අනුර බාලසූරිය, බුත්තල - ආයුපාල ගමගේ
පටු අදහස් හා කුමන්ත්‍රණවලින් ගම හදන වැඩපිළිවෙළ පරාජය කිරීමට ඉඩ දිය නොහැකි බවත් සුපිරි රටක් ගොඩනඟන්න සුපිරි ගමක් නිර්මාණය කළ යුතු බවත් ඒ දැක්‌ම වෙනුවෙන් අපි සියලු දෙනා එක්‌විය යුතු බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.
63 වැනි ජාතික නිදහස් උළෙලට සමගාමීව බුත්තල පැවැත්වෙන "දැයට කිරුළ" සංවර්ධන ප්‍රදර්ශනය 4 වැනිදා විවෘත කිරීමේ අවස්‌ථාවට එක්‌වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවැසීය.
දැයට කිරුළ ප්‍රදර්ශනය විවෘත කිරීමට පැමිණි ජනාධිපතිවරයා හා එම ආර්යාව ඌව පළාත් ප්‍රධාන ඇමැති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ, ඇමැති රංජිත් සියඹලාපිටිය යන මහත්වරු ඇතුළු දිස්‌ත්‍රික්‌කයේ මැති ඇමතිවරු විසින් පිළිගන්නා ලදී.
උත්සවය ඇමතූ ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.
මේ දැයට කිරුළ ප්‍රදර්ශනයෙන් ජාතිය හමුවේ කියන්නේ "මහින්ද චින්තන" වැඩපිළිවෙළින් සමෘද්ධිමත් වන ජාතියේ අනාගතය බව කිව යුතුයි. සමෘද්ධිය කරා රට පියවරෙන් පියවර ළංවන ආකාරය මේ ප්‍රදර්ශනය තුළින් ඔබට දකින්න පුළුවන්. ගෙවී ගිය වසර හයක් අපි ජාතියට අත්කර දුන් ජයග්‍රහණත් මේ දැයට කිරුළ ප්‍රදර්ශනය තුළින් දැක ගැනීමේ හැකියාව තිබෙනවා.
අපි මේ වසරේ දැයට කිරුළ ප්‍රදර්ශනය පවත්වන්නේ ඓතිහාසික ඌව වෙල්ලස්‌සේ. ඌව වෙල්ලස්‌සේ ජනතාව ජයග්‍රහණයේ අභිමානය වින්ද පරපුරක්. මේ රටේ ස්‌වාධීනත්වය රැකගන්න දිවි පිදූ ඉතිහාසයක් මේ ප්‍රදේශයේ ජනතාවට තිබෙනවා. අද මෙහි ඉදිරිපත් කළ නර්තනයෙන් පිළිබිඹු කළෙත් එයයි. ඒ නිසා අප රට ස්‌වාධීනත්වය කරා ගෙනයන සංවර්ධන සංග්‍රාමය මේ භූමියේ ප්‍රදර්ශනය කිරීමට ලැබීමත් මහත් සතුටක්.
මේ දැයට කිරුළට සමගාමීව ඉහාව, ඉලුක්‌ලන්ද, ගල්බොක්‌කගම, පුබ්බාර, කන්වේගල්ල, කුකුරම්පොල වාගේ ඈත ගම් විසිදෙකකට ජල ව්‍යාපෘති ලැබෙනවා. රුවල්වෙල, දැලිව, මානාහරණගම, මීයාගල ඇතුළු ගම් විශාල ගණනකට ග්‍රාමීය සම්පත් වාසස්‌ථාන, මාර්ග, දියපැන්නුම් ආදිය ලැබෙනවා. අද මම එනකොට නවීකරණය කෙරුණු බුත්තල රෝහලට ගියා. මේවා ඉතා දීර්ඝ කාලයක් පුරාවට ප්‍රතිසංස්‌කරණයට ලක්‌වෙලා නැහැ. නමුත් අපි මේවා නැවත හදලා තියනවා. මේ විදිහට අද විශාල සංවර්ධනයක් මේ ප්‍රදේශවල ඇතිවෙලා තියෙනවා.
