| දවසේ දේශපාලන කොමඩිය
ගහට කොළට ආදරය කරන පරපුරක් අනාගතයට අවශ්‍යයි. මේ රටේ උරුමක්‌කාරයෙක් කියලා ලැඡ්ජා නැතුව කියන්න පුළුවන්කම තියෙන්නේ තමන්ගේ දෑතින් පැළයක් හිටවපු අයට පමණක් යෑයි ශ්‍රී රෝහණ මෙන්ම තමන්ගේ ආයුධ මිලදී ගැනීම නිසා ආචාර්ය පදවියෙන් පිදුම් ලත් මහින්ද රාජපක්‍ෂ රජතුමා ඊයේ පස් වනක් ප්‍රීතියෙන් යුතුව සේම මහා හඬින් පැවසීය.
දියවන්නාවට පොඩ්ඩක් මෙහායින් පිහිටි එක්තරා තැනක හද තිබු මඩුවකට නැග ගත් රාජ් තෙමෝ තවත් ගොඩාක් කතා කිව්වේය. අරලියගහ මන්දීරයෙන් ලැබුණු නියෝගයක් නිසා අපි එතුමන්ගේ කතාව කිසිම සංශෝධනයකින් තොරව පල කොට අද දවසේ දේශපාලන විහිලුව සම්පූරණ කරන්නෙමු. අපි රජාගේ පහස ලබන සෙවන ලබන ජන්තියක් වන හෙයින් ගස් සිටුවා රටේ උරුමයට දායක වන්නෙමු. එහෙනම් රාජපකිස්ථානයේ අපටත් කොටහක් අයිති කර ගන්න හැටි ඒ මහා රජාගේ ශ්‍රී මුඛයෙන්ම කියා ඇත. මෙන්න ලොක්කගේ නිල්ල පිරුණු රට.
මෙන්න එයා කිව්වා තවත් කතා;
අප රටටත්, රටේ නූපන් පරම්පරාවටත් අපි අද උදාර සේවයක් කරනවා කියලා සංතෝස විය හැකියි. රටේ සිවු දිසාවේම රෝපණය කෙරෙන මේ පැළ ලක්‌ෂ එකොළහ රටේ අනාගතයට විශාල රැකවරණයක් වශයෙන් තමයි අපි දකින්නේ. එදා අපේ මුතුන් මිත්තන්ගේ දෑත්වලින් හිටවපු ගහකොළයි අද අපට ජීවය ලබා දෙන්නේ. ඒ නිසා මේක යුතුකමකට වඩා අපිට අපේ මුතුන් මිත්තන් පැවරූ වගකීමක් වශයෙන් අපි හිතන්න ඕනේ.
පරිසරයත් සමඟ අපි බොහොම ආදරයෙන් කටයුතු කළ ජාතියක්. අපි අපේ කැලෑ ආරක්‌ෂා කළා. දුම්බර වනපෙත, සිංහරාජය, ශ්‍රී පාද අඩවිය දිහා බලනකොට ඒ නෑකමේ තිබුණු සමීප බව අපට දැනෙන්න ඕනෑ.
අපි ලෝකය ඉදිරියේ අභිමානවත් ජාතියක් හැටියට කෙළින් හිටගන්නේ මේ අපේ උරුමයේ ශක්‌තියත් එක්‌කයි කියලයි මා විශ්වාස කරන්නේ. ජාතීන්ගේ ගෞරවයට මේ රට පාත්‍ර වෙන්නේ අතීතයෙන් අපට ලැබුණු මේ ජෛව උරුමයන් එක්‌ක බව අමතක කරන්න එපා. අපි සහජීවනයෙන් යුක්‌ත ජාතියක්, විනයක් ඇති ජාතියක් හැටියට ලෝකයාට මේ උරුමය පෙන්වන්න හැකියාව ඇත්තේ මහත් ආඩම්බරයෙන්.
