භාරතගේ ඉරණම ගැන භාරත මීට 17 වසරකට පෙර කියූ හැටි


අද දැයෙන් සමුගන්නා භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර 1994 දී පාර්ලිමේන්තුවේදී කළ මංගල කතාව


ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපි මේ ගරු සභාවට තේරී පත්වී දැන් මාස තුනක්‌ පමණ ගතවී තිබෙනවා. නමුත් මම මේ පවත්වන්නට යන්නේ මගේ පළමුවැනි කතාවයි නැත්නම් මංගල කතාවයි. මගේ කතාව ආරම්භයේදී මවිසින් සිහිපත් කළයුතු, කීපදෙනෙක්‌ ඉන්නවා. ඒ වාගේම මා විසින් සිහිපත් කළ යුතු ගරු කළ යුතු ජනතාවක්‌ ඉන්නවා. ඒ අය වෙනුවෙන් මගේ ඒ යුතුකම ඉෂ්ට කිරීමයි මම ප්‍රථමයෙන්ම කරන්නේ. දස මසක්‌ කුසේ තබාගෙන මා මෙලොවට බිහිකර ලේ කිරි කර පොවා මාව හදා වඩා ඉගෙනුම ලබා දී සමාජයේ හොඳ නරක කියා දී උස්‌ මහත් කර ඇති දැඩි කළ මාව මේ තත්ත්වයට ගෙන එන්නට විශාල දුක්‌ කන්දරාවක්‌ වින්ද කඳුළු ගංගාවක්‌ මා වෙනුවෙන් හෙළුE මගේ මවට සහ පියාට මම ප්‍රථමයෙන් මගේ භක්‌ති ප්‍රණාමය පුද කරනවා.

ඒ වගේම මට ශිල්ප ඥනය ලබාදෙන්න, මාව පරිපූර්ණ මිනිසකු බවට පත්කරන්න මට ඉගෙනුම ලබා දුන් මා උගත් පාසල වන කොළඹ ආනන්ද මහා විද්‍යාලයට මගේ සිරස නමා මා ආචාර කරනවා. ඊළඟට මා මාගේ ප්‍රණාමය පුදකරන්නේ දේශපාලනය කියන්නේ මොකක්‌ද දේශපාලනය කරන්නේ කොහොමද යන්න මට පුංචි කාලයේ සිට කියාදුන් වෘත්තීය සමිති නායකයකු වන එම්. වයි. ප්‍රේමචන්ද්‍ර මහතා වන මගේ පියාටයි. ඒ වගේම යුක්‌තියේදී හිස නමන්නට හා අයුක්‌තියේදී පහර පිට පහර දෙන්න මට කියාදුන් මගේ මාමා වන කොලොන්නාව නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නාගරික මන්ත්‍රීවරයාව සිටි නැසීගිය නන්දසේන සමරකෝන් මහතාව මා මේ වේලාවේදී ගෞරවයෙන් සිහිපත් කරනවා.

ඊට පසුව මා සිහිපත් කරන්නේ මේ රටට විශාල සේවයක්‌ කළ මේ රටේ අනාගත දියුණුව වෙනුවෙන් විශාල සේවයක්‌ කළ විශේෂයෙන්ම වමේ සමගිය වෙනුවෙන් විශාල සේවයක්‌ කළ ටී. බී. ඉලංගරත්න මහතාවයි. දේශපාලනය කරද්දී හැසිරෙන්නේ කොහොමදැයි එතුමා මට කියා දුන්නා, මට මතකයි එතුමා කිව්වා දේශපාලනය කරද්දී වතුරේ පාවෙන කිරල මූඩියක්‌ වගේ ඉන්න ඕනෑය කියා. කවුරු ඇවිත් කොහොම වුවත් වතුරේ පාවෙන කිරල මූඩිය නැවත වරක්‌ කොයි පැත්තෙන් හෝ උඩට මතුවෙනවා කියන එක එතුමා මට කියා දුන්නා. එම නිසා මේ වේලාවේදී මම එතුමාට මගේ ප්‍රණාමය පුදකරන්න ඕනෑ. ඒ වගේම තවත් ශ්‍රේෂ්ඨ පුද්ගලයකුට මගේ ප්‍රණාමය පුදකරන්න කැමතියි. ඒ තමයි විජය කුමාරතුංග මහතා. එතුමා සැබෑ මානව හිතවාදියෙක්‌. මිනිසුන්ට ආදරය කළ පුද්ගලයෙක්‌. මිනිසුන්ට ආදරය කරන හැටි අපට ඉගැන්වූ පුද්ගලයෙක්‌. මේ රටේ සාමය වෙනුවෙන් තම ජීවිතය පුදකළ පුද්ගලයෙක්‌. මේ වෙලාවේදී එතුමාටත් මගේ ප්‍රණාමය පුදකරන්න ඕනෑ. ඒ වගේම හැමදාම මාව අත්හරින්නේ නැතිව දුකේදී සැපේදී මාත් එක්‌ක එකට ජීවත්වුණු මගේ පෞද්ගලික යාළු මිත්‍රයන්ටත් මේ වේලාවේදී මගේ ප්‍රණාමය පුදකරනවා.

