කොටස් වෙළෙඳ පොළ මාෆියාවේ God Father කවුද?

මංගල සමරවීර විසිනි

මේ මස මුල් සතියේදී මහනුවර ජනාධිපති මන්දිරයේ පැවැති රැස්වීමකදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ රාජ්‍ය මුදල් යොමු කරන ව්‍යාපෘති තුළ දූෂණය සහ අක‍්‍රමිකතා ඉතාමත්ම ඉහළ මට්ටමක පැවතෙන බවයි. ඒ වගේම, පසුගිය සතියේ අප රට සංචාරයකට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපදයේ සහකාර රාජ්‍ය ලේකම් බොබ් බ්ලේක් මහතාද කියා සිටියේ, පිළිගත් විදේශ ආයෝජකයන් අප රටට වැඩි වැඩියෙන් ගෙන ඒමට නම් ආයෝජකයන් බලාපොරොත්තු වන විනිවිද භාවය ස්ථාපිත කිරීමෙන් දූෂණය අවම කළ යුතු බවත්ය.

අද අප රටේ දූෂණය වසංගතයක් බවට පත් වී ඇති බව රහසක් නොවේ. මහින්ද චින්තන වැඩ පිළිවෙළ යටතේ යටිතල පහසුකම් දියුණු කිරීමේ ව්‍යාපෘතිවලට විශාල මුදලක් වැය කරන බවට රජය දිගින් දිගටම රටට කිව්වත්, අද අප රටේ ආර්ථිකයට මරු පහරක් එල්ල වී ඇත්තේද මේ යටිතල පහසුකම් දියුණු කිරීමේ මුවාවෙන් සිදුවෙන මහා පරිමාණයේ මුදල් ගසාකෑම් බව මම පැහැදිලිවම ප‍්‍රකාශ කරනවා.

මේ සභාවේම කෝප් කමිටුව විසින්ද 2008 දී පෙන්වාදී ඇති අන්දමට රාජ්‍ය අංශයේ දූෂණය නිසා වසරකට අවම වශයෙන් රුපියල් බිලියන 100 ක් අපිට අහිමි වන බවයි. තවත් සංඛ්‍යා ලේඛන අනුව අප දළ දේශීය නිෂ්පාදනයෙන් 2% ක් දූෂිත දේශපාලනඥයින්ගේ ගොදුරු බවට පත් වන බව පෙන්වා දී ඇතත්, අද වන විට මේ ගණන් හිලව් තවත් තවත් වර්ධනය වී ඇත.
ඉතිහාස පොත්වලින්ද රට සංවර්ධනය කිරීමේ මුවාවෙන් ජාතික ධනය ගසා කෑ චෞර පාලකයන් ගැනද අපි අසා තියෙනවා. මෙවැනි පාලකයන් රජයේ මුදල් තමන්ගේ පෞද්ගලික ධනය වර්ධනය කර ගැනීම සඳහා යොදවා ගත් අවස්ථා බොහෝය. මෙවැනි පාලන ක‍්‍රමය හඳුන්වන්නේ ‘චෞර රාජ්‍යවාදය’ යනුවෙනි.

මේ සම්බන්ධයෙන් විකිපීඩියාවේ ඇති අර්ථකතනය ලංකාවේ අපටත් බොහෝ වැදගත් වෙනවා.

මෙහි පෙන්වා දී ඇති ආකාරයට බොහෝ චෞර රජයන් මුදල් ගසා කන්නේ මහා පරිමාණයේ යටිතල පහසුකම් ව්‍යාපෘතිවලිනි. බොහෝ අවස්ථාවල මෙවැනි රටවල සංවර්ධනය තීරණය වන්නේ ජනතාවගේ අවශ්‍යතාවය අනුව නොව, එම ව්‍යාපෘතියේ කොමිස් කුට්ටිය අනුවයි. මහා මාර්ග, බල ව්‍යාපෘති සහ ආරක්‍ෂක අංශයේ වියදම් බොහෝ චෞර පාලකයන්ගේ ඉලක්ක බවට පත්වී ඇත. මේ ආකාරයට පිලිපීනගේ පර්ඩිනැන්ඩු මාකෝස් ඩොලර් බිලියන 900 කට ආසන්න මුදලක් එක්රැස් කර ගත් බව 2004 ‘ට‍්‍රාන්ස්පේර්න්ස් ඉන්ටර් නැෂනල්’ වාර්තාවේ සඳහන්ය. ඒ වගේම ඉන්දුනීසියාවේ සුහර්තෝ ඩොලර් බිලියන 35 ක පෞද්ගලික වත්කමක්ද, සර්යන් ජනාධිපති මොබුතො ඩොලර් බිලියන 05 ක වත්කමක්ද එක්රැුස් කර ගෙන තිබේ.

