" ලංකාවේ පොලිසිය කියන්නේ අල්ලස් බලකායක්"

වදහිංසාව පිළිබඳ ලාංකික ස්ත්‍රීන් - සම්මුඛ සාකච්චාව 02

පොළොන්නරුවේ පදිංචි වයස අවුරුදු 28 ක තරුණියක වන ඇය පොලිස් වදහිංසාව සම්බන්ධයෙන් පල කළ අදහස් මෙහි දැක්වේ. ආරක්ෂක හේතුන් මත අනන්‍යතාවය හෙළි කිරීම කළ නොහැකිය.

ශ්‍රී ලංකා ගාර්ඩියන් විශේෂ වාර්තාකරුවෙකු විසිනි

ශ්‍රී ලංකාවේ පොලිසිය පිළිබඳව ඔබේ අදහස පැහැදිලි කළ හැකිද?


1. මෙම ආයතනය පිලිබඳව වැඩිදුර කථා කිරීමට මා කැමති නෑ, මොකද එහි සිදුවන යම් යම් අකටයුතු කම් ගැන ජනමාධ්‍ය තුළින් හා මිනිසුන් සමඟ කථා බස් කිරීමේදී දැන ගැනීමට ලැබෙනවා. . කෙටියෙන්ම කියනවා නම් නීතිය අනුගමනය කෙරෙනවා ඉතාම අඩුයි. නමුත් අපි දන්නා පරිදි එම ආයතනය පිහිටුවා තිබෙන්නේ නීතිය හා සාමය රැකීම සඳහායි. එම ආයතන විසින්ම නීතියට අනුව වැඩ නොකරනවා කියන්නේ සැබැවින්ම කණගාටු වියයුතු තත්ත්වයක් නමුත් විශේෂයෙන්ම සමාජය , ජනතාව මේ දේවල් පිළිබඳ නිවැරදි තොරතුරු දන්නේ නැහැ මොකද පොලිසිය ජනතාව බිය ගන්වමින් විවිධාකාර අකටයුතුකම් කරන නිසා ජනතාව එම අකටයුතු කම් ගැන වැඩිදුර සොයා බැලිමට ඉදිරිපත් වන්නේ නැහැ. ඔවුන්ට කරදර වීමට සිදුවේ යැයි කියන බිය නිසා. මා දකින අනිත් වැදගත්ම එමෙන්ම කණගාටුදායකම තත්ත්වය නම් ඇසෙන අහිංසක ඉතාමත් දුප්පත් සාමාන්‍ය මිනිසුන්ට හිතාමතාම බොරු නඩු දමමින් ඔවුන්ව පෙළිමට උත්සහ ගැනීමයි. එසේම පුද්ගලයාගෙන් පුද්ගලයාට සලකන ආකාරය වෙනස්.

උදාහරණයක් මඟින් පැහැදිලි කරනවා නම්, මේ ප‍්‍රදේශයේ දඩමස් විකිණීම බහුල ලෙස සිදුවෙනවා . දිනක් පොලිසිය විසින් කරන ලද වැටලිමකදී මෙලෙස දඩමස් විකුණමින් සිටියදී පුද්ගලයන් පිරිසක් කොටුකර ගැනීමට පොලිසියට හැකියාව ලැබුණා, නමුත් පසුව තොරතුරු සොයා බැලීමේදී එම පුද්ගලයන් එම ප‍්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන යන ධනවත් පුද්ගලයෙකු යටතේ සේවය කරන පුද්ගලයින් පිරිසක් බවත් ඔවුන් එම දඩමස් විකිණිම එම ව්‍යාපාරිකයාගේ අනුදැනුම මත සිදුකරන බවත් සොයා ගැනීමට ලැබී ඇත. මෙම ව්‍යාපාරිකයා පොලිසියේ ඉතා සුහද මිතුරෙකු වන නිසා පොලිසිය එම චෝදනාව වෙනස් කර බීමතින් අශෝභන ලෙස හැසිරීම යන සුළු වරදකට එම පුද්ගලයන්ට විරුද්ධව නඩුදමා ඇති අතර එමගින් මහා පරිමාණ ලෙස සිදුකෙරෙන මෙම හොර දඩමස් විකිණිමේ ජාවාරම එ ලෙස යට ගසා ඇත. ඒ අනුව නැති බැරි අයට එක ආකාරයකටත් තමන්ට කර කියා ගන්නට පුළුවන් පුද්ගලයන්ට තවත් ආකරයටත් පොලිසිය විසින් සලකන බව අපට ඉතා පැහැදිලියි. මෙවැනි දේ තව කොච්චර වෙනවා ඇතිද ? නමුත් තොරතුරු හෙලිවන්නේ නැහැ මම මුලින් කියන ලද කාරණා නිසා.

