දිනමිණ පුවත්පතේ වර්ගවාදය

අමිල ගුණරත්න

වර්ගවාදය පිළිබඳව නම් දරන්නේ බ්‍රිතානයේ කසිකබල් ටැබ්ලොයිඩ් පුවත් පත් වුවද ලංකාවේ පැරණිම හා ජාතික පුවත්පතක් වන දිනමිණ පුවත්පත බ්‍රිතානයේ කසිකබල් ටැබ්ලොයිඩ් පුවත්පත් වලටත් වැඩි දුර ගොස් අසුචි ඔලුවේ පවා ගාගෙන තිබේ. පර සුද්දෙක් ඇදුරන් අමතයි ! හෙඩිම යටතේ පලවී ඇති මෙම කතුවැකිය පුවත්පත් සදාචාරය මුළුමනින්ම උල්ලංඝනය කරයි. මෙම හෙඩිම දැක බ්‍රිතාන්ය ජාතික පුවත්පතක් පර කල්ලෙක් ඇදුරන් අමතයි ! යනුවෙන් කතුවැකියක් පල කළහොත් කුමක් සිදු වෙයිද ? සුද්දා කෙරුවත් කල්ලා කෙරුවත් වර්ගවාදය වර්ගවාදයමය.

අනේ දිනමිණ! , කතුවැකියක් ලියා ගන්නට කෙනෙක් නැතිනම් ලේක්හවුස් හන්දියේ සිටින බුලත්විටකාරයෙකුවත් යොදාගනු මැන.

2011 මැයි යි 11 වන බදාදා දිනමිණ පුවත්පතේ කතුවැකිය මෙන්න.

පර සුද්දෙක් ඇදුරන් අමතයි !

විශ්වවිද්‍යාල ඇදුරු ප්‍රජාවගෙන් කොටසක විසින් ගෙන යනු ලබන විරෝධතාව තරමක් දිගට – ඇදෙන්නට ඉඩ තිබේ. තම ඉල්ලීම් නො ලැබෙන්නේ නම් ; ඉදිරියේ දී වැඩ වර්ජනයකට යන බව එෆ්. යූ. ටී. ඒ. නම් ආචාර්ය සංගමය කියා සිටී. එහි සභාපතිවරයා කියා සිටින්නේ පෙරේදා පැවැති විරෝධතාව 90%කින් සාර්ථක බව ය. එහෙත් කැලණිය, කොළඹ, රුහුණු, පේරාදෙණිය යන සරසවිවලින් ඉහත කී සංගමයට සහයෝගයක් දක්වා නැත. තව ද වෛද්‍ය හා නීති පීඨවලින් එම සංගමය ප්‍රතික්ෂේප වී තිබේ. ඉහත කී සංගමය ඉල්ලා සිටින්නේ 200%ක පමණ වැටුප් වැඩි වීමෙකි. මේ වන විට රාජ්‍ය සේවාවට 5%ක වැටුප් වැඩිවීමක් සිදු වී ඇත. විශ්වවිද්‍යාල ආචාර්යවරුනට 35%ක වැටුප් වැඩිවීමක් සිදු වී ඇත. රාජ්‍ය, සංස්ථා, මණ්ඩල, බැංකු ආදී ක්ෂේත්‍රවල වෘත්තිකයනට නො ලැබෙන 200%ක වැටුප් වැඩිවීමක් එෆ්. යූ. ටී. ඒ. සංගමය ඉල්ලා සිටී.

එසේ ඉල්ලා සිටිමින් ආණ්ඩුවට තර්ජනයක් ද කරයි. එය පුදුම සමාජවාදයක් යැයි කෙනකු ප්‍රශ්න කරන්නට පුළුවන. ඉහත කී ආචාර්ය සංගමයේ ක්‍රියා පිළිවෙතට එක්සත් ජාතික පක්ෂය මුළුමනින් ම සහයෝගය දක්වන බව කබීර් හෂීම් මහතා කියා තිබේ. එක්සත් ජාතික පක්ෂය ඊට සහයෝගය දැක්වීම පුදුමයක් නොවේ. එම පක්ෂයට අවශ්‍ය වී ඇත්තේ කෙක්කෙන් නැත්නම් කොක්කෙන් ආණ්ඩුවට රිදවීමට ය. ආණ්ඩුව අස්ථාවර කිරීමට ය. මහජනයාගේ සහයෝගයක් නැති කල කඩාකප්පල් වැඩ කරන අයගේ සහයෝගයෙන් බලයට පත් වීමේ උපාය මාර්ග සෙවීම ධනපති පක්ෂවල සිරිත වේ. එම සිරිත එ. ජා. ප. ය මීට පෙර ද භාවිත කර තිබේ. විශ්වවිද්‍යාල සිසු ප්‍රජාව මුහුණ දෙන මේ බලවත් විරෝධය රටට එරෙහි බලවේගයක් ලෙස හැඳින්විය හැකි ය. අප එසේ කියනුයේ ආණ්ඩුව විජාතික කුමන්ත්‍රණවලට මුහුණ දෙන අවස්ථාවක දී තමන්ගේ පඩිපත ගැන කල්පනා කොට ඉහත කී විරෝධතාව සංවිධාන කර ඇති බැවින් ය. ඔවුන්ගේ උත්සාහය බොර දියේ මාළු බෑමට ය.