මෑතකදී බලයෙන් පහවූ ලිබියාවේ ගඩාෆි සහ ඔහුගේ පුත‍්‍ර සමාගමද - අපේ රාජපක්‍ෂ පවුලේද අතිජාතක මිත‍්‍රයෝ - ජාත්‍යන්තර මට්ටමේ කෝටිපතියන් බවට පත්වූයේ ඒ රටේ ඉදි කළ මහා පරිමානයේ යටිතල පහසුකම් තුළින් බව දැන් හෙළිදරව් වෙමින් පවතී. දැන් සිරගත වී සිටින ඊජිප්තුවේ හොස්නි මුබරාක් සහ ඔහුගේ පුත් ගාමල්ද - නාමල් නොව ගාමල් - ‘ඩොලර් බිලියනයාර්ලා’ බවට පත් වී ඇත්තේද මේ ආකාරයටය.

ගරු කතානායකතුමනි,

මේ ආකාරයට අද ලංකාවේ මහා මාර්ග ක්ෂෙත්‍රයද කොමිස් කුට්ටි ලබා ගැනීමේ මහා ජාවාරමක් බවට පත්ව ඇත. ගමේ හදන කොන්කී‍්‍රට් පාරවල් ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රාදේශීය නායකයන්ට කීයක් හරි සොයා ගැනීමේ මාර්ගයක් බවට පත්වී ඇති අතර, රට පුරාම ලහිලහියේම ඉදිවෙන මහාමාර්ග මහා පරිමානයේ කොමිස් ගැසීමේ ව්‍යාපෘති බවට පත්ව ඇත.
විශේෂයෙන්ම මහ පරිමාණයේ ගිනි පොලියට චීන බැංකුවලින් ලබා ගන්නා වාණිජ්‍යමය ණය හරහා කි‍්‍රයාත්මක වන බොහෝ ව්‍යාපෘතිවල වියදම තුළ විශාල කොමිස් මුදල්ද සැඟවී ඇති බව හොඳින්ම පැහැදිලිය.

උදාහරණයක් හැටියට, පලාලි සිට කන්කසන්තුරෙයි දක්වා චීන ණය මුදලින් ඉදි කළ කිලෝමීටර් 56 ක් දිග දුම්රිය මාර්ගයට ඩොලර් මිලියන 245 ක් වියදම් වී ඇත. එය කිලෝමීටරයට ඩොලර් මිලියන 04 කි. නමුත්,  ඕමන්තේ සිට පලාලි දක්වා ඉන්දියන් ආධාර ඇතිව ඉදි කරන දුම්රිය මාර්ගයට වියදම් වන්නේ ඩොලර් මිලියන 185 ක් පමණි. කිලෝ මීටරයට ඩොලර් මිලියන 02 කි.

එපමණක් නොව, මහා මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ උතුරු පළාතේ පාරවල් පුනුරුත්ථාපනය කිරීම සඳහා චීන ණය හරහා කරන ලද ව්‍යාපෘති 13ක් තුළ සැබෑ වියදමට වඩා මිලියන 50,581.8 ක් කවර හෝ පුද්ගලයෙක් හෝ පුද්ගලයන් විසින් ගසා කා ඇත.
(මේ අවස්ථාවේදී උතුරු පුනුරුත්ථාපනය යටතේ ඉදි කරන ලද මහාමාර්ග ව්‍යාපෘති 13 ක විස්තර සභාගත කරන ලදී.)

මේ අනුව, මේ ව්‍යාපෘතිවලින් පමණක් ඉදිකරන ලද සෑම කිලෝමීටරයකින් රුපියල් මිලියන 46.28 ක් ගසා කා ඇත.

