මල් පුබුදු කරවීමට ගසට වෙඩි තැබීම!

| සමන් ගමගේ

මේ රටේ දහස්‌ ගණනක්‌ වූ තරුණ තරුණියන්ගේ පණ සුන් සිරුරු ඟග දියේ කෙළින ගං කබරයන්ගේ කුස්‌ පිරවූ රස බොජුන් බවට පත් කෙරෙමින් 1971 වසරේදී ජනතා විමුක්‌ති පෙරමුණ දියත් කළා වූ 71 කැරැල්ල හෙවත් මහා බිලි පූජාව නිමා වී මේ ගෙවෙමින් තිබෙන්නේ හතළිස්‌ වැනි වසරය.

එසේම 71 කැරැල්ලෙන් පහළොස්‌ වසරකට පමණ පසු සන්නද්ධ ගමනක නිරර්ථක බව දැක සහ දැනත් ජයවර්ධන රජයේ නින්දිත මර්දනයට එරෙහිව නැගී සිටි ජනතා විමුක්‌ති පෙරමුණ ලක්‌ මවගේ තරුණ දූ පුතුන් දසදහස්‌ ගණනක්‌ යළි බිලි දෙමින් 87-89 යුගයේ ගෙනගිය සන්නද්ධ අරගලයද නිම වී මේ වන විට විසිපස්‌ වසරක්‌ ගෙවී ගොසිනි.

විමුක්‌තිය අරබයා ආයුධ සන්නද්ධව ජවිපෙය සිදු කළ එකී අරගල දෙකෙහිදීම සිදු වූ පැහැදිලිම දෙය වූයේ කුමක්‌ද?

එක්‌ අතකින් සිදු වූයේ රාජ්‍ය මර්දනය ඉදිරියේ ජනතා විමුක්‌ති පෙරමුණ සුන්නද්ධුලි වී නන්නත්තාර වෙද්දී ඒ හා බද්ධව සිටි ඇතැමුන් සෙවූ විමුක්‌තිය අමතකව තමන්ගේ පැවැත්ම වෙනුවෙන් තැන් තැන්වලට කොක්‌ක ගසා ගොඩයැමය.

එසේම රෝහණ විඡේවීර වැනි වටිනා මිනිසකු සමග රට භාරගැනීමට සිටි තරුණ පරපුර වැනසී යැම හමුවේ තවත් වසර ගණනාවකින් මේ පිං බිම ආපස්‌සට ගමන් කිරීමද එම අරගල හමුවේ සිදුවූ කෙසේවත් නිවැරදි කළ නොහැකි තවත් විනාශයක්‌ වන්නේය.

කිසිදා ඵල නොදැරූ ජනතා විමුක්‌ති පෙරමුණේ ඉහතකී පරාජිත අරගල පිළිබඳ ඉතිහාස පොතේ ලියෑවී ඇත්තේ එලෙසිනි. ජනතා විමුක්‌ති පෙරමුණේ එකී සන්නද්ධ අරගල වනාහි හරියටම වවුලන් ගසේ සිටියදී රඹුටන් වැටෙන්නට ටකේ තැනුවාක්‌ වැනි නිෂ්පල ඒවාම විය.

83-87 යුගයේ ජයවර්ධන රජය ගෙන ගියා වූ නින්දිත මර්දනය හමුවේ යායුතු මානයක්‌ නොමැති කමින් ජවිපෙය යළි සන්නද්ධ මාවතක්‌ වෙත ඇදී ගියා හෝ එසේත් නැතහොත් ජයවර්ධන රජය මගින් බලෙන් ඇද දැමුවාය යන්න මෙහිදී කෙනෙකුට තර්කයක්‌ මතු කළ හැක.

