නූතන රෝඩ් රනර් හෙවත් සිංහල ජාතිවාදය .

3mana
රෝඩ් රනර් නම් වු ජනප්‍රිය ඉංග්‍රීසි කාටුනය තුල සිදුවන පොදු යථාර්තය වන්නේ රෝඩ් රනර් නම් වන කුකුලාව අල්ලා ගැනීමට නරියා විවිධ උපක්‍රම යෙදීම හා ඒ සියලු උපක්‍රමයන් වලින් අවසානයේ නරියාට පරාජය අත්වීමයි. මේ නිසා මේ නරියාගේ සමස්ත ජීවිත කාලයම ව්‍යුහගත වන්නේ කුකුලා අල්ලා ගැනීමේ සංග්‍රාමය උදෙසාය. නරියාට කිසි විටෙකත් මේ කුකුලා පරාජය කරන්නට නොහැකිවීම නිසා මෙය නරඹන ප්‍රේක්ෂකයා මේ හරහා ලබන විනෝදය මෙම කාටුනය ජනප්‍රිය වන්නට ප්‍රබල ලෙසින් බලපානු ලැබ තිබේ. නරියාගේ ආශාව කිසිවිටෙකත් සංතෘප්ත නොවන නිසා නරියා සේම ප්‍රෙක්ෂකයාත් මේ තමන්ට හිමිකර ගත නොහැකි වස්තුව හිමිකර ගන්නට විවිධ උපක්‍රම කල්පනා කරනු දක්නට ලැබේ. මේ මුලු කථා මාලාව පුරාම දිවෙන යථාර්තය වන්නේ තමන්ට හිමිකර ගත නොහැකි වස්තුවක් පසුපස හඹා යාමෙන් යමෙකු විදින විනෝදය යමෙකුගේ ජීවත් වීමේ හේතුව බවට ඌනනය වීමයි.

මෙම කථා මාලාවට අනුව නරියාට කුකුලාව කිසි දිනෙක අල්ලා ගන්නට අවකාශයක් නොමැත. නමුත් මෙයට වඩා වෙනස් ආකාරයෙන් මෙම රෝඩ් රනර් කාටුනය ප්‍රතිනිරිමාණය කළ වීඩියෝ පටයක් නරබන්නට මට අවස්ථාවක් උදා විය.

මේ කථාව අනුව එක්තරා නිශ්චිත මොහොතකට පසු නරියා විසින් කුකුලාව අල්ලා ගනු ලබන අතර නරියා විසින් කුකුලාව මරා අනුභව කරණු ලබයි. මේ මොහොතේ නරියා ලබන සතුට ඔහු ජීවිත කාලයක් ලබා ගන්නට අපේක්ෂාවෙන් සිටි සතුට වන බැවින් නරියාට තමන් පරිපූර්ණත්වයට පත් වූ බව හැගෙයි. මෙසේ කුකුලා නොමැතිව ගෙවන පළමු දිනය තුල උපරිම පරිපූණ හැගීමකින් නිදහසේ ජීවත්වන නරියා දෙවන දිනය වන විට යළි විශාල අවුලකට පත්වෙයි. වෙනදාට නිශ්චිතව කරන්නට වැඩක් තිබුන නරියාට දැන් කරන්නට දෙයක් නොමැත. තුන වන දිනය වන විට මේ තත්ත්වය වඩාත් නරක අතට හැරෙන අතර හතරවන පස්වන දිනයන් වන විට තමන් ජීවත් වූයේ කුකුලා අල්ලා ගැනීමට බව නරියාට වැටහෙයි. කුකුලා නොමැති ලෝකයක නරියා කුමක් කරන්නද? අවසානයේ නරියා සියදිවි නසා ගනී.

