The Kite Runner

The Kite Runner යනු ඇෆ්ගන් ජාතික දැනට ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසියකු වන කාලිඩ් හොසෙයිනි නම් ලේඛකයාගේ ප්‍රථම නවකථාවයි.

ළමයින් තරගයට සරුංගල් අරින විට සරුංගලය මිදී ගියහොත් එය වැටෙන තැනකින් ගෙන එන්නට සහායකයෙක් අවශ්‍ය වෙයි. කයිට් රනර් කියන්නේ ඔහුට ය. ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර වෙසෙන පස්තුන් ගෝත්‍රික, සුන්නි මුස්ලිම් ධනවතකුගේ පුත්‍රයකු වන අමීර්ට එවැනි අතවැසියෙක් සිටියි. ඔහු නම් හසාරා ගෝත්‍රික ෂිහා මුස්ලිමකු වන හසන් ය. මේ ළමයින් දෙදෙනා සම වයසේ පසුවුව ද ඉලංගරත්නයන්ගේ පොතේ එන තාලේ අඹ යහලුවන් වුව ද ඔවුන් අතර එම වෙනස ම තිබේ. (එහෙත් පසුව අනාවරණය කෙරෙන පරිදි හසන් යනු අමීර්ගේ පියාගේ ම අනියම් පුතෙකි.)

ඔවුන්ගේ තුරුණු වියේ දී එනම් 1979 දී සෝවියට් හමුදා ඇෆ්ගනිස්ථානයේ ආක්‍රමණය කළේ ය. එතැන් සිට අද දක්වා ම එරට වැසියන් මුහුණ දෙන කරදර නිමක් නැත. 

මුජාහිදින් කල්ලි ඇරැඹෙන්නේ සෝවියට් පාලන සමයේ ඊට එරෙහිව ඇමෙරිකානු ආධාර ඇතිව ය. පසුව තාලිබාන්, අල්-ඛයිඩා වැනි ත්‍රස්ත කල්ලිවලට පදනම වැටෙන්නේ එයිනි.

අමීර් සරුංගල් යවන විට නූල් කැඩුණහොත් ඇහිඳගෙන එන්නට දුවන්නේ හසාරාවකු වන හසන් ය. එසේ දිවයන එක් අවස්ථාවක ප්‍රතිවාදී කොලු කල්ලියක නායකයකු අතින් ඔහු දූෂණයට පවා ලක්වෙයි. අමීර් මෙය දන්නා නමුත් එය වසං කැරගෙන සිටියි.

