බොරුව : ලාංකීය සමාජය බිඳ වැටීමේ ප්‍රභවය

මේ සියලු බිඳ වැටීම් වල හරයාත්මක කාරණය බොරු කීම සහ බොරු කිරීමය. මකියාවෙලී උපුටා දැක්වීම මැනවි. එනම්, රැවටිලි කාරයෙකුට රැවටිලිවලට හසුවන්නෙකු නිතරම හමුවන තරමට මිනිස් මනස සරලය. ලංකාවේ සිදු වී ඇත්තේ එයයි. බැසිල් ප්‍රනාන්දු මහතා තම අනර්ඝ පද්‍ය පන්තියෙන් මුවහත් කිරීමට යන්ත දරන්නේ එකී කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි යථාර්තයයි.
නිලන්ත ඉලංගමුව

" මායාව වූ කලී ප්‍රථම කැමැත්තයි "  (Illusion is the first of the pleasures) - වෝල්ටෙයර් ( 1694- 1778 කාලයේදී ජීවත් වූ ෆ්රේන්සිඖස්-මරි අරුඔට් නමැති ප්‍රංශ ජාතික ගත් කතුවරයා තම ලේඛන සඳහා බාවිතා කළ නම වූයේ වෝල්ටෙයාර් ය. )

නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා විසින් රචිත පහත පද වැල ලංකාවේ සමාජීය - ආර්ථික සහ දේශපාලනික බිඳ වැටීමේ මුලික හේතු සාධකය ලෙස හඳුනා ගත හැකිය. අපි ජාතියක් වශයෙන් බොරුව මත පදනම් වී එදා වේල සපුරා ගැනීම ඉලක්කය කර ගනිමින් උපන්නාට මැරෙනකම් ජීවත් වීමට අර අදින මිනිසුන් කොටසක් වන්නෙමු. මෙය කොතනින් වෙනස් වූයේද? එහි ආරම්භය හඳුනා ගැනීමෙන් පවතින සමාජීය බිඳ වැටීමේ ඇත්ත හඳුනාගෙන යම් කිසි ප්‍රගතියක් කරා අපට ගමන් කළ හැක්කේද යන කාරණා කිහිපවරක් විමසා බැලිය යුතු වේ. සැබවින්ම බැලූ බැල්මට ප්‍රනාන්දු මහතා යොදා ගෙන ඇති බාෂා ශෛල්‍ය සරල වූ නමුත් අදාළ පද්‍ය පන්තියෙන් ප්‍රකාශ වන දාර්ශනික පසුබිම ගැඹුරුය. බොරු කීම අපට පමණක් ආවේණික වූ දෙයක් නොවේ. එය විශ්ව පෘතුලය. ඉන් වාසි ගත් අය මෙන්ම හානි සිදු කරගත් අය බොහෝ වෙති. ඊශ්‍රායලයේ පවතින සාර්ථකත්වයත් ඉරාකයේ සහ ඇෆ්ඝනිස්ථානයේ බිඳ වැටීමත් ජගත් දේශපාලන කරලිය තුළ මෑත කාලීනව බොරුව නිසා සිදු වූ ප්‍රතිඵල සහ විපාක ලෙස හැඳින්විය හැකිය.