 පොලිස් වදහිංසාව ගැන ඔබේ අදහස ?


2. සැබැවින්ම පොලිසිය තුළදීම සිදුවන දේ විතරක් නොවෙයි පොලිස් වදහිංසාව කියන්නේ . පොලිසියෙන් පිටදී පවා ඉතා දරුණු ආකාරයේ වදහිංසා සිදුවෙනවා අප දැක තිබෙනවා උදාහරණයක් ලෙස පවසනවා නම් හොර අරක්කු වැටලීම් වලින් පසුව හසුවන පුද්ගලයන්ට සිදුකරන දඩුවම් ප‍්‍රසිද්ධියේ සිදුකෙරෙනවා අප දැක තිබෙනවා ඒවාගේම අපට අහන්ට ලැබිලා තියනවා ඉතාම දරුණු ආකාරයේ පහරදීම හා අනෙකුත් දඩුවම් ක‍්‍රම පොලිසිය තුළදී සිදුකරන බව. මේ දේවල් හෙලිවන්නේ නැ. මොකද පහර කෑමකට හෝ වෙනයම් ආකාරයක දඩුවමකට හසුවු පුද්ගලයකු ඒ දේවල් පොලිසියයෙන් නිදහස් වී පැමිණි පසු හෙලිකරන්නට කැමති නැහැ. විශේෂයෙන්ම පොලිසියට තිබෙන බිය හා එම දඬුවම් වල පවතින පහත් අමානුෂික බව නිසා. ඒ පහත් දඬුවම් ගැන ඔවුන් කථා කිරීමට ලැජ්ජයි. ඒ නිසාම ඒ දේවල් ඉතාමත් ලෙහෙසියෙන් සමාජයෙන් වසන් කීරීමට හැකියාව ලැබී තිබෙනවා.

ඒ නිසා මා හිතන්නේ මේ දේවල් ගැන සමාජය දැනුවත් කළ යුතුයි. මේ දේවල පවතින අමානුෂික භාවය ගැන මෙන්ම ඒ සඳහා නිතියෙන් ලබාගත හැකි සහන පිළිබඳ. එසේ නොවන තාක් කල් සමාජයෙන් මේ දේ වසන් කර තබාගත හැකියි. එසේම මේ ප‍්‍රදේශ වල පුද්ගලයන්ගේ නොදැනුවත් කම මෙන්ම නොහැකියාව, දුප්පත්කම , හරිහැටි ලීවීමට කියවීමට නොහැකි කම යන මේ දේද මේ සඳහා විශාල ලෙස හේතු වී තිබෙනවා කෙසේ හෝ සමාජය දැනුවත් කිරීම තුළින් මේ දේ අවමකර ගැනීමට හැකි වෙතැයි මා සිතනවා


 පොලිසිය හා මහජනයා අතර ඇති සම්බන්ධතාවය ගැන ඔබේ අදහස් කෙසේද?