වසර 2009 මැයි මස 19 වන දින ලංකාවේ වසර තිහකට ආසන්න කාලයක් පැවති ජනවාර්ගික යුද්ධය සිංහල ජාතිය විස්වාස කළ පරිදි ඔවුන් ආශාකල පරිදිම ප්‍රභාකරන් ඇතුලු සියලු කොටි සාමාජිකයන් ඝාතනයට ලක් කරමින් නිමාවට පත්විය. අතීතයේ තමන් විදි විනෝදය පැහැර ගත්තා යැයි සිංහල සමාජය විස්වාස කළ ප්‍රභාකරන් නමි පොදු සතුරා විනාශ කිරීමේ ප්‍රීතිය සමරන්නට හන්දිගානේ කිරිබත් කන්නටත් රතිඥ්ඥා පත්තු කරන්නටත් ජනතාව පෙළබුනහ. තමන් මෙතෙක් නොවිදි උපරිම විනෝදය ජනතාව මේ ආකාරයට සංතෘප්ත කර ගන්නට උත්සහා කලෝය. මේ යුද්ධයට දෙඅතම ඔසවා එකගත්වය පලකළ අය අතර ප්‍රමුඛස්ථානයේ වැජබුනේ ජනතා විමුක්ති පෙරමුණයි. ජනතා විමුක්ති පෙරමුණ සිය දේශපාලන ජීවිතය කැපකර සිටියේ ප්‍රභාකරන් නම් පොදු සතුරා විනාශ කිරීමේ මෙහෙයුම උදෙසායි. ඒ සදහා ඔවුහූ පොදු පෙරමුණ සමග සන්ධාන ගැසුවෝය. ගුණදාස අමරසේකරලා සමග මුරගල් ගැසුවෝය. බැරිම තැන මහින්ද රාජපක්ෂ බලයට පත් කරන්නට කටයුතු කලෝය. අවසානයේ ජීවිත කාලයක් ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂාවෙන් සිටි ඒ අසිරිමත් මොහොත නන්දිකඩාල් කලපුවේදී උදා විය. ප්‍රභාකරන්ගේ මළකඳ මැජික් ප්‍රදර්ශණයක් සේ ජාතික රූපවාහිනියෙන් ප්‍රදර්ශණය කරද්දී ජනතා විමුක්ති පෙරමුණ සිය ජාතිවාදි සංසර්ගයෙන් සුරතාන්තයට පත්විය.

ඉන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ මුහුණ දෙන්නේ රෝඩ් රනර් හී නරියා මුහුණ දෙන අකර තැබ්බයටමය. කොටි සංවිධානය නොමැති කළ ජනතා විමක්ති පෙරමුණ කුමක් කරන්නද? අනතුරුව ඔවුහූ අපි ශ්‍රී ලාංකිකයෝ යැයි සංවිධානයක් නිර්මාණය කර ගනිමින් තමන්ට අහිමි වුණ විනෝදය යළි සොයා ගැනීමේ අසාර්ථක උත්සහයක නිරත වූහ. අතුරුදන් වූවන්ගේ මාපිය සංවිධාන පිහිටුවූවෝය. සහෝදරත්වයේ දිනයන් සැමරූහ. අවසානයේ යාපනය කිලිනොචිචිය බද්දට ගනිමින් එහි පදිංචි වූහ. දෙමලුන් සමගින් සෙල්ලම් කලෝය. එකට තෝසේ කෑවෝය. මුලතිව් වල බඩපිනුම් ගැසුවෝය. මේ කුමක් කළත් ප්‍රභාකරන් නොමැති ලෝකයේ තමන්ගේ ආශාව උපරිමයෙන් සංතෘප්ත කර ගන්නා ආකාරයක් ඔවුනට සොයා ගන්නට නොහැකි වී තිබෙන බව පැහැදිලිය.

මේ අර්බුදයට මුහුණ දුන් අනෙක් පාර්ශවය වන්නේ ජාතික හෙළ උරුමයයි. ප්‍රභාකරන් නොමැති ලෝකයක කරන්නට වැඩක් නැති කළ ඔවුන් ආසනික් මාරයා සිය පොදු හතුරා බවට පත්කර ගන්නට උත්සහා කලෝය. මහාචාර්ය නලින්ද සිල්වාටත් මේ ප්‍රභාකරන් නම් පොදු හතුරා නොමැති ලෝකයක නරියාට අත්වු ඉරණමට සමාන ඉරණමක් අදවන විට අත්ව තිබෙන බව දක්නට ලැබේ. සිය ආශාවේ වස්තුව අනුභව කිරීමෙන් අනතුරු නරියාට අවසානයේ සුදුවූයේ සියදිවි නසා ගන්නටය. ප්‍රභාකරන් නමි තම විනොදා්යේ වස්තුව බවට පත්ව සිටි පොදු සතුරා මරා දැමීමේ තත්වයක් තුල ජනතා විමුක්ති පෙරමුණට හෙළ උරුමයට නලින්ද සිල්වා ඇතුලු බෝහෝ සිංහල ජාතීවාදීන්ට හෙට දිනයේ කුමන ඉරණමක් අත්වෙිදැයි අප නොදනිමු. නමතු ඒ ඉරණම රෝඩ් රනර් නරියාට අත්වූ ඉරණමට සමාන ඉරණමක් වුවද ඒ තරම් පුදුම වන්නට හේතුවක් නොමැත
Tell a Friend