FMM: සිදු වී ඇති අක්‍රමිකතා සම්බන්ධව කරනු ලබන පැහැදිලි කිරීම

එම තීරණය අනුව ගිණුම් කටයුතු පියවීමට එම දෙවසරෙහි ප‍්‍රධාන වගකිව යුත්තන් වූ සුනන්ද දේශප‍්‍රිය (කැඳවුම්කරු 2007/2008, ව්‍යාපෘති අධ්‍යක්ෂ 2008/2009), උවිදු කුරුකුලසූරිය (කැඳවුම්කරු 2008/2009) කේ. රුෂාංගන් (භාණ්ඩාගාරික 2007/2008, ලේකම් 2008/2009), කසුන් යාපා කරුණාරත්න (භාණ්ඩාගාරික 2008/2009), සුනිල් ජයසේකර (ලේකම් 2007/2008), යන නිලධාරින් අපොහොසත් වූ අතර ඒ අනුව මහ සභාවේ ඒකමතික තීරණය ක‍්‍රියාවට නංවමින් සංවිධානයේ ව්‍යවස්ථා ප‍්‍රකාරව සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සම්බන්ධව ක‍්‍රියාමාර්ග ගැනීමට විධායක සභාව තීරණය කරන ලදි.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ඇතැම් ව්‍යාපෘතිවල සිදුවී ඇති අක‍්‍රමිකතා හා මුල්‍ය අවභාවිතා සම්බන්ධයෙන් සංවිධානයේ සාමාජිකත්වයට හා මහජනතාව වෙත කරනු ලබන කරුණු පැහැදිළි කිරීමයි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ 2007/2008 හා 2008/2009 මුදල් වර්ෂ දෙකට අදාළව සිදුකර ඇති වියදම් සම්බන්ධයෙන් පිළිගත් විගණන සමාගමක් විසින් විගණනයට ලක්කරන ලද වාර්ෂික අය-වැය වාර්තාවන් ඉදිරිපත් කිරීමට එම දෙවර්ෂයේ වගකීම් දැරූ නිලධාරි මණ්ඩලය හා ව්‍යාපෘති භාරව සිටි ප‍්‍රධානීන් අසමත්වීම හේතුවෙන්, එම දෙවසරට අදාළව සිදුවී ඇතැයි පැවසෙන වංචා දූෂණ හා අක‍්‍රමිකතා ගැන පසුගිය සිව් වසර පුරා සංවිධානය තුළත්, සමාජයේ විවිධ ස්ථර තුළත් බලවත් සංවාදයක් ඇති විය.

මෙම මූල්‍ය අක‍්‍රමිකතාවයන්ට අදාළව නිරවද්‍ය නොවන මූලාශ‍්‍ර වලින් තොරව සිදුවූ සමහර ප‍්‍රචාර නිසා තත්ත්වය වඩාත් බරපතල විය. මේ හේතුවෙන් පසුගිය විසි වසරකට ආසන්න කාලයක් තිස්සේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සමාජය තුළ හිමිකරගෙන තිබූ කීර්තිනාමයට දැඩි හානි සිදුවූ අතර ඒ පිළිබඳ දීර්ඝව සාකච්ඡා කළ වාර්ෂික සංවත්සර මහ සභාව පුද්ගලයන් කිහිපදෙනෙකුට සිදුවිය හැකි හානිය නොසලකා එම සමස්ත ක‍්‍රියාවලිය පිළිබඳ සත්‍ය හා නිවැරදි තොරතුරු මහජනතාව හමුවේ ප‍්‍රසිද්ධ කළ යුතු යැයි ඒකමතිකව තීරණය කළේය.

2008 වසර අග භාගයේදී, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තුළ දූෂණ හා අක‍්‍රමිකතා රැුසක් සිදුවී ඇති බවට චෝදනා එල්ල වූ මොහොතේ සිට මේ දක්වා විධිමත් ක‍්‍රමවේදයක් ඔස්සේ එම අක‍්‍රමිකතා අනාවරණය කරගැනීමටත්, ඊට සම්බන්ධ පුද්ගලයන් නිවැරදිව හදුනාගනිමින්, ඔවුන් සම්බන්ධයෙන් ක‍්‍රියාත්මකවෙමින් සංවිධානයට ලැබිය යුතු මුදල් ආපසු අයකර ගැනීමටත් දැඩි උත්සාහයක නිරත වූ අතර එම සමස්ත ක‍්‍රියාවලිය සංක්ෂිප්ත වශයෙන් මෙසේය.

