මැරිච්ච රාළහාමි ඇවිල්ලා කොත්තුවක්‌ ඉල්ලුවාලු!



බුලිත ප්‍රදීප් කුමාර

අප ඉන්නේ භූතයන් සමඟත් එස්‌.එම්. එස්‌. කරන යුගයකද? අතුරුගිරිය ප්‍රදේශයේ සිට අප කාර්යාලයට සේවයට එන එක්‌තරා මිත්‍රයෙක්‌ පසුගිය දිනක හරි අපූරු කතා පුවතක්‌ රැගෙන ආවේය... මේ නොබෝදා හදිසි අනතුරකින් මියගිය පොලිස්‌ කොස්‌තාපල්වරයෙක්‌ මහ රාත්‍රියේ කඩයකට පැමිණ කොත්තු රොටියක්‌ ඉල්ලීම පිළිබඳ ලොමුදැහැ ගන්වන කතාවක්‌ ඉන් කියෑවිණි.
 
අපි ඊට "තවත් එක්‌ භූත කතාවක්‌" යෑයි කියමු. ඔහු කියූ පරිදි ඒ කතාව මෙසේය. අපේ කතා පුවතට අයත් මේ රෑ කඩය ප්‍රසිද්ධව තිබුණේ රෑ ගමන් බිමන් යන, වැඩ කරන අය වෙත සේවාවන් සපයන පාන්දර තෙක්‌ ඇර තබන රාත්‍රි කඩයක්‌ ලෙසය. ආප්ප, කොත්තු, බිත්තර රොටි ආදියත්, උණු උණු විවිධ කෙටි කෑම වර්ග නිසාත්, ඉඟුරු ප්ලේන්ටිය නිසාත් මේ කඩයට දිනපතා ඇදී එන පුරුදුකාරයෝ සිටියහ.
 
මේ කියන දිනයේ කාලගුණය එතරම් යහපත් නැත. හීනියට ආ සිරි පොද වැස්‌ස ටික ටික සැර වෙමින් තිබුණි. වැහි පොදයේම කඩයට ගොඩ වුණ එක්‌තරා පොලිස්‌ කොස්‌තාපල්වරයෙක්‌ තොප්පිය ගලවා වැහි බිඳු ගසා දමමින් මුදලාලි මට හොඳ කොත්තුවක්‌ දාන්ඩ යෑයි කිවේය. මුදලාලිට කොස්‌තාපල්ගේ මුහුණ පුරුදුය. ඔහු සිනාසී කොස්‌තාපල්වරයාට වාඩිවෙන්නට කීවේය. අපේ රාළහාමිට හොඳ චිකන් කොත්තුවක්‌ දාන්න යෑයි කෑගැසූ ඔහු අනෙකුත් ගනුදෙනුකරුවන්ගේ ගනුදෙනුවල නිරතව සිටියේය. තරුණ කොත්තු බාස්‌ රත් වී ගිනියම් වූ රොටි තැටිය මත චිරීස්‌... ගා තෙල් පාරක්‌ විසිරුවා හැරියේය. ඒ මත ලියාගත් ලීක්‌ස්‌, කැරට්‌, ලූනු ආදී ලට්‌ට පට්‌ට වැටිණි. බිත්තරයක්‌, චිකන් කැබැල්ලක්‌ වැටිණි. ඊට උඩින් හීනියට ලියාගත් රොටි කැබලි තට්‌ටුවක්‌ වැටිණි. ටකට.. ටකට... ටකට... ටකට... හඬ රටාවකට විනාඩි 2 ක්‌ පමණ ඇසිණි. ඉන් පසුව උණු උණු කොත්තුව පිඟානකට දමාගත් කොත්තු බාස්‌ මෙන්න අපේ රාළහාමිගේ චිකන් කොත්තුව යෑයි කියමින් වටපිට බැලීය. රාළහාමි නැත. ඔහු මුදලාලි ළඟ හිටගෙනද නැත. ඇතුළේ මේසයක බංකුවක වාඩිවී ද නැත. කෝ මේ රාළහාමි... මේ දැන් ඇතුළට ආවනේ... කොල්ලා කීවේය. මුදලාලි ද පුදුමයෙන් වටපිට බැලීය. ඇතුළේ ද එළියේ ද මිදුලේ ද පාරේද රාළහාමි කෙනෙක්‌ නොවීය.
 
