ආණ්ඩුවේ කප්පන් වලට එරෙහි වෙමු

එක්සත් ජාතික පක්‍ෂය විසින් නිකුත් කරන මාධ්‍ය නිවේදනය

මෙරට විවිධාකාරයෙන් ක්‍රියාත්මක වූ කප්පම් ජාවාරම් පසුපස සිටින ගෝඩ් ෆාදර්ලා ගැන දැන් හෙළිවන්නට පටන් ගෙන තිබේ. එය ප්‍රසිද්ධ කරළියට එන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ කප්පම් ගැනීමේ ජාවාරම සම්බන්ධව පෑලියගොඩ නගර සභාවේ උප නගරාධිපතිවරයා ඇතුලූව ආණ්ඩුවේ එක්තරා දේශපාලනඥයෙකුගේ හෙංචයියන් යැයි කියා ගත් පුද්ගලයන් කිහිප දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟය.

ඊළඟ ප්‍රධාන සිද්ධිය වූයේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වෙළෙන්දෙකුගෙන් රුපියල් ලක්‍ෂ 05 ක කප්පමක් ගැනීමට යද්දී පෙර කී දේශපාලනඥයාගේම සම්බන්ධීකරණ ලේකම්වරයෙකු යැයි හඳුන්වා ඇති පුද්ගලයෙකු හා පෑලියගොඩ  මූලස්ථාන පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකු නීතියේ රැහැනට කොටුවීමයි.

ඇතැම් දේශපාලකයන් ඔවුන්ගේ රැකවරණය ලබන පාතාල මැරයන් පමණක් නොව, සිවිල් නීතිය හා සාමය රැකීමට බැඳී සිටින පොලිසියේ ඇතැම් නිලධාරීන් ද මෙම කුප්‍රකට ජාවාරමට සම්බන්ධ බවට අනාවරණය වීම තුළින්

මෙම කප්පම් ජාවාරම් කොතෙක් ඔඩු දිවූ සමාජ පිළිකාවක් බවට පත්වී ඇතැයි ද යන්න පසක් කෙරෙන බව අපගේ අදහසයි. එය ගමේ ඉරිදා පොළේ වෙළෙදාම් කරන අයගේ සිට මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් දක්වාත්,

බස් නැවතුම්පොළේ සිට විවිධ ආකාරයේ ජනතාවට සේවය සලසන ස්ථාන දක්වාත් පැතිරී තිබීම ඛේදවාචකයකි.

යුද්ධය පැවැති අවදියේ මෙකී කප්පම් ගැනීමේ ජාවාරම් බැර වූයේ එක්කෝ එල්.ටී.ටී.ඊ.යේ ගිණුමටය. නැතිනම් එවකට ක්‍රියාත්මක වූ විවිධාකාරයේ පැරා මිල්ටරි දේශපාලන සංවිධානවල ගිණුමටය. මේ අතර

දේශපාලන බලය උපයෝගී කර ගනිමින් සමහර මැර කණ්ඩායම් ද කප්පම් ගැනීමේ නිතර වූ බව රහසක් නොවේ.

උතුර – දකුණ – නැගෙනහිර කියා මෙකී කුප්‍රකට ජාවාරම් බෙදා වෙන් කර ඒවා ලඝු කොට නොතැකිය යුත්තේ එමඟින් සමාජයේ විනය, සුරක්‍ෂිත බවට වන හානියේ වෙනසක් නොමැති බැවිනි. රටේ ආර්ථිකයේ

ප්‍රගමනයට ඉන් වන හානිය උතුර – දකුණ – නැගෙනහිර හෝ බටහිර කියා නොවෙනස් වන බැවිනි.

මෙහිදී කප්පම් ගැනීමේ ජාවාරමට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ බවට දැනටමත් චෝදනා ලැබ සිටින ඇතැම් දේශපාලනඥයන්ට අපි අපගේ පිළිකුල පළ කරන්නෙමු.

එසේ ම, එකී ජාවාරම්වලට එරෙහිව දෙවරක් නොසිතා එරෙහි වූවන්ට, නීතිය ක්‍රියාත්මක කිරීමට සෘජුව නියෝග දුන් අයට හා එකී නියෝග නිසියාකාරව ක්‍රියාත්මක කර මෙම සමාජ පිළිලය මර්ධනය කිරීමට ක්‍රියාත්මක වූ නිලධාරීන්ට අපි අපගේ ආචාරය පුද කරන්නෙමු.