මුල්‍ය අක‍්‍රමිකතා චෝදනා එල්ල වූ මුල් අවස්ථාවේදීම සංවිධානයේ එවකට සිටි විධායක කමිටුව අභ්‍යන්තරික වශයෙන් ඊට විසඳුම් සෙවීමට උත්සාහ දැරූ අතර එම උත්සාහය අසාර්ථක වූ විට සංගමයේ ව්‍යවස්ථා ප‍්‍රකාරව විශේෂ මහ සභා රැුස්වීමක් කැඳවා සමස්ත ප‍්‍රශ්නය මහ සභාව හමුවේ ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව, 2009 ජනවාරි 20 වෙනි දින පැවැති විශේෂ මහ සභා රැස්වීමේ ඒකමතික තීරණය අනුව එතෙක් තනතුරු දැරූ සියලූ දෙනා එම තනතුරුවලින් ස්වෙච්ඡාවෙන් ඉල්ලා අස්වෙමින් එම චෝදනාවලට සම්බන්ධයක් නැති, අදාළ වසරේ කමිටුව නියෝජනය නොකළ සංවිධානයේ සෙසු සාමාජිකයන් අතරින් නව අන්තර්වාර කමිටුවක් තෝරාපත්කර ගන්නා ලදි.

එම අන්තර්වාර කමිටුව චූලවංශ සිරිලාල් (කැඳවුම්කරු), සුනිල් ජයසේකර (ලේකම්), ආනන්ද ජයසේකර (භාණ්ඩාගාරික), දිලීෂා අබේසුන්දර (උප ලේකම්), හා බුද්ධික වීරසිංහ, දයා ලංකාපුර, සී. දොඩාවත්ත, එන්. කෙන්වුඞ්සන්, රවින්ද්‍ර චන්ද්‍රලාල්, යන විධායක සභිකයන්ගෙන් සමන්විත වූ අතර, ‘මුල්‍ය අක‍්‍රමිකතා පිළිබඳව සොයාබලා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීම’ ප‍්‍රධාන වශයෙන් එම කමිටුවට පැවරිණි.

ඒ අනුව අන්තර්වාර කමිටුව මහ සභාවේ ද පූර්ණ එකගතාවය ඇතිව නීතීඥ එස්.ජී. පුංචිහේවා, නීතිඥ නිමල්කා ප‍්‍රනාන්දු, හා නීතිඥ කේ.ඩබ්ලිව්. ජනරංජන යන ත‍්‍රිපුද්ගල විමර්ශන කමිටුවක් පත්කරන ලදි. ඉන්පසු එම විමර්ශන කමිටුවේ හා අන්තර්වාර කමිටුවේ එකගත්වයෙන් (විමර්ශන විෂය පථයේ සංකීර්ණත්වය සලකා) පරීක්‍ෂණ කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා වෘත්තීයමය විමර්ශකවරයෙකු වූ විගණන නිලධාරි බී.ඒ.ඩබ්. අබේවර්ධන මහතා පත්කරන ලදී.

2007/2008 මුදල් වර්ෂය සඳහා, එම වර්ෂයේ භාණ්ඩාගාරික ධුරය දැරූ කේ. රුෂාංගන් මහතා විසින් විගණන මතයකින් තොරව ඉදිරිපත් කර තිබූ ගිණුම් වාර්තාව ඒ වන විට මහ සභාවේ අභියෝගයට ලක්ව තිබූ අතර එම වර්ෂයේ ගණුදෙනු හා බැංකු සැසඳුම් ආශ‍්‍රයෙන් එහි සත්‍ය හා නිරවද්‍යභාවය පිරික්සා බැලීමත්, 2008/2009 වර්ෂවල සිදුවී ඇති ගණුදෙනු ගැන විගණනයක් සිදුකොට වාර්තාවක් ලබාදීමත් අබේවර්ධන මහතාට පැවරුණ ප‍්‍රධාන වගකීම විය.

එසේම අවිධිමත් ආකාරයකින් මුල්‍ය ගණුදෙනු සිදුවී ඇත්නම් එම අවස්ථා නිරීක්ෂණය කරමින් මින් ඉදිරියට එවැනි තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා සුදුසු ගිණුම් ක‍්‍රමයක් යෝජනා කරන ලෙසද අන්තර්වාර කමිටුව අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කළේය.

බී.ඒ.ඩබ්. අබේවර්ධන මහතා 2009 මාර්තු 23 දාතමින් අන්තර්වාර කමිටුව වෙත අතුරු වාර්තාවක් ඉදිරිපත් කරමින් ‘සංවිධානයේ විධිමත් ගණන් තැබීමක් සිදුවී නොමැති අතර අත්‍යාවශ්‍ය ප‍්‍රාථමික පොත්පත් හෝ පවත්වාගෙන ගොස් නොමැති බවත් සුළු මුදල් :චැඑඑහ ජ්ිය*හැර සෙසු සියළු ගණුදෙනු චෙක්පත් මගින් බැංකු ගිණුම හරහා සිදුවී ඇතත් එම බැංකු ගණුදෙනුවල නිරවද්‍යතාවය තහවුරු කෙරෙන මාසික සැසඳුම් ප‍්‍රකාශ සකස් කර නොමැති නිසා පූර්ණ පරීක්ෂණයකින් තොරව බැංකු ගණුදෙනුවල විශ්වාසනීයත්වය තහවුරු කිරීමට අපහසු බවත් වාර්තා කළේය. එසේම මුදල් අවභාවිතයක් සිදුවී ඇති බව තහවුරු කෙරෙන ප‍්‍රධාන සිදුවීම් කිහිපයක්ද එම අතුරු වාර්තාව මගින් පෙන්වා දී තිබිණ.