1980 වසරේ අමීර්ගේ පියා ඔහු කැටුව ඇමෙරිකාවට පළා යයි. ඇෆ්ගන් ආක්‍රමණික පාලනයෙන් මිදී වැඩි නිදහසක් භුක්ති විඳින්නට අවස්ථාව ලබා ගන්නා නමුත් ඔවුන්ට එහි දී බටහිර ක්‍රිස්තියානීන් සමඟ මතුපිටින් නොපෙනෙන සටනක් කරන්නට සිදුවෙයි. කෙසේ වෙතත් ඇමෙරිකාවේ සරසවියකට ඇතුළු වන අමීර් උපාධිය ලබා ගනියි. අමීර්ට ඇෆ්ගන් මූලයෙන් යුත් සොරායා එහි දී හමුවෙයි. පසුව ඇය ඔහුගේ පෙම්වතිය බවට පත්වෙයි.
අමීර් සහ පියා ඇමෙරිකාවේ ආරක්ෂිත ජීවිතයකට හිමිකම ලබාගනිද්දී ඔවුන්ගේ රටේ මිනිස්සු කබලෙන් ළිපට වැටෙති. ඔවුන්ගේ ගෙවල් ගිනි තැබේ. ගැහැනු සහ දරුවෝ දූෂණය කෙරෙති. දුප්පතුන් සන්තකයේ කිසියම් දැයක් තිබිණි නම් මංකොල්ල කනු ලැබෙති. ෂියා මුස්ලිමුන් සහ හසාරා වැනි ‘අඩු’ ජම්මයක් සහිත අහිංසක මිනිස්සු වැඩි වැඩියෙන් පීඩාවට පත් කෙරෙති.
පසුව තාලිබාන්වරු ඇෆ්ගනිස්ථානයේ පාලනය අල්ලා ගනිති. ඔවුන් පාලනය ගෙන යන්නේ දැඩි අන්තවාදී ආගමික මූලධර්මවලට අනුව ය. තාලිබාන් පාලනය යටතේ වුණ හසාරාවුන්ට විමුක්තියක් ලැබෙන්නේ නැත. පසුව හසාන් ඝාතනය වූ බව දැන ගන්නට ලැබෙයි. වරදකාරී හැඟීමෙන් පෙළෙන අමීර්, හසන්ගේ පුත් සොහ්රාබ් මුදා ගැනීමේ මෙහෙයුමක් අරඹයි. කතාව අවසන් වන විට කුඩා සොහ්රාබ් සරුංගලයක් ගුවන් ගත කරයි. ඔහුගේ රනර් වූයේ අමීර් ය.
කාලිඩ් හොසෙයිනිගේ මුල්ම නවකතාව වන මෙයින් ඔහු ඇෆ්ගනිස්ථානය පිළිබඳ පුළුල් වපසරියක් ආවරණය කරයි.
එරටේ පැවැති සහ දැනටත් පවතින අස්ථාවර දේශපාලන වාතාවරණය අද වන විට මුළු ලොවටම සාපයක් වී හමාර ය. ඇත්තට ම නම් වර්තමාන ලෝකයේ පවතින බොහෝ ව්‍යසනවලට මුල හැත්තෑ ගණන්වල ඇෆ්ගනිස්තානයේ පැවැති ඒ අස්ථාවර තත්ත්වය ය.
ද කයිට් රනර් හැඳින්වෙන්නේ ඉහවහා ගිය මනුෂ්‍යත්වයේ කතන්දරයක් ලෙසිනි. එය මිත්‍රත්වයේ, ලැදිකමේ, කෲරත්වයේ, මුදා ගැනීමේ, ගැලවීමේ සහ පිළිගනු ඇතැ’යි අපේක්ෂාවෙන් බලා සිටීමේ කතන්දරය බව චඡධභබ.ජධථ හි එරීන් කොලෑසෝ මිලර් පවසයි. ඉසබෙල් අයියන්දේ පවසන්නේ ආදරය, ගෞරවය, බිය විමුක්තිය ලැබීම යනාදී බොහෝ තේමා එහි ඇතුළත් බවයි. ගාඩියන් පත්‍රයේ අමීලියා හිල්ට අනුව එය ශේක්ස්පියර් ආකෘතියේ මහා කාව්‍යයක ගති සොබා පෙන්වයි.
ඉංගී‍්‍රසියෙන් පළවුණ ප්‍රථම ඇෆ්ගන් නවකතාව මෙය ලෙස සැලකේ. ඒ කෙසේ වෙතත්, ඇෆ්ගන් සංස්කෘතිය නිර්මාණාත්මක ප්‍රබන්ධයක් ලෙස ලොවට ඉදිරිපත් කළ ප්‍රථමයා හොසෙයිනි බවත් දරුණු ලෙස ඉතිහාසය විසින් වළලා දමන ලද ව්‍යසනයට පත් දේශයක පොදු ජනයාගේ ජීවන අරගලය සාරවත් සහ ආත්ම ගවේශක ආඛ්‍යානයක් ලෙස ඔහු ඉදිරිපත් කරන බවත් ඇය පෙන්වා දෙයි.
මේ සියලු ව්‍යසන හා ඇෆ්ගනිස්තානයේ වර්තමාන පරම්පරාවේ හැසිරීම හොසෙයිනි ලියන්නේ මෙ පරිද්දෙනි.
“සොහ්රාබ් මෙසේ නිහැඬියාවේ ගිලී උන්න ද ලෝකය එසේ පසු වූයේ නැති. ගිය සැප්තැම්බරයේ අඟහරුවාදා උදයෙක ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ගොඩනැඟිලි දෙක අළු දුහුවිලි බවට පත් වූ අතර එක් රැයකින් මුළු ලෝකය ම වෙනස් වී ගියේ ය. හදිසියේ ම සැමතැන ම - මාර්ග තදබදය අස්සෙන් එහේ මෙහේ දිවූ කහ පැහැති රථවල, මහා ප්‍රවාහයක් සේ වේදිකා මතින් ඇදී ගිය පදිකයන්ගේ කබා කරෙහි, වෙනකක් තබා සැන් ෆ‍්‍රැන්සිස්කොවේ කුඩා කලාගාර හා විවෘත වෙළෙඳසැල් ඉදිරිපිට ලැග උන් යාචකයන්ගේ ධුලි වැකි තොප්පිවල පවා - ඇමෙරිකානු ධජය දකින්නට ලැබුණේ ය...”
ප්‍රහාරය සිදු වූ ආසන්නයේ ම ඇමෙරිකාව ඇෆ්ගනිස්තානයට බෝම්බ හෙළන ලද අතර උතුරු මිත්‍ර සන්ධානයේ හමුදා ඉදිරියට පැමිණියෙන් තලිබානුවෝ මී ගුලක් තුළට වදින මී රැලක් මෙන් පළා ගියෝ ය. ඒ සමඟම වෙළෙඳසැල්හි පෝලිම්වල හුන් මිනිස්සු උන් හිටි ගමන් මගේ ළමාවියට අයත් නගර එනම් කන්දහාර්, හේරාම්, මසාර්-ඉ-ශාරිප් පිළිබඳව කතා කරන්නට පටන් ගත්තෝ ය. මා ඉතා කුඩා දරුවකුව සිටි අවදියේ දී වරෙක බාබා මා සහ හසන්, කුන්දුස් කරා කැටුව ගියේ ය. ඇකේසියා තුරු සෙවනක බාබා සහ හසාන් හා හිඳගෙන මැටි මුට්ටියක වූ පැණි කොමඩු ඉස්ම බොමින්, මුවින් පැණි කොමඩු ඇට දුරටම විදිය හැක්කේ කාටදැ’යි මාරුවෙන් මාරුවට ඔට්ටු වෙමින් සිටි ආකාරය හැරුණු විට ඒ ගමන සම්බන්ධයෙන් මට දැන් ඒ හැටි මතකයක් නැති. 

