උතුරට වෙන්නේ කිමැයි?


උතුර - නැඟෙනහිර පළාත තුළ ප්‍රශ්නයක්‌ තිබේ දැයි මේ පළාතේ ජීවත්වන මා හට නම් නොපෙනේ. දක්‌නට ඇති එකම ප්‍රශ්නය නම් යුද්ධයෙන් සිදු වූ විනාශයට සමගාමීව සංවර්ධන කටයුතු වල වේගවත් බවක්‌, ක්‍රමවත් බවක්‌ දක්‌නට නොලැබීමත්, සිදු කෙරෙන සංවර්ධන කටයුතුවලදී අයුක්‌තිය අසාධාරණය රජ වී දූෂණ වංචා ඔස්‌සේ කෙරෙන ගසාකෑම්වල වර්ධනයයි. සමාජීය වශයෙන් ඇති ප්‍රශ්න හා ගැටලුවලට පිළිතුරු දේශපාලනමය වශයෙන් නොලැබීම මිස උතුර නැගෙනහිර පළාත් තුළ විශාල දේශපාලන අර්බුදයක්‌ ඇති බවක්‌ නම් කිසිවෙකුටත් නොපෙනේ.


| දිනසේන රතුගමගේ

ලෝක කම්කරු දිනයක්‌ හෙවත් තවත් මැයි දිනයක්‌ පසුගියදා නිමාවට පත්විණි. මැයි දිනය ලෝකයේ වැඩ කරන ජනතාවගේ දිනයක්‌ වුවත් වර්තමානයේදී ශ්‍රී ලංකාවේ මැයි දිනය සමරනු ලබන්නේ කම්කරු ජනතාව නොව දේශපාලනඥයෝ ය.

මෙවර සැමරූ මැයි දින උළෙලවල් වලදී කම්කරු ජනතාව වෙනුවෙන් පෙර පැවැති මැයි දින රැලිවලදී මෙන්ම ඔවුනට ලැබුණු කෙංගෙඩියක්‌ නොමැත. දේශපාලනඥයන්ට තම ප්‍රතිවිරුද්ධ දේශපාලනඥයන් හා දේශපාලන පක්‍ෂ පිළිබඳව චෝදනා නගන්නටත් අවලාද නගන්නටත් මැයි දිනයේදී වේදිකා සකස්‌ වී තිබිණි. ශ්‍රී ලංකාවේ සෙසු පළාත්වල පැවැති මැයි දින රැලිවලට වඩා මෙවර යාපනයේ පැවැති ප්‍රධාන මැයි රැළි දෙකම ඉතා වැදගත් මැයි රැළි දෙකක්‌ බවට පත්ව තිsබිණි.

එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රධානව විපක්‍ෂයේ ඒකාබද්ධ මැයි දින රැළිය යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේදීත්, ඊ.පී.ඩී.පී. සංවිධානයේ මැයි රැළිය යාපනය මහනගර සභා ක්‍රීඩාංගණයේදීත් පැවැත්විණි. යාපනය නගරය තුළ මහා පරිමාණයෙන් මැයි රැලි පැවැති ප්‍රථම අවස්‌ථාව මෙය නිසා නොව, යාපනයේ මැයි රැළි වේදිකාවලින් ඇසෙන්නට වූ දේ පිළිබඳව සලකා බලන විට මෙම මැයි රැළි ඉතා වැදගත් බව පෙනී යයි.

වෙනම රාජ්‍යයක්‌ ඉල්ලමින් ව්‍යාප්ත වූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදයත්, ඉන් පැනනැගුණු යුද්ධයත් මේ වනවිට අවසන් වී තිබේ. යුද්ධයක්‌ කරා මේ රට ගමන් කළේ උතුර - නැඟෙනහිර පළාත් තුළ බලය විමධ්‍යගත වීමේදී හා සංවර්ධන ක්‍රියාදාමයන් ක්‍රියාත්මක වීමේදී සිදුවුණු විවිධ අසාධාරණකම් නිසා යෑයි ශ්‍රී ලංකාව තුළ සිටින ජනතාවගේ සිත් සතන් තුළ පමණක්‌ නොව ලෝක ප්‍රජාව තුළ ද පැලපදියම් වී ඇති අදහසකි. යුද්ධය හමාර වීමෙන් පසුවද, උතුර - නැඟෙනහිර පළාත්වල බලය සම්බන්ධයෙන් විවිධ කතිකා ගොඩනැඟී ඇත්තේ මේ නිසාම විය යුතුය.

