ගණිතාඥයෙකු මිස විද්‍යාඥයෙකු නොවන නලීන් ද සිල්වා


අමිල ගුණරත්න

මහාචාර්ය නලින් ද සිල්වා පිළිබඳව මීට පෙර අප කරුණු දක්වා තිබේ. ගණිතාඥයෙකු මිස විද්‍යාඥයෙකු නොවන නලීන් ද සිල්වා ආසනික් විකාරය මගින් යලිත් වරක් තම මුග්ද හා බව හා අවිචරශීලි බව පෙන්වමින් පොදු ජනතාවගේ විචාර බුද්ධිය යටපත් කිරීමට ගන්නා වෑයම පිළිබඳව යම් පමණකට හෝ ජනතාව දැනුවත් කිරීම අපගේ යුතුකමක් බව සිතමු. නමුත් නලින් ද සිල්වා වැනි පුහු බොල් පිළිම වන්දනා කරන කණ්ඩායමක්ද සිටින නිසා ඔවුන්ගේ දැනගැනීම පිණිස යමක් මෙහිදී ප්‍රකාශ කරමු. නලීන් ද සිල්වා නම් බොල් පිළිමය වන්දනා කරන කණ්ඩායම සිතන පරිදි නලින් ද සිල්වා යනු බටහිර ලෝකයට අභියෝග කල සුවිසල් බුද්ධිමතෙකි. රජරට වකුගඩු රෝගයට හේතුව සහ පිළියම් සොයාගත් එලොවින් ආ ජිවකයෙකි.

අහේතුවකටමෙන් සත්‍ය ඉතා කටුකය. බටහිර ලෝකය නලීන් ද සිල්වා යනු කවරෙක්ද කියාවත් දන්නේවත් නැත. නලීන් ද සිල්වා පමණක් නොවේ ලංකාව කියා රටක් තිබෙනවද කියාවත් ගර්හිත බටහිර සිටින කුමන්ත්‍රණකාරයන් නොදනිති. ( රට ගොස් සිටින අපගේ ඇත්තන්ගෙන් මේ ගැන සහසුද්දෙන් දැනගත හැක) ක්‍රිකට් , සිලෝන් තේ , සහ LTTE කොටියන් නොවන්නට ලංකාව ලෝක සිතියමේ සැඟවී ගිය රටකි. එහෙව් රටක සිටින නලීන් ද සිල්වා යනු බටහිර ලෝකයට සුළුදිය පහරකට වඩා වැඩි යමක් නොවේ. මේ හැර නලීන් ද සිල්වා ගේ පරියේෂණ ලිපි කිසිම අන්තර්ජාතික සඟරාවක තියා ඕපාදුප ටැබ්ලොයිඩ් පුවත්පතකවත් පලවී නැත. කොටින්ම කියතොත් බටහිර කිසිම විශ්ව විද්‍යාලයක් නලීන් ද සිල්වා ගණන් ගන්නේ නැති බව කියන්නේ හිතේ දුක දරාගෙනය. මේ හේතුව නිසාදෝ ඔහු බටහිර විශ්ව විද්‍යාල වලට සහ බටහිර කෙරෙහි ඇත්තේ ආඝාත වෛරයකි.

ලඟදි මහාචාර්ය නලින් ද සිල්වාට මහාචාර්ය ඕ. ඒ. ඉලේපෙරුමගෙන් කදිම පිළිතුරක් ලැබී තිබුණි. පාඨකයන්ගේ දැනගැනීම පිණිස එය මෙසේ පළකරමු.