ඔහුගේ හිත වේගයෙන් එහා මෙහා දිවයන්නට විය. මෑතකදී එක්‌තරා පත්තරයක කියවූ, මැදියම් යාමයේ පැමිණෙන, දුටු මොහොතේම අතුරුදන් වන භූත කතාවක දර්ශන පෙළක්‌ ඔහුගේ හිත අද්දර එකින් එක පෙළගැසෙන්නට පටන් ගත්තේය. ඔහුට ඒ රාළහාමිගේ මුහුණුවර මතක්‌ විය. ඒ මුහුණුවර ඔස්‌සේ ඇදී ගිය මුදලාලිගේ සිතුවිලි මෑතකදී අතුරුගිරිය අධිවේගී මාර්ග ප්‍රදේශයේ වූ එක්‌තරා රිය අනතුරක සිද්ධියක්‌ ළඟ නතර විය. මුදලාලිගේ යටි පතුලේ සිට හිස්‌ මුදුන දක්‌වා සර්වාංගයේම හීන් දහදිය දමන්නට පටන් ගත්තේය. අර ඇක්‌සිඩන්ට්‌ එක වෙලා මැරිච්ච රාළහාමි තමයි ඒ ආවේ... කොත්තු බාස්‌ ද වෙව්ලා ගියේය. ඔහුගේ අතෙහි තිබූ උණුම උණු කොත්තු පිඟාන සලාං ගා බිම වැටී කෑලි කෑලිවලට බිඳී ගියේය.
 
අතුරුගිරියේ මිත්‍රයා එතරම් දිගු විස්‌තරාත්මක හෑල්ලක්‌ මට කීවේ නැත. ඔහු කීවේ මියගිය රාළහාමිගේ භූතයා රෑ කඩයකට පැමිණ කොත්තුවක්‌ ඉල්ලූ බවට ප්‍රදේශය පුරා ශීඝ්‍රයෙන් පැතිර යන කට කතාවක අංශු මාත්‍රයක්‌ පමණි. ඒ ආරංචිය ඔස්‌සේ මගේ සිතුවිලි දහරාව ගිය දුර මා එසේ ඉහත ලියා දැක්‌වූයේ මා ඊළඟට කියන්නට යන කතාවට පූර්විකාවක්‌ ලෙසය. මෙවන් පුවතක්‌ වටින්නේ අප වැනි මේ ලොවේ ඇති යථාර්ථය ගැන කතා කරන පුවත්පත්වලට නම් නොවේ. මෙවැනි කතාන්දර සොය සොයා ගොස්‌ කොනක්‌ අහුලාගෙන එයට පණ පොවා දුටුව දෙයක්‌ සේ නිර්මාණශීලීව කතා ගොතන භූත රිපෝටර්ලාගෙන් පිරි "භූත පත්තර" අද මේ සමාජයේ තිබේ. මෙබඳු භූත කතා ඔබින්නේ ඒ භූත පත්තරවලටය.
 