ජයවර්ධන රජයේ එකී පිළිකුල් සහගත මර්දනයේදී එජාපයේ චණ්‌ඩින් හා තක්‌කඩියන් විසින් මෙහෙයවූ 1983 කළු ජුලියේ වගකීමද ජවිපෙය පිට පටවමින් එය තහනමට ලක්‌ කළ අයුරුද අපේ මතකයේ ඇත.

එහෙත් එකී අතීතයේ ජවිපෙය හිතුවක්‌කාරී ලෙස ගත් එම තීරණයෙන් අවසානයේ මේ රට ඇදී ගියේ කොතැනකටද?

එහිදී සිදුවූ භයානකම දෙය වුයේ ඒ වන විට හිස ඔසවමින් සිටි ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට බාධක කිසිත් නොමැතිවම සිය ගමන යන්නට ජවිපෙයේ ගමන තුළින් පැහැදිලි මාවතක්‌ නිර්මාණය වීම විය.

එය 1983 කළු ජුලිය හේතුවෙන් එල්ටීටීඊයට අප විසින්ම ලබාදුන් වරදානයටත් එහා ගිය එකක්‌ම වූවේය. එසේම මතු වෙමින් තිබූ ත්‍රස්‌තවාදය හමුවේ පඹ ගාලක පැටලී සිටි හිටපු ජනපති ඡේ. ආර්. ජයවර්ධනට සියල්ල හිඟන්නාගේ තුවාලය සේ තබා ගනිමින් රට කරන්නටද ඉන් සලසා දුන්නේ පැහැදිලි ඉඩකි.

ඡේ. ආර්. ජයවර්ධනයන්ගෙන් පසු බලයට පැමිණි හිටපු ජනපති ආර්. ප්‍රේමදාසයන්ගේ පාලන සමය පිළිබඳ ඉහත මානයේ සිට කතා කිරීමේදී කීමට ඇත්තේද මේ ටිකමය.

එසේම වර්තමානයේ රටට මහා පිළිලයක්‌ව තිබෙන පාතාලය බිහිවීම සම්බන්ධයෙන් කතා කිරීමේදීද 87-89 සන්නද්ධ අරගලය ඉදිරියේ ජවිපෙයට වගකීමෙන් නිදහස්‌ වීමට කිසිසේත්ම නොහැක. මන්ද වත්මන් පාතාලයට එදා උඩට එන්නට ඉනිමග තැබුණේ ජවිපෙයේ නාඳුනන තුවක්‌කුකරුවන්ගේ සංස්‌කෘතිය ඔස්‌සේ වන බැවිනි.

අවසානයේ ජවිපෙයේ එම අරගලය හමුවේ රට නතර වූයේ අතීත විශාලා මහනුවර මායිමේ බව වත්මන් තරුණ පරපුරට පැහැදිලිව කිව යුතුව ඇත.

ජනතා විමුක්‌ති පෙරමුණේ ඉහත කියෑවුණු අතීත අරගල කතාවේ ඉතිහාසය එසේ වෙද්දී මේ වන විට ජවිපෙය තුළ සිදු වෙමින් තිබෙන්නේ කුමක්‌ද?

ජවිපෙයේ දේශපාලන වංශකතාව හරහා පැහැදිලි බෙදුම් ඉරක්‌ සටහන් වූයේ ඉකුත් කාලයේ වත්මන් නිවාසෙ ඇමැති විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක්‌ ජවිපෙය හැර යැමත් සමගිනි.

එහෙත් එහිදී දැඩි බලපෑමක්‌ නොවූයෙන් ජවිපෙය සුපුරුදු ජවය නැතත් එහි නායක සෝමවංශ අමරසිංහ, ටිල්වින් සිල්වා වැන්නන් සමග ඔහේ ඇදී යමින් තිබිණි.

නමුත් ජවිපෙය තුළ සැමට දැනෙන මහා පිපිරුමක්‌ සිදු වූයේ නොබෝදා එතුළින් නැගී සිටි කැරලිකාර කණ්‌ඩායමේ පිබිදීමත් සමගින්ය.