එතෙක් නොවේ, 17 වන සංශෝධනය මරා දමා 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කර පොලිසිය ඇතුලූව රාජ්‍ය සේවය දේශපාලනීකරණය කිරීමේ ප්‍රතිවිපාක දැන් ඇස් ඉදිරිපිටම දකින්නට ලැබෙන බව ද අපි යළි යළිත් අවධාරණය කරන්නෙමු.

දැන් අවශ්‍ය වනුයේ මෙකී ජාවාරටම සම්බන්ධ බවට කරුණු කාරණා සහිතව ඔප්පු වන අයගේ, ඇතැම් දේශපාලනඥයන්ගේ තත්ත්වය, තරාතිරම නොබලා ඔවුනට එරෙහිව ඉදිරි නීතිය ක්‍රියාමාර්ග ක්‍රියාත්මකවීමට ඉඩ සලසා දීම මිස දේශපාලන වාග් ප්‍රහාර හරහා එකී සිද්ධීන් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට කිසිසේත් ඉඩ හැරීම නොවේ.

ආණ්ඩුව විසින් මෙහිදී කළ යුතු තවත් දේ තිබේ. කුප්‍රකට සිද්ධීන් ගැන දිගින් දිගටම චෝදනා ලැබ සිටින ආණ්ඩුවේම ඇතැම් දේශපානඥයන් සම්බන්ධව නිශ්චිත තීන්දු ගැනීම ඉන් එකකි.

අපගේ ජනාධිපති ධූර අපේක්‍ෂකයා වූ ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරන්න යැයි ජාතික නිදහස් දිනය දා එක්සත් ජාතික පක්‍ෂය විසින් කළ සාමකාමී උද්ඝෝෂණයට පොලිසිය බලාගෙන සිටියදීම පහර දුන් ඇතැම් පාතාල සාමාජිකයන් පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී තරඟ කළ බව දැන් හෙළි වී තිබේ. ඔවුන් පිළිබඳ විස්තර ඡායාරූප සහිතව ඒ වන විටත් ජනමාධ්‍ය ඔස්සේ හෙළිදරව් කර තිබිණි. එකී ඇතැම් පාතාල මැරයන් සිරස මාධ්‍ය ජාලයට ප්‍රහාර එල්ල කළ මැර කණ්ඩායමේ සිටි වග ද දැනටමත් ප්‍රසිද්ධ රහසකි. සියත මාධ්‍ය ජාලයට ගිනි තැබුවේ ආණ්ඩුවේ ම එක්තරා දේශපාලනඥයෙකුගේ රැකවරණ ලබන පාතාල මැරයන් පිරිසක් විසින් බව දැනටමත් දැන ගන්නට ලැබී තිබේ. මෙම මැරයන් තවමත් නිදැල්ලේ සිටිති.

ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ විශේෂාංග රචකයෙකු වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වී දැන් වසරකටත් වඩා වැඩි කාලයක් ඉක්ම ගොසිනි. රිවර පුවත්පතේ කර්තෘවරයා වූ උපාලි තෙන්නකෝන් මහතාට,

මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතාට පහර දුන් මැරයන් තවමත් නීතියේ රැහැනට කොටු වී නැත. මේවා ගැන මැදහත් ජනතාව ඇඟිල්ල දිගු කරනුයේ ආණ්ඩුවට හා ආණ්ඩුවේ ඇතැම් දේශපාලනඥයන් වෙතය.

කප්පම් ජාවාරම ගැන වහා නීතිය ක්‍රියාත්මක කර සැකකරුවන් නීතියේ රැහැනට කොටු කර ගත්තා සේ මෙකී සිද්ධීන් ගැන ද පිළිගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග දැන් හෝ ගැනීමත්, එම සිද්ධීන් පිළිබඳ පරීක්‍ෂණ කඩිනම් කිරීමත්

ආණ්ඩුවේ වගකීමකි. එසේම, තමන් වෙත එල්ල වී ඇති චෝදනා ගැන ජනතාව හමුවේ ආණ්ඩුව විසින් දැන්වත් වගකීමක් ඇති ප්‍රකාශයක් කළ යුතුව තිබේ. මන්ද, සමාජය පිළිලයක අතුපතර කපා දමනවාට වඩා එහි මුල්

බීජුව නසා දැමීම සමාජයේ විනයට, සුරක්‍ෂිතභාවයට හා ප්‍රගමනයට හේතු වන බව අප දැඩිව විශ්වාස කරන නිසාය.

Tell a Friend