පසුගිය මාස හය හතක කාලය තුළ මහ පුදුමාකාර ලෙස මේ භූත කතා හොල්මං කතා සාහිත්‍යය මේ රටේ ප්‍රචලිත වෙන්නට පටන් ගෙන තිබීම අභාග්‍යයකි. මේ ලොව නොවූ විරූ අමුතු අමුතු දේවල් කියවන්නට විචාරාත්මක බුද්ධියකින් තොර හරසුන් ප්‍රබන්ධ කතා කියවන සාමාන්‍ය සරල පාඨක ජනයා බොහෝ කැමැතිය. හුදු සරල වින්දනයක්‌ හා කුතුහලයක්‌ පමණක්‌ පතා මෙබඳු ප්‍රබන්ධ කතා කියවන පාඨකයා සත්‍යයෙන් හා යථාර්ථයෙන් බොහෝ දුර ඈත පවතින මිථ්‍යාවෙන් පිරි අද්භූත ලෝකවල අතරමංවී ඒ මේ අත සැරිසරන්නට පටන්ගනියි.
 
භූත ප්‍රබන්ධ කතා කලාවේ ඇති සමාජ හානිය භයානක වන්නේ අන්න ඒ නිසාය. එබඳු භූත සාහිත්‍යයක්‌ හා මිථ්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයක්‌ ගරුකොට සලකමින් මේ රටේ ක්‍රියාත්මක වන පත්තර හා ජනමාධ්‍ය කිහිපයක්‌ තිබේ. ඒවා නිරතුරුවම තම පාඨක ජනයා හුරු කරවන්නේ සත්‍ය දෙයට වඩා සත්‍යයෙන් තොර තැනක තිබෙන දෙයකටය. පෙනෙන දෙයට වඩා නොපෙනෙන දේවලටය. පංෙච්න්ද්‍රයන්ට ගෝචර වන දෙයට වඩා පංෙච්න්ද්‍රයන්ට අගෝචර වන දේවල්වලටය. විද්‍යාවේ ඇති දෙයට වඩා අවිද්‍යාවෙන් පිරුණු දෙවල්වටලය. ආලෝකයේ ඇති දෙයට වඩා අන්ධකාරයේ අතපත ගා අතට අසුවන දේ ගෙන සොයාගත යුතු දේවල්වලටය. ස්‌වභාවයෙන්ම මිනිසා හරි කම්මැළිය, උදාසීනය. උත්සාහය මත යමක්‌ ලබාගන්නට හෝ අභියෝග ජය ගන්නට, සටන් කරන්aනට අකමැතිය. යම් දෙයක්‌, යම් සැප සම්පතක්‌, යම් උරුමයක්‌ කෙනකුට ලැබුණේ නම් එය අපේ "ලැබීම" හෝ "වාසනාව" කියා පිළිගන්නට මිනිසා කැමැතිය. යමක්‌ නොලැබුණ හොත් හෝ අහිමි වුණහොත් එය "නොලැබීම", "අවාසනාව", "පව්කාරකම", "වෙලාව", "ඉරණම" හෝ "දෛවය" කියා ඉවසා වදාරන්නටත් සූදානම්ය. මෙම මානසිකත්වය තුළ උත්සාහයට හෝ අභියෝග ජය ගැනීමට ඉඩක්‌ නැත. කුමක්‌ හෝ අවිද්‍යාවක ගිලී කිමිදී ප්‍රශ්නවලට විසඳුම් සොයන මේ ජනයා එක්‌ එක්‌ මිථ්‍යාවන් පසුපස හැල්මේ දුවන්නට පටන් ගන්නේ එතැන් සිටය. මිථ්‍යාව විශ්වාස කරන්නට පටන්ගත්දා සිට කිසිවකුට ඉන් ගැලවීමක්‌ ද නැත. ඕනෑම ප්‍රශ්නයකට, ඕනෑම ජීවන ගැටලුවකට, ඕනම ප්‍රස්‌තුතයකට මේ මිථ්‍යාව තුළ ද උත්තර ඕනෑ තරම්ය.
 
