ජනතා අයතීන්ට පහරදීම උතුරටත් දකුණටත් තර්ජනයක්

| තිසරණී ගුණසේකර
පරිවර්තනය - හේමන්ත රණවීර

මාගේ දේශය බොරු දේශපේ‍්‍රමී වැලපීම් නැති නිදහස් දේශයක් වුව මැන. (ලැන්ග්ස්ටෝන් හියුස්)

( 29.01.2011 | lankaguardian.com ) ගැටලූ සහගත දේ ගැන දිව කීපයකින් කතාකිරීම ප‍්‍රශ්නවලින් බේරීමට රාජපක්ෂ අණ්ඩුව සාර්ථකව යොදාගන්නා උපායකි. එහෙත් සමරවිට ඔවුන් සැඟවීමට සිතන්නේ කුමක්ද යන්නද ඒවායින් එළිවෙයි.

ලලිත් කුමාර් වීරරාජ් හා කූගන් මුරුගානන්දන් 2011 දෙසැම්බර් 9 යාපනේදී අතුරුදන් වූහ. අතුරුදන් වීම ගැන පුවත්පත් සාකච්ඡාවක් සංවිධානය කිරීමට යෑමේදී ඔවුහු අතුරුදන් වූහ. ඔවුන්ගේ ජීවිතය ගැන සැක මතු වූ විට රජයේ ප‍්‍රකාශක ඇමති කෙහෙළිය රඹුක්වැල්ල කීවේ විරරාජ් හා මුරුගානන්දන් අතුරුදන් වී නැති බවත් ඔවුන් සිටින බවත්ය. (ද සන්ඬේ ලීඩර් 18.12.2011) ඔවුන් ළඟදීම උසාවියට ඉදිරිපත් කරන බවත් ඔහු කීය. (ද සන්ඬේ ටයිම්ස් 8.1.2012)

මසකට පසුව ඔවුන් ගැන කිසිම ආරංචියන් නැත. කැබිනට් ප‍්‍රකාශකගේ විශ්වාසදායක ප‍්‍රකාශය ලෙසට ඔවුන් උසාවියට ඉදිරිපත් වූයේ නැත. දැන් රාජපක්ෂ පාලනය කියන්නේ අතුරුදන් වූවන් ගැන කිසිවක් රජය නොදන්නා බවය. පසුගියදා පාර්ලිමේන්තුවේදී ඇමති නිමල් සිරිපාලද සිල්වා කීවේ කණ්ඩායම් 4ක් යොදා සොයා බැලීම් කළත් ඔවුන් ගැන කිසිම තොරතුරක් පොලීසියට දැනගැනීමට නොලැබුණු බවය. (ඬේලිමිරර් 20.01.2012)

නිවරුදි කවුද? ඒ දෙදෙනා පැහැරගෙන ගොස් නැති බවත් අත්අඩංගුවට ගෙන ළඟදීම උසාවියට ඉදිරිපත් කරන බවත් පැවසූ ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ද?

නැත්නම් ඔවුන් ගැන කිසිම ආරංචියක් රජය නොදන්නා බව කියන ඇමති නිමල් සිරිපාලද සිල්වාද? මේ කතා එකිනෙකට පරස්පර විරෝධීය. එක ඇමති කෙනෙක් කියන්නේ බොරුය. ඒ කවුද ? ඔවුන්ම පත්කළ උගත් පාඩම් කොමිසම සඳහන් කළ අතුරුදන්වීමේ රැල්ල යුද ජයග‍්‍රහණයෙන් වසර 2 1/2කට පසුවද තවමත් රටපුරා හමායමින් පවතී. මින් කියැවෙන්නේ රජයේ ඇතැම් කොටස් තවමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පිටුපා යමින් මිනීමැරීම් ඇතුලූ අපරාධ කරන බව නොවේද?

මේ මානව හිමිකම් ක‍්‍රියාකාරීන් දෙදෙනා අතුරුදන් වූයේ තදබල හමුදා පාලනයක් පවතින යාපනේදීය. එහි දිවා රාත‍්‍රී හමුදාව සුපරික්ෂාවෙන් සිටිති. මෙවැනි ප‍්‍රදේශයක හමුදාවට පිටින් කිසිවකුටත් මෙබඳු පැහැර ගැනීම්වැනි අපරාධ කළ නොහැකිය. පැහැරගැනීම සිදුවී මාසයක් ගතවීත් පොලිස් කණ්ඩායම් 4ක් යොදා තිබියදීත් අපරාධකරුවන් සොයා ගැනීමට නොහැකි වී ඇත්නම් ඉන් කියැවෙන්නේ රටේ ආරක්ෂක තත්ත්වය තදබල ලෙස පිරිහි ඇති බවය. ආරක්ෂක ආමත්‍යාංශයට විශාල මුදලක් වෙන්කර ගනිමින් ආරක්ෂක අමාත්‍යාංශය කරන්නේ කුමක්ද?

