කතුවැකිය: ක්‍රෝධය හා වෛරය නොපතුරුවනු

( 30.01.2012 | lankaguardian.com ) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළිත් එයම කිව්වේය. ඒ ඊයේ පවතී මහජන රැස්වීමකට සහභාගී වෙමිනි. ඔහු සඳහන් කළේ මෙසේය, "එක් එක් අයට අවශ්‍ය විසැඳුම් හෝ පිටරටට අවශ්‍ය විසැඳුම් අපේ රජයෙන් දෙන්නේ නැහැ. අප දෙන්නේ අපේ රටට අවශ්‍ය විසැඳුම්. එහෙයින් පිටරට ගිහින් කේලාම් නොකියා අපේ රට ගොඩ ගැනීමට උදව් කරන ලෙස එවැනි අයට ඇරියුම් කරනවා”.

ජනාධිපතිවරයා මේ බිය වී සිටින්නේ වෙන කිසිවකට නොව එළඹෙන මාර්තු මාසයේදී ජිනීවා නුවර පැවැත්වීමට නියමිත මානව හිමිකම් කවුන්සලයේදී තමන්ගේ බලයට එරෙහිව එල්ල වෙන චෝදනා වලටය. ජනාධිපතිවරයා බොරු කීමට අතිදක්ෂයෙකි. ඔහු සිටින්නේ ඔබ සමඟ නම් ඔහු ඔබ කියන සියල්ලටම ඇහුන්කම් දී එකඟ වනු ඇත. ඔහු සිටින්නේ ඉන්දියාව සමඟ නම් ඔහු ඉන්දියාව කියන සියල්ලටම ඇහුම් කන් දී එකඟ වනු ඇත. එසේම චීනය සහ වෙනත් රටක් සමඟ ගනු දෙනු කරන්නේද එසේය. නමුත් ඔහු කුමන ආකාරයේ චරිතයක්ද යන්න ඔහුගේ ප්‍රයෝගික භාවිතයෙන් වටහා ගත හැකිය. රටේ පවතින ගැටලු ගැන කතා කිරීම කේලාම් කීමක් ලෙස දකින්නට තරම් රටේ නායකයා බය වී තිබේ. කාන්තාවක් වී සිටින්නීය. සැබවින්ම රාජපක්ෂට ඇති එකම සහ ප්‍රභල අභියෝගය වන්නේද පිට සිට සිදුවන එම විවේචනයයි.

බොරු තර්ක මත බොරු විවේචන නොකැර ක්‍රෝධය හා වෛරය, නොපතුරුවා සාධාරණ විවේචනය මාධ්‍ය යුතුකම බව කී ජනපති රජය ජනමාධ්‍යයට තමන් කැමැති බව ද එහිදී හෙතම වැඩි දුරටත් සඳහන් කළේය. මේ සියල්ලම එනම් බොරු විවේචන සිදුකරමින් ක්‍රෝධය හා වෛරය පැතිරවීම සිදු වන්නේ ජනමාධ්‍ය අතින් නොව ඔහුගේම අතිනි. ඉන්දීය නියෝජිතයින් පැමිණෙන විට දහතුනට එහා යන්නනේ යැයි දොඩවන හෙතම චීන නියෝජිතයින් හමුවේ සම්පූර්න පෞද්ගලික අභිමතාර්ථයන් මත ටෙන්ඩර් අත්සන් කරනු ලබයි. සැබවින්ම චීනය වූ කලි ලංකාව රාජපක්ෂ තැරව්කරුවෙකු ලෙස තබාගෙන ඔහුට අල්ලස් දී ලබාගෙන ඇති වෙළඳපොළකි. ඒවායෙහි අමිහිරි මතකයන් තවමත් අපට අත්විඳීමට සිදු වූයේ නැත. රාජපක්ෂ සිදු කොට ඇති ගැට සියල්ලම එළඹෙන වසර කිහිපය තුළදී හෙළිවනු ඇත. එසේම ඔහුට දේශීය වශයෙන් සිදුවන කිසිඳු මිනීමරු ක්‍රියාවකට එරෙහිව කටයුතු කිරීමේ සැබෑ වුමනාවක් නැත. එයින් ඔහු ඔප්පු කරමින් සිටින්නේ එක්කෝ තමනට ඒ සඳහා ක්‍රියාත්මක වීමට බලයක් නොමැති බවය. නැත්නම් ඔහුගේ වුවමනාව පරිදි ඒවා සිදු වෙන බවය.

රාජපක්ෂ වර්තමානයේදී පාලනය කරගත නොහැකි බලය නිසා වල්මත් වී සිටින්නෙකි. ඔහු යම්තාක් දුරකට හෝ පාලනයට නතු වී සිටින්නේ රටින් පිට ලංකාව විෂයෙහිලා සිදුවන දේශපාලනය නිසාය. වඩාත් නිවැරදිව කිවහොත් රාජපක්ෂගේ පාලන රටාව ගඩාෆිගේ දෙවන අවධියට සහ ස්ටාලින්ගේ පාලනයට බොහෝ සෙයින් සාමානය. මේ නිසා වඩාත් වැදගත් වන්නේ රාජපක්ෂ බියට පත්වී සිටින මුලික සාධකය හමුවේ ඔහුගෙන් එල්ල විය හැකි තර්ජනය තේරුම් ගෙන කටයුතු කිරීමය. ඔහුද අනෙක් අය මෙන් බලයෙන් වල්මත් වූවන් හා සමාන ලෙස තමන්ගේ කටයුතු සාදාරනීකරණය කරගැනීම සඳහා කළ හැකි උපරිමය සිදු කිරීම සාමාන්‍ය කාරණයකි.