පසුගිය කාලය පුරාම මේ භූත පත්තර හා භූත මාධ්‍ය කරනු ලැබුවේ මිථ්‍යාවන් හා මිථ්‍යාවන් සොයමින් සමාජයේ සැරිසරන්නන් එකට මුණගැස්‌සවීමය. දරුවන්ට අධ්‍යාපන කඩඉම් ජයගන්නට මිථ්‍යාවන් තුළ ඇති ඉඩහසර හොයා පත්තරවලින් ප්‍රසිද්ධ කළහ. පෙර අපර දෙදිග විශ්වකර්ම වෙද හෙද කම් වලින් වත් සුව කළ නොහැකි භයානක ලෙඩ රෝග සුවකරනවා යෑයි කියන විශ්වකර්ම වෙදුන් හා ඇසට නොපෙනෙන බලවේග ගැන ලිපි පළකරන්නට පටන් ගත්හ. ජීවිතය සාර්ථක කරගන්නා විවිධ ධනාත්මක චින්තන යෑයි කියාගන්නා විවිධ වල්බූත ප්‍රචාරය කළහ. කායිකව හා මානසිකව ව්‍යාධි වන විවිධ පුද්ගලයන් රවටන හොර වෙද්දු මහානුභාවසම්පන්න Rෂිවරු කොට ලිපි පළ කළහ. විවිධ ආගම්හි විකෘතීන් හා විපරීත නිකායන් ලෙස පිළිගැනෙන ෙෆංෂුයි වැනි තව තවත් නිකායවාද ඉතා සාර්ථක සාධනීය මතවාද ලෙස හුවා දක්‌වන්නට උත්සාහ කළහ. සමාජයේ විසඳුමක්‌ නැති ප්‍රශ්නවලට තව ඕනෑ තරම් විසඳුම් ඇතැයි කියා මතයක්‌ සමාජගත කරමින් සමාජයේ අවධානය පැහැර ගනිමින් තම පත්තර විකුණා ගන්නා මේ මාධ්‍යයෝ මේ සියල්ලටම වැඩි අවධානයක්‌ යොමු කරනු ලැබුවේ පාඨකයා බයකර නොමග යවන්නටය. ඒ සඳහා යොදාගන්නේ මේ අද්භූත කතා, භූත කතා හා හොල්මන් කතා සාහිත්‍යයයි.
 
මෙම කතාවලට අවශ්‍ය නිධන් කතා, ප්‍රස්‌තුත හා නිමිති අපේ සාම්ප්‍රදායික ගම් බිම්වල අදටත් ඕනෑ තරම් තිබේ. මේවා ඔස්‌සේ ලුහුබඳිමින් ඉව අල්ලමින් වස්‌තු බීජ සොයන මේ භූත පත්තරවල භූත රිපෝටර්ලා ඉන් කතා තුන හතරක්‌ එක්‌කොට කියවන්නන් වසඟයට ගන්නා ආකාරයේ කතා ප්‍රබන්ධ කරන්නට දක්‌වන්නේ පුදුමාකාරව දක්‌ෂතාවයකි. අද මේ දක්‍ෂයන්ගේ කතා කියවන්නට පුරුදු වූ පාඨක සමාජයක්‌ රටේ බිහිවී ඇත්තේ තව තවත් භූත කතා ලිවීමේ ආශාව ලේඛකයන් තුළ තව තවත් වර්ධනය කරමිනි. එකම විදිහේ දේවල් කරන්නට ගියහොත් මේ හූදුව පාඨකයාට එපාවනු නොඅනුමානය.
 