ඉතිහාසයේ ප්‍රථම වරට ජනතා විමුක්‌ති පෙරමුණේ මියගිය සාමාජිකයන් සිහි කෙරෙන "ඉල් මහ" සමරු උත්සව දෙකක්‌ දෙතැනක තැබීම දක්‌වාම ජවිපෙයේ එම වෙන්වීම දුරදිග ගියේය.

ඒ අනුව සෝමවංශ අමරසිංහ කණ්‌ඩායම කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ "ඉල් මහ" සමරුව පවත්වද්දී ජවිපෙන් ගැලවී ගිය කැරලිකාර කණ්‌ඩායම නියම ජවිපෙ යනු තමන් යෑයි කියමින් සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී එය පැවැත්වූහ.

පෙරදා අරගලයන් සඳහා රංචු ගැසෙද්දී හෝ රාජ්‍ය මර්දනයෙන් ගැලවීමට පැන දුවද්දී කුසගින්නට බත්පිඩක්‌ කැවූ "කතලුවේ අම්මා"ද වේදිකාවේ තබා ගිනිමින් ජවිපෙ කැරලිකාර කණ්‌ඩායම සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වූ "ඉල් මහ" සමරුවේදී කථිකයකු ලෙස වේදිකාවට නැගි චමීර කොස්‌වත්ත එදා එක්‌ අපූරු ප්‍රකාශයක්‌ද කරනු ලැබීය.

"ඉතිහාසය විසින් ඉල්ලා සිටින්නේ නම් යළි ජීවිත පරිත්‍යගයකට යැමට සුදානම්" යෑයි යන්න ඔහු කළ එම ප්‍රකාශය විය. මෙහිදී චමීර කොස්‌වත්ත කරනු ලැබුවේ එදා සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයට රැස්‌ව සිටියවුන් චූන් කිරීමද යන්න අපි නොදන්නෙමු.

එහෙත් චමීර කොස්‌වත්තගේ එකී වචන කිහිපය තුළ ඉතිහාසයට ඈ¹ කෙරුණු අනාගත අවදානමක්‌ සහිත අලුයට ගින්දර ගෙනහැර පෑමක්‌ තිබෙන බව දැන් රටට දැනෙමින් තිබෙන්නේය.

එසේ වන්නේ එල්ටීටීඊයේ සොහොන් කොත්වලට ඉටි පහන් දල්වමින් උතුර-නැගෙනහිර දේශපාලනය හා බද්ධව ජවිපෙ කැරලිකාර පිල අද අරඹා තිබෙන සිය දේශපාලන ගමන දැකීමෙනි.

මේ දැකීම ජාතිවාදී එකක්‌ යෑයි දැන් ඇතැමෙකුට තර්ක කළ හැක. එහෙත් ඒ තුළ ඇත්තේ ජාතිවාදය නොව තිස්‌වසරක්‌ පුරා බැට කෑමේ අමිහිරි මතකයේ භීතිය බවද මෙහිදී කිව යුතුව ඇත.

එසේ වන්නේ මළ එල්ටීටීඊයේ හොල්මන් සමග එකී හොල්මන් සනසන්නට පෙරේත තටු හැදෙන වටපිටාවක්‌ ජාත්‍යන්තරයේද සහාය ඇතිව අදටත් මේ රට තුළ පවතින බැවිනි.

මෙකී වටපිටාව තුළ උතුර හා බද්ධ වෙමින් ජවිපෙ කැරලිකරුවන් මේ පෙරට එන්නේ කිසියම් ජාත්‍යන්තර කොන්ත්‍රාත්තුවක්‌ සමගද යන්න මේ වන විට රට හමුවේ තිබෙන ප්‍රබල ගැටලුවකි.

ජනතා විමුක්‌ති පෙරමුණේ කැරලිකාර කණ්‌ඩායම හිටි හැටියේ ඉස්‌මතුවීම සිදුවන්නේ කොතැනින්ද?