නොරොච්චෝලේ බල ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් 2005 අගෝස්තු 28 වැනිදා බීජිං නගරයේදී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය විසින් අත්සන් කරන ලද්දේ ඩොලර් මිලියන 280 ක වියදමකටය. නමුත්, ජනාධිපතිවරණයෙන් පසුව ඉහළම ස්ථානවල සිටින අය 50% ක කොමිස් මුදලක් ලබාදීමට කළ නියෝගය අනුව, එම ගිවිසුම නැවතත් ඩොලර් මිලියන 510 දක්වා සංශෝධනය කර තිබිණි.

හම්බන්තොට වරාය සහ කොළඹ දකුණු වරාය සංවර්ධන ව්‍යාපෘතිවලදීද පාලක පන්තියේ ඉහළම අය චීන කොන්ත‍්‍රාත්කරුවන්ට ඒවා භාරදීමට පොරකාපු හැටි හිටපු ඇමතිවරයා හැටියට මට සිහිපත් වෙනවා.

චීන රජය 1957 දී අප රටත් සමග තානාපති සබඳතා ගොඩනැඟූ දින සිටම අපගේ සැබෑ මිතුරෙක් වශයෙන් කටයුතු කළා. ඒ නිසාම ශී‍්‍ර ලාංකිකයන් තුළ චීන රටට විශාල ආදරයක් සහ ගෞරවයක් තියෙනවා. නමුත් කිසිම විනිවිද භාවයකින් තොරව ශී‍්‍ර ලංකා රජය අද චීනයෙන් ලබා ගන්නා මහා පරිමානයේ ණය මුදල් නිසාම, අපේ රටේ ආර්ථිකයටත්, අපේ රටේ අනාගතයටත් විශාල බලපෑමක් එල්ල වෙලා තියෙනවා.

‘‘වයිනීස් ලොන් කන්ඩිෂන්ස්’’ නමැති වෙබ් අඩවියක විවිධ ව්‍යාපෘතිවලට චීන ණය ලබා ගැනීම සඳහා අත් පොතක් ඩොලර් 50 කට විකුණනවා. මෙම ව්‍යාපෘතිවල ඒජන්තවරයෙකු නම් ඩොලර් මිලියන ගාණක් කොමිස් හැටියට සොයා ගන්න පුළුවන් බවට ප‍්‍රකාශ කරනවා.
එපමණක් නොව, එවැනි නියෝජිතයන්ට තම රටේ ජනාධිපතිවරයාට එහෙම නැතිනම් මුදල් ඇමතිවරයාට හෝ ඒ ව්‍යාපෘති භාර ඇමතිවරයාට සම්බන්ධකම් තිබිය යුතු බවත් සඳහන් වෙනවා. චීන ණය ලබාදෙන්න මැදිහත් වෙන මේ අය ලංකාවේ පුත්තලම් බල ව්‍යාපෘතියටත් මැදිහත් වූ බවටත්, අපි‍්‍රකාවේ විදුලි සංදේශ ව්‍යාපෘතිවලට මුදල් ලබාදුන් බවටත්, දුම්රිය ව්‍යාපෘතිවලටත් සඳහන් කරනවා.

අද මේ රටේ සිදුවන දුෂණවලින් අල්පමාත‍්‍රයක් විතරයි මේවා. හෙජිං මගඩියෙන් හොරා ගත් මුදල්, මිග් යානා ගණුදෙනුවෙන් කළ වංචාව, වැට් බදු වංචාව, ඊ.පී.එෆ්. - ඊ.ටී.එෆ්. මංකොල්ලකෑම, මිහින් එයාර් පාඩුව, එයාර් ලංකා පාඩුව, බාල පෙට‍්‍රල් වංචාව, සෆාරි පාර්ක් මගඩිය, කෙරවළපිටිය ව්‍යාපෘතියේ වංචාව, උමා ඔය ව්‍යාපෘතියේ වංචාව, කොළඹ ඉඩම් මංකොල්ලය, ලංකා ලොජිස්ටික්ස් ආරක්‍ෂක වියදම් වංචාව ආදී වංචා දූෂණ අද අහස උසට වර්ධනය වෙලා.

මේ රටේ සුළු පිරිසක් මේ ආකාරයට අයථා ලෙස මුදල් හම්බ කරන කොට, ඒ හම්බ කරන කළු සල්ලි සුදු කර ගැනීමේ මාර්ග ගැනත් හිතන්න වෙනවා. ඒ නිසා තමයි අද කොළඹ කොටස් වෙළෙඳ පොළ කළු සල්ලි සුදු කරන ලොන්ඩරියක් බවට පත් වෙලා තියෙන්නේ.