දැන් ඩාන්, රදාර්, ටොම් බ්‍රොකාවු සහ ස්ටාර්බියුක් හි මිනිස්සු තේ තොල ගාමින් කුන්දුස් එනම් උතුරේ තාලිබානුවන්ගේ අවසාන බල කඳවුර මුදා ගැනීම උදෙසා කෙරුණු සටන පිළිබඳව කතා බස් කළෝ ය. එම දෙසැම්බරයේ දී පස්තුන්, උස්බෙක්, තජික් හා හසාරා ගෝත්‍රිකයෝ බොන් හි ඒකරාශි වූවෝ එක්සත් ජාතීන්ගේ සුපරීක්ෂාව යටතේ යම් දිනයක ස්වකීය ශුද්ධ භූමියේ විසි වසරක් පුරා රජැයූ අසන්තුෂ්ඨියේ අවසානය සනිටුහන් කෙරෙනු ඇත්තා වූ ක්‍රියාවලියක් ආරම්භ කළෝ ය. හමීඩ් කර්ස්යායිගේ කරාකුල් තොප්පිය සහ කොළ පැහැති චපානය ප්‍රසිද්ධියට පැමිණියේ ය.

එහෙත් මේ සියල්ල මැද සොහ්රාබ් දිගටම ස්වකීය ‘නිද්‍රාවේ’ ගැලී උන්නේ ය.”

The Kite Runner චූලානන්ද සමරනායක විසින් සිංහලට පරිවර්තනය කරනු ලදුව විදර්ශන ප්‍රකාශනයක් ලෙස 2003 දී මුද්‍රණයෙන් නිකුත් වී ය. ඉහත උධෘතය ගන්නා ලද්දේ එයිනි.