එය සිදු වන්නේ ජවිපෙ පැරණි නායකයකු යෑයි කියන එහෙත් තවමත් සැඟවුණු චරිතයක්‌ බවට පත්ව සිටින කුමාර් ගුණරත්නම් නොහොත් කුමාර් මහත්තයා නොහොත් කුමාර කරුණාරත්න නොහොත් වන්නිනායක මුදියන්සේලාගේ දස්‌කොන් නොහොත් බොහෝ කලක්‌ විදේශගතව සිටි රත්නායක මුදියන්සේලාගේ දයාලාල් යළි මෙරටට ගොඩ බැසීමත් සමගිනි.

රත්නායක මුදියන්සේලාගේ දයාලාල් යන නම මෙහි අවසානයට යොදනු ලැබුවේ පසුගියදා කුමාර් මහත්තයා නමින් ජවිපෙය තුළ හැඳින්වෙන මොහු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ අංක එන්-1938494 දරණ එකී නම සඳහන් ගුවන් ගමන් බලපත්‍රයෙන් වන නිසාය. එකී ගුවන් ගමන් බලපත්‍රය 2000-10-29 දින නිකුත් කෙරුණක්‌ද වේ.

මේ කුමාර් ගුණරත්නම් හෙවත් ඔහුට පටබැඳි අලුත්ම නාමය වන රත්නායක මුදියන්සේලාගේ දයාලාල් යනු කවරෙක්‌ද?

ඉකුත් 1965 වසරේ නොවැම්බර් මස 18 වැනිදා කෑගල්ල අඟුරුවැල්ලේ විසූ ගුණරත්නම් පවුලේ පියාට දාව වල්ලිඅම්මා රාජමුණි ගුණරත්නම් වූ මව පිරිමි දරුවකු මොලොවට බිහි කළාය.

හේ නමින් කුමාර් ගුණරත්නම් නම් වූ අතර ඔහුට රංජිතම් ගුණරත්නම් නමින් වැඩිමල් සොයුරෙකු සහ නෙරංජනී ගුණරත්නම් නමින් බාල සොයුරියකුද වූහ.

ගමේ වූ සුන්දර පරිසරයේ හැදී වැඩුණු කුඩා ගුණරත්නම් කල වයස පිරෙද්දී කෑගල්ල ශාන්ත මරියා විදුහලට ඇතුළත් කෙරුණු අතර 1971 -01 - 02 වැනිදා සිට 1980 - 12 - 03 දින දක්‌වා ශාන්ත මරියා විදුහලින් මූලික අධ්‍යාපනය හැදැරීය.

ඉන් අනතුරුව 1981 - 06 - 15 දින සිට 1985 - 03 - 22 දක්‌වා පින්නවල මධ්‍යමහා විදුහලට ඇතුළත්ව වැඩිදුර අධ්‍යාපනය ලබන කුමාර් ගුණරත්නම් 1985 වසරේදී උසස්‌ පෙළ ඉහළින් සමත්ව පේරාදේණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වන්නේ ඉංජිනේරු උපාධිය හැදැරීම සඳහා ශිෂ්‍ය අංක ඊ/85/58 යටතේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයකු ලෙසිනි.

මේ කාලය වන විට කුමාර් ගුණරත්නම්ගේ සොයුරා වූ රංජිතම් ගුණරත්නම් යනු ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රබල සමාජිකයකු වන අතර හේ ශිෂ්‍ය සංගම් ප්‍රධානියා ලෙසද ක්‍රියා කරන්නේය.

විශ්වවිද්‍යාලයට ඇඅතුළත් වීමෙන් පසුව සිය සොහොයුරාගේ මග ගනිමින් ජනතා විමුක්‌ති පෙරමුණට එක්‌වන කුමාර් ගුණරත්නම් ජවිපෙ හා බද්ධව ප්‍රථම ප්‍රචණ්‌ඩ ක්‍රියාවට සම්බන්ධ වන්නේ විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ සිසුවෙකුව සිටි 1988 වසරේදී වේ.