3. සැබැවින්ම ඉතාම දුරස්ථයි කියා කියන්ට පුලූවන්. මොකද මම මුලින් ප්‍රකාශ කළ පරිදි සාමාන්‍ය දුප්පත් පුද්ගලයන් බිය හා නොදන්නා කම නිසා ඔවුන්ට සිදුවන හිරිහැර ඉවසා ඉන්ට පුරුදු වෙලා ඉන්නවා ඒ නිසාම පොලිසිය කෙරේ හොඳ සබඳතාවයක් ගොඩනඟා ගැනීමට පොලිසියට නොහැකි වී තිබෙනවා. නමුත් ධනවත් යමක් කමක් කරගන්නට පුළුවන් බලවත් පුද්ගලයන් හා පොලිසිය හා කිට්ටු සමීප සම්බන්ධතාවයක් පවතින බව මම මුලින් කියන ලද උදාහරණය මගින්ම තහවුරු වෙනවා

එසේම මා කියන්ට කැමතියි පොලිසියේ යම් යම් නිලධාරින් විසින් සිදුකරන අක‍්‍රමිකතා, එනම් වංචා සහ දුෂණ නිසාද පුද්ගලයින් පොලිසිය කෙරෙහි කළකිරෙනවා උදාහරණයක් ලෙස පවසනවා නම්, මේ ප‍්‍රදේශය ඉතා දුෂ්කරයි. දිනක් මා රැකියාවට යාමට සිටිමේදී බස් රථය නොතිබුණ නිසා පෞද්ගලික වාහනයකින් ගමන් කරමින් සිටියදී එම වාහනයේ රියදුරු ඔහු විසින් සිදු කරන ලද මාර්ග නීති කඩ කිරීමකට පොලිසිය විසින් බස් රථය නතර කර එම වරදට නඩු නොපවරා සිටීමට නම් එම නිළධාරින්ට තේ බීමට අවශ්‍ය යැයි රුපියල් 60 ක මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින ලදි. එහිදි එම රියදුරු නඩු පැවරුව හොත් ගෙවීමට සිදුවන දඩය හා රස්තියාදුව සලකා එම ඉල්ලන ලද මුදල ලබාදෙන ලදි. මෙවැනි දේ නිසා නිතිය කෙරෙහි හා නිතිය හා සාමය ක‍්‍රියාත්මක කිරීමට සිටින මෙම පොලිස් නිළධාරින්ගේ ක‍්‍රියා කෙරෙහි කල කිරීමක් ඇති වෙනවා. ඒ නිසාම ඔවුන් කෙරේ විශ්වාසයක් ගොඩනැගෙන්නේ නෑ ඉහත සඳහන් හේතු නිසා. ඒ අනුව පොලිසිය කෙරේ, පොලිස් නිළධාරින්ගේ රාජකාරිය කෙරෙහි විශ්වාසයක් නැතිබව පවතිනවා කියන්නේ ඒ තුළ මහජනතාව අතර පොලිසිය අතර යහපත් අන්තර් සබඳතාවක් නොමැති බවයි.

පොලිසියට ගොස් සහනයක් ලබාගැනීමට කැමතිද ?


4. පෞද්ගලිකව මාහට හානියක් වුවහොත් කෙසේ හෝ එයට වෙනත් සහනයක් ලබාගැනීමට උත්සාහ කරනවා. නොයාම බැරි වුවහොත් පොලිසියට යනවා ඇත්තටම ඊට හේතු කිහිපයක් තියනවා. පොලිසියේදි කුමන ආකාරයේ සැලකිල්ලක් ලබන්ට වේ යැයි බියක් හා සැකයක් තියනවා එනිසා පොලිසියට කාන්තාවක් ලෙස මම යන්ට බයයි. මොකද මම අහලා තියනවා කාන්තාවන්ට විවිධ අවස්ථාවල විවිධ බැන වැදීම් හා පහත් ආකාරයේ සැලකීම් වලට ලක් වෙන්ට වෙලා තියනවා කියා, එබැවින් මා කැමති නැ එවැනි පහත් ආකාරයේ සැලකීමකට ලක් වෙන්නට. එසේම මාගේ රැකියාව නිසා එලෙස පොලිසිය තුළදි ලැජ්ජා වෙන්ට කැමති නැහැ.