මහාචාර්ය නලීන් ද සිල්වා "දිවයින ඉරිදා දැක්‌ම" තුළින් නැවතත් ජනතාව කෙරෙහි ආසනික්‌ භීතිකාවක්‌ ඇති කිරීමට වෑයම් කර ඇත. මෙය ඇතිවන්නේ කැල්සියම් ආසනේට්‌ සහ එම ප්‍රදේශවල පවතින පසෙහි විශේෂත්වය නිසා වන බව ප්‍රචලිත කිරීමට ඔහු දරන උත්සාහය කොතරම් ප්‍රඥාගෝචරදැයි විමසීම මෙම ලිපියෙහි පරමාර්ථයයි. කැල්සියම් ආසනේට්‌ ජලයේ දිය නොවන ලවණයක්‌ බව මම කලින් ලිපියක සඳහන් කළෙමි. ඕනෑම අද්‍රාව්‍ය ලවණයක්‌ ඉතා සුළු ප්‍රමාණයකට ජලයේ දිය වේ. මෙය කැල්සියම් ආසනේට්‌වලටද වලංගු සත්‍යයක්‌ වන අතර එහි ද්‍රාව්‍යතාව ජලය මිලිලීටර් 100 කට මිලිග්‍රෑම් 13 ක්‌ පමණි. එසේ ජලයේ දියවීමේදී ජලයට යන්නේ කැල්සියම් හා ආසනේට්‌ යන අයන ප්‍රභේද දෙක විනා කැල්සියම් ආසනේට්‌ යන සංයෝගය නොවන බව ද සාමාන්‍ය විද්‍යා දැනුමක්‌ ඇති ඕනෑම අයකුට තේරුම් ගත හැකි ය. එසේ නම් ආසනේට්‌ හා කැල්සියම් ආසනේට්‌ යන මේවා නිසා අප සිරුර කෙරෙහි ඇතිවන බලපෑම ඇතිවන්නේ ආසනේට්‌ යන අයනය නිසා බව පැහැදිලිය. කැල්සියම් අයනය වෙනත් ප්‍රභවයන්ගෙන් ද ජලයට මුසු වන අතර මිනිස්‌ සිරුරට අහිතකර නොවන අයනයකි. එම නිසා අප ආසනික්‌ විෂවීම හෝ ආසනේට්‌ විෂවීම ගැන කතා කිරීම විනා කැල්සියම් ආසනේට්‌ විෂවීමක්‌ ගැන කතා කිරීම කිසිසේත් සුදුසු නොවේ.

උෂ්ණත්වය සහ ජලයේ ආම්ලිකතාව මත කැල්සියම් ආසනේට්‌ දියවන ප්‍රමාණය වෙනස්‌වන බව ද මහාචාර්ය නලින් ද සිල්වා කියයි. මෙය සත්‍යයක්‌ වන අතර උසස්‌ පෙළ රසායන විද්‍යාව හදාරන ඕනෑම සිසුවකු පවා එම කරුණු හොඳාකාරවම දනී. රජරට වකුගඩු රෝග කලාපයේ ජල සාම්පල විශාල සංඛ්‍යාවක්‌ විශ්ලේෂණය කළ මා නිරීක්‍ෂණය කළේ මේවා බොහොමයක්‌ භාස්‌මික වන බවත්, පී එච් අගය 7 ට වඩා වැඩි බවත්ය. එම තත්ත්ව යටතේ කැල්සියම් ආසනේට්‌වල ද්‍රාව්‍යතාව පිරිසිදු ජලයේ ද්‍රාව්‍යතාවයටත් වඩා අඩු විය යුතුය. පළිබෝධනාශකවලින් ආසනික්‌ ජලයට එක්‌වන බව මා විශ්වාස නොකළත් යම් හෙයකින් සුළු ප්‍රමාණයක්‌ හෝ එකතු වනවා නම් ඒවා ගංගා, ඇළ දොළ හා වැව්වල මංඩි ලෙස තැන්පත් වේ. මෙවැනි ජල මූලාශ සහ ළිං අතර සෑහෙන දුරක්‌ ඇත්නම් කැල්සියම් ආසනේට්‌ මංඩි පස තුළින් ගමන් කිරීමට ඇති හැකියාව ඉතා අඩුය.

රජරට වකුගඩු රෝගය ආසනික්‌ නිසා ඇති නොවන බවට ඇති ප්‍රධානම සාක්‌ෂිය වන්නේ ආසනික්‌ විෂ වීමේ රෝග ලක්‌ෂණ කිසිවක්‌ මෙම රෝගීන්ගෙන් පිළිඹිඹු නොවීමයි. මෙම රෝගය ප්‍රථමයෙන් සොයාගත් විශේෂඥ වෛද්‍ය තිලක්‌ අබේසේකර මහතාට අනුව මෙම වකුගඩු රෝගීන් කිසිවකුත් ආසනික්‌ විෂවීමේ රෝග ලක්‌ෂණ පෙන්වන්නේ නැත. නලින් ද සිල්වා මහතාගේ කණ්‌ඩායමේ සාමාජිකයෙක්‌ කළු ලප සහිත දෙපා ඇති රෝගියකුගේ පින්තූරයක්‌ද ප්‍රදර්ශනය කරමින් මෙම රෝගය ආසනික්‌වලින් ඇතිවන බවට පාරම් බායි. එසේ වුවත් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් පැවැසූ පරිදි මෙම රෝගියාට ඇත්තේ එක්‌සීමා නම් චර්ම රෝගය බවට දැන් හෙළිවී ඇත. මෙවන් අවිද්‍යාත්මක සංකල්ප මත එල්බගෙන තවදුරටත් මෙරට මහජනතාව නොමග යෑවීමට ගන්නා දුබල ප්‍රයත්න පිළිකුල්සහගතය.