අනතුරුව 2009-04-20 දාතමින් 2008/2009 මුදල් වර්ෂයට අදාළව සිදුකර ඇති වියදම් පිළිබඳ විගණන වාර්තාවක් විගණන නිලධාරි අබේවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ අතර එම වාර්තාව මගින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විවිධ ව්‍යාපෘතිවල සිදුවී තිබූ අක‍්‍රමිකතා හා මුල්‍ය අවභාවිතයන්ට අදාළ කරුණු රැුසක් පෙන්වා දී තිබිණ.

විගණන නිලධාරි බී.ඒ.ඩබ්. අබේවර්ධන මහතාගේ විගණනය අනුව 2007/2008 හා 2008/2009 මුදල් වර්ෂ දෙක තුළදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විවිධ ව්‍යාපෘති සඳහා සිය බැංකු ගිණුම හරහා වැයකර තිබූ මුල්‍ය ගණුදෙනුවල ප‍්‍රමාණය රුපියල් 4,33,72,352.16 කි. එයින් රුපියල් 2,24,77396.07ක් 2007/2008 මුදල් වර්ෂයටද ඉතිරි 2,08,94956.09 2008/2009 මුදල් වර්ෂයටද අයත්විය. එම මුදල් යොදවා ඉටු කළ ව්‍යාපෘති සම්පූර්ණ වී තිබුණද එම මුළු මුදලම විගණනයට ලක්වී නොතිබුණ නිසා එය සාමාජිකත්වයටත්, බාහිර සමාජයටත් ප‍්‍රශ්ණ සහගත වියදමක් බවට පත්වී තිබුණි.

බී.ඒ.ඩබ්. අබේවර්ධන වාර්තාව (2009.04.20) නිකුත් වූ වහාම විමර්ශන කමිටුව හා අන්තර්වාර කමිටුව එම වාර්තාව පිළිගනිමින් 2008/2009 අභ්‍යන්තර විගණන වාර්තාවේ නිර්දේශ ප‍්‍රකාරව වැඩිදුර විමර්ශනය කළ යුතු බව සඳහන් කරුණු ගැන විමර්ශණය කර මූලික විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විමර්ශන නිලධාරිවරයකු වූ විශ‍්‍රාමික ප‍්‍රධාන ගණකාධිකාරි එන්.ජී.කේ.කේ. සෙනෙවිරත්න මහතා පත් කරන ලදි.

අබේවර්ධන මහතාගේ විගණන වාර්තාව මගින් හෙළිදරව් කර තිබූ තොරතුරු අනුව 2007/2008 මුදල් වර්ෂය සඳහා කොළඹ 06, දුම්රියපොළ පාර, රන්ජන් මාවතේ සිය කාර්යාලය පවත්වාගෙන යන වරලත් ගණකාධිකාරි ගනේෂලිංගම් සහ සමාගමේ ලිපි ශීර්ෂයක් යටතේ, විගණන මතයකින් තොරව හිටපු භාණ්ඩාගාරික කේ. රුෂාංගන් මහතා විසින් ඉදිරිපත් කර තිබූ ගිණුම් වාර්තාව ද නැවත පරීක්ෂාවට ලක්කළ යුතු යැයි තීරණය කළ අන්තර්වාර කමිටුව ඒ පිළිබඳ විමර්ශනකටයුතු ද අබේවර්ධන මහතා වෙත පැවරීය. ඒ අනුව 2010 මැයි 20 දාතමින් 2007/2008 ගිණුම් වර්ෂයට අදාළ අවභාවිතා පිළිබඳවද ඔහුගේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කරන ලදි.

එන්.ජී.කේ.කේ. සෙනෙවිරත්න මහතා අන්තර්වාර කමිටු සාමාජිකයන්ගෙන් හා ඉහත ගණුදෙනු වලට අදාළ ව්‍යාපෘති ප‍්‍රධානීන් සහ ප‍්‍රධාන තනතුරු දැරුවන්ගෙන් කරුණු විමසමින් 2008/2009 මුදල් වර්ෂයට අදාළ මුල්‍ය අක‍්‍රමිකතා හා අවභාවිතයන් පිළිබඳ මූලික විමර්ශනකටයුතු ආරම්භ කළේය.