මේ නිසා භූත කතා වුව අලුත් අලුත් ක්‍රමවේද ඔස්‌සේ නවීකරණයට ලක්‌ කළ යුතුව ඇත. අද මේ භූත පත්තරවල භූත රිපෝටර්ලා සොයමින් ඉන්නේ භූතයෝ හා නූතන තාක්‌ෂණය මුසුකර පෙන්වන ආකාරය ගැනය. මේ සටනේ එක්‌ පියවරක්‌ අතිසාර්ථකය. ඒ වූ කලී භූතයෝ ඡායාරූපයට නතුකර ගැනීමය. භූතයෝ දැන් ඡායාරූපවල නම් සිටිනවා යෑයි කියන අවස්‌ථා එමටය. දැන් අවශ්‍යව ඇත්තේ භූතයෝ චංචල රූපය තුළට ගෙන ඒමය. මේ දිනවල භූත පත්තරවල හා භූතවාහිනීවල විශේෂඥයෝ ලවක්‌ දෙවක්‌ නොමැතිව පර්යේෂණ කරමින් සිටින්නේ භූතයෝ හෝ හොල්මං පුංචි තිරයට හෝ සිනමා පටයට නගන ආකාරය ගැන සොයන්නටය. මේ පර්යේෂණ සාර්ථක වුවහොත් ඔබ සැමට රූපවාහිනී තිරයක හෝ ගුවන් විදුලි නාලිකාවක හෝ භූත පත්තරයක සිටින විශේෂඥ භූතයෙක්‌ගෙන් ඔබ සිතට වධ දෙන ප්‍රශ්නය හෝ ගැටලුව එස්‌. එම්. එස්‌. කෙටි පණිවුඩයක්‌ මගින් ලියා උත්තර ලබා ගැනීමට වාසනාව හිමි වන දිනය වැඩි ඈතක නැත. එවිට ඒ නාලිකාවල සිටින හුරතල් නිවේදිකාවෝ තොදොල් හඬින් ඔබට මෙසේ කියනු ඇති. දැන් මේ "භූතයන්ගෙන් අහන්න" වැඩසටහනින් ඔබේ ප්‍රශ්නයටත් ක්‍ෂණිකව විසඳුම් ලබාගත හැකියි. ඔබ කළ යුත්තේ ඔබේ ප්‍රශ්නය කෙටියෙන් ලියා භූත හෑෂ් හිස්‌තැනක්‌, අංකය, ඩොට්‌, ස්‌ටාර් ඩයල් කර අහවල් අංකයට සෙන්ඩ් කිරීම පමණයි. ඔබේ ප්‍රශ්නය කුමක්‌ වුවත් භූතයාගෙන් ඊට නිසි පිළිතුරු ලැබේවි.
 
අප බලා සිටින්නේ ඒ භූත ඩොට්‌ කොම් මට්‌ටමට මේ භූත ව්‍යාපාරය දියුණුවනතුරුය. මීට වසර හත අටකට දහයකට උඩ පසුගිය කාලයේ පත්තරවලින් අප කළේ ජනතාව අතර තිබූ එබඳු මිථ්‍යාවන් සත්‍යයක්‌ නොව, ඒවා හුදු මිථ්‍යාවන්ම බව සමාජයට හෙළිදරව් කිරීමය. දොළුකන්දේ හිමියන් පස්‌සෙන් ගිය පරපුරට අපි එහි ඇති බොරුකන්ද හා මිථ්‍යාවන් ගැන කියාදුන් අයුරු ඔබට මතක ඇත.
 
එසේම බෙහෙත් නොබී දෙවියන් යාච්ඤා කරමින් රෝගීන් මියයන විට ඒ දේව සංකල්පවල හා නිකායන්වල ඇති මිථ්‍යාව රටට හෙළිකරන්නට අප ඉදිරිපත් වූ ආකාරය ඔබට මතක ඇතැයි සිතමි. හොර දොස්‌තරලා හා වෙද මහත්වරු තමන්ට අසහාය දේව වරමක්‌ ලැබිණි යෑයි කියමින් අසරණ ලෙඩ්ඩුන් ගෙන්, රෝගීන්ගෙන් ගසාකනවිට සමාජයට ඇත්ත හෙළි පෙහෙළිකර සමාජය නිවා සුවපත් කළේ අපය. අප අද මනස නිරවුල්ව තබා ගනිමින් නිදහසේ සිටින්නේ අතීතයේ අප කළ ඒ වික්‍රමයන්වල බලමහිමයෙන් බව කියන්නේ ආඩම්බරයෙනි. මෙබඳු භූත රැලි එන විට පාඨකයෝ ඒ භූත රැලිවල අතරමංව භූත පත්තර වටා රොද බඳින විට එබඳු භූත කතා අපේ පත්තරවලත් ලියන්න යෑයි අපට බල කළ බලවේගද නැතුවා නොවේ. නමුත් අවසානයේ අප පුවත් පත තීන්දුවක්‌ ගත්තේය. ජනතාවට පුරුදු පරිදි අප සත්‍යයම මිස මිථ්‍යාව කියාදිය යුතු නැත යන අදීන තීන්දුව අප ගත්තේ පාඨක ඔබේ වාසනාවටම පමණක්‌ නොව රටේද වාසනාවකට බව අපි සිතමු. එහෙත් ඇතැම් පත්තර තවමත් කරනුයේ ජනතාව මිථ්‍යාව පසුපස ඇදගෙන යැමය.
 