හිටපු සභාපති තිලක් කරුණාරත්න මැතිතුමා කියපු ආකාරයට, අද කොළඹ කොටස් වෙළෙඳ පොළ හොරුන්ගේ මාෆියාවක් බවට පත් වෙලා තියෙනවා. මේ මාෆියාවෙන් කොටස් වෙළෙඳ පොළ බේරා ගැනීම වෙනුවට මුදල් අමාත්‍යංශය විසින් කුකුල් කොටුව නරියෙකුට භාර දෙනවා සේම, කොළඹ කොටස් වෙළෙඳ පොළද ඒ මාෆියාවේ කෙනෙකුටම භාරදීලා.

මෙයින් බරපතළ ප‍්‍රශ්නයන් මතු වෙනවා, ඇයි මුදල් අමාත්‍යංශයට මේ හොරුන් ආරක්‍ෂා කරන්න මේ තරම් උනන්දුවක් තියෙන්නේ කියලා. ඩිලිත් ජයවීරලා පිටුපස මහා බලවතුන් සිටිනවාද කියලා අහන්න අපට සිද්ධ වෙනවා. මොවුන් කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන්න තමන්ගේ මුදල්ද එහෙම නැත්නම්, නොපෙනන හස්තයක මුදල්ද කියලා අපට අහන්න සිද්ධ වෙනවා. කොටස් වෙළෙඳ පොළ මාෆියාවේ .God Father. කවුද කියා හෙළිදරව් කරන ලෙස මම රජයට බල කරනවා.  

ප‍්‍රචාරක ආයතනයකින් විතරක්, එහෙම නැත්නම් රූපවාහිනී සේවාවකින් පමණක් ඔය වාගේ මුදල් සොයන්න බැරි බව කුඩා දරුවෙකුට හරි තේරෙනවා. අන්න එහෙම නම්, මේ කාගෙ සල්ලිද? මොවුන් අපුල්ලන්නේ කියලා මම අහනවා.

ගරු කතානායකතුමනි,

මේ වංචා දූෂණ සඳහා විතරක් මගේ නම් හැඟීම වසරකට රුපියල් බිලියන 900 ක්වත් අපට අහිමි වෙනවා. මේක මහා ජාතික අපරාධයක්. මේ අහිමි වෙන මුදල අපේ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යොදා ගත්තා නම් ලේසියෙන්ම අධ්‍යාපනයට 6% ක් දෙන්න බැරි නෑ.
හෙජින් ගණුදෙනු පාඩුවෙන් විතරක් විශ්ව විද්‍යාලයට දෙන ප‍්‍රතිපාදන 4%කින් වැඩි කරන්න පුළුවන්. එහෙම නැත්නම් විශ‍්‍රාමිකයන්ගේ විශ‍්‍රාම වැටුප දෙගුණයක් කරන්න වැය වෙන්නෙත් රුපියල් බිලියන 03 ක් විතරයි. රජයේ සේවකයෙකුගේ මාසික වැටුප රුපියල් 10,000 කින් වැඩි කරන්න යන්නෙත් රුපියල් බිලියන 126 ක් විතරයි. ළඳරුවන්ගේ කිරි පැකට්ටුවක මිල වර්ෂයක් පුරා 50%කින් අඩු කරන්න වැය වෙන්නේත් රුපියල් බිලියන 10 යි. පාසල් ළමුන්ට නැවතත් නිල ඇදුමක් ලබාදීලා හොඳ දිවා ආහාර වේලක් ලබාදීමටත් යන්නේ රුපියල් බිලියන 06යි. රැකියා විරහිත තරුණ තරුණයන්ට රැකියාව ලැබෙන තුරු රුපියල් 5,000 ක ආධාරයක් ලබාදෙන්නත් යන්නේ රුපියල් බිලියන 36 යි.

මේ මහා අපරාධයට එරෙහිව අපි දෙපැත්තේම සිටින අය එකතු වෙන්න  ඕනෙ. වංචාවට - දූෂණයට එරෙහිව නැඟී සිටියෙ නැත්නම් මේ රටේ කාටවත් අනාගතයක් නැහැ.   
මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී 2012-09-20 වන දින කරන ලද කතාව.