තමුන්නාන්සේලා අතරින් කී දෙනෙක් මේ ගම්වල නම් අහලා තියෙනවද කියලා මම දන්නේ නැහැ. සමහරුන් මගෙන් අහනවා මේ ගම් කොහේද තියෙන්නේ කියලා. අපි නම් එහා ගමේ මිනිස්‌සු නිසා මේවා දන්නවා. අද ගමේ දරුවන්ට සම්පත් අඩු නැති පාසල් තියෙනවා. තාක්‍ෂණය ගමට ඇවිත් තරුණ තරුණියෝ අලුත් අලුත් දෑ සොයනවා. ලෝකය සමඟ කටයුතු කරනවා. නගරයේ තිබෙන ක්‍රීඩාපිටි ගමට ඇවිල්ලා. සූරියවැව, පල්ලේකැලේ ලෝක කුසලානයට තරග වදින ක්‍රීඩා පිටි බිහිවෙලා තියෙනවා. එදා ලෙනාර්ඩ් වුල්ෆ් නඩු අහපු සියඹලාගහ යට සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාපිටිය ඉදිවෙනවා.
එදා ජාත්‍යන්තර මට්‌ටමේ ක්‍රීඩකයෝ බලන්න අපේ අයට කොළඹට යන්න වුණා. හෙට ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයොත් ගමට ඇවිල්ලා සෙල්ලම් කරනවා. ඒවා බලලා විතරක් මදි. මේ ගම්වලිනුත් ජාත්‍යන්තර මට්‌ටමේ ක්‍රීඩකයෝ බිහිවෙන්න ඕනෑ. මේ ගම්වලින් ජාත්‍යන්තර ක්‍රීඩකයෝ බිහිවෙලා රන් පදක්‌කම් ගන්න ඕන.
එදා ගම්වල මේ වාගේ ප්‍රදර්ශන නොයෙක් උදාවල් තිබුණා. ඒවායේ වුණේ තෝරා ගත්ත තැනක් උත්සව භූමියක් ගොඩනඟනවා. උත්සවය ඉවර වුණහම ඒ තැන කැලෑ වෙනවා. නමුත් අපේ ඒ දැයට කිරුළ ගමට එන්නේ මුළු ප්‍රදේශයේම, පළාතේම මිනිස්‌සු ඉන්න ගම් නංවන්න, ඌව වෙල්ලස්‌සේ සශ්‍රීකත්වය බ්‍රවුන්රි ආණ්‌ඩුකාරවරයා එදා යටත් විජිත ලේකම්ට යවපු සටහනක මෙසේ සඳහන් වෙනවා.
"මා ලංකාව පුරා ඇවිද ඇත්තෙමි. වෙල්ලස්‌ස තරම් සශ්‍රීක ප්‍රදේශයක් මම නුදුටුවෙමි. මෙය පලතුරු උයනක් වැන්න. එහි වැසියා සිය ආගම දහම විසින් හසුරුවනු ලදුව ස්‌වයං පාලිත වැසියෝ වෙති. ඔවුන් අපව තුට්‌ටුවකටවත් ගණන් ගත්තේ නැත. එබැවින් මේ ප්‍රදේශ යටත් කිරීම සිහිනයක් විය හැක."
මේ එදා ආණ්‌ඩුකාරවරයා මේ ප්‍රදේශය ගැන ලියලා තිබුණ දේ. මේ ඌව වෙල්ලස්‌ස නංවන එක ඓතිහාසික වගකීමක්. එදා රැජින පත්කළ උඩරට ගැමි කොමිසම් වාර්තාවේ කිව්වා ඌව වෙල්ලස්‌ස නංවන එක ඓතිහාසික වගකීමක් කියලා. නමුත් වාර්තාව තිබුණ මිසක් වැඩක් වුණේ නෑ. දැන් අපි මේ පළාතට යුක්‌තිය ඉටුකරන්න ඕන. එහි වගකීම අපි භාරගෙන තියෙනවා. ඒ නිසා තමයි මත්තල අලුත් ගුවන්තොටුපළ හැදෙනවා. අම්පාර, යාපනය ප්‍රදේශවලත් ගුවන් තොටුපළවල් ඉදිවෙනවා. මේ ප්‍රදේශය ගොඩනඟන්න තියන ඓතිහාසික වගකීම අපි භාරගන්නවා.
