙන නිසා එය අත්හැර දැමූ ලියක් ඔහුගේ කම්හලේ සේවය කරයි. දවසක් පරණ පුරුද්දට සලෙලු ඇයට බලපෑම් කරති. මෙය දකින කම්හල් කළමනාකරු කිසි වගවිභාගයකින් තොරව ඇය සේවයෙන් නෙරපයි. මෙයින් අසරණ බවට පත්වන පැන්තිනා නම් ඒ ගැහැනිය රෝගී වන අතර මැග්දලින් මහතා සමඟ වෛර බැඳ ගනියි.

නගරයේ පොලීසිය භාර ජාවෙට් (සිංහලෙන් ජන්තු)

නම් නිලධාරියා මැග්දලින් මහතා ගැන ඇහැ ගසා ගෙන සිටියි. මන්දයත් මෙ මැග්දලින් මහත්මා වනාහි තමා ටූලෝං සිපිරි ගෙයි නිලධාරියකුව සිටියදී හමුවූ ශාං

වල්ශාං නමැති සිරකරු ම ය’යි ඔහු සැක කරන හෙයිනි. දිනක් ජාවෙට් නගරාධිපති හමුවට පැමිණ ආචාර පවත්වා තමාගේ සිතේ මෙතෙක් කල් පැවැති සැකය හෙළි කොට තමා ඒ පිළිබඳව පොලිස් ප්‍රධානියාට පැමිණිලි කළ බවත් ශාං වල්ශාං වෙනත් සොරකමකට හසුව ඇරාස් හි ප්‍රත්‍යන්ත අධිකරණයකට ඉදිරිපත් කොට සිටින බවත් සිපිරිගෙයි ඔහු සමඟ ගත කළ අනෙකුත් සිරකරුවන් විසින් ඔහු හඳුනා ගන්නා ලද බවත් පවසා සමාව ඉල්ලයි. ඔහුට සමාවක් අවශ්‍ය නොවන බව පෙන්වා දෙන නගරාධිපති ඔහුගේ සේවය පසසයි. නිලධාරියා නික්ම ගිය පසු ඔහු පැන්තිනා නම් ස්ත්‍රියට රෝහලේ පහසුකම් සොයා බැලීම සඳහා යයි. නගරාධිපති තමාට හිරිහැර නොකළ බව වටහා ගන්නා ස්ත්‍රිය තම දියණිය වන කොසෙට් (කිසා) ගෙන්වා දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියි. ඔහු ඇයට පොරොන්දු වෙයි.

ඉන්පසු ඇරාස් වෙත යන ඔහු අධිකරණය හමුවේ පෙනී සිට නියම ශාං වල්ශාං තමා බව ඔප්පු කර පෙන්වයි. අධිකරණය ඔහු සිරගත කරයි. පසු දවසක සිරෙන් පලා යන ඔහු පැරිසියේ වෙනත් නමකින් පෙනී සිටියි. කොසෙට් ද දියණිය සේ ඔහු සමඟ වෙසෙයි. ඇය යොවුන් වියට එළැඹෙත් ම මේරියස් නමැති තරුණයෙක් ඇගේ පෙම පතයි. මේරියස් පසුව (1832 පැරීසියේ පැන නැගි) විප්ලවවාදීන්ගේ අරගලයට එක්වෙයි. කැරැල්ලේ දී මේරියස්ට වෙඩි වැදී මාරාන්තික වෙයි. ඒ අවස්ථාවේ ඔහු කර තබා ගෙන නාගරික මළාපවහන කාණුවක් දිගේ ගොස් ඔහුගේ ජීවිතය බේරා දෙන්නේ ශාං ය.

කැරලිකරුවන් විසින් අත්අඩංගුවට ගෙන සිටි ඉන්ස්පෙක්ටර් ජාවෙට් මරණයෙන් මුදා ගන්නේ ද ශාං වල්ශාං විසිනි. මෙය ජාවෙට්ගේ සිතේ මහත් කම්පනයක් ඇති කරයි. පසු අවස්ථාවෙක පලායිත සිරකරු ශාං වල්ශාං අල්වා ගන්නට පරීක්ෂක ජාවෙට්ට අවස්ථාවක් ලැබේ. ඒ

අවස්ථාවේ දී සිය රාජකාරි ජීවිතයේ කිසිදා නොකළ වැඩක් ජාවෙට් කරයි. එනම් තමා අතට අසුවුණු වරද කරුවකුට පළා යන්නට ඉඩ හැරීම ය. දැන් ජාවෙට්ට සිය

හර්දය සාක්ෂයට මුහුණ දී ගත නොහෙයි. ඒ නිසා ඔහු කරන්නේ සේන් නදියට පැන ස්වයං ඝාතනයේ යෙදීමයි.

මේරියස් සුවපත් වූ පසු ඔහුගේ සහ කොසෙට්ගේ විවාහය සිදුවෙයි. තමා ටූලෝං සිරකරුවකුව සිටි බවත් නීති උල්ලංඝකයකු බවත් වරෙන්තු පිට සිටින බවත් දැරියට තමාගේ කිසි සම්බන්ධයක් නොමැති බවත් ඔහු මේරියන්ස් ට හෙළි කරයි. තමාගේ දිවි රැක දුන්නේ මොහු බව නොදන්නා මේරියස් ඔහුට සිය නිවෙසට පැමිණ කොසෙට් හමුවන්නට තිබූ අවස්ථා කෙමෙන් අහිමි කරයි. මෙය වටහා ගන්නා ශාං ඉන්පසු ඇයගේ නිවෙසට නොයයි.

සාංකාවෙන් පෙළෙන ඔහු හුදෙකලාව සිටිය දී ලිපියක් ලියයි. පසුව සියල්ල වටහා ගන්නා මේරියස් කොසෙට් ද කැටුව ඔහු කැඳවා යන්නට ආවත් ඒ වනවිට ඔවුන් පමා වූවා වැඩිය. කොසෙට් අත ඔහු අවසන් සුසුම් හෙළයි.

දීර්ඝ කෘතියක් වන Les Misarables හි සිංහල පරිවර්තන කිහිපයක් ම ඇත. එහෙත් ඒ එකක්වත් සම්පූර්ණ පරිවර්තන නොවේ.

1953 අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල විසින් කරන ලද සංක්ෂිප්ත පරිවර්තනය මනුතාපය නමි. එය කලක් සාමාන්‍ය පෙළ විභාගය සඳහා නිර්දිශ්ට ද වීය. හැටේ දශකයේ දී තවත් එවැනි ම අනුවාදයක් ‘දින දුක’ නමින් නිකුත් වූ බව මතකය. විජේරත්න දොලවත්ත විසින් කරන ලද තවත් අනුවර්තනයක් ‘මනස්තාපය’ නමින් සමයවර්ධන ප්‍රකාශකයන් විසින් 2006 දී එළි දක්වා තිබේ.