මල් කැකුඵ වෙන බිලි සල්ලාල සැනකෙළි


පසුබිම් වාර්තා තුෂාරි කළුබෝවිල
ජානක ලියනආරච්චි - හේමන්ත රන්දුණු


ශ්‍රී ජයවර්ධනපුර සරසවිය ආසන්නයේ පිහිටි මෙත් සෙවණ රජයේ නිවර්තන නිවාසයේ ජීවත්වන අවුරුදු 16 හා 18 වයස්‌වල වූ ගැහැණු දරුවෝ හය දෙනෙක්‌ පසුගිය ඉරිදා (14 දා) එම නිවාසයේ වහලය මත නැගී උපවාසයක්‌ කළහ. ඔවුන් වහලය මත නැග්ගේ නිවාසයේ පාලිකාවන් තමන්ට නිසි ලෙස නොසලකන බව කියමිනි. මෙත් සෙවණ නිවර්තන නිවාසයේ ජීවත් වන්නේ මේ තිරිසන් සමාජය විසින් අපයෝජනය කිරීමෙන් පසු අධිකරණය මගින් පුනරුත්ථාපන කටයුත්තක්‌ සඳහා පරිවාස භාරයට පත්කළ වයස අවුරුදු 18ට අඩු ගැහැණු දරුවන්ය. එම නිවාසයේ මෙවැනි දරුවෝ දෙසීයකට අධික පිරිසක්‌ ජීවත් වෙති. උපවාස කළ දැරියනගේ ප්‍රකාශ මිරිහාන පොලිසිය විසින් සටහන් කර ගැනුණි.
 
වහලය මත නැගි එක්‌ දැරියකගේ චෝදනාව වූයේ තමන්ට සෑම දිනකදීම කෑම කනවිට නිවාස පාලිකාවක පහර දෙන බවය. අනෙක්‌ දැරිය කියා තිබුණේ නිවාසය තුළ වැඩ කරනා විවිධ අයව පාවා දෙමින් නින්දිත ආකාරයට තමන්ට බැණ තර්ජනය කරන බවය. තවත් දැරියක්‌ තමාට රැකියාවක්‌ දෙන බව පවසමින් තැන් තැන්වල රස්‌තියාදු කර වැඩගත් බවට චෝදනා කළාය. එක්‌ දැරියක්‌ කීවේ එක්‌තරා පාලිකාවක්‌ බලයෙන් තමන් ලිංගික අපයෝජනයන් සඳහා පොළඹවන බවය.
 
මේ ප්‍රකාශ තුළ මහා ෙ€දවාචකයක්‌ ගැබ් වී තිබේ. අසත්‍ය ලෙස ප්‍රතික්‌ෂේප කළ නොහැකි තරම් බරපතල ලෙස මේ දැරියෝ අපට කතා කරති. ඔවුන් ඒ සඳහා අවස්‌ථාව සලසා ගන්නේ නිවාසයේ වහල මත නැගී උපවාස කිරීමෙන් පසුය. පාලිකාවන්ම පවසන ආකාරයට මේ දරුවන්ට භාරකාරයින් නැත. එහෙත් ජීවිතය අවදානමට දමාගෙන හෝ මේ දැරියෝ නිවාසයෙන් පිටවී යැම ප්‍රාර්ථනා කරති.
 
අපට අපේ රටේ දරුවන් පිළිබඳ වන වගකීම කුමක්‌ද යන්න නැවත වරක්‌ ප්‍රශ්න කෙරෙමින් ඇත. මේ ඒ සිදුවීම නිමිතිකොට කෙරෙනා විමසීමකි. අප මේ ලියවිල්ල ලියන්නේ තුන් වේලම බණ අහන රටක හිඳගෙනය. බණ පිරිත් ටිකක්‌ නොඇසුවහොත් කෑම ටික දිරවාගන්නට අපහසු මිනිසුන් සහිත වටපිටාවක හිඳගෙනය. බැලු බැල්මට තුන් මුනින්ම සිල් පෙරෙන සමාජයක හිඳගෙනය. එවැනි මිනිසුන් සහිත සමාජයක්‌ ප්‍රාර්ථනා කළ යුතු ආශ්චර්යයක්‌ මවයි. මේ ඒ අසිරිමත් වටපිටාවේ උපදිනා අපේ දරුවන්ගේ කතාවය. නොදරුවෙක්‌ විෂයෙහි සමාජය හැසිරෙනා ආකාරයෙන් ප්‍රකට වන්නේ එම සමාජයේ ශිෂ්ටත්වය හා යථාර්ථවත් මානුෂීය ගුණය පිළිබඳ වන නිශ්චිත මිම්මකි.
 