1979 දී අවුරුදු දහඅටක දහනවයක පුංචි කොල්ලකු වශයෙන් මම කොලොන්නාව නගර සභා මැතිවරණයට ඉදිරිපත් වුණා. ඒ 1979 නගර සභා මැතිවරණය, 1983 නගර සභා මැතිවරණය, 1988 පළාත් සභා මැතිවරණය, 1993 පළාත් සභා මැතිවරණය සහ 1994 පාර්ලිමේන්තු මහ මැතිවරණය හා හැම මැතිවරණයකදීම මට පුතකු වගේ, මට සහෝදරයකු වගේ සැලකූ කොයි තරම් කරදර, හිරිහැර බාධක කෙනෙහිලිකම් ප්‍රශ්න තිබුණත් මාව අත් නොහැරිය කොලොන්නාව ආසනයේ ජීවත් වන මගේ ආදරණීය අම්මලාට, තාත්තලාට සහ සහෝදර සහෝදරියන්ට මම මගේ ප්‍රණාමය පුදකරන්න ඕනෑ.

මාව පොලිසි ගණනේ, උසාවි ගණනේ, හිර ගෙවල් ගණනේ, හිර කූඩු ගණනේ අරගෙන ගිහින් මට පුළුවන් තරම් දුක්‌ වද දී මේ ස්‌ථානය කරා එන්න මගේ හිතට ධෛර්යය සහ ශක්‌තිය දුන් අයටත් මම ස්‌තුතිවන්ත වෙනවා.

ඒ වගේම අවුරුදු 17 ක අඳුරු යුගයක්‌ නිමාකර අලුත් යුගයක්‌ ආරම්භ කර තිබෙන අවස්‌ථාවකයි අපි මේ ඉන්නේ. පසුගිය අවුරුදු 17 තුළ සිදුවුණු දේවල් පිළිබඳව කතා කර විරුද්ධ පක්‍ෂයේ ගරු මන්ත්‍රීවරුන්ගේ සිත් රිදවීමට මම කැමැති නැහැ. අපගේ යුතුකම වන්නේ ඒ අවුරුදු 17 තුළ ඒ රජය කළ අදූරදර්ශී පාලනය ගැන කතා කරමින් කාලය ගත නොකර මේ රටේ අලුත් යුගයක්‌, අලුත් දේශපාලනයක්‌ ආරම්භ කිරීමයි. අප ඒ සඳහා ඇප කැපවී සිටින බව මේ අවස්‌ථාවේදී කිව යුතුයි.