එම අවස්ථාව වන විට, මූලික විමර්ශනයේදී ප‍්‍රකාශ ලබාගත යුතු බවට ඔහු තීරණය කර තිබූ පුද්ගලයන් අතරින් බැංකු ගණුදෙනු සඳහා අත්සන් කිරීමේ බලය දැරු හිටපු කැඳවුම්කරු උවිදු කුරුකුලසූරිය හා හිටපු භාණ්ඩාගාරික කසුන් යාපා කරුණාරත්න, ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සම්බන්ධ ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක හා මුල්‍ය පරිපාලකයා වූ ෆයිසල් අන්සාර් හා ව්‍යාපෘති අධ්‍යක්ෂ සුනන්ද දේශප‍්‍රිය විදේශගතව සිටි අතර ප‍්‍රශ්න සහගත කාල වකවානුව තුළ සංවිධානයේ ලේකම් හා භාණ්ඩාගාරික ධුරයන් දරා තිබූ කේ. රුෂාංගන් මහතාද කොළඹින් බැහැර ස්ථානයක පදිංචියට ගොස් සිටියේය. එම නිසා ඔවුන්ගෙන් පැහැදිලි කරගත යුතු කරුණු ඇතුළත් ප‍්‍රශ්නාවලියක්, ඔවුන් විසින් සංවිධානයට සපයා තිබූ විද්්‍යුත් තැපැල් ලිපිනයන් වෙත යවමින් ප‍්‍රතිචාර ලබාගන්නා ලෙස විමර්ශනකමිටුව හා අන්තර්වාර කමිටුව සෙනෙවිරත්න මහතා වෙත උපදෙස් දෙන ලදි. ඒ අනුව ඔහුට ප‍්‍රතිචාර ලබාගත හැකි වූයේ සුනන්ද දේශප‍්‍රිය මහතාගෙන් පමණි.

මූලික විමර්ශණය සඳහා ඊට අදාළ ප‍්‍රධාන වගකිව යුත්තන් සහභාගි නොවීම ඒ සම්බන්ධ විධිමත් විමර්ශණයක් පවත්වාගෙනයාමට බාධාවක් වූ අතර එහිදී සෙනෙවිරත්න මහතාගේ නිගමනය වූයේ ‘‘මෙම නිලධාරින් හිතාමතාම තම වගකීම් පැහැර හරිමින් පිළිතුරු සැපයීම මගහැර ඇති බවටය.’’ එමෙන්ම නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සම්පත් අවභාවිතය සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරින්ට විරුද්ධව ඉදිරි පියවර ගත යුතු බව අවධාරණය කරමින් ඊට සම්බන්ධ පුද්ගලයන් හා එක් එක් පුද්ගලයා ඊට වගකිව යුත්තේ කවර ප‍්‍රමාණයකට ද යන්න මුළුමනින් හඳුනාගැනීමෙන් තොරව සිය විමර්ශන කටයුතු නිම කිරීමට සෙනෙවිරත්න මහතාට සිදුවිය.

මෙම සමස්ත තත්ත්වය සැළකිල්ලට ගත් අන්තර්වාර කමිටුව, බී.ඒ.ඩබ්. අබේවර්ධන හා එන්.ජී.කේ.කේ. සෙනෙවිරත්න වාර්තා අනුව 2007/2008 හා 2008/2009 ට අදාළව සංවිධානයේ මුදල් අවභාවිතයන් සිදුවී ඇති බවත්, සංවිධානයේ ව්‍යාපෘතිවල මුදල් කටයුතු භාරව ක‍්‍රියාකළ ෆයිසල් අන්සාර් මුල්‍ය වංචා සිදුකර ඇති බව තහවුරු වී තිබෙන බවත්, ඉහත දෙවසර තුළ වගකීම් දැරූ භාණ්ඩාගාරිකවරු දෙදෙනා හා ප‍්‍රධාන නිලධාරින් මෙම ගිණුම් කටයුතු නිරවුල් කිරීමට ප‍්‍රමාණවත් සහයක් ලබා නොදුන් බවත් සඳහන් කරමින් ඒ පිළිබඳ අවසන් තීරණ ගැනීම විමර්ශන කමිටුව හා මහ සභාව වෙත පැවරීය.

ඒ සම්බන්ධයෙන් විමර්ශන කමිටුවේ තීරණය වූයේද ගිණුම් වාර්තා පිළිබඳ විගණන නිලධාරියාගේ නිරීක්ෂණ හා මූලික විමර්ශන නිලධාරියාගේ වාර්තාව සම්පූර්ණයෙන් හෝ සංක්ෂිප්ත උද්ධෘතයන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මහ සභාවට ඉදිරිපත් කොට, ඒ පිළිබඳ මහ සභාව සාකච්ඡුා කොට අදාළ අක‍්‍රමිකතාවයන්ට වගකිවයුත්තන් සම්බන්ධයෙන් සංවිධානයේ ව්‍යවස්ථාවට අනුකූලව තීරණයක් ගත යුතු බවයි.