ප‍්‍රතික්ෂේප කිරීමෙන් මේවායේ වගකීමෙන් රජයට මිදිය නොහැකිය. ඇමති රඹුක්වැල්ල ඔවුන් අතුරුදන් වී නැතැයි ඉදිරියේ උසාවියට ඉදිරිපත් කරතැයිද කීවේ මන්දැයි විස්තර කළ යුතුය. ඒ තොරතුරු ඔහුට දැනුම් දුන්නේ කව්දැයි ඇමති හෙළි කළ යුතුය. පරීක්ෂණ කරන කණ්ඩායම් 4න් එකක්වත් මේ ගැන ඇමති රඹුක්වැල්ගෙන් ප‍්‍රශ්න නොකළේද?

ඒ තොරතුරු ලැබුනේ විශ්වාසදායක මාර්ගයකින් නොවේ නම් ඔහු එය ප‍්‍රකාශ නොකළ යුතුව තිබිණ. ඒ තොරතුරු මූලාශ‍්‍ර දැනගැනීම පරීක්ෂණයට ඉතා වැදග්ත වෙයි. ඒවා ගැන නොසොයා පරීක්ෂණ කිරීම වැරදි ඉසෙඞ් ලකුණු ගැන නොසොයා උස්ස පෙළ ප‍්‍රතිඵල ගැටලූවගැන පරීක්ෂා කිරීම වැන්න.

මේ රාජපක්ෂ පාලනයේ ස්වභාවයයි. අපමණ යුද අපරාධ කළ ඇමරිකා එක්සත් ජනපදයෙන් ආචාර ධර්ම පිළිබඳ පාඩමක් ඉගෙන ගැනීමට ශ‍්‍රී ලංකාවට සිදුවීම කනගාටුදායක කරුණකි. තමන් එවෙලේම මරා දැමූ තලේඛාන් සටන්කාමීන්ගේ සිරුරුවලට ඇමරිකන් නාවික භටයන් මුත‍්‍රා කරනු දැක්වෙන විඩියෝවක් යූ ටියුබ් හරහා දුටු ලෝකයම කලබලට පත්විය. ඔබාමා පාලනය ඊට මුහුණ දුන්නේ බුද්ධිමත් හා වගකිවයුතු ආකාරයටය. ප‍්‍රතික්ෂේප කිරීම්, දණිස් වෙව්ලීම්. විරුද්ධවාදීන්ගේ මඩ ගැසීම් කියා ගැලවීමට උත්සාහ නොකර ඉක්මන් පරීක්ෂණයක් පැවැත්වුණු අතර සිදුවීම සත්‍යයක් බව ඔප්පු වූයේය. නිල හෙළා දැකීම ප‍්‍රමාදයක් නොමැතිව සිදුවිය. රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් නාවික භටයන්ගේ ක‍්‍රියාව හෙළා දකිමින් ප‍්‍රකාශ කළේ එය ඉතා නරක ඇමරිකානු අගයයන්ට නොගැලපෙන ක‍්‍රියාවක් බවය. මේ තදබල හෙළා දැකීම් හා පරීක්ෂණ යටතේ සිද්ධියේ බරපතළකමත් මැකී ගියේය. චැනල් ෆෝ වීඩායෝ පටය ගැනද රාජපක්ෂලා ප‍්‍රතිචාර දැක්විය යුතුව තිබුණේ මෙසේය. ඒ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කරනු වෙනුවට මේවා අමූලික බොරු අපි මෙබඳු දැ කරන් නෑ’ යනුවෙන් පවසන ලදී. වීඩියෝ පටයේ දැක්වුණු මුහුණ ගැන බලා පරීක්ෂණ කිරීමට තිබිණ. සටනේ අවසාන අවස්ථවාට සම්බන්ධ වූ සෙබළුන් ඒ අතර සිටිදැයි ලෙහෙසියෙන්ම සොයා බැලීමට තිබුණි. අප විසින් ගත් ස්ථාවරය වුයේ අප විසින් කළේ මානුෂික මෙයෙහයුමක් බැවින් මෙබඳු දැ සිදුවිය නොහැකි ය. යන්නයි. ඒම හේතුව නිසා එම ගැටලූව තව තවත් ප‍්‍රචාරය ලබිමින් පවතී.