මේ ප්‍රදර්ශන භූමියේදී අනාගතයේ අපේම විද්‍යාඥයෝ නිර්මාණය කළ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කරන බව තමුන්නාන්සේලා දැක්‌කොත් පුදුම වෙන්න එපා. ඉදිරි දස වසරේදී අපි එය ඉටුකළ යුතුයි. ඒක තමයි අපේ ඉලක්‌කය වෙන්න ඕන.
මේ රට වාණිජ්‍යය කේන්ද්‍රස්‌ථානයක් බවට පත්කිරීමේ පළමු පියවර අපි ත්‍රස්‌තවාදය පරාජය කරලා ජය අරගෙන තියෙනවා. අද කොටස් වෙළෙඳපොළ දිහා බැලුවාම, විදෙස් ආයෝජකයෝ මේ රටට කරන ආයෝජන දිහා බැලුවාම අපි ලබන ජයග්‍රහණ පැහැදිලියි. අපි රට භාරගන්න කොට මේ රටට ආයෝජකයෝ නොවෙයි සංචාරකයොවත් ආවේ නැහැ.
අපි වසර පහක් රට ඇතුළේ අභියෝග වගේම රටෙන් පිටත අභියෝගත් ජයගනිමිනුයි පියවර තැබුවේ. ලෝක ආර්ථිකය කඩාවැටිලා බලවත් රටවල් පවා අසරණ වෙද්දී අපි හිස ඔසවගෙන සිටියා. දෙපයින් නැගී සිටියා. අපිට දැඩි ආත්ම විශ්වාසයක් තිබුණා. අපේ මුතුන් මිත්තන් අපට දායාද කළ උරුමයන් අපට තිබුණා. අපි ඒ මාවතෙයි ගමන් කළේ. අපි ඉර හඳ අල්ලන්න කලින් අපේ උරුමය අල්ලා ගත්තා. කුඹුර, හේන, කමත ගැන විශ්වාසය තැබුවා.
ලෝකයේ අඩුම මිලට පොහොර මිටිය සපයන්නේ ඌව වෙල්ලස්‌සේ උරුමය අපිට විශ්වාස නිසයි. අද අපේ රටේ දුප්පත්කම 7.2% දක්‌වා අඩු කරන්න අපට පුළුවන්වෙලා තියෙනවා. අද උතුරේ කුඹුරු අක්‌කර එක්‌ලක්‍ෂ තිස්‌තුන් දහසක් අස්‌වැද්දෙනවා. මීට අවුරුදු තුනකට හතරකට කලින් උතුරේ උදැල්ලක්, වියගහක්, අම්බරුවෙක් දකින්න ලැබුණේ නැහැ. මෝටාර්, බිම් බෝම්බ, මර උගුල් විතරයි තිබුණේ. කුඹුරට බහින්න ගොවියාට නිදහසක් තිබුණේ නැහැ. එදා මේ ප්‍රදේශවල අක්‌කර කී දහසක් පුරන් වුණාද?
මිත්‍රවරුනි, අපි වසරකට ගොවි ජනතාවට පොහොර සහනාධාරයට පමණක් රුපියල් බිලියන 30 ක් වෙන් කරනවා. අපි ගොවියාගේ අතේ තිබුණ වස බෝතලය විසි කළා.