මෙය ශ්‍රී ලංකාවටද අදාලය. අද වන විට සියල්ල බොරුව මත පදනම් වූ සමාජීය සංස්ථාවක් බවට සමස්ත ශ්‍රී ලංකාව පත් වී තිබේ. එක් අකාරයකින් නිකොලොයි මකියාවෙලී තමනේගේ කුමාරයා කෘතියෙන් සුදුසු කලදී සිංහයෙකු මෙන් ගාම්භීර වීමටත් නරියෙකු මෙන් කපටි වීමත් කුමාරයකු සතු විය යුතු මුලික ක්‍රමෝපායක් ලෙස උපදෙස් දෙනු ලබන්නේ නායකයා සිංහ වෙස් ගැනීමෙන් භිය නොවන හෙයින් සහ නරි වෙස් ගැනීමෙන් උගුල් වලින් බේරීමේ හැකියාව ලැබෙන හෙයින්ය. පරිපාලනමය වශයෙන් එහි නිවැරදි භාවිතයන් හඳුනා ගත හැකිය. නමුත් සියල්ලම වඩාත් සීමාව ඉක්මවා ලබා ගැනීමේ ගුණය පෙන්වා ඇති ශ්‍රී ලාංකිකයා සිංහ වෙස් සහ නරි වෙස් ගැනීමද සීමාව ඉක්මවා පුරුද්දක් ලෙස වැළඳ ගෙන ඇත. මේ නිසා සීමා රහිත මට්ටමින් බොරු කීම තම අවශ්‍යතාවයන් ලබා ගැනීමේ එකම ක්‍රියාමාර්ගය ලෙස දැකීමේ තත්වයට පත් වී තිබේ.

සැබවින්ම නාසි ජර්මනිය තුළ ගොබෙල්ස් විසින් සිදු කරනු ලැබුවේ මෙයයි. එනම් බොරුවක් යළි යළිත් කීමෙන් එය සත්‍යක් බවට පත් කිරීමේ හැකියාව තිබේ. එසේම ඉන් පසු උදා වන තත්වය ගැන, ජර්මන් දාර්ශනිකයකු වූ ෆෙඩ්රික් නිට්ස්චේ සඳහන් කරනු ලැබුවේ පුද්ගලයින්ට ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමට නොහැකි තත්වයකට මුහුණ දීමට සිදු වූ විට ඔවුහු ප්‍රශ්න ගැන සිතා තාවකාලිකව ප්‍රමෝද වෙති. පෘතුල යහපත වෙනුවෙන් වැඩ කරනු වෙනුවට උදාවෙන දිනය ගැන සිතා කටයුතු කරති. මිනිස් මනස සරලය. වොල්ටයාර් කියන පරිදි මායාව හෙවත් මැවීම වූ කලී මනසේ ප්‍රථම කැමැත්තයි. පසු කාලයකදී පිළිම වන්දනාව ඔස්සේ සිත තුළ සිටින දෙවියන් ( එනම් තමාගේ ආරක්ෂාව සඳහා මානසිකව සොයන යථාර්තය ) පිටතට ගෙන එය පිටින් පිහිටි සාධකයක් ලෙස වන්දනා කිරීම එකී මායාවේ නිෂ්පන්නයක් ලෙස හඳුනා ගත හැකිය. බටහිර විද්‍යාව මඟිනුත් , පෙර දිග දර්ශනය විසිනුත් සුනු විසුනු කිරීමට යන්ත දරන්නේ සහ දරනු ලැබුවේ එකී මායාවයි. එය මිනිසුන් ලක්ෂ ගණනක් ඝාතනයට ලක් වන බැරෑරුම් තත්වයට පත් වීමට තරම් හේතු වන්නේ මායාවේ ඇති ප්‍රභලතාවය නිසාය. ප්‍රකට මනෝවිද්‍යාඥකු වූ කාල් ජුන්, දෙවියන් වූ කලී මිනිස් මනසේ යථාර්ථයක් ලෙස දකින්නේ මෙයයි. මායාව පැලපදියම් කිරීම සඳහා මුදා හලන සංකේත බොරුව ලෙස හඳුනා ගත ගැකිය. ලංකාවේ සිදු වී ඇති සාමාජී විකාශනය කේන්ද්‍ර ගත වන්නේ එකී කාරණය ඔස්සේය. සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිර පවතින යථාර්තය වන්නේ එයයි. බැසිල් ප්‍රනාන්දු මහතා සුඛ නම්‍ය බාසාවෙන් කියන්නේ එකී ඇත්ත තත්වයයි.