ඇමරිකාවේ බලය රිපබ්ලිකන් පක්ෂය සතුව තිබියදී රාජපක්ෂ ආකාරයේ ප‍්‍රතික්ෂේප කිරීම් දක්නට ලැබුණි. රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක රිත් පෙරී සඳහන් කළේ මෙහිදී සිදුවී ඇත්තේ 18, 19 වයසේ තරුණයන් අතින් සිදුවූ අත්වැරැද්දක් බවය. (ගාඩියන් 15.01.2012) යුද හමුදාව බේරා නොගැනීම ගැන ඔහු ඔබාමා පාලනයට චෝදනා කළේය. එහෙත් වඩා මධ්‍යස්ථ රිපබ්ලිකන් වාදියකුවූ මැකේන් සෙනෙට් මන්ත‍්‍රී නාවික හමුදාවේ ගෞරවය කෙළෙසීම ගැන දඩි ලෙස කනගාටු වෙයි. මේ සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ කිරීමෙන්වත් ඔබාමා පාලනය නිවැරදි වී ඇත. යුද්ධ භූමියේදීත්, සිවිල් වැසියන්ට හානිවීමේදීත් හෙජින් ගනුදෙනුවේදීත් අතුරුදන් වීම්වලදීත් ඉසෙඞ් ලකුණු වැරදීම්වලත් වැරදීම භාරගැනීම රාජපක්ෂලා ප‍්‍රතිකේෂේප කරන බැවින් අප දිගටම වැරදි තැනක සිටිමු.

ලලිත් කුමාර් හා කූගන් අතුරුදන් වූ විට පොලීසිය අත්අඩංගුටව ගත් බව භාරගත්තේ නැත. ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඔවුන් උසාවියට ඉදිරිපත් කරන බව කිවූ විටවත් පොලීසිය ඒ වගකීම ගත්තේ නැත. මේවාට හේතුව හිතුවක්කාර නීති විරෝධී හා සම්පූර්ණ රැකවරණය මත සිටින රාජපක්ෂලාට සැබෑ තර්ජනය එන විට ක‍්‍රියා කරන බලවත් ආයතනයක් රජය තුළ තිබිමය. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ජනතවාගේ ආරක්ෂවට බලවත් තර්ජනයකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන ජනතා අයිතීන් කෙරේ මෙසේ රාජපක්ෂලා එල්ල කරන ප‍්‍රහාර උතුරට සේම දකුණටද ප‍්‍රබල තර්ජනයක් ඇති කරයි. සිංහල දෙමළ මුස්ලිම් දුප්පත් පොහොසත් කාටත් එය එකසේ බලපායි. එහෙත් පාලක පවුල මේ භයංකර ක‍්‍රියා ජනයාගෙන් සැඟවීමට සමත්වෙයි.

යම් ආයතන හෝ පුද්ගලයන්ට එරෙහිව කැරෙන මේ කටයුතු ගණන් නොගත යුතු සුළු දේ වශයෙන් හා ඇතැම්විට කළ යුතු දේ ලෙස ඒත්තු ගැන්වීමටත් ඔවුන් සමත්ව ඇත. එය කරන්නේ පවතින යථාර්ථය විකෘති කරන වචන හරඹවලින් හා මහජාතියේ හැඟීම් මත යැපෙමිනි. රාජපක්ෂලාගේ මේ පීඩාකාරී කටයුතු බොහෝ විට සිදුවන්නේ උතුරේ නමුත් දකුණටද මෙය ළඟා වනු ඇත්තේ ආර්ථික පීඩා මත නොසන්සුන් කම් මෝරා නැගෙනවිටය. එබැවින් මෙය සියලූ ලාංකිකයන්ගේ අවධානයට යොමු කළ යුතු පොදු ගැටලූවකි. විපක්ෂ බලවේග එක්සත් වීමේ භයානකකම රාජපක්ෂලා දනිති.

ජනතාව, පක්ෂ සංවිධාන, අසාධාරණයට එරෙහිවන ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන ක‍්‍රියා හෙළා දකින සියල්ලන්ගෙන් සමන්විත පුළුල් පෙරමුණක් ඇති කළ යුතුව ඇත. රාජපක්ෂලාට අවශ්‍ය වාර්ගික ආගමික පංති සීමා තුළින් භේද ඇති කර සහයෝගීතාවක් බිහිවීම වැළැක්වීමය. රාජපක්ෂලාගේ න්‍යාය ලාංකිකයන් වැඩි ගණනකට හානිකර බව අවබෝධ කරවිය යුතුවේ. ආර්ථිකය, නිදහස් සෞඛ්‍ය, අධ්‍යාපනය ව්‍යූහ වශයෙන් කඩා වැටෙමින් ඇත. සිංහලයන් වැඩිදෙනෙක් රාජපක්ෂලා සහයෝගය දක්වන්නේ යුද්ධය ජයග‍්‍රහණය කිරීම ගැන කළගුණ සැලකීමට හා කොටි ප‍්‍රශ්නය විසදූ ලෙසට ආර්ථික ප‍්‍රශ්නය නිරාකරණය කරනු ඇතැයි යන විශ්වාසයෙනි. දෙමළ ජනයාද කලක් එල්ටීටීඊය රාජ්‍ය බලය දිනාගනු ඇතැයි සිහිනයක් දුටු අතර එයින් මාරාන්තික පාඩමක් උගත්හ. සිංහලයන්ද ඔවුන් උගත් ඒ පාඩම සැලකිල්ලට ගත යුතුය.

රාවය පුවත්පතින් උපුටා ගන්නා ලදී.