උතුර - නැඟෙනහිර පළාත් තුළ වෙසෙන දෙමළ ජනතාවගේ අර්බුදවලට පිළියම් සෙවීම සඳහා දහතුන්වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය තුළින් තීරණ ගත යුතු යෑයි පිsරිසක්‌ ප්‍රකාශ කරති. දහතුනටත් එහා ගොස්‌ දහතුන ප්ලස්‌ (13 +) ලබාදීමට තවත් පිරිසක්‌ උනන්දු වෙති. මේ අතරතුර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්‌ ඔස්‌සේ උතුර - නැඟෙනහිර අර්බුදයට විසඳුම් සෙවීම වඩා උචිත බව අලුත්ම මතය වී තිබේ.

යාපනයේ පැවැති මැයි රැළීවලදී ප්‍රධාන කතිකාවත බවට පත්ව තිබුණේද මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඔස්‌සේ විසඳුම් සොයනු ලබන යෝජනාවලිය පිළිබඳවයි.

ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිත පිරිසට ප්‍රකාශ කොට තිබුණේද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඔස්‌සේ උතුරු නැගෙනහිර අර්බුදයට දේශපාලන විසඳුම් ලබා දෙන බවය.

යාපනයේදී පැවැත්වූ විපක්‍ෂයේ ඒකාබද්ධ මැයි රැලියේදී විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ රජය විපක්‍ෂයට නිසි ලෙස ගරු කරන්නේ නම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහාය දැක්‌විය හැකි බවයි. නිසි ලෙස ගරු කිරීම වශයෙන් මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා හඳුන්වන ලද්දේ මඩ ගැසීමෙන් තොරව කෙරෙන දේශපාලනයකි. මැයි දිනයේදී විපක්‍ෂය කොටින් ලෙස හංවඩු ගසන තත්ත්වයකදී විපක්‍ෂයට නිසි සැලකීමක්‌ ඇති බව නොපෙනෙන බව ද විපක්‍ෂ නායකවරයා පැවසීය.

විපක්‍ෂයේ ඒකාබද්ධ මැයි රැලියේදීම කතා කළ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයාද ප්‍රකාශ කළේ උතුර - නැඟෙනහිර අර්බුදයට ඒකීය රාජ්‍යයක්‌ තුළ පිළිගත හැකි විසඳුමක්‌ ඉදිරිපත් වන්නේ නම් ඊට රජයට සහාය දැක්‌වීමට දෙමළ දේශපාලන පක්‍ෂ එකතුව කැමැත්ත පළ කරන බවය. ඊට පූර්ණ සහාය දැක්‌වීමට තමන් සූදානම් බව ද සම්බන්ධන් මන්ත්‍රීවරයා පැවසීය.

විපක්‍ෂයේ ඒකාබද්ධ මැයි රැලියට කිලෝ මීටරයක්‌ පමණ දුරින් පිහිටි ඊ.පී.ඩී.පී. සංවිධානයේ මැයි දින

රැලියේදී ඩග්ලස්‌ දේවානන්දා ඇමැතිවරයා දීර්ඝව කතා කළේ ද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිළිබඳව ය.

උතුර - නැඟෙනහිර ප්‍රශ්නයට විසඳුමක්‌ සෙවිය හැකි ආකාරය පිළිබඳව ඔහු දීර්ඝ වශයෙන් කළ කතාවේදී දේවානන්දා ඇමැතිවරයාත් රනිල් වික්‍රමසිංහ විපක්‍ෂ නායකවරයාත් යාපනයේදී හමු වී ඉතා සුහදව කළ සාකච්ඡාවේදී විපක්‍ෂ නායකවරයා මේ පිළිබඳව ඉතා සුබවාදී අදහස්‌ හා නම්‍යශීලී ප්‍රතිචාරයන් දැක්‌වූ බව පැවසීය.

උතුර - නැඟෙනහිර අර්බුදයට එකම විසඳුම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව බව ජනාධිපතිවරයාගේ සිට විසඳුමක්‌ ඉල්ලා සිටින කණ්‌ඩායම් දක්‌වා පිළිගන්නේ නම් එය ලබා නොදෙන්නේ මන්දැයි යන්න මෙවර උතුරේ මැයි රැලියේදී ඉස්‌මතු වූ මූලික ප්‍රශ්නයයි.

උතුර - නැඟෙනහිර පළාත තුළ ප්‍රශ්නයක්‌ තිබේ දැයි මේ පළාතේ ජීවත්වන මා හට නම් නොපෙනේ. දක්‌නට ඇති එකම ප්‍රශ්නය නම් යුද්ධයෙන් සිදුÊවූ විනාශයට සමගාමීව සංවර්ධන කටයුතු වල වේගවත් බවක්‌, ක්‍රමවත් බවක්‌ දක්‌නට නොලැබීමත්, සිදු කෙරෙන සංවර්ධන කටයුතුවලදී අයුක්‌තිය අසාධාරණය රජ වී දූෂණ වංචා ඔස්‌සේ කෙරෙන ගසාකෑම්වල වර්ධනයයි. සමාජීය වශයෙන් ඇති ප්‍රශ්න හා ගැටලුවලට පිළිතුරු දේශපාලනමය වශයෙන් නොලැබීම මිස උතුර නැගෙනහිර පළාත් තුළ විශාල දේශපාලන අර්බුදයක්‌ ඇති බවක්‌ නම් කිසිවෙකුටත් නොපෙනේ.