2010 මැයි 25 වෙනි දින පැවැති මහා සභාවට බී.ඒ.ඩබ්. අබේවර්ධන දෙවැනි විගණන වාර්තාවද (2007/2008) ඉදිරිපත් වූ අතර මෙම සමස්ත ගැටළුව ගැන සාමාජිකත්වය එහිදී දීර්ඝව සාකච්ඡා කළෝය. එහිදී මහා සභාව ඒකමතිකව තීරණය කළේ 2007 /8 හා 2008/9 යන වර්ෂයන් හි වගකීම් දැරූ නිළධාරී මණ්ඩලයේ වගකීම වන්නේ අදාළ වර්ෂයන්ට අදාළ ගිණුම් පිළිගත් විගණන සමාගමක් හරහා විගණන මතයන් ද සහිතව විගණනයට ලක් කළ 2010 ජූනි මස 10 වන දින සිට මසක් ඇතුලත දී සංවිධානය වෙත ඉදිරිපත් කළ යුතු ඇති බවය. එලෙස ගිණුම් කටයුතු පියවා අවසන් කිරීමට අපොහොසත්වන සියලූ සාමාජිකයන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සාමාජිකත්වයෙන් නෙරපා හැරිය යුතු බවත්ය. එම තීන්දු ක‍්‍රියාත්මක කිරීමේ බලය විධායක සභාව වෙත පැවරිණි.

එම තීරණය අනුව ගිණුම් කටයුතු පියවීමට එම දෙවසරෙහි ප‍්‍රධාන වගකිව යුත්තන් වූ සුනන්ද දේශප‍්‍රිය (කැඳවුම්කරු 2007/2008, ව්‍යාපෘති අධ්‍යක්ෂ 2008/2009), උවිදු කුරුකුලසූරිය (කැඳවුම්කරු 2008/2009) කේ. රුෂාංගන් (භාණ්ඩාගාරික 2007/2008, ලේකම් 2008/2009), කසුන් යාපා කරුණාරත්න (භාණ්ඩාගාරික 2008/2009), සුනිල් ජයසේකර (ලේකම් 2007/2008), යන නිලධාරින් අපොහොසත් වූ අතර ඒ අනුව මහ සභාවේ ඒකමතික තීරණය ක‍්‍රියාවට නංවමින් සංවිධානයේ ව්‍යවස්ථා ප‍්‍රකාරව සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සම්බන්ධව ක‍්‍රියාමාර්ග ගැනීමට විධායක සභාව තීරණය කරන ලදි. ඒ අනුව විදේශගතව සිටින සාමාජිකයන්ට ද නව තාක්ෂණය (ස්කයිප්* භාවිතා කරමින් හෝ නීතීඥයකු/නියෝජිතයකු මාර්ගයෙන් විධායක සභාවට කරුණු දැක්වීමට හෝ විධායක කමිටු තීරණයට එකග නොවන්නේ නම් මතභේද හා විනය අනුකමිටුව වෙත අභියාචනා ඉදිරිපත් කිරීමට අවකාශ සලසා දෙනු ලැබීය.

මුල්‍ය ගණුදෙනු සම්බන්ධයෙන් චෝදනා එල්ලවී නොතිබුණද 2007-2008 වසරේ ලේකම් ධුරය දැරීම නිසා එවකට කැඳවුම්කරු වූ සුනිල් ජයසේකර මහතාට අදාළවද මෙම තීරණය බලපෑ අතර තීන්දු ගැනීමේ ක‍්‍රියාවලියට ඔහු සම්බන්ධ කර නොගනිමින් ඔහු සම්බන්ධයෙන්ද මහ සභාවේ තීරණය ක‍්‍රියාවට නැගීමට විධායක සභාවට සිදුවිය.

සාමාජිකත්වය අහෝසි කිරීමේ තීරණය දැනුම්දීමත් සමග ප‍්‍රශ්ණයට අදාළ සියලූ දෙනා විද්්‍යුත් තැපැල්, ‘ස්කයිප්’ හා ලිඛිත සංදේශ මාර්ගයෙන් අදහස් පළකරමින් නිදහසට කරුණු ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී සුනන්ද දේශප‍්‍රිය ලිඛිතව අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේ ව්‍යාපෘතිභාර ප‍්‍රධානියකු වශයෙන් මේ වන විටත් තමාගේ වගකීම් ඉටුකර ඇති අතර ගිණුම් වාර්තා පියවීම භාණ්ඩාගාරිකවරයාගේ වගකීමක් බවයි. එසේම ජීවිත ආරක්ෂාව පතා රටින් බැහැරව සිටින තත්ත්වයක් තුළ එම වාර්තා පියවීම වෙනුවෙන් තමාට කළ හැකි කිසිවක් නොමැති බවද ඔහු සඳහන් කර තිබිණි.