අද එළවළු මිල වැඩිවෙලා කියලා විශාල ඝෝෂාවක් තියෙනවා. අද කිව්වහම බොම්බයි ලූණු මිල ටිකක් අඩුවෙලා නේ කියලා. එතකොට කියනවා බොම්බයි ලූනු අඩු වුණාට රතු ලූනු අඩුනෑනේ කියලා. බඩු මිල අඩු කරන්න පාරිභෝගිකයා අතරමැදියාගේ ග්‍රහණයෙන් ගලවාගන්න වැඩ කළ රජයක් අපි. අපි දැක්‌කා මේ මහා කාලගුණය අපට බලපෑවා. ගොවිතැනට බලපෑවා. අපි ගොවි ජනතාව ගැන විශ්වාසය තබලා තියෙනවා. මේ අතරමැදියා කරන වැඩපිළිවෙළ ගැනත් අපි හිතන්න ඕන. ජනතාවට බඩු අඩු මිලට ලබාදෙන්න පුළුවන්කම තිබුණු දේවල්වලට මොනවද වුණේ. සතොස වික්‌කේ අපිද, ආහාර දෙපාර්තමේන්තුව නැති කළේ අපිද, සමුපකාර විනාශ කළේ අපිද, වී අලෙවි මණ්‌ඩලය වහලා දැම්මේ අපිද, නැහැ. ජනතාවට අඩු මිලට බඩු ටික ලබාදෙන්න පුළුවන්කම තිබුණු හැම ආයතනයක්‌ම විනාශ කරලා දැම්මා. එහෙම කරපු උදවිය තමයි දැන් ලූනු බික ගැන අහන්නේ. අපි අපේ සමුපකාර ශක්‌තිමත් කළා. තිබුණු ණය සියල්ල බොල් ණය බවට පත්කරලා, සල්ලිත් දීලා කෝප් සිටි ගොඩනගලා සමුපකාරයට අලුත් පනක් දුන්නා. තමුන්නාන්සේලා දන්නවා ලෝක ආහාර අර්බුදය වෙලාවේ අපේ ජනතාව එක වෙලාවක් බඩගින්නේ තියන්නේ නැතිව රැකගත්ත හැටි. ඒ නිසා මේ බඩු මිල පිළිබඳව අවබෝධයකින් තමයි අපි කටයුතු කරන්නේ. ඒ වගේම ගොවියාගේ පැත්තෙන්, පාරිභෝගිකයාගේ පැත්තෙන් අපි හිතන්න ඕන.
මම ප්‍රවෘත්තිවලට දැක්‌කා පෙන්වනවා වෙන රටවල බඩු මිල විශාල වශයෙන් ඉහළ ගිහින් තියෙනවා. ඒ මේ කාලගුණය නිසා. අව්ව, වැස්‌ස, ගංවතුර නවත්වන්න අපට පුළුවන්කම නැති බව තමුන්නාන්සේලා දන්නවා. එක එක කාලෙට මෙවන් ප්‍රශ්න මතු වෙනවා.
අද රට විනාශ කරන්න එක් පිරිසක් ඉන්නවා. කොටි විතරක් නෙවේ. විවිධ කටකතා, බොරු ප්‍රචාර, මඩවලින් බලයට එන්න මාන බලන පිරිසක් ඉන්නවා. අපි ළඟ. මේ අය දේශපාලන රෝගීන් වශයෙන් තමයි මම දකින්නේ. හැබැයි මම මේ දේශපාලන රෝගීන් අතරේ නිරෝගීව ඉන්න බව නම් හාමුදුරුවනේ ඔබවහන්සේලාට කියන්න ඕන. මේ රටේ ජනතාව ඒවට රැවටෙන්නේ නැති බව මම දන්නවා. මම හැමදාම කියනවා මට අපහාස කළාට කමක් නැහැ. මට ඕන චෝදනාවක් කරන්න, මේ රටට, තමන් ඉපදුන මාතෘභූමියට ෙද්‍රහිකම් කරන්න එපා. මේ රට පිට රටට පාවා දෙන්න එපා. අපි මේවා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරමු.
මේ ආණ්‌ඩුව තරම් ගමට වැඩ කරපු ආණ්‌ඩුවක් ඉතිහාසයේ නැහැ. අපි පුද්ගලයා හදලා, පවුල හදලා, ගම හදලා, පළාත හදලා රට හදන්න යන වැඩපිළිවෙළක් තමයි මහින්ද චින්තනයේ තියෙන්නේ. ගමයි, නගරයයි අතර තියන පරතරය නැති කරන්න ඕන. ආසියාවේ ආශ්චර්යයට යන්න නම් මේ ගම හා නගරය එකට එකතු කරන්න ඕනෑ. සුපිරි රටක් හදන්න, සුපිරි ගමක් නිර්මාණය කළ යුතුයි. ඒකයි අපේ බලාපොරොත්තුව. ත්‍රස්‌තවාදය පරාජය කිරීමේදී මුළු රටම අත්වැල් බැඳගත්තා වගේ ගම, නගරය හා ලෝකය යා කරන එම දැක්‌ම වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වෙන්න ඕන.
Post a Comment