තමුන්ගේ ලෙයින් උපන් දරුවාට දක්‌වන සෙනෙහසින් අංශු මාත්‍රයක්‌ සහිතව වෙනත් ඕනෑම දරුවෙක්‌ දකින්නට තරම් හදවත පුළුල් කරගත හැකි මිනිසුන්ගේ ප්‍රමාණය ඒ මිනුම තුළ වේ. එවන් මිනිසුන් සහිත වටපිටාවක නොදරුවෝ අවතැන් නොවෙති. අසරණ නොවෙති. දූෂණය හෝ අපයෝජනය නොවෙති. අගුපිල් වල තිරිසනුන් සේ වැටී නොමියෙති. එබැවින් මේ කෙටි ලියෑවිල්ල අපට අපගේ සැබෑ ස්‌වරූපය පිළිබඳ කියවා ගැනීමට අවස්‌ථාව සලසයි. මේ ලියන මොහොත වනවිට මේ රටේ කිරි සුවඳ නොගිය නොදරුවො එක්‌ ලක්‌ෂ විසි දෙදහසකට වැඩි ප්‍රමාණයක්‌ අනාරක්‌ෂිත අවදානම් සහිත ජීවිත ගත කරති. මින් සමහරු සෞඛ්‍ය අවදානමක්‌ සහිතව ජීවත් වෙති. සමහර දරුවෝ බිඳී යා හැකි අධ්‍යාපනය සහිතව දුගී බවින් මිරිකෙමින් ජීවත් වෙති. අනෙක්‌ පිරිස අනාරක්‌ෂිතව, අපයෝජනයට ලක්‌වෙමින්, දූෂණය වෙමින් මළමිනී සේ ජීවත් වෙති. වර්ෂ 2006 දී වාර්තා වී තිබූ මෙවැනි කාලකණ්‌ණි සිදුවීම් ප්‍රමාණය එක්‌ දහස්‌ පන්සිය පනස්‌ හතකි. ජාතික ළමාරක්‌ෂක අධිකාරියට අනුව වර්ෂ 2011 දී මේ රටේ නොදරුවෝ පන්දහස්‌ එකසිය පස්‌දෙනෙක්‌ අපයෝජනයට ලක්‌වූහ. මේ වසරේ මුල් මාස තුන ඇතුළත් කාර්තුව තුළ පමණක්‌ අපයෝජන පිළිබඳව වන පැමිණිලි නවදහස්‌ හාරසිය හතලිස්‌ හයක්‌ ලැබී තිබිණි. ඊට ළමා අපයෝජන එක්‌දහස්‌ තුන්සිය හැටහයක්‌ ඇතුළත් විය. කෲර වදහිංසා පිළිබඳ පැමිණිලි දෙසීය දහඅටක්‌ විය.
 
ෙ€දවාචකය වන්නේ ඒ කාලය තුළ පමණක්‌ නොදරුවන් අසූ හතර දෙනෙක්‌ බරපතල ලිංගික අපරාධවලට ගොදුරු වීමය. වසර පහකට පසු අප දකින්නේ ළමා අපරාධ තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි වී ඇති අයුරුය. මේ අප කතා කරන්නේ වාර්තා වන දත්ත ගැන පමණය. වාර්තා නොවන ප්‍රමාණය අඩුම තරමින් මීට වඩා සිව් ගුණයකටත් වැඩිවන ආකාරය සමාජ විද්‍යාඥයෝ දක්‌වති. වාර්තා වන දත්ත අනුව අප ජීවත් වන්නේ සෑම දිනකම දල වශයෙන් දරුවන් දාහත් දෙනෙක්‌ අපයෝජනයට ලක්‌වන සමාජයකය. සෑම දිනකම දරුවන් පස්‌ දෙනෙක්‌ වත් බරපතළ ලිංගික අපරාධයකට ලක්‌වන සමාජයකය. මෙසේ දූෂණය වන දරුවන්ගෙන් තිදෙනෙක්‌ කුඩා ගැහැණු දරුවන්ය.
 