පළාත් සභා ක්‍රමය තුළින් බලතල ලබා දීමට දහතුන්වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය ඉදිරිපත් වුවත් වර්තමානයේදී උතුර - නැඟෙනහිර පළාතේ ඉඩම් හා පොලිස්‌ බලතල ලබා දීමට යැමේදී දහතුන් වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය ශ්‍රී ලංකාවේ පාලකයන්ට පාරාවළල්ලක්‌ වී තිබේ.

මෙසේම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්‌ තුළින් උතුර - නැඟෙනහිර ප්‍රශ්නයට ලබාදෙන විසඳුම ද ඉදිරි කාලයේදී තවත් පාරාවළල්ලකට වඩා චක්‍රායුධයක්‌ විය හැකිය. ඒ අවස්‌ථාවේදී පවතින සුළු සුළු අර්බුද විස¹ ගැනීම සඳහා දුර දක්‌නා නුවණින් කටයුතු= නොකොට ලබා දෙන කුමන හෝ විසඳුමක්‌ නිසා රට තුළ ප්‍රශ්නය එක්‌ ප්‍ර්‍රශ්නයක්‌ නොව සදාකාලිකවම ප්‍රශ්න ගණනාවක්‌ ඇතිවීමය.

කුමන හෝ ප්‍රශ්නයක්‌ මවා පාමින් විසඳුම් ඉල්ලා සිටින පුද්ගලයෝ විසඳුම වශයෙන් බලාපොරොත්තු වන දේ විශාලය. ප්‍රභාකරන් සයිලොක්‌ මෙන් මස්‌ රාත්තලම ඉල්ලූ නිසා වසර තිහක්‌ තිස්‌සේ යුද්ධ කරන්නට සිදුවිණි. එමෙන්ම උතුර - නැඟෙනහිර ඇතැයි කියන දේශපාලන අර්බුදයට විසඳුමක්‌ සෙවීමේදී ද ඉල්ලා සිටින බලතල හා ඉල්ලීම් ප්‍රභාකරන්ගේ ඉල්ලීම් වලට වඩා වැඩි විය හැකිය. නමුත් මේ අවස්‌ථාවේදී දක්‌නට ඇති එකම සුබ ලකුණ මේ පිළිබඳව සාකච්ඡා කරන්නට ඊට සහාය ලබා දෙන්නට ප්‍රතිවිරුද්ධවාදීන් පවා කැමති වී සිටීමය. මේ තත්ත්වය යුද සමයේදී අපට දැක ගැනීමට නොහැකි තත්ත්වයකි. අපේ ගම්වල ඇති කියමනට අනුව "කබල රත් වූ අවස්‌ථාවේදී රොටිය පුච්චා ගත යුතුය" කබල අඩුවෙන් රත් වූ විට රොටිය රූපිටි වෙයි (ගැමි වචනයකි) වැඩියෙන් රත් වූ විට රොටිය කරවෙයි.

වර්තමානයේදී කබල නිසි පදමට රත් වී ඇති නිසා දැන් රොටිය පුච්චා ගැනීමට රජය නිසි ක්‍රමවේදයක්‌ සකස්‌ කරන්නේ නම් හොඳ රොටියක රස බැලීමට හැකි වේ. නැතිනම් රොටිය රූපිටි වීමක්‌ හෝ කරවීමක්‌ සිදු වේ.

අපේ රටේ දේශපාලන ඉතිහාසය දෙස බලන විට සිදුÊවී නොමැති එකම දෙය ද අවශ්‍ය වේලාවට අවශ්‍ය ප්‍රශ්නයට පිළිතුරු ලබා නොදීමය. අත්අඩංගුවේ සිටි ප්‍රභාකරන් මුදා හැරියේ වසර ගණනාවකට පෙරය. නිදහස්‌ වූ ප්‍රභාකරන් ඇරඹූ යුද්ධය වසර තිහක්‌ පැවතිණි. මේ නිසා උතුර - නැඟෙනහිර අර්බුදයට විසඳුම් සෙවීම ද කඩිනමින් සිදුවිය යුතුය. මැයි දිනය වනවිට සියලුම දෙනා එක්‌ විසඳුමක්‌ වෙනුවෙන් කැමැත්ත පළ කරන්නේ මැයි නිසා මැයි සිතිය හැකිය. ඒ නිසා මේ මාසයේදී ම සාකච්ඡා ආරම්භ කරන්නේ නම් මැයි නම් මැයි තමයි වෙයි.

Source: Divaina