අපිට අපේ ආගම දහමෙන් මේ සඳහා මඟපෙන්වනවා. ලා තණකොළ මඩිමින් ගමන් කිරීම වරදක් හැටියට බුදුහාමුදුරුවො භික්‌ෂුන් වහන්සේලාට දේශනා කළා. ගහක අත්තක් කැඩීමත් උපසම්පදා භික්‌ෂූන්ට අකැප බව දේශනා කළා. මේ දේශනාවලින් අදහස් කරන්නේ මොකක්‌ද? මේ හැම දෙයින්ම කරන්නේ අපේ තිබෙන ජාතික උරුමයන් රැකගන්න කියන එකයි.
පූජාවලියේ ජීවක කතා වස්‌තුවේ සඳහන් වෙන්නේ මුලක්, මලක්, පොත්තක්, අත්තක්, ඵලයක්, පත්‍රයක් ප්‍රයෝජනයට ගත නොහැකි කිසිම ගහක් කොළක් නැහැ කියලයි. මේ පරිසර හිතකාමී බව අද අපට මොන තරම් ආඩම්බරයක්‌ද? සම්පතක්‌ද? ලෝකය ඉදිරියේ සම්මන්ත්‍රණවලට ගියාම ආඩම්බරයෙන් අපේ සංකල්පය ඉදිරිපත් කරන්න පුළුවන්කම වෙලා තියෙනවා. මේ පරිසරය පිළිබඳ සංකල්පයෙන් බැහැර වී අපිට සංවර්ධනයක් උදා වෙන්නේ නැහැ. මට මතකයි සාර්ක් සමුළුවට අගමැතිවරු ආවම වටපිටාව බලනකොට ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා පරිසරයේ තිබුණු ලස්‌සනට මොන තරම් වශී වෙලා කතා කළා ද කියලා. පරිසරය රැක ගැනීම පාසල් දරුවන්ට නැත්නම් වෙනත් සංවිධානවලට පවරලයි එදා කටයුතු කළේ.
අපි මහින්ද චින්තනය ඉදිරිපත් කරන වෙලාවේ ඉඳලම ඒ වෙනුවෙන් ප්‍රතිපත්ති රටට හඳුන්වලා දුන්නා. අපි විශ්වාස කළා ගහ කොළ රැකීමත් අපේ රටේ සංවර්ධනයේම කොටසක් කියලා. මේ ගහ කොළ වැල් අපිට වටිනා පාඩමක් උගන්වනවා "ඔබ මා ජීවත් කරවන්න මම ඔබට ප්‍රාණය දෙමි" කියන පණිවිඩයයි ඒ කියන්නේ. අද මේ සත්‍යයට පිටුපාලා වැඩ කරපු ලෝකය මොන තරම් අසරණ වෙලා තියෙනවා?
අපි අපේ අභියෝග ජයගත්තේ අපේම, අපිටම ආවේණික ක්‍රමවලින්. ත්‍රස්‌තවාදය වේවා, බෙදුම්වාදය වේවා අපි අපේම ක්‍රමවේද හරහා තමයි ක්‍රියා කරන්න ඕනේ. ඒ නිසා ගහට කොළට ආදරය කරන පරම්පරාවක් අනාගතයට ඕනෑ. මේ රටේ උරුමක්‌කාරයෙක් කියලා ලැඡ්ජා නැතිව කියන්න පුළුවන් වෙන්නේ තමන්ගේ දෑතින් පැළයක් හිටවපු අයට පමණයි. ඒ නිසා මේ රටේ උරුමය වෙනුවෙන් අත්වැල් බැඳගන්නා හැටියට ඔබ සැමගෙන්ම හැම දරුවකුගෙන්ම, හැම දෙමව්පියකුගෙන්ම මම ඉල්ලා සිටිනවා.
ඒ වගේම මෙවැනි ජාතික කර්තව්‍යයක් මනා ලෙස සංවිධානය කළ පරිසර අමාත්‍යතුමාට පරිසර අධිකාරියට හා ඊට සම්බන්ධ වී කටයුතු කළ සියලු දෙනාට මේ රටේ ජාතිය වෙනුවෙන් ස්‌තුතිවන්ත වෙනවා.
Post a Comment