මේ එවැනි ගෝත්‍රික සමාජයක්‌ය. ළමා නිවාස. මේ රටේ නීති ප්‍රකාරව බාල වයස්‌කාර නොදරුවෙකුගේ අයිතිය ඇත්තේ මවට නොවේ. ඉහළ උසාවියටය. දරුවෙකු විෂයෙහි ඔහුගේ භාරකාරත්වය පිළිබඳ අවසාන තීන්දුව සපයන්නේ උසාවිය විසිනි. එබැවින් දරුවෙකු පිළිබඳව වන සුබසාධනය හා රැකවරණය පිළිබඳ රජය සතු නිශචිත වගකීම, අනාථවූ, අත්හළ, අසරණ, නීතිමය ගැටලුවලට මැදිවූ දරුපැටව් විෂයෙහි දී ක්‍රියාත්මක වන්නේ එම දරුවන් පරිවාස භාරයට පත්කිරීම හරහාය. පරිවාස භාරයට පත්කිරීම සඳහා තීන්දුව ලබා දෙන්නේ අධිකරණය විසිනි. එවැනි දරු පැටව් රක්‌ෂා කිරීම අරමුණුකොටගෙන පරිවාස හා ළමාරක්‌ෂක කොමසාරිස්‌ දෙපාර්තමේන්තුව යටතේ ළමා නිවාස 24 ක්‌ පවත්වාගෙන යනු ලබයි.
 
 මීට අමතරව රට පුරා ස්‌වේච්ඡා ළමා නිවාස 341 පවතී. මේ ළමා නිවාස වල දරුවෝ දාහතර දහස්‌ දෙසීය හැත්තෑ තුනක්‌ ජීවත් වෙති. දැන් අප අභිමුව ඇති යථාර්ථය ප්‍රශ්න කරනු ලබන්නේ අධිකරණය සතු අනුල්ලංඝනීය අයිතිය අනුව රජය භාරයට ගත් මේ හව් හරණක්‌ නැති නොදරුවන්ගේ ජීවිත සම්බන්ධව මේ රට මොනතරම් සාහසික ලෙස සිය වගකීම් පැහැර හැර තිබේද යන්නය. යහපත් මිනිස්‌සු රටකට ඉබේ පහළ නොවෙති. එවැනි මිනිසුන් බිහිවන්නේ රටක්‌ විසින් සැලසුම් සහගතව සිදුකරනා තීරණාත්මක මෙහෙයුමක ඵලයක්‌ ලෙසය. යහපත් දරුවෙක්‌ නිර්මාණය කරගන්නට බැරි රටකට මොනම ආකාරයකින් හෝ යහපත් වැඩිහිටියෙක්‌ බිහිකරගත නොහැකිය.
 
