‘පාද යාත‍්‍රාව’ සිහිකල විට ජනපතිට මලපනී

මිනිමරු පේ‍්‍රමදාස පාලනයට එරෙහිව 1992 මාර්තු 16 දා ආරම්භ කළ ‘පාදයාත‍්‍රා’ වැඩසටහනට මෙම 16 වනදාට වසර 20ක් සැපිරෙන බැවින් එය සමරා විශේෂ වැඩසටහනක් කිරීමට යෝජනා කළ රාජ්‍ය මාධ්‍ය ආයතනවල කිහිප දෙනෙකුට ජනාධිපතිවරයා බැනවැදී ඇතැයි වාර්තා වේ.

‘‘තමුසෙලාට පිස්සුද ඕයි. මේ වෙලාවේ ඕව ගැන මතක් කරන්න. ජිනීවා ගිය එන්.ජී. ඕ කාරයෝ ඕක එල්ලගෙන එදා මම කියපුවා මතක් කර කර ප‍්‍රකාශදේවී. තමුසෙලා ඔය ගැන අපේ එවුන්ටවත් මතක් කරන්න එපා. ඇත්තටම තමුසෙලාට කොමන් සෙන්ස් කියාලා එකක් නෑනේ’’ යැයි කියමින් ජනාධිපතිවරයා එම මාධ්‍ය ප‍්‍රධානීන්ගේ යෝජනාව යටපත් කර තිබේ.

පේ‍්‍රමදාස පාලනය විසින් දකුණේ තරුණ තරුණියන් 60,000 කට වැඩි පිරිසක් පැහැරගෙන ගොස් කුරුරු වදදී මහමග මරාදැමීම, අතුරුදහන් කිරීම ආදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට එරෙහිවත්, එකල පැවති කැලෑ නීතියට එරෙහිවත් සංවිධානය කරනු ලැබූ ‘පාද යාත‍්‍රාව’ එකල විපක්ෂයේ ක‍්‍රියාකාරී මන්ත‍්‍රිවරයෙකුව සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ඇරඹින.

1992 මාර්තු 16 දා කොළඹ විහාර මහාදේවී උද්‍යානය අසලින් ආරම්භ වූ එම ‘පාදයාත‍්‍රාව’ දින කිහිපයක් පුරා පාගමනින් කළුතර, අම්බලන්ගොඩ, ගාල්ල, මාතර, තංගල්ල පසුකරගෙන අපේ‍්‍රල් 1 දා කතරගමට ලඟාවිය. එහෙත් එදින මෝඩයන්ගේ දිනය වූ හෙයින් ‘පාදයාත‍්‍රාව’ අවසන් කිරීමේ ආගමික වතාවත් හා පේ‍්‍රමදාස ජනාධිපතිට එරෙහි පොල්ගැසීමේ දේව කන්නලව්ව අපේ‍්‍රල් 02 දාට යොදාගනිමින් එම වැඩසහටන විපාක්ෂික බලවේගවලට විශාල ධෛර්යක් හා ශක්තියක් ලාබදෙමින් නිමාවිය.

එකල ආන්දෝලනයට ලක්වූ ඇබිලිපිටි සිසුන්ගේ ඝාතනය එරෙහි දෙමාපිය සංවිධානය, මවුවරුන්ගේ පෙරමුණ, වාසුදේව නානායක්කාර මහතාගේ අතුරුදහන්වූවන්ගේ සංවිධානය සහ සියලූ පක්ෂවල සහභාගීත්වයෙන් මෙම පාදයාත‍්‍රාව ක‍්‍රියාත්මක විය. 17 වසරක් පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පළවා හැර 1994 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ පොදු පෙරමුනු ආන්ඩුවක් ගොඩනැගීමට මූලික ජවය ලබාදුන් ‘පාදයාත‍්‍රා’ වැඩසහටනෙහි 20 වන සැමරුම වසන් කිරීමට එම ‘පාදයාත‍්‍රාවේ’ නිර්මාපකයා රටේ ජනාධිපති ධූරයට පත්වී සිටින අවස්ථාවේදී සිදුවීම දෛවයේ සරදමකි.

පාදයාත‍්‍රාවේ රැගෙන ගිය සටන් පාඨ වසර 20 කට පසු යළිත් එලෙසම වලංගුවී තිබීම පාදයාත‍්‍රාව වසන් කිරීමට මූලික හේතුව වී තිබේ. - Lanka News Web