රට හා ජාතිය ඉදිරියේ බරපතළ අභියෝග කිහිපයක් තිබේ. එය ත්‍රස්තවාදය පරාජය කිරීමට සම්බන්ධ ය. රටේ ඒකීය භාවයට සම්බන්ධ ය. බුද්ධිමතුන් යැයි කියා ගනු ලබන ආචාර්ය සංගමයේ සාමාජිකයන් ඉහත කී අර්බුද තඹ දොයිතුවට ගණන් ගෙන නැත. අපගේ අධ්‍යයනයන්ට හා නිරීක්ෂණයනට අනුව ඉහත කී ආචාර්ය සංගමය ඉටු කරමින් සිටිනුයේ දේශපාලන වුවමනාවෙකි. ඒ සඳහා ඔවුන් කාගෙන් කුමන අවස්ථාවක දී කප්පම් ගත්තේ දැ’යි අප දන්නේ නැත. එහෙත් ඉතා පැහැදිලිව කිව හැක්කේ මේ විරෝධතාව වනා හී ධනපති දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලය බව ය. මේ මොහොතේ 200%ක වැටුප් වැඩිවීමක් කළ හැක්කේ සල්ලි මවන යන්ත්‍රයක් ඇති රාජ්‍ය පාලකයකුට පමණි. එසේ නැතහොත් සක්‍රයා බඳු දෙව් ලොව අධිපතියකුට පමණි. ශ්‍රී ලංකාවේ ආර්ථික යථාර්ථයට අනුව එවැන්නක් කළ නොහැකි ය. උගත්කම හා බුද්ධිය අතර විශාල පරතරයක් පවතී. උගත්කම යනු තොරතුරුවලින් හා සංඛ්‍යා දත්ත වලින් පරිපූර්ණ කරගත හැකි සමාජ වටිනාකමෙකි. එහෙත් බුද්ධිය හෝ ප්‍රඥාව එසේ ලබා ගත නො හැකි ය.

ප්‍රඥාව ලබා ගැනීමට නම් ; තවත් පාරමිතා සම්පූර්ණ කළ යුතු ය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අලුත් සංගමය එක්කෝ බටහිර ධනපති ක්‍රමය නියෝජනය කරයි. නැතහොත් ස්වදේශීක වශයෙන් අන්තවාදය ක්‍රියාත්මක කරයි. ඉහත ක්‍රම දෙක ම අපගේ ගැටලුවලට විසැඳුම් සපයන්නේ නැති බව පළමුව තේරුම් ගත යුතු ය. බුද්ධිය හා ප්‍රඥාව යනු තැනට සුදුසු ලෙස සාධාරණ හා යුක්ති සහගත ලෙස තර්කානුකූල ව හැසිරීමේ හැකියාව ය. එබඳු හැකියාවක් ඉහත කී ආචාර්ය සංගමයට නැති බව ඉතා පැහැදිලි ය. මස් රාත්තලම ඉල්ලා සිටින ෂයිලොක් හා මේ සංගමය අතර කිසිදු වෙනසක් නැත. රටට හෙණ ගැසුවත් කමක් නැත. ජාතිය විනාශ වුවත් කමක් නැත. අපේ පඩි වැඩිකරපල්ලා ! යැයි ඔව්හු ඉල්ලා සිටිති. පඩි වැඩි කළ පසු තවත් ඉල්ලීමක් ඉදිරියට ගෙනවිත් යළි විරෝධතාවක් මතු කිරීමට ද පුළුවන. ඉහත කී සංගමයේ සභාපතිවරයා මේ රටේ මහජන මුදලින් උපාධිය ලබාගත් පුද්ගලයෙකි. ඔහු පශ්චාද් උපාධි ලබා ගන්නේ ද ශිෂ්‍යත්ව මගින් ය.

මේ ශිෂ්‍යත්ව සඳහා ද ඔහුගේ උපාධිය සඳහා ද මහජනයා කොතරම් කැපවීමක් කර තිබේ ද ? මහජන මුදලින් උගත් අයගේ ප්‍රධාන වගකීම විය යුත්තේ රට හා ජාතියට ආදරය කරමින් කටයුතු කිරීම ය. අභියෝගවලට මුහුණ දීම ය. මේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් බහුතරය (එය 99%ක් යැයි කීව ද වැරැදි නැත) මහජන මුදලින් උපාධිය ලබාගත් අය වේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුනට දැනට ලැබෙන වැටුප් හා වෙනත් වරප්‍රසාද ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු ආයතනයක සේවක - සේවිකාවන් වෙත ලැබෙන්නේ නැත. රටේ ඉහළ ම බුද්ධිමතුන් ලෙස සලකමින් හෝ නොසලකමින් හෝ තමන්ගේ පඩිපතට රුපියල් ශත එක් කිරීමේ නින්දිත ව්‍යාපාරයක ආචාර්ය සංගමය යෙදී සිටී. මේ ව්‍යාපාරය පරාජය කළ යුතු ය. එම පරාජයේ සලකුණ එ. ජා. ප හිස මත තැබීම ද වැදගත් ය. මන්ද ? විපක්ෂයට දේශපාලනික වශයෙන් සේ ම සංස්කෘතික වශයෙන් ද හැඟීමක් නැති බැවින් ය.

Tell a Friend