උවිදු කුරුකුලසූරිය ප‍්‍රකාශ කළේ සෙනෙවිරත්න මහතාගේ මූලික විමර්ශනයේ දී තමන්ට අදාළ ප‍්‍රශ්ණාවලිය තමන් වෙත නොලැබුණ බවයි. එසේම ගිණුම් වාර්තා ඉදිරිපත් කිරිමේ වගකීම පැවරෙන්නේ භාණ්ඩාගාරිකට බවත් ව්‍යවස්ථාව අනුව තමාවෙත එවැනි වගකීමක් පැවරී නොමැති බවත් ඔහු ප‍්‍රකශ කර තිබිණි. 2007/2008 හිටපු භාණ්ඩාගාරික කේ. රුෂාංගන් මහතා මුල්‍ය අවභාවිතාවන් පිළිබඳ වගකීම් භාර නොගනිමින් තමා ගිණුම් වාර්තා ඉදිරිපත් කළ බව ප‍්‍රකාශ කළ අතර 2008/2009 භාණ්ඩාගාරිකවරයා වූ කසුන් යාපා කරුණාරත්න පැවසුවේ තමාටද මූලික විමර්ශණයට අදාළ විද්්‍යුත් තැපැල් ප‍්‍රශ්ණාවලිය නොලැබුණ බවයි. එම නිසා තමාගේ ප‍්‍රතිචාර දැක්වීමට සාධාරණ අවස්ථාවක් නොලැබුණ බවද, බැංකු ගිණුම් තොරතුරු මුදල් පොත් ආදී කිසිවක් පරිශීලනය කිරීමට නොහැකි තත්ත්වයක් තුළ (රටින් බැහැරව සිටින නිසා) තමාට අය-වැය පිළිබඳ විගණන සහතිකයක් ලබාදීමට නොහැකි බවද ඔහු වැඩිදුරටත් පවසා තිබුණි. ශ‍්‍රී ලංකාව තුළ සිටියදී භාණ්ඩාගාරික වශයෙන් තමා සතු වගකීම ඉටුකිරීමට උත්සාහ දැරුවද මුල්‍ය අක‍්‍රමිකතා චෝදනා එල්ල වූ පසු නිලධාරි මණ්ඩලයේ එකගත්වයෙන් මුද්‍රා තැබූ වවුචර ඇතුළත් ලේඛන කැඳවුම්කරු උවිඳු කුරුකුලසූරිය විසින් විවෘත කර එම සාමූහික විශ්වාසය කැඞීමත්, ඉන් අනතුරුව ගිණුම් කටයුතු අවසන් කිරීම සඳහා පැමිණෙන ලෙස ඔහුට දිගින් දිගටම දැනුම් දුන්නත් ඔහු නොපැමිණීමත් නිසා එම කටයුතු අවසන් කිරීමට නොහැකි වූ බවත් කසුන් යාපා වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබිණ.

සුනිල් ජයසේකර ප‍්‍රකාශ කළේ අදාළ කාලය තුළ තමා ලේකම් ධුරය දැරූ බව සත්‍ය නමුත් කිසිදු ව්‍යාපෘතියකට අදාළ මුදල් වැය කිරීමකට හෝ චෙක්පත්වලට තමා අත්සන් තබා නොමැති බවයි. එසේම තමා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කිසිදු ව්‍යාපෘතියක් භාරව හෝ පූර්ණ කාලීනව හෝ අර්ධ කාලීනව කිසිදු මුදලක්, වැටුපක් හෝ දීමනාවක් ලබාගෙන නොමැති බවද තමා මුල සිටම මෙම ගිණුම් වාර්තා සම්බන්ධ ප‍්‍රශ්ණය මතුකළ හා ඊට විසඳුම් සෙවීමට උත්සාහ කළ කණ්ඩායමේ අයෙකු ලෙස සිටි බවද ඔහු ප‍්‍රකාශ කර තිබිණ.

මේ සියලූ ප‍්‍රතිචාර විධායක සභාව විසින් දයා ලංකාපුර, දුෂ්‍යන්ත සමරසේන හා නීතීඥ එස්.ජී. පුංචිහේවා යන නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භක සාමාජික මණ්ඩලයෙන් සැදුම්ලත් මතභේද හා විනය අනුකමිටුවට යොමුකරන ලද අතර ඍජුව ඔවුන් වෙත ලැබී තිබූ අභියාචනා හා එම ප‍්‍රතිචාර ගැන අවධානය යොමුකළ මතභේද හා විනය අනුකමිටුව ‘මෙම මුදල් අවභාවිතය කෙරෙහි ඍජු සබඳතාවක් නැති බව තොරතුරු අනුව පැහැදිලිවන හෙයින් සුනිල් ජයසේකර මහතා වගකීමෙන් නිදහස් කරමින් 2010 දෙසැම්බර් 23 දාතමින් සෙසු සාමාජිකයන් පිළිබඳ සිය නිර්දේශ ඉදිරිපත් කළේය.