රජරට වකුගඩු රෝගීන් සිටින පෙදෙස්‌වල පසෙහිත්, දඹුල්ල, හම්බන්තොට වැනි ප්‍රදේශවල පසෙහිත්, කිසිදු වෙනස්‌කමක්‌ නැති බව කෘෂි පාංශු විද්‍යාඥයෝ සනාථ කරති. එම කරුණ ගරු අගමැතිතුමා කැඳවූ සාකච්ඡාවේදී අනාවරණය කළේ පාංශු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක්‌ ද ඇති විද්වතෙකි. එසේම මෙම රෝගය ව්‍යාප්ත වී ඇති අයුරු බැලූ විටද මෙම කරුණ කිසිසේත් පිළිගත නොහැකිය. උදාහරණයක්‌ වශයෙන් පදවිය වැවට සමීපව ජීවත්වන ජනයාට මෙම රෝගය නොසෑදෙන්නේ එහි පස සහ ඊට කිලෝමීටරයක්‌ පමණ ඈතින් ඇති පසෙහි වෙනසක්‌ ඇති නිසාද? එමෙන්ම කිවුල අධික යාපනය, මාතලේ, දඹුල්ල හා කුරුණෑගල වැනි පෙදෙස්‌වලින් ද මෙම රෝගය දක්‌නට නොලැබෙන්නේ මෙහි පසත් පදවියේ පසත් අතර වෙනසක්‌ ඇති නිසාද යන්න සාක්‌ෂි ඇතිව ඔප්පු කරන්නේ නම් මැනවි. යාපනයේ පස නම් යම් ආකාරයකට වෙනස්‌ යෑයි කෙනකුට තර්ක කිරීමට පුළුවන. එහෙත් දඹුල්ල හා මාතලේ ප්‍රදේශවල මෙම රෝගය නැත්තේ පසෙහි වෙනස්‌කම් නිසා බව මහාචාර්ය නලින් ද සිල්වා කිවහොත් එය මුසාවකි. මෙම කරුණ ගැන මට වඩා විශේෂිත දැනුමක්‌ ඇති පාංශු විද්‍යාඥයන්ගේ වගකීම වන්නේ ජනතා අධිකරණය ඉදිරියේ ඇති මෙම මිථ්‍යාව ගැන සත්‍ය තොරතුරු මහජනතාවට ලබාදීම ය.

මෙම රෝගය ඇතිවීමට එක්‌ හේතුවක්‌ වන්නේ ජලයෙහි අඩංගු අධික ප්ලූවෝරයිඩ් සාන්ද්‍රණය බවට මා ප්‍රකාශ කළේ 2004 වසර තරම් ඈතකදීය. නලින් ද සිල්වා මහතා මෙම සංකල්පය සාවද්‍ය බව පැවැසීමට පෙර එහි සම්පූර්ණ විස්‌තර කිය විය යුතුව තිබුණි. මා සිදු කළ පර්යේෂණවල ප්‍රතිඵල පිළිගත් විද්‍යා සඟරාවක්‌ වන ජාතික විද්‍යා පදනමේ සඟරාවේ 2009 වසරේ කලාපයක පළකොට ඇත. එමෙන්ම කොරියාවේ හා තායිලන්තයේ පැවැති අන්තර් ජාතික විද්‍යා සමුළුවල දී මෙම කල්පිතය මවිසින් ඉදිරිපත් කර ඇත. විද්‍යාත්මකව අසත්‍ය දේ මෙලෙස පළකිරීමට අපහසු බව ඕනෑම අයකුට වැටහෙනවා ඇත. මා එම ලිපිවලින් යෝජනා කළේ බාල වර්ගයේ ඇලුමිනියම් භාණ්‌ඩ භාවිතය නිසා ප්ලූවෝරයිඩ්වලින් ඇතිවන විෂවීම උග්‍රවන බවයි. එය සංකීර්ණ රසායනික ක්‍රියාවලියක්‌ නිසා මෙහි සඳහන් නොකරමි. එහෙත් මෙවැනි ඇලුමිනියම් භාණ්‌ඩ භාවිතයට පැමිණියේ පසුගිය වසර විස්‌සක තරම් මෑත කාලයකදීය. ඊට පෙර මෙම ප්‍රදේශවල ජනතාව කෑම පිසීමට හා ජලය ගබඩා කිරීමට භාවිත කළේ මැටි බඳුන් වන අතර ඒවාට ජලයෙහි ඇති ප්ලූවෝරයිඩ්වලින් 50% ක්‌ පමණ අවශෝෂණය කිරීමේ හැකියාව ඇත. එම නිසා ස්‌වභාවිකවම ජනතාව බීමට ගත් ජලයෙහි ප්ලුවෝරයිඩ් ප්‍රමාණය කිහිප ගුණයකින් වැඩි වේ. මීට අමතරව සියඹලා වැනි ආම්ලික රසකාරක යෙදීමේදී ඇලුමිනියම් දියවීම වඩාත් ඉහළ යැම නිසා සිරුරට ලැබෙන ප්ලූවෝරයිඩ් ප්‍රමාණය ජලයෙන් ලැබෙන ප්‍රමාණයට වඩා විසි ගුණයකින් පමණ වැඩිවන බව ද අප සිදු කළ පර්යේෂණවලින් තහවුරු විය. මෙම වකුගඩු රෝගය බහුලව ඇති ප්‍රදේශ ප්ලූවෝරයිඩ් අධික ජලය සහිත ප්‍රදේශ වීම නිසා ප්ලුවෝරයිඩ් හා මෙම රෝගය අතර සෘජු සබඳතාවක්‌ ඇති බව මනාව පැහැදිලි වේ.