ඒ ජවිපෙයේ කණ්‌ඩායමක්‌ සමග පැමිණ පල්ලේකැලේ යුද හමුදා කඳවුරට එල්ල කරන ප්‍රහාරයක්‌ සමගිනි. මෙම ප්‍රහාරයෙන් පසුව කුමාර් ගුණරත්නම් ඇතුළු පිරිසක්‌ පොලිසියට කොටු වන්නේ නොසිතූ ලෙසිනි.

අවසානයේ ඉංජිනේරු උපාධිය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ කුමාර් ගුණරත්නම්ගේ නවාතැන වන්නේ බෝගම්බර බන්ධනාගාරය වේ. ඒ පල්ලේකැලේ හමුදා කඳවුරට ප්‍රහාරයක්‌ එල්ල කිරීමේ වරද හමුවේය.

එහෙත් මේ වන විට කුමාර් ගුණරත්නම් යනු ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයෙක්‌ ලෙස දමනය කළ නොහැකි දඩබ්බරයකු බවට පරිවර්තනය වී සිටින අතර බන්ධනාගාරය තුළදී මුණ ගැසෙන දරුණු අපරාධකරුවකු වූ රාගම සෝමේ සමග එකතු වන ඔහු උමගක්‌ හාරා බෝගම්බර බන්ධනාගාරය බිඳ පැන යන්නේ එහි ප්‍රතිඵලයක්‌ ලෙසිනි.

එසේ බන්ධනාගාරය බිඳ පලා යැමේ සිද්ධිය හමුවේ කුමාර් ගුණරත්නම් යනු අද වසර 22 ක්‌ පැරණි දුටුතැන අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය මගින් නිකුත් කෙරුණු වරෙන්තුවක හිමිකාරයකුද වී සිටින්නෙකි.

මේ අයුරින් බන්ධනාගාරයෙන් පැන යන ගුණරත්නම් එහිදී සිය ගමනාන්තය ලෙස තෝරා ගන්නේ ත්‍රිකුණාමලය කන්තලේ ප්‍රදේශය වේ.

මේ කාලය වන විට හිටපු ජනපති ජේ. ආර් ජයවර්ධන මහතා හා ඉන්දීය අගමැතිව සිටි රාජීව් ගාන්ධි මහතා අතර 1987 වසරේ අත්සන් තැබුණු ඉන්දු ලංකා සාම ගිවිසුම අනුව ඉන්දීය සාමසාධක හමුදාවද මෙරටට පැමිණ තිබිණි.

ඉන්දු ලංකා සාම ගිවිසුමද මුල් කර ගනිමින් ඒ වන විට ජවිපෙ තුළ පවතින්නේ දැඩි මත ධාරී ඉන්දීය විරෝධී බවකි. කන්තලේට පැන එන කුමාර් ගුණරත්නම් ජවිපෙයේ ප්‍රබලයකු ලෙස ත්‍රිකුණාමලය කේන්ද්‍ර කර ගනිමින් සිය භූමිකාව යළි අරඹන්නේ ත්‍රිකුණාමලය ජවිපෙ දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා ලෙස "ගැමුණු" යන නාමයෙන් පෙනී සිටිමින්ය.

එසේ සිටියදී 1988 වසරේ අගභාගයේදී දිනෙක තවත් ජවිපෙ සාමාජිකයන් කණ්‌ඩායමක්‌ සමග ගොස්‌ කල්ලාර් යුද හමුදා කඳවුරට ප්‍රහාරයක්‌ එල්ල කර ඉන් පැහැර ගන්නා අවි තොගයක්‌ද යොදා ගනිමින් පසුව ත්‍රිකුණාමලය ජවිපෙ සන්නද්ධ අංශය ආරම්භ කරන්නේද මේ ගුණරත්නම්ය.