ජනතාව, මිථ්‍යාව වටා ගොනුන්, හරකුන්, එළුවන්, බැටළුවන් සේ ගාල් කිරීමය. මේ තත්ත්වය අවාසනාවන්තය. එය වඩාත් අවාසනාවන්ත බව අපි කියන්නේ හංසයෝ දියෙන් කිරි වෙන්කර ගන්නවා සේ අසත්‍යයෙන්, අවිද්‍යාවෙන්, මිථ්‍යාවෙන් සත්‍යය වෙන්කර ගත හැකි අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් බඳු යතිවරයන් අප සමාජයේ තවදුරටත් නොමැති නිසාය. උන්වහන්සේ බඳු උතුම් යතිවරයන් සිටිය යුත්තේ එදාටත් වඩා අදට යෑයි මට සිතෙන්නේ අද සුපිරි හාමුදුරුවරුන් ලෙස සමාජයේ වැජඹෙන ඇතැම් සෙන්ට්‌ පවුඩර් හාමුදුරුවරුන්ගේ සෝබන හා ආගමික විගඩම්වල තරම අපේ පංෙච්න්ද්‍රයන්වලට ගෝචර වන විටය. අහෝ කරුමයක මහත·.
 
අප ඉගෙන ගත් පුවත්පත් කලාවට හා මාධ්‍ය සදාචාරයට අනුව සකල විධ ජනමාධ්‍යයන්ගේ අරමුණු, වගකීම් හා කාර්යභාරය උප ශීර්ෂ හතරක්‌ ඔස්‌සේ පෙළගස්‌වා දැක්‌විය හැකිය. ජනමාධ්‍යයක පළමු කාර්යභාරය විය යුත්තේ තොරතුරු සම්පාදනයයි. දෙවැන්න දැනුම සම්පාදනයයි. තෙවැන්න රස නිෂ්පත්තියයි. සිව්වැන්න මාර්ගෝපදේශනයයි. පළමුව ජනමාධ්‍යයක්‌ පාඨක ප්‍රේක්‌ෂක ජනතාවට තොරතුරු සම්පාදනය කළ යුතුය. ඒ තොරතුරු මිථ්‍යාවෙන්, අවිද්‍යාවෙන්, අවිශ්වාසයෙන්a මෙන්ම ප්‍රබන්ධයෙන් තොර සත්‍යයම විය යුතුව ඇත. ප්‍රවෘත්තියක්‌ මූලිකව සත්‍ය හෝ නිවැරැදි විය යුතුය. දෙවැනිව සමබර විය යුතුයි. තෙවැනිව නිරවුල් විය යුතුය කියා අපි කියන්නේ ඒ නිසාය. තොරතුරු හෝ ප්‍රවෘත්තිය පාඨකයාට විශ්වසනීය වන්නේ එවිටය. දෙවැනිව ජනමාධ්‍යයක්‌ සමාජයකට දැනුම බෙදාදිය යුතුය. ඒ දැනුම අවිද්‍යාවෙන්, අන්ධකාරයෙන්, අසහනයෙන් තොර නිවැරැදි විය යුතුව ඇත. තෙවැනුව ජනමාධ්‍යයක්‌ සමාජයට රස නිෂ්පාදනය කළ යුතුය. රස යනු කිම කියා සමාජයේ බොහෝ මතවාද තිබේ. රස විවිධය. එහෙත් ජනමාධ්‍යයකින් නිෂ්පාදනය කළ යුතු රස අනෙකක්‌ නොව සමාජයේ උන්නතියට හා ඉදිරි ගමනට තුඩු දෙන "රස භාවයන්" උද්දීපනය වන කාරණාය. කුතුහලයද රසයක්‌ බව හැබෑය. එහෙත් ඉන් සමාජයේ ඉදිරි ගමනට ඇති උත්තේජනය කිමැයි ප්‍රශ්න කළ යුතුව ඇත. මේ සියල්ලකටම වඩා ජනමාධ්‍ය පොදුජනතාවට නිවැරැදි මාර්ගෝපදේශකයකු විය යුතු බව අපේ අදහසයි. අපේ පමණක්‌ නොව, ජනමාධ්‍ය, කලාව හා එහි වගකීම් ගැන දැන උගත් ලෝක පරිමාණ ප්‍රාමාණික වියතුන්ගේ ද අදහස එයයි.
 
