තවත් මිනීමරු මැතිවරණයක් අවසන්

| උදිත ගුණසේකර

2011 පළාත් පාලන මැතිවරණයේ අද දින පැවති අවසන් අදියරේ ඡන්ද ප්‍රකාශ කිරීම සවස 4.00ට අවසන් විය. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයන් තුළ විශාල උනන්දුවක් දක්නට නොලැබීම කැපී පෙනුනි. මැතිවරණ දිනය තුළ අවසන් ප්‍රතිඵලයට බලපෑම් කළ හැකි බරපතල ආකාරයේ මැතිවරණ දූෂණ, හෝ වංචා කිරීමේ සිද්ධීන් කිසිවක් වාර්තා නොවූවද යම් කළහකාරී සිද්ධීන් කීපයක් වාර්තා විය. ඉන් ප්‍රධානතම සිද්ධිය වන්නේ අද දිනයේදී මැතිවරණ කටයුතු නිමාවීමට ආසන්නව තිබියදී මූල්ලේරියාව ප්‍රදේශයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අධාරකරුවන් දෙපිරිසක් අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී හිටපු පාර්ලිමේන්තු මන්තී්‍ර, ජනාධිපති උපදේශක භාරත ලක‍ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා සහ ඔහුගේ ආරක‍ෂකයෙකු මිය යෑමත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ති්‍රක් පාර්ලිමේන්තු මන්තී්‍ර දුමින්ද සිල්වා මහතා බරපතල තුවාල ලැබීමත්ය.

මෙය පූර්ව මැතිවරණ සමය තුළ නිරන්තරයෙන්ම අපට දක්නට ලැබුණු පාලන බලය හොබවන පක‍ෂයේ අපේක‍ෂකයන් අතර මනාප සඳහා ඇතිවූ ගැටුම්කාරී තත්වයන්ගේ උච්ඡතම සිද්ධිය බව සඳහන් කළ හැක. එමෙන්ම මෙම තත්වය අතිශය කණගාටුදායක තත්වයක් වන අතර මෙවන් අවාසනාවන්ත සිද්ධීන් වලක්වා ගැනීමට කටයුතු කිරීම කෙරෙහි වගකිව යුතු පක‍ෂ නායකයින්ගේ අවධානය යොමු විය යුතු බව අපගේ අදහසයි.

තවද කණ්ඩායම් වශයෙන් ඡන්ද මධ්‍යස්ථාන අසල නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදීම පිළිබඳව තොරතුරු සෑම ප්‍රදේශයකින්ම වාර්තා විය.

පූර්ණ මැතිවරණ ක්‍රියාවලිය තුළ විපක‍ෂයේ දේශපාලන පක‍ෂවල සංවිධානාත්මක ප්‍රචාරක ක්‍රියාවලියක් දක්නට නොලැබුණු අතර ආණ්ඩු පක‍ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් රාජ්‍ය බලය සහ සම්පත් අයුතු ලෙස යොදා ගැනීම පිළිබඳව තොරතුරු විශාල වශයෙන් වාර්තා විය. විශේෂයෙන් කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ මැතිවරණ කටයුතු සඳහා ඇතැම් අමාත්‍යංශ ලේකම්වරු සෘජුවම මැදිහත්වීම දක්නට ලැබුණු අතර සමහර අවස්ථාවන්වල ආරක‍ෂක අංශ සාමාජිකයින් පවා ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීම නීරීක‍ෂණය කළ හැකි විය.

18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව මැතිවරණ කොමසාරිස්වරයාගේ බලය සීමා කිරීම් වලට ලක්කිරීම් නිසා රජයේ මැතිවරණ කටයුතුවලට මැදිහත්වීමට මැතිවරණ දෙපාර්තමේන්තුවට නොහැකි බව ඔවුන් විසින්ම ප්‍රකාශ කිරීම තුළින් පෙනී යන්නේ මෙරට මැතිවරණ ක්‍රියාවලියේ ඛේදජනක තත්ත්වයයි.

මැතිවරණ කොමසාරිස්වරයා බල රහිත තත්ත්වයට පත්වීමත් පොලීසිය දැඩි ලෙස දේශපාලනී කරනය වීමත් නිසා, මැතිවරණ නිරීක‍ෂණ සංවිධානවලට නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් කළ හැකි කාර්ය භාරය ක්‍රම ක්‍රමයෙන් පටුවීම ඉතා කණගාටු දායක තත්ත්වයක් බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නීරික‍ෂණ ජාලයේ අදහසයි.


Tell a Friend