නොබෙල් ත්‍යාග ලාභී හැරල්ඩ් පින්ටෝ ප්‍රකාශ කළ ආකාරයට , සත්‍ය සහ බොරුව අතර ඇති පරතරය ඉතා සියුම්ය. එය කෙතරම් සියුම්ද යත් මකුළු දැලක පළල හා සමානය. ලංකාවේ සමාජීය පරිහානියේ ප්‍රභවය ලෙස මෙය ( බොරුව ) හඳුනා ගත හැකිය. එහි ප්‍රතිඵලය ලෙස දේශපාලනය, ආගම යන සියල්ලම මිනිසා ශාරීරික සහ මානසික වශයෙන් නිදහස් කිරීම වෙනුවට අනෙකා මත අධිකාරිත්වය පතුරුවා සීමා රහිතව අනෙකා පාලනය කිරීමේ දෘඪ මානසිකත්වයක් වෙතට තල්ලු කොට තිබේ. මෙය නව දැනුම සොයා යෑම, ඉතිහාසය නවරදිව පරිශීලනය කිරීම, තම අනන්‍යතාවය විසරණය කිරීම වෙනුවට ඉතා පටු අකල්පමීය තාවකාලික තත්වයක් වෙතට මිනිස් මනස තල්ලු කොට තිබේ. එය එක් අතකින් "දූපත් මානසිකත්වය" ලෙස යමෙකුට හැඳින්විය හැකි නමුත් එය ඊට එහා ගිය ගැඹුරු කඩා බිඳ දැමීමක් ඔස්සේ සිදු වූ කණගාටුදායක ප්‍රතිඵලයක් ලෙස හඳුනා ගත හැකිය.
ඔබට අනෙකා ඇන්ද වීමට වඩා හොඳ කපටි කමක් තිබේ නම් ලංකාව තුළ සාර්ථක මිනිසෙකු විය හැකිය, කුමන වෙලාවකවත් ඇත්ත පළමුව කීමෙන් විනාශය මිස හොඳ දෙයක් සිදු නොවේය. යන මානසික පුර්ව නිගමනය සමාජය තුළ හට ගෙන තිබේ.

අපි ආලෝකය ගැන දන්නෙමු. නමුත් ප්‍රිස්මයක් මඟින් ආලෝකය වර්ණ හතකට බෙදා වෙන් කළ හැකි යැයි දන්නේ හෝ ඉන් ප්‍රයෝජනය ගන්නේ කීයෙන් කී දෙනාද. අපි දේවල් දකිමු නමුත් දකින වස්තුව අපට අවශ්‍ය වන්නේ කෙසේද එය අමතක කළ දැමිය යුත්තේද මතක තබා ගත යුත්තේද කියා සිතන්නේ කීයෙන් කී දෙනාද. සමාජ සිදුවීම් වලින් යමක් ඉගෙන ගැනීමට හැකියාව තිබේනම් සහ ඊට අවශ්‍ය අවකාශයක් සලසා තිබේ නම් ලංකාව මේ වන විට සිටින්නේ සංවර්ධිත රටවල් 60 දශකයේ සිටි තත්වේ නොවේ. මෙය නොදැනුවත් කම නොවේ, අධිකාරීත්වය විසින් සමස්ත සමාජයේ පොදු සංවේදී බාවය කඩා බිඳ දැමු පසු උදා වන තත්වයයි . සි. අයි. ඒ . සංවිධානයේ උවමනාව මත මරා දැමුණු යුදෙව් ජාතික පුජකවරයෙකු වූ මාර්ටින් බාරො තමන්ගේ විමුක්තිය උදෙසා මනෝවිද්‍යාව නමැති එල් සැල්වදෝරයේ සමාජීය බිඳ වැටීම ගැඹුරින් විස්තර කරනු ලබන නව මාක්ස්වාදී පිළිබිඹුවක් පෙන්නුම් කරන විශිෂ්ඨ කෘතිය මඟින් පැහැදිලි කරනු ලැබුවේ එයයි. සිදුවන සියලුම ඛේදවාචකයන් නොදැනුවත්කමට සිදු වන දේ නොව බොරුව මඟින් නිර්මාණය කරනු ලැබූ ආධිපත්‍ය නිසා ඝාතනයට ලක් වී ඇති කොමන් සෙන්ස් හෙවත් පොදු හැඟීම නිසා සිදු වන දේවල් වේ. රටක යුධ වීරයෙක් පැය විසිහතරක් ඇතුලත රට පාවාදෙන ද්‍රෝහියෙකු කර ඔහුව ක්‍රමිකව මර්ධනය කිරීමට හැකිවන්නේ සහ එසේ කරන දෙස නොදැක්කා සේ සිටීමට සිදුවන්නේ හෝ අනේ පොයි කියා පැත්ත බලා ගැනීමට සිදු වී ඇත්තේ ඒ නිසාය. පොලිසිය සහ අධිකරණ පද්ධතිය පටු දේශපාලන අවශතාවයන් සඳහා හැඩ ගැසී ඇති විට නීතියෙන් සාධාරණය අපේක්ෂා කරනු වෙනුවට දෙකේ දෙකේ පොලු මඟින් ග්‍රීස් යකා මට්ටු කිරීමට යැයි දිවයින පුවත් පතේ කතුවැකිය ලියන ( අගෝස්තු 12 දිවයින් කතු වැකිය ) කතුවරයා උපදෙස් දෙන්නේ ඒ නිසාය. බැසිල් ප්‍රනාන්දු මහතා සරලව මතු කරන්නේ මෙම ගැඹුරු සමාජීය කාරණයයි.