රටක සාධනීය ජනමාධ්‍යයන් ගමන් කළ යුත්තේ රටේ ජනතාවට පිටුපසින් වත් ජනතාව සමග එක පෙළටවත් නොව, නිරතුරුවම ජනතාවට ඉදිරියෙනි. ජනතාවට හරිමග යන්නට පාර කියා දෙමින් ජනමාධ්‍ය ඉදිරියෙන් යා යුතුව ඇත. රටේ ජනතාව අවිද්‍යාවේ නොගැලී, අන්ධකාරයේ නොපැටලී අවිශ්වාසයේ අතරමං නොවී, පය නොපැකිළී, බොරුවළවල්වල නොවැටී, වංකගිරිවල අතරමං නොවී ඉදිරි ගමනක්‌ යන්නේ එවිටය. ජනතාවට ඒ ගමනට පාර කියා දුන්නේ රටක ජනමාධ්‍යම මිස වෙන කුමක්‌ද?
 
අවසාන වශයෙන් මේ කියන භූත පත්තරවලින්, භූතවාහිනීවලින් හා හොල්මන් නාලිකාවලින් අප එක දෙයක්‌ ඇසිය යුතුව ඇත. ඒවායේ සිටින භූත රිපෝටර්ලාගෙන් මේ ටික ඇසිය යුතුව ඇත. ලොව පිළිගත් ජනමාධ්‍ය ආචාර ධර්මවලට හා විධි නියාමවලට අනුව බලන විට ඔබලා තවම සිටින්නේ මේ ආස්‌ථානවලින් කොතැනකද... ඔබලා රටේ ජනතාව වෙත ලබාදෙන තොරතුරු කුමක්‌ද?, දැනුම් සම්භාරය කුමක්‌ද? රස නිෂ්පත්තිය කුමක්‌ද, මාර්ගෝපදේශනය කෙබඳුද? මිථ්‍යාවන් පසුපස යන්නට පාඨක ජනතාව තව තවත් තල්ලු කරමින් මිථ්‍යාවන් වපුරන්නන්ගෙන් ලැබෙන යමක්‌ කටේ ලාගෙන බඩ වියත තර කරගන්නවා මිස ජනතාවට පෙන්වා දෙන මාර්ගය කුමක්‌ද? ඒ ගැන කියා තවදුරටත් ඔබට පත්තරකාරයකු, මාධ්‍යවේදියකු ලෙස සතුටු විය හැකිද යන එක පමණක්‌ මම ඔබෙන් අසමි.
 
සංවාදයට විවෘතය
දිවයින-->