යහපත් දරුවෙක්‌ බිහිවන්නේ භෞතික පෝෂණය ඉක්‌මවා ගිය අධ්‍යාත්මික පෝෂණයක ඵලයක්‌ ලෙසනි. ඒ සඳහා ඇවැසි මූලිකාංග වනුයේ දරුවාට දැනෙන ලෙස ලැබෙනා ආදරය පිළිගැනීම හා රැකවරණය පිළිබඳ අදහසය. නිවසක්‌ තුළ මා පිය රැකවරණය සහිත දරුවෙක්‌ ලබනා වාසනාව වන්නේ මේ මූලිකාංග කොන්දේසි රහිතව හිමි කරගැනීමය. නිවසක රැකවරණය රහිතව සමාජයේ නිපරාද දණ්‌ඩනයට ලක්‌ව අධිකරණය මගින් රජය භාරයට පත්වන දරුවන් විෂයෙහි රජය විසින් ලබාදීමට බැ`දී සිටිනා මූලිකම ප්‍රදානය වන්නේ මේ දරුවන්ට නොලැබී ගිය ආදරය, රැකවරණය හා ආරක්‌ෂාව පිළිබඳ හැ`ගීම ඔවුන්ට දැනෙන සුළු ලෙස ලබා දීමය. බඩට වැටෙනා ආහාර ටිකට වඩා මේ චෛතසික පෝෂණය මෙවන් දරුවන්ට ඇවැසිය. ඔවුන් පුනරුත්ථාපිත යහපත් වැඩිහිටියන් සේ අනාගතයේදි සමාජගත කළ හැක්‌කේ එවැනි සාධනීය වටපිටාවක්‌ තුළය. එහෙත් අප දන්නා ආකාරයට මේ මානසික පරිසරය තෘප්ත කළ හැකි පුනරුත්ථාපන සංකල්පයක්‌ මේ රටේ පරිවාස ක්‍රමය තුළ නොවේ.
 
ලෝකය මෙවැනි නොදරුවන් විෂයෙහි හැසිරෙන දියුණු මානුෂීය හැසිරීම් දෙස බලනවිට අපේ රටේ ළමා නිවාස එක්‌තරා ආකාරයකට මේ සමාජයට වෛර කරන, සමාජ අපරාධකාරයින් අපයෝජකයින් හෝ මනෝ විකෘතික කාලකණ්‌ණින් උත්පාදනයට පහසුකම් සලසන තවාන්ය. ඒ පිළිබඳ මේ කතිකාව ගොඩනගන්නේ සහේතුකවය. මෑතකදී මේ රටේ අනාථ දරුවන් පිළිබඳ බරපතලම හෙළිදරව්ව සිදුවූයේ රන්මුතුගල බාලිකා ළමා නිවාසය මුල් කරගෙනය. මෙම ළමා නිවාසයට යොමු කරනු ලැබුවේ විවිධ සිවිල් නීති කඩකිරීම් නිසා උසාවියෙන් වරදකරුවන් වූ නොදරුවන් හා ලිංගිකව අපයෝජනයට ලක්‌වූ දරුවන්ය.
 
මේ දරු පැටව් ඔවුන්ගේ වයසටත් නුහුලනා මානසික පීඩාවන්ට ලක්‌වූවන්ය. මානසික කම්පනයන්ට ව්‍යාකූලතාවයන්ට පත්වූවන්ය. ඔවුන් මෙවැනි නින්දිත අපරාධ සඳහා පෙළඹවූ සමාජ පසුබිම මානුෂීයව හඳුනාගෙන ඔවුන්ගේ බිඳවැටී ගිය පෞරුෂය ගොඩනැංවිය යුතු විශ්වාසනීය මානසික සංවර්ධනයක්‌ කරනු වෙනුවට ඔවුන් පිළිබඳව නිවාස පාලිකාවන් හැසිරී තිබුණේ බන්ධනාගාරයක ඡේලර් වරියන් ලෙසිනි. පසුගිය වසරේදී නිවාසයෙන් පැනගිය දැරියන් නවදෙනෙකු අධිකරණයට කළ ප්‍රකාශකින් පසු හෙළිදරව් වූයේ මෙම ළමා නිවාසයේ පාලිකාවන් යම් ආකාරයක වධකාගාරයකට සමාන ස්‌ථානයක්‌ පවත්වාගෙන ගොස්‌ තිබූ බවය. දැන් මේ දැරියන් පිළිබඳ පාලන වගකීම තීරණාත්මකව දරන්නට පාලිකාවන් සූදානම් නැත. අවටින් ලැබෙනා තොරතුරු අනුව සමහර දැරියෝ එළිපිටම අයාලේ යති.
 