පොලිස් නිලධාරින් සිතන්නේ පොලිසිය තුළට යන සියළු පුද්ගලයන් ඉතාමත් පහත් ආකාරයේ වැරදි කරන ලද පුද්ගලයන් ලෙස. එනිසා ඔවුන් එලෙස පහත් ආකාරයෙන් ඕනෑම පුද්ගලයෙකුට සලකන්නට මැලිවන්නේ නැහැ කෙසේ නමුත් මා මුලින් හෙළිකල පරිදි ප‍්‍රදේශයේ ධනවත් බලවත් පුද්ගලයන් හමුවේ, ඔවුන් ඉතා ගරු සරුව විනිතව සුහඳශිලිව ඔවුන්ගේ ඕනෑ එපාකම් සිදුකරනවා. නමුත් සාමාන්‍ය දුප්පත් පුද්ගලයන්ට ඉතාමත් පහත් අසංවර ආකාරයෙන් සලකන්නේ.

ගෘහස්ථ ප‍්‍රචන්ඩත්වය වැලැක්වීමේ පනත ගැන ඔබේ අඳහස ?


5. සැබැවින්ම මෙවැනි පනතක් තිබීම ඉතා වැදගත් එමඟින් කාන්තාවන්ගේ අයිතිවාසිකම් පෙරට වඩා ආරක්‍ෂා විමක් සිදුවෙනවා යැයි කියන්න පුලූවන්, විශේෂයෙන්ම මේ ප‍්‍රදේශය ගැන කථා කරනවා නම් වැඩිපුරම හොර අරක්කු, ගංජා, කසිප්පු වැනි මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් පවතිනවා. එවැනි දේවල් වලට ඉතාම ලෙහෙසියෙන් තරුණ පරපුර ඇබ්බැහි වෙලා සිටිනවා මෙහි ප‍්‍රතිඵලයක් ලෙස කාන්තාවන්ට නොයෙක් ආකාරයේ තාඩන පිඩන හිංසා වලට සිය නිවස තුළදීම මුහුණදීමට සිදුවෙලා තියනවා අනෙක් කාරණය මා මුලින් සඳහන් කළ පරිදි මේ ප‍්‍රදේශයේ ජනතාවගේ නොදැනුවත් කම , ලිවීමේ, කියවීමේ හැකියාව නොමැති කම යන දේ නිසා මෙවැනි පිඩාවන්ට කාන්තාව ලක්වන ප‍්‍රවණතාවය ඉතා වැඞීයි.

තවදුරටත් පවසනවා නම්, කාන්තාව කෙසේ හෝ කුලී වැඩක් හෝ කර මුදල් හම්බකර තම දරු පවුල රැක ගැනීමට උත්සහා කරන අතර ස්වාමියාගේ බීමත් කමින් නොයෙක් පිඩාවන්ට ලක් වෙන්නට වෙලා තියනවා. තවත් සමහරක් කාන්තාවන්ට ස්වාමියා උපයන දේ මත යැපෙන්ට වෙලා තියනවා. ඒ නිසා ඔවුන් ස්වාමියාගේ මෙම තාඩන පිඩන හිරිහැර කිරීම් වලට එරෙහිව හඩක් නැගීමට නොහැකි වෙලා තියනවා.

කෙසේ නමුත් මෙවැනි පනත් තිබුණද එමඟින් උපරිම ප‍්‍රයෝජන ගැනීමට මා මේ සඳහන් කළ හේතු මත බාධා වෙලා තියනවා. එසේම මේ නීතින්ගේ සහන ගැනීමට කාන්තාවන් තුළ බියක් පවතිනවා. මොකද ඉන් පසු තම පවුල විසිරේ යැයි කියන බිය නිසා මේ සමාජ ක‍්‍රමය තුළ ස්වාමියා නොමැතිව සිටින කාන්තාවන්ට සමාජයෙන් වෙන හිරිහැර කරදර ඊට වඩා වැඞීයි. මේ සියළු දේ නිසා මෙවැනි නිතී අණපනත් කොතෙක් තිබුණද අප සමාජයේ මිනිසුන්ගේ අධ්‍යාපන තත්ත්වයේ හා ආකල්ප වල ගුණාත්මක වෙනසක් ඇති කරන තාක් මෙවැනි නීතින්ගේ සහන ගැනීමට අපේ සමාජයේ විශේෂයෙන්ම කාන්තාව ඉදිරිපත් වන්නේ නැහැ.


Tell a Friend