මතභේද හා විනය අනුකමිටුවේ නිර්දේශ අනුව ‘‘2007/2008 සහ 2008/2009 වර්ෂවල නිසි මුදල් කළමණාකරණයක් තිබී නැත’’ අභියාචනය අනුව ලේකම් සුනිල් ජයසේකර මහතා නිදහස් කළ විට කසුන් යාපා කරුණාරත්න, සුනන්ද දේශප‍්‍රිය, උවිදු කුරුකුලසූරිය, සහ කේ. රුෂාංගන් යන සාමාජිකයන් සම්බන්ධයෙන් සඳහන් වන තොරතුරු අනුව ඔවුන්ට සාමූහික වගකීමක් පැවරිය හැකිය. එහෙත් ඔවුන් කවර වරදක් සම්බන්ධයෙන් කුමන ප‍්‍රමාණයකට වගකිවයුතු දැයි පැහැදිලි කර ගැනීමට විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය වේ.

අබේවර්ධන හා සෙනෙවිරත්න වාර්තාවලට අමතරව ඔවුන්ගේ විද්්‍යුත් මාර්ග පිළිතුරු කෙරෙහිද අවධානය යොමුකරමින් එම කරුණුවල සත්‍ය අසත්‍යතාවය විමර්ශනය කළ යුතුය.

සාමූහික වගකීම පැවරීමේදී මේ තරම් අවපාලනයක් පවතිද්දී ක‍්‍රියාවිරහිතව සිටීම ගැන සමස්ත විධායක සභාවටම වගකීම පැවරිය යුතුය’ අවසානයේ විනය කමිටුව ප‍්‍රකාශ කර ඇත්තේ ‘‘වෙන් වෙන්ව හදුනාගත් චෝදනා පැහැදිලි නොවීමත්, කරුණු කීමට ප‍්‍රමාණවත් සහ සාධාරණ අවස්ථාවක් නැතිවීමත් නිසා ඉහත සාමාජිකයන් සිව්දෙනා ව්‍යපාරයෙන් නෙරපීමට තීන්දුවක් ගැනීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ 15 වන ව්‍යවස්ථාව අනුව කළ නොහැකි බවයි’’ ඒ අනුව ඉහත සිව්දෙනා සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පැවැත්වීම සඳහා සාධාරණ අවස්ථාවක් ලබාදීමෙන් පසු නිගමනයක් ගැනීම සුදුසු බව’ විනය කමිටුව වැඩිදුරටත් නිර්දේශ කර තිබේ.’

මතභේද හා විනය අනුකමිටුවේ මෙම තීරණය ලැබීමෙන් අනතුරුව පැවැති සංවත්සර මහ සභාවට විධායක කමිටුව විසින් සියළු තොරතුරු වාර්තා කළ අතර එහිදී මූලික කරණා තුනක් ඔස්සේ ඒ පිළිබඳ සාකච්ඡුාවට ලක්විය.
මුල් කරුණ වූයේ සාමූහික වගකීම යටතේ ක‍්‍රියාකරමින් එම දෙවසරට අදාළ සාමාජිකයන් පිළිබඳ විනය ක‍්‍රියාමාර්ග ගන්නේ නම් ප‍්‍රධාන නිලධාරින් පිළිබඳව පමණක් නොව මුළු විධායක කමිටුවම සම්බන්ධයෙන් ක‍්‍රියා කළ යුතු බවයි.
දෙවන කරුණ වශයෙන් සාකච්ඡා වූයේ මතභේද හා විනය අනුකමිටුව පෙන්වා දී ඇති පරිදි නැවත විමර්ශනයක් මගින් තනි තනි පුද්ගලයින්ට එරෙහිව චෝදනා ගොණුකළ යුතු බවයි. ඒ සඳහාත් තවත් විශාල කාලයක්, ශ‍්‍රමයක් හා ධනයක් වැය වන බවද සංවිධානය දැනට පත්ව සිටින තත්ත්වය මත එය අතිශය දුෂ්කර කාර්යයක් බවටද එහිදී අදහස් පළවිය.

තෙවැනි කරුණ වශයෙන් යෝජනා වූයේ මුල්‍ය වංචාවක් සිදුව ඇති බවට පැමිණිලි කරමින් විගණන වාර්තා, විමර්ශණ වාර්තා ආදී සියල්ල පොලිස් වංචා විමර්ශණ ඒකකයට බාරදීමය. පරීක්ෂණ කටයුතු පසෙක තිබියදී සංවිධානය විනාශ කිරීම සඳහා එය භාවිතා කිරීමේ අනතුරක් ඇතැයි තීරණය කළ සභාවේ බහුතරයක් ඊට අකමැත්ත පළ කළෝය.
විමර්ශන කටයුතු අනුව මුදල් වංචා කිරීම පිළිබඳ පැහැදිලිව චෝදනා ගොණු කළ හැකි තත්ත්වයක සිටින ෆයිසල් අන්සාර් සම්බන්ධයෙන් නීතිමය පියවර ගත යුතු බව මහ සභාවේ ඒකමතික තීරණය විය.