සමාජයක්‌ ලෙස අප තේරුම්ගත යුතු මහා ෙ€දවාචකයක්‌ තිබේ. තව වසර කීපයකින් මේ දරුපැටව් වැඩිහිටියන් වී සමාජගත වීමට නියමිතය. කුඩා කල ලිංගික අපයෝජනයට ලක්‌ වූ නොදරුවන් ඒ මානසික සංකූලතා සමග වැඩෙන විට ඔවුන් සංස්‌කෘතික මිනිසුන් සේ සමාජ සම්මතයන් ඇසුරෙහි හික්‌මෙන්නේ නැත. තමන් පෙළුE මහා පීඩාවෙන් ලත් මානසික කම්පනයෙන් බිඳනොවැටෙනා ප්‍රබල පෞරුෂයක්‌ සහිත දරුවන් අතලොස්‌සක්‌ හැරුණු විට අනෙක්‌ බොහෝ දරුවෝ වැඩිහිටියන්ව සිටිද්දී තම ළමා කාලයේ අත්දැකීම් සමාජය මත මුදා හරිති. දුශ්චරිතවත් කාන්තාවන් සේ සමාජය විසින් හංවඩු ගසනු ලබනා ගැහැණුන්ද, කුමන හෝ ආකාරයකින් ළමා අපයෝජනය කරනු ලබනා පිරිමින්ද අතුරින් සියයට අනූ නවයක්‌ ළමා කාලයේ අනවරත ලිංගික අතවරයන්ට ලක්‌ව පීඩාවට පත්වූවන්ය. සමාජ අපරාධකාරයින් මිනීමරුවන් සේ ගර්හාවට ලක්‌වන බොහෝ දෙනෙක්‌ ළමා කාලයේ දී රැකවරණය නොලැබීම නිසා අනාරක්‌ෂිත බව සමග උපදිනා කම්පනය සහිතව ජීවත්වූ දරුවන්ය.
 
ඇමරිකාවෙන් වාර්තාවන ලෝක අවධානයට ලක්‌වූ එක්‌තරා සිද්ධියක්‌ මේ යථාර්ථය පැහැදිලි කරනා ජීවමාන නිදර්ශනයක්‌ සේ දැන් අප අභිමුව තිබේ. ඒ දහතුන් හැවිරිදි ක්‍රිස්‌ටියන් ෆර්ඩිනැන්ඩස්‌ නමැති දරුපැටියා පිළිබඳව මතුවී ඇති කතිකාවය. ඔහු ඉපදෙන්නේ ඔහුගේ මව දොළොස්‌ හැවිරිදි වියේදී සල්ලාලයෙක්‌ අතින් දූෂණය වීමේ ප්‍රතිඵලයක්‌ ලෙසය. අනතුරුව මේ ළමා මව සහ ක්‍රිස්‌ටියන් දරුවා ළමා නිවාසයක වැඩෙති. නොදරු මවට සිය ළදරුවා පිළිබඳ වගකීමක්‌ නොවේ. වසර 8 වනවිට ක්‍රිස්‌ටියන් සිය ඥාති සොයුරෙකුගෙන් බරපතල ලිංගික අපයෝජනයට ලක්‌වෙමින් සිටියේය. එය හෙළිදරව් විනි. වසර දහයෙදී හේ බරපතල පහර කෑමකට ලක්‌ව රෝහල්ගත වූයේය. ඒ සිය සුළු පියාගෙනි. දොළොස්‌ හැවිරිදි වියේදී ඔහු සිය දෙහැවිරිදි සොයුරා හිස පොඩිකර මරා දැම්මේය. ඒ මරා දමන තුරු ඔහුව බරපතල ලිංගික අපයෝජනයකට ලක්‌ කරමිනි.
 
අපේ රටේ ළමා නිවාස තුළ දරුවන්ගෙන් බොහෝ දෙනෙක්‌ හැදෙන්නේ අඩු වැඩි වශයෙන් ක්‍රිස්‌ටියන් ලද අත්දැකීම ලබමිනි. ළමා නිවාසවල දරුවන් ගණිකා වෘත්තියේ යොදවන පාලිකාවන් පිළිබඳ වාර්තා වූයේ වරක්‌ දෙවරක්‌ නොවේ. බේරුවල පැත්තේ සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයක්‌ විසින් පවත්වාගෙන ගිය ළමා නිවාසයක දරු පැටව් විදේශිකයින් අතින් දූෂණය වී තිබූ ආකාරය පසුගිය කාලයේදී මාධ්‍ය හරහා හෙළිදරව් විය. රටේ කීර්තිමත් ළමා ගම්මානයක පාලකයෙක්‌ නොබෝ කලකට එපිටදී දරුපැටව් ගණනාවක්‌ අපයෝජනය කිරීමේ වරදට ලක්‌වූයේය. මේ වාර්තාවන සිදුවීම්ය. අමානුෂික පහරදීම් නොසලකා හැරීම් ආශ්‍රිත අපයෝජනයන් මේ ළමා නිවාසවල සාමාන්‍ය ක්‍රියා පටිපාටියේ කොටස්‌ය.
 