මේ සියලු බිඳ වැටීම් වල හරයාත්මක කාරණය බොරු කීම සහ බොරු කිරීමය. මකියාවෙලී නැවතත් උපුටා දැක්වීම මැනවි. එනම්, රැවටිලි කාරයෙකුට රැවටිලිවලට හසුවන්නෙකු නිතරම හමුවන තරමට මිනිස් මනස සරලය. ලංකාවේ සිදු වී ඇත්තේ එයයි. බැසිල් ප්‍රනාන්දු මහතා තම අනර්ඝ පද්‍ය පන්තියෙන් මුවහත් කිරීමට යන්ත දරන්නේ එකී කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි යථාර්තයයි. අපි ජාතියක් වශයෙන් බොරු කීමෙන් සහ කිරීමෙන් එයම ජීවිතය කරගෙන උපන්නාට වැනෙන මළ ජතයක් වී ඇත්තෙමු. කවදා කොතනින් මින් ගොඩ එන්නෙමුද.

බැසිල් ප්‍රනාන්දු මහතා විසින් ලියනු ලැබූ පද්‍ය පන්තිය පහත පල වේ.

ඇත්ත කීම


හරියට ඇත්ත කියන් ලොකු සීයේ
ඇත්තට ඇත්ත කියන්

ඇත්තට ඇත්ත කියන්
බොරු අහලා මගෙ හිස කකියනවා
විකාරවි සිත නින්ද කැඩෙනවා
ටිකින් ටිකට මම නිකමෙක් වෙනවා

බක බක ගාලා බොරු පිටවෙනවා
හරියට ඇත්ත කියන් ලොකු සීයේ

ඇත්තට ඇත්ත කියන්
ඇත්තට ඇත්ත කියන්
මළගිය සිත ආයෙත් පණ ගන්නන්නට

කම්මැලි ගති දුර ලා ලන්නට
උනන්දු සහගත සිතුවිලි එන්නට
කල්පවතින ලොකු වැඩක් කරන්නට
හරියට ඇත්ත කියන් ලොකු සීයේ

ඇත්තට ඇත්ත කියන්
ඇත්තට ඇත්ත කියන්


Tell a Friend