කුමාර් ගුණරත්නම් හෙවත් කුමාර් මහත්තයා ජවිපෙය තුළ ප්‍රබලම චරිතයක්‌ වී පෙරට එන්නේ මෙකී කල්ලාර් හමුදා කඳවුරු ප්‍රහාරයත් සමගිනි.

මෙසේ සිටියදී ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිටි ජවිපෙ බෝම්බ විශේෂඥයකු ලෙස ප්‍රකට එහෙත් එකල වන විට ජවිපෙයෙන් ඈත්ව සිටි සරත් කුරේ නමැත්තකු කෙසේ හෝ යළි සංවිධානයට සම්බන්ධ කර ගැනීමටද ගුණරත්නම් සමත් වන්නේය.

එම සබඳතාවත් සමගින් ඉන්දු ශ්‍රී ලංකා සාම ගිවිසුමට හරියට දෙවසරක්‌ පිරෙද්දී ත්‍රිකුණාමලය 93 කණුව අසළදී බිම් බෝම්බයක්‌ අටවා ඉන්දීය සාම සාධක හමුදා ට්‍රක්‌ රථයක්‌ සුණු විසුණු කර දැමීමට හෙතෙම සමත් වන අතර එහිදී මිය යන ඉන්දීය හමුදා භටයන්ගේ ගණන 14 කි.

ඉන්දීය විරෝධී දැඩි මතධාරී බව හමුවේ ගුණරත්නම් ප්‍රමුඛ ජවිපෙය විසින් එය සිදු කළද මුලින්ම එය බැරවූයේ එල්ටීටීඊයේ ගිනුම වෙතය. මෙසේ තිබියදී ත්‍රිකුණාමලය වරාය ආසන්නයේදී තවත් ඉන්දීය සාම සාධක හමුදා ට්‍රක්‌ රථයක්‌ පිපිරවීමට ගුණරත්නම් කල්ලිය එකල ක්‍රියා කරන අතර එහි වගකීමද හැරෙන්නේ එල්ටීටීඊය දෙසටමය.

කුමාර් ගුණරත්නම් හෙවත් කුමාර් මහත්යා ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩලය දක්‌වා පැමිණෙන්නේ එලෙසිනි.

ගුණරත්නම් මෙසේ ඉදිරියට එද්දී ඉහත කී ඉන්දීය සාම සාධක හමුදාවට එල්ල වූ බෝම්බ ප්‍රහාර දෙක සිදු කරනු ලැබුවේ එල්ටීටීඊය නොව ජනතා විමුක්‌ති පෙරමුණ බව ඉන්දීය රෝ ඔත්තු සේවය අනාවරණය කරගනු ලබන්නේ කිසිවෙකුත් නොසිතූ ලෙසිනි.

මෙහිදී රෝ ඔත්තු සේවයේ ඇස යොමු වන්නේ ගුණරත්නම් දෙසටය. එහි අවසන් ප්‍රතිපලය වන්නේ ඒ වන විට ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩලය තෙක්‌ පැමිණ සිටි ගුණරත්නම් එකල ජවිපෙ මර්දනය කිරීමට වෙහෙස ගනිමින් සිටි හමුදාව වෙත සමීප වීම වන්නේය.

එකී සමීප බව ත්‍රිකුණාමලය ජවිපෙ ක්‍රියාකාරීන්ගේ මළගම බවට පත් කෙරෙමින් අවසානයේ ගුණරත්නම්ගේ ගමන නිමා වෙන්නේ සැබෑ පාවා දෙන්නකු ලෙස ක්‍රියාකාරී වී සිය බිරිඳද සමග ඕස්‌ටේ්‍රලියාවේ පදිංචියට යැමෙනි.