 කරඳඩු මහත්ව මේ දරුපැටවුන් සමාජයට බසින්නේ මොන ආකාරයේ පෞරුෂයන් සහිතවද යන්න තේරුම් ගැනීමට දෑස්‌ පොට්‌ට නොවී තිබීම පමණක්‌ ප්‍රමාණවත්ය. පරිවාස දරුවන් සම්බන්ධව රජයේ හැසිරීම එය ජාතිකයක ශිෂ්ටත්වය පිළිබඳව කියෑවෙනා කාරණයකි. ආදරය, පිළිගැනීම හා රැකවරණය සම්බන්ධ උත්තම මානුෂික සංවේදනාවන් වි`දිමින් නිර්මාණය විය යුතු බව කියෑවෙනා දරුපැටව් විෂයෙහි රජය ප්‍රකට කරනා ආකල්පය හෙළිකරන්නේ පරිවාස භාරයේ සිටිනා දරුවන් සම්බන්ධව ඔවුන් ප්‍රකට කරනා හැසිරීමේදීය. එය මේ රටේ සමස්‌ත දරු පරපුර සම්බන්ධව රජයේ වගකීම් සහගත භාවය සම්බන්ධ ප්‍රකාශනයකි. මෑතක්‌ වනතුරු අනාථ දරුවෙක්‌ වෙනුවෙන් ආණ්‌ඩුව දිනකට වියදම් කළ මුදල රුපියල් දහයකි. දැන් එය සියයට සීයකින් වැඩිකර තිබේ. මේ වනවිට ආණ්‌ඩුව එක්‌ අනාථ දරුවෙක්‌ වෙනුවෙන් රුපියල් විස්‌සක්‌ දිනකට වියදම් කරයි. එක්‌ අනාථ දරුවෙක්‌ වෙනුවෙන් රුපියල් විස්‌සක්‌ වෙන් කරන රටක්‌ සිර කරුවෙක්‌ වෙනුවෙන් දිනකට රුපියල් එකසිය පනහක්‌ වැය කරයි. මේ අනුව වටහා ගතයුත්තේ මුලින්ම රජය මේ දරුවන් හි`ගා කා ජීවත්විය යුතු බව අනුමත කරන බවය.
 