මා 2004 වසරේදී ඉදිරිපත් කළ ප්ලූවෝරයිඩ් පිළිබඳ මතවාදය තවදුරටත් පර්යේෂණ කරමින් වෙනත් විද්‍යාඥයන් විසින් තහවුරු කළ යුතුව ඇත. එය නිරපේක්‌ෂ සත්‍යයක්‌ ලෙස පිළිගත යුතු යෑයි කිසිවකුට බල කිරීමට මට අයිතියක්‌ නැත. එම කල්පිතය මා ඉදිරිපත් කළේ නූතන විද්‍යාත්මක ක්‍රම අනුගමනය කිරීමෙන් හා වකුගඩු රෝගීන්ගේ ජීවන රටා සියෑසින් දැක කරන ලද සමාජ විමසුමකිනි. මෙම රෝගය හා ප්ලූවෝරයිඩ් අතර සම්බන්ධය මුළු දිවයිනටම වලංගු වේ. මෙම වාදයට විරුද්ධවන්නන් පවසන්නේ අම්පාර සහ හම්බන්තොට වැනි ප්‍රදේශවල ද අධික ප්ලූවෝරයිඩ් ඇති බවත් එම පෙදෙස්‌වල මෙම රෝගය නැති බවත්ය. මෙවැනි ගැටලු පෙන්වා දීම ගැන මම ඔවුනට ස්‌තුතිවන්ත වෙමි. මේ ගැන වැඩිපුර සොයා බැලීමේදී අනාවරණය වූයේ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ ප්ලූවෝරයිඩ් අධික පෙදෙස්‌ කිහිපයක්‌ තිබෙන මුත් එම ජලයේ අධික ලවණතාව නිසා ඔවුන් එම ජලය භාවිත නොකරන බවත්ය. අම්පාර ප්‍රදේශයේ බොහෝ ජනාවාස නිදහසෙන් පසු සේනානායක සමුද්‍ර ව්‍යාපෘතියත් සමඟ ස්‌ථාපිත වූ ඒවා බවත් බොහෝ ජනතාව වාසය කරන්නේ එම වාරි ඇළවල් සමීපයේ බවත්ය. ස්‌වභාවයෙන්ම මෙවන් ඇළ සහ වැව් සමීපයේ ඇතිs ළිං වල ජලය අඩු ප්ලූවෝරයිඩ් සාන්ද්‍රණයෙන් හෙබි ඒවාය. එම පළාත්වල ජනයාට වකුගඩු රෝගය නොවැළඳෙන්නේ මෙම කරුණ නිසාය.

කෘත්‍රිම පළිබෝධනාශක භාවිතයට මා තුළ කැමැත්තක්‌ නැත. එසේ වුවත් ශ්‍රී ලංකාවට සහලින් ස්‌වයංපෝෂිත වීමට නම් වෙනත් ප්‍රායෝගිකව විකල්පයක්‌ නැති නිසා පළිබෝධනාශක භාවිතය පිළිගැනීමට සිදුවේ. එමෙන්ම ඒවායේ ආසනික්‌ මට්‌ටම ද නිරන්තරයෙන්ම පරීක්‍ෂණයට භාජනය කළ යුතුය. මෙම මතවාදය දැරීම නිසා මා බහුජාතික සමාගම්වල ඉත්තෙක්‌ ලෙස හංවඩු ගැසීමටද බොහෝ දෙනා පෙළඹී ඇත. දේව කන්නලව් හා මිරිස්‌ ඇඹරීම මඟින් දේව ශාපය අප කෙරෙහි යොමු කිරීමට ද කටයුතු සම්පාදනය වෙමින් පවතී. එහෙත් සත්‍යය ප්‍රකාශ කිරීම මා සතු යුතුකම මෙන්ම වගකීම ද වන බව නැවතත් අවධාරණය කරමි.

Tell a Friend