මේ සටහන් කෙරුණේ ගුණරත්නම් හෙවත් කුමාර් මහත්තයා විසින්ම එකල රටේ ආරක්‍ෂක අංශ වෙත ලබා දුන් තොරතුරුවලින් බිඳක්‌ බවද මෙහීදී සටහන් කළ යුතුය.

අද චමීර කොස්‌වත්ත ඇතුළු ජවිපෙ කැරලිකාර පිළ ඔවුන්ම සඳහන් කරන පරිදි ඉතිහාසය විසින් ඉල්ලා සිටින්නේ යෑයි කියන ජීවිත පරිත්‍යාගයට සැරසෙන්නේ මේ ගුණරත්නම් සමගින්ද?

මෙහිදී චමීර කොස්‌වත්ත ඇතුළු ජවිපෙ කැරලිකාර පිලට කීමට ඇති සුවිශේෂී දේයක්‌ද අපට ඇත.

ඉතිහාසය විසින් අපෙන් ඉල්ලා සිටි ජීවිත පරිත්‍යාගය මේ රටේ ජනතාව තිස්‌වසරක්‌ පුරාවටම කළහ.

එකී ජීවිත පරිත්‍යගයන් හමුවේ රට වෙනුවෙන් පෙරට ගිය රණවිරුවන් එල්ටීටීඊයේ වෙඩි උණ්‌ඩවලට ළය පා මැරී වැටුණු අයුරු ජවිපෙ කැරලිකකරුවන් නොදුටුවද මේ ලියුම්කරු එය උතුරු යුද බිමේදී දැසින් දුටුවේය.

ඉදින් දැන් අප සිටිනුයේ එකී ඉතිහාසය ඉල්ලූ ජීවිත පරිත්‍යාගයේ අවසානය දක්‌වාම ගොසිනි. දැන් මේ රටේ ජනතාවට අවැසිව ඇත්තේ නිදහසේ හුස්‌මක්‌ ගනිමින් ජීවත් වීමට හැකි වටපිටාවකි.

එහෙයින් තවත් ජීවිත පරිත්‍යාගයන් මේ රටට අනවශ්‍යය. කිසිවෙකුට හෝ එවැන්නක්‌ ඇඟට දැනෙමින් තිබෙන්නේ නම් ඊට ඇති පහසුම පිළියම වන්නේ ගෙදර ළිඳේ කඹය ලෙහාගෙන කොහේට හෝ යැමය.

ශක්‌තිමත් විපක්‍ෂයක අඩුව අද රට හමුවේ ඇති පැහැදිලි ගැටලුවකි. එහෙයින් බහුබූතවලින් මිදී ජවිපෙ කැරලිකාර කණ්‌ඩායමේ දේශපාලන භාවිතාව රටට ඇති එකී අඩුව පිරවීමේ මාවත දෙසට ගමන් කරන්නේ නම් එය කෙතරම් අගනේද?

මල් පිපෙන්නේය. එසේම පිපෙන මල් පරවන්නේය. නමුත් තුවක්‌කුවක්‌ ගෙන මල් පුබුදන්නට හෝ පරකරන්නටද නොහැකිය. එය සිදු වන්නේ ස්‌වභාවික වටපිටාවට අනුවය.

එසේනම් තිබෙන මල් පරවෙද්දී අලුත් මල් පිබිදෙන්නට අප කළ යුත්තේ මලට උචිත ස්‌වභාවික වටපිටාව නිවැරදිව සකස්‌ කිරීමම වන්නේය.

එසේ නොමැතිව මල් පුබුදුවන්නට ගසට වෙඩි තැබුවහොත් අපට මලත් ගසත් දෙකම නැති වන්නේය.

යළිත් මග වරද්දා නොගෙන ජවිපෙ කැරලිකාර කණ්‌ඩායම මේ යථාර්ථය වටහා ගතහොත් හෙට දිනයේ මේ බිමේ තවත් දසදහස්‌ ගණනක්‌ මල් පිපෙනු ඇත.