විගණනය කරන ලද ගිණුම්වාර්තා ඉදිරිපත් නොකිරීම හා අවභාවිතයට ලක්ව ඇති මූල්‍ය ගනුදෙනු අනුමත කිරීම සම්බන්ධයෙන් සාමුහික වගකීමට බැඳී සිටින හිටපු නිලධාරීන් වන සුනන්ද දේශප‍්‍රිය, කසුන් යාපා කරුණාරත්න, කේ. රුෂාංගන් හා උවිඳු කුරුකුලසූරිය යන සාමාජිකයින්ට විගණන වාර්තා මගින් පෙන්වා දී ඇති වැරදි නිවැරදි කරමින්, පිළිගත් විගණන වාර්තාවක් ඉදිරිපත් කර තමන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනාවලින් නිදහස්වීමේ අවස්ථාව තවදුරටත් විවෘතව පවතී. එසේම මූල්‍ය අවභාවිතයන්ට අදාළව චෝදනා එල්ලවී ඇති හා විගණන වාර්තා මගින් පෙන්වා දී ඇති අක‍්‍රමිකතාවලට සම්බන්ධබවට චෝදනා එල්ලවන ව්‍යාපෘති ප‍්‍රධානින් හා ව්‍යාපෘතිවල සේවය කළ සේවකයින්ට ද තම තමන් වගකිවයුතු වැරදි නිවැරදි කරමින් සංවිධානයට සිදුවී ඇති හානිය අවම කිරීමට තවදුරටත් අවස්ථාව විවෘතව පවතී.

කෙසේ වෙතත් 2007 / 2008 හා 2008/2009 වර්ෂවල ගිණුම් කටයුතු යථාවත් කිරීම සඳහා සංවිධානයක් වශයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ගනු ලැබූ ක‍්‍රියාමාර්ග සාමාජිකත්වයේ හා මහජනතාවගේ දැනගැනීම සඳහා ප‍්‍රසිද්ධ කිරීමටත්, මෙම විමර්ශනවලට අදාළ සියලූ විගණන වාර්තා, මූලික විමර්ශන හා විමර්ශන කමිටු වාර්තා, චෝදනාවලට ලක්ව සිටින පුද්ගලයින් වෙත සංවිධානය යැවූ විමසුම් හා ඔවුන්ගේ ප‍්‍රතිචාර ආදී සියල්ල අවශ්‍ය අයගේ දැනගැනීම සඳහා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෙබ් අඩවියට ඇතුළත් කිරීමටත් 2012 මැයි 29 දින රැස්වූ සංවත්සර මහ සභාව හා විශේෂයෙන් මෙම කරුණ පිළිබඳ සාකච්ඡුා කිරීමට 2012.07.17 වන දින තීරණය කළේය. දින රැස්වූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විශේෂ මහා සභාව තීරණය කළේය.

සංවිධානයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් පැවති මෙම අයහපත් තත්ත්වය මේ වනවිට මුළුමනින්ම වෙනස්කර ගැනීමට අපි සමත් වී සිටිමු. මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් පැවති අහපත් තත්ත්වය අධ්‍යයනය කිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් වඩාත් විධිමත් ගිනුම් ක‍්‍රමයක් ඇතිකරගැනීමට අපට හැකිවූ අතර 2009/ 2010 වසරේ සිට නැවතත් විගණනය කරන ලද අය – වැය වාර්තා වාර්ෂිකව ඉදිරිපත් කරමින් සාමාජිකත්වය තුළ විශ්වාසය තහවුරු කිරීමට අපට හැකිවිය. 2009 වර්ෂයෙන් පසුව සංවිධානය සිදුකළ කිසිදු ගණුදෙනුවක් සම්බන්ධයෙන් සංවිධානයේ සාමාජිකත්වයෙන් හෝ පිටස්තර සමාජයෙන් කිසිදු චෝදනාවක් හෝ විවේචනයක් එල්ලවී නොමැත.

එසේම 2007/ 2008 හා 2008/ 2009 වර්ෂවල ගිණුම් කටයුතු විමර්ෂණය කිරීම සඳහා පත්කරන ලද කමිටු නිර්දේශ බලවත් ලෙස සැලකිල්ලට ගනිමින් මින් ඉදිරියට මෙවැනි ගැටලූ ඇති නොවීම සඳහා පියවර රැුසක් ක‍්‍රියාවට නැංවූ අතර නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ව්‍යවස්ථාවෙහි ඇතැම් වගන්ති ද සංශෝධනයට ලක්කරන ලදි. අවසන් වශයෙන් විසි වසරකට ආසන්න කාලයක් තිස්සේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉටු කළ සමාජ මෙහෙවර ඉදිරියේදිද පවත්වාගෙන යාමට අපි කැපවී සිටින බව වගකීමෙන් යුක්තව ප‍්‍රකාශ කරමු.

විධායක කමිටුව
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
04.08.2012