පෙනුම හා ඇතුළාන්තය

Note from the Beyond Frame


ඇතුළාන්තය කුමක් දැයි පිටින් බැලුවහම පෙනෙන අවස්ථාවන් මෙන්ම නොපෙනෙන අවස්ථාවන් ද තිබේ. බොහෝ දෙනෙක් ලිහා බලන්නේ නැතිව පිටින් පෙනෙන දේම ඇතුළේ ද ඇතැයි විශ්වාස කරති.


පෙනුම ගාම්භීර බොහෝ දෙනෙකුගේ වැඩ පලේ පල් ය.


ඒ වුනාට මිනිසුන් සරණ යන්නේ පිටට පෙනෙන ඒ පෙනුම ය. ඇතුළත හගිස්සවා දැන ගැනීමට මේ බොහෝ අයට හැකියාවක් නැත. සමහරුන්ට ඊට ඕනෑ කමක් නැත. සමහරු ඊට බියය. බොහෝ දෙනෙකු තමන් මෙතෙක් විශ්වාස කරගෙන සිටි දෑ අර්බුදයකට යනවාට කැමති නැත. එය තමන් ගත කරන මේ ස්ථාවර ජීවිතයට ප්‍රශ්න එකතු කරන නිසා ය. ඒ නිසාම විශ්වාසය ප්‍රශ්න නොනගාම විශ්වාස කරගෙන උන් ජීවත් වෙති.


මතුපිටින් බැලුවහම දේශප්‍රේමය හොද ය. එහෙත් ඇතුළතට රිංගා බැලුවහම පෙනෙන්නේ එය යොදා ගෙන ඇත්තේ තමන්ගේත් තම පරපුරේත් යහපත සදහා බව ය. දෙවැන්නේ අභිවෘද්ධිය සදහා රට විකුණන්නට වුවමනා වුවහොත් දේශප්‍රේමීහු එය ද කැත නැතිවම විකුණති.


(මහින්ද රජතුමා කියන්නේ සරත් ෆොන්සේකා එවැනි දේශප්‍රේමීයෙකු බව ය. සරත් ෆොන්සේකා කියන්නේ මහින්ද එවැනි දේශප්‍රේමීයෙකු බව ය. එවැනි තක්ක‍ඩියෙකු හිරේ දමා මදි බවත් එල්ලා දැමිය යුතු බව එක්කෙනෙක් කියනවිට අනෙකා සමහර විට සිතෙන් පතනු ඇත්තේ මුන් සම්බන්ධයෙන් මට බලයක් ආවොත් ඒ දේම මුන්ට කරමි යැයි කියා ය.)


දේශප්‍රේමය තක්කඩියෙකුගේ අවසන් රැකවරණය යන කියමන රාහුල හිමියන්ට (අප මේ මෑතකදී උපුටා දැක්වු පරිදි) මතක්වන්නට ඇත්තේ මේ නිසා විය යුතු ය.


සිල් ගන්නා හා දන්‍ දෙන්නා වූ සමහරුන්ගේ ඇතුළාන්තයට එබුනහම තියෙන්නේ කුහකත්වය හා වංචනිකත්වය යි. දානය හා සීලය අර සියලු ගන්ධස්කාර කටයුතු වසනා සේලයයි. ඒ වුනාට එවැනි සිල් ගන්නා කෙනෙක් දෙස දන් දෙන කෙනෙක් දෙස මතුපිටින් බලා මහා පින් ඇත්තෙක් යැයි කියා අපව රවටා ගන්නට අප කැමති ය.


(කොළඹ අසපුවල වසනා භික්ෂූන් වහන්සේලා මීට දිය හැකි හොදම උදාහරණය.)


උපාසක බක බක- අල්ලන්නේ මීයන් දෙක දෙක කියා පැරණි උපහැරණයක් ඇත්තේ මේ නිසා විය හැකි ය.


දේශය හා ආගම තරම් වංචනිකයින් හා කුහකයින් විසින් තමන්ගේ සියලු දුගද වහගන්නට භාවිතා කළ වෙනත් දේ ලෝකයේ නැති තරම් ය.


පිට පෙනුමට රැවටෙන අන්ධ අනුගාමිකයින් ලවා තමන්ගේ පෞද්ගලික අභිවෘද්ධිය මුන් විසින් ලගා කරගනු බලා සිටීම අපට උරුමව ඇති කරුමයයි.


උන් දේශප්‍රේමී වන තරමට අප දේශද්‍රෝහීන් වන අතර උන් ආගම් අතර වෛරය පතුරවන තරමට අප ආගම නොඅදුනන නරුමයන් බවට පත් වෙයි.


ඒ ද අපේ උරුමයයි. අනෙත් අතට කරුමයයි.


පිට පෙනුමට නොරැවටී දවටනය ලිහා ඇතුළ බලන්නට ජනතාව උගත් දාක මේ සියල්ල වෙනස් වනු ඇත්තේ ය. ඒ කලු කපුටා ඒ වනවිට සුදු නොවී තිබුනොත් ය.