පසුගිය වකවානුවේදී මේ රටේ තරුණයන් 60,000 ක්‌ මරා දැමුවාය කියා අප කිව්වා. ඒක සත්‍යයක්‌. ඒ වගේම මේ රටේ නොමැරී ජීවත්වන තරුණයන් ලක්‍ෂයකට වඩා සිටිනවා. මරා දැමූ 60,000 මැරී ගියා. නමුත් තවත් ලක්‍ෂයකට වඩා තරුණයන් පරඬැල් වගේ ජීවත් වෙනවා. ඒ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු අයයි. මෙය කවුරුවත් කතා නොකළ විෂයයක්‌ මෙන්ම කවුරුවත් තමන්ගේ අවධානයට යොමු නොකළ දෙයක්‌. අද මෙය වසංගතයක්‌ බවට පත්වී අවසානයි. මේ වසංගතය මර්දනය කිරීම මේ රටේ තිබෙන නීතිය ඉතාම ලිහිල් බව අපි ගරු අධිකරණ අමාත්‍යතුමාට කිව යුතුයි. අපේ රටේ පොලිස්‌ ස්‌ථාන 350 ක්‌ පමණ තිබෙනවා. කොළඹ නගරයේ පොලිස්‌ ස්‌ථාන 30 කට වඩා තිබෙනවා. නමුත් අද කොළඹ නගරයේ එක දවසකට හෙරොයින් කිලෝග්‍රෑම් 10 කට වඩා අලෙවි වන බව කිව යුතුයි. හෙරොයින් විකුණා කෝටිපතියන් වුණු අය පසුගිය ආණ්‌ඩුව ආරක්‍ෂා කිරීමට පසුගිය දවස්‌වල සල්ලි වියදම් කරමින් නොයෙකුත් දේවල් කළා. මැරුණු 60,000 වගේ මේ රටේ විශාල සංඛ්‍යාවක්‌ තරුණයන්ගේ ජීවිත තවත් අවුරුදු ගණනාවකින් විනාශ වීමට ඉඩ තිබෙන නිසා මේ වසංගතය නවත්වන්න කියා අපේ රජයේ ගරු අධිකරණ අමාත්‍යතුමාගෙන් මා ඉල්ලා සිටිනවා. මේ පිළිබඳව නීතිය හරියාකාරව සකස්‌ කළේ නැත්නම් පසුගිය අවුරුදු 17 තුළ කළා වගේ අපේ රජය යටතේත් මේ මත්කුඩු ව්‍යාපාරයට ආධාර අනුබල දීමක්‌ වෙනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මගේ කාලය අවසන් වුවත් තවත් දෙයක්‌ මට කියන්නට තිබෙනවා. මිනීමැරීම ගැන නීතියේ සඳහන්ව තිබෙනවා. ඒ පිළිබඳව මගේ යෝජනා දෙකක්‌ තිබෙනවා. ඒවා න්‍යාය පුස්‌තකයේ තිබෙනවා. ඒ යෝජනා න්‍යාය පත්‍රයට අඩංගු වූවාට පසුව මම ඒවා ගැන කතා කරනවා. අද මිනීමැරීම් කියන වරද බොහොම සුළු දෙයක්‌ බවට පත්වී තිබෙනවා. අද මනුෂ්‍යයෙක්‌ ඝාතනය කළ තැනැත්තෙක්‌ රිමාන්ඩ් භාරයට පත්කර මාස 3 කුත් දින 10 ක්‌ සිටි පසු එළියට එනවා. ඊට පසු ඒ නඩුව අසා අවසන් කර ඔහුට දඬුවම් ලබා දෙන්නේ තව අවුරුදු 10 කින් පමණ පසුවයි. ඒ කාලය තුළ මේ පුද්ගලයා චණ්‌ඩියෙක්‌ බවට පත්වෙනවා. ඔහු නගරයේ මංකොල්ලකෑම්, දූෂණ වැනි නොයෙකුත් දේවල් කරනවා. එම නිසා මිනීමැරුම් කරන අයට විශේෂයෙන්ම එල්ලුම්ගස නියම කිරීමටත් නඩුව අසා අවසන් වනතුරු රිමාන්ඩ් භාරයේ තැබීමටත් හැකි වන නීතියක්‌ අලුතින් ගේන්නය කියා ගරු අධිකරණ අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිමින් මගේ කාලය අවසාන නිසා ඉදිරියේදී මේ ගරු සභාව තුළ කතා කිරීමේ බලාපොරොත්තුවෙන් තමුන්නාන්සේලාට ස්‌තුතිවන්ත වෙමින් මගේ වචන ස්‌වල්පය අවසන් කරනවා.

(1994 දී පාර්ලිමේන්තුවේදී කළ කතාව ඇසුරිනි)

"මනුෂ්‍යයෙක්‌ ඝාතනය කළ තැනැත්තෙක්‌ රිමාන්ඩ් භාරයට පත්කර මාස 3 කුත් දින 10 ක්‌ සිටි පසු එළියට එනවා. ඊට පසු ඒ නඩුව අසා අවසන් කර ඔහුට දඬුවම් ලබා දෙන්නේ තව අවුරුදු 10 කින් පමණ පසුවයි. ඒ කාලය තුළ මේ පුද්ගලයා චණ්‌ඩියෙක්‌ බවට පත්වෙනවා. ඔහු නගරයේ මංකොල්ලකෑම්, දූෂණ වැනි නොයෙකුත් දේවල් කරනවා. එම නිසා මිනීමැරුම් කරන අයට විශේෂයෙන්ම එල්ලුම්ගස නියම කිරීමටත් නඩුව අසා අවසන් වනතුරු රිමාන්ඩ් භාරයේ තැබීමටත් හැකි වන නීතියක්‌ අලුතින් ගේන්නය කියා ඉල්ලා සිටිනවා"



Tell a Friend