ළමා නිවාස පාලක පාලිකාවන් දස අතේ හි`ගා කා උපයා ගන්නා ආහාර හා භෞතික සම්පත් භාරගන්නේ දරුවන් ලවා සි`ගන්නන් සේ යාතිකා කියා පින් දීමෙනි. මේ රටාව තුළ ජීවත් වීම සඳහා ළමා නිවාසවල දරුවෝ මුලින්ම සිය ආත්මාභිමානය නැති කරගනිති. පරිවාස හා ළමාරක්‌ෂක දෙපාර්තමේන්තුවේම තොරතුරු ප්‍රකාරව මේ ළමා නිවාස බොහෝමයක්‌ සිර මැදිරි සේය. දරුවන්ට දරුවන් සේ ජීවත් වීම සඳහා වන ඉඩ කඩ නැත. ඔවුන් රැකවරණය ලබන්නේත් සමාජානුයෝජනය වන්නේත් මව් පියන් ලෙස වගකීම් සහගතයුතු පාලක පාලිකාවන් යටතේය. නිසි සුදුසුකම් සහිත පාලකයින් ප්‍රමාණවත් තරමට මේ ළමා නිවාස වල නැත. සිටින උන්ටද දරුවෙකු සමග හැසිරිය යුතු ආකාරය සම්බන්ධව සරල විද්‍යාත්මක පුහුණුවක්‌වත් නැත. අසනීප වන දරුවන් වෙනුවෙන් කැපවීමට වෙනම පාලිකාවන් නැත. එක්‌ දරුවෙකුට බෝවන රෝගයක්‌ හැදුණු විට ඔහු අනෙක්‌ දරුවන්ගෙන් වෙන් කර තබා ගැනීමට ඇවැසි ඉඩකඩ නැත. දරුවන්ට නිසි පරිදි කෑම ටික උයා දිය හැකි පවිත්‍රතාවය පවත්වා ගැනීමට සහය විය හැකි සේවකයින් ප්‍රමාණවත් තරමින් නැත. දරුවන්ගේ මානසික ස්‌වරූප හඳුනාගෙන ක්‍රමානුකූලව ඔවුන්ව ගොඩනැගිය හැකි අත්‍යවශ්‍ය උපදේශන සේවාවක්‌ සඳහා සුදුසු උපදේශකවරුන් නැත. මේ දරුවන් වෙනුවෙන් වෘත්තීය පුහුණු පාඨමාලා ඇතැයි කියනු ලැබේ. එහෙත් එම පාඨමාලා පවත්වා ගැනීමට ගුරුවරු නැත. වෘත්තීය පුහුණු පාඨමාලා යෑයි කියනා ඇතැම් පාඨමාලා සමාජයෙන් ප්‍රතික්‌ෂේප වී ගොස්‌ බොහෝ කල්ය. මේ පාඨමාලාවන්හි ස්‌වරූපය එහි ප්‍රතිලාභ ලැබී යෑයි පරිවාස හා ළමාරක්‌ෂක දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් දක්‌වන සංඛ්‍යා ලේඛන විමසීමෙන්ම වටහා ගත හැකිය.
 
මේ අර්ථයෙන් ගත් විට මේ ළමා නිවාස වඩාත් සමීප වන්නේ සි`ගාගෙන පැමිණි දෙයක්‌ කා වැටී නිදාගැනීමට පමණක්‌ යොදා ගන්නා අම්බලම් වලටය. මේ ළමා නිවාස වල පවතින්නේ ඒ අම්බලම් වල විය හැකි සියලූම අවකෙලිය. චරිත සංවර්ධනයේදී දරුවෙකුට ලැබිය යුතු, ලැබීම සඳහා අයිතිවාසිකමක්‌ ඇති කිසිම මානුෂීය ප්‍රදානයක්‌ මේ අම්බලම්වලදී ඔවුන්ට ලැබෙන්නේ නැත. මේ ආකාරයෙන් මේ දරුපැටවුන් අපගේ ඇස්‌ ඉදිරිපිට සූදානම් කරන්නේ ජීවත් වීම සඳහා නොව, මරණය සඳහාය. අප ළමා නිවාස යෑයි හඳුන්වා ගන්නා අපචාර මඩු වලදී මේ සමාජයට වෛර කිරීම සඳහා, මේ සමාජය කුඩු පට්‌ටම් කිරීම සඳහා, අනාගත හොරුන් මිනීමරුවන් දූෂකයන් හෝ ළමා අපචාරකරුවන් සඳහා සුදානම් වීමට ඉඩ හැර සිටිනා මේ කිරි සප්පයින්ගේ ජීවිත සම්බන්ධව රටට ඇති වගකීමේ ප්‍රමාණය තවම අපට දැනෙන්නේ නැත. එය රටේ මිනිස්‌සුන්ගේ ආත්මාරර්ථයේත්, ගර්හිත මානුෂිකත්වයෙත් ප්‍රතිඵල ලෙස උපන් හැ`ගීම් විරහිත කාලකණ්‌ණිකමේ අවාසනාවය. අප බලා සිටින්නේ ඇමරිකාවේ ක්‍රිස්‌ටියන් ෆර්ඩිනැන්ඩස්‌ වැනි දරු පැටවුන් බුරුතු පිටින් පැමිණ පාඩම් කියා දෙන තුරුය.
 
දිවයින -->