නිලන්ත ඉලංගමුව
මෙම සටහන හුදෙක් රාජපක්ෂවරුන්ගේ නියත ගොදුරු බවට පත්වන අනාගත පරම්පරාව උදෙසා මිස පවතින තක්කඩි දේශපාලනයෙන් මං මුලාවට පත්වී සිටින අයවලුන් උදෙසා හෝ අමු අමුවේ තම ආත්මය පාවාදෙන්නන් උදෙසා නොවේ. එසේම මෙම සටහනෙන් කිසිඳු වෙනසක් සිදු නොවන මව තරයේ ව්ශ්වාස කරන නමුත්, පවතින ශාපකාරී දේශපාලන බල තණ්හාව ජනිත කොට ඇති මහා බයානක වටපිටාව පිළිබඳව අනාගත පරම්පරාව උදෙසා සටහන් කිරීම හෝ වටින්නේය යන මුලික අදහස පිළිගනිමින් කටයුතු කිරීමට සිදු වී තිබේ. අඩු තරමින් 1977 දී ද්‍රවිඩ එකසත් විමුක්ති පෙරමුණ සහ ඉන්දියාව සේම ප්‍රේමදාස වැනි පක්ෂයේ සිටි ජෙය්ෂ්ටයින් ජේ. ආර්. ජයවර්ධනගේ හිතුවක්කාරී වැඩ පිළිවෙලට යම් පමණක බාධාවක් වූ නමුත් අද වන විට විපක්ෂය වූ කලී ලෝන් හැලුණු බැටලුවෙකුගේ තත්වයට පත්වී තිබේ. එසේම ආණ්ඩු පක්ෂයේ රාජපක්ෂවරුන්ගෙන් පිට අයවුලුන්ට ඇත්තේ එහෙයි කියා රජුගේ සපත්තුව ලෙව කෑමට හෝ ඔහුගේ දෙර හැර තිබෙන විට ආත්මගරුත්වය තියාගෙන ඉන් පිටවීමය. නමුත් එවන් පුරුෂයින් මෙරට නපුංසක දේශපාලනය තුළ සිටින්නේ යැයි සැක සහිතය.
එසේම දෙමළ සහ මුස්ලිම් දේශපාලකයින් වෙනදාට වඩා තම තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය ගැන වඩාත් ගැඹුරින් සිතීමට පටන් ගෙන තිබේ. දෙමළ දේශපාලන පක්ෂ බහුතරයකගේ ගෙල, රාජපක්ෂගේ සාටකයෙන් සිර කොට ඇති අතර, ඔවුහු ඔහුගෙන් වෙන් වුව හොත් එය ඔවුන්ගේ ජීවිතයේ අවසානයද වේ. හොරෙකුට හොරුන් සමග ගනුදෙනු කිරීම පහසුය. අද සිදු වී තිබෙන්නේ හොරුන් විසින් හොරුන් කළමනාකරණය කිරීමය. කැබිනෙට්ටුවේ බහුතරය නමැති පුරාජේරුව තුළ ඇති යථාර්තය වන්නේ එයයි. ජනතාව වූ කලී ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරණ භාණ්ඩ පමණි. මුස්ලිම් කොංග්‍රසයේ නායක හකීම්ට අනුව ව්‍යවස්ථා සංශෝදනය සදහා සහය දෙන නමුත් තවදුරටත් විපක්ෂයේ සිටීමට තීරණය කොට ඇත. ඔහුගෙන් ඇසිය යුත්තේ ඇති වැඩේ කුමක්ද යන්නයි. සැබවින්ම එය විපක්ෂ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහගේ කාර්ය සමග සමාන වේ. එසේම තවදුරත් මේ කිසිවෙකුගෙන් බලාපොරොත්තු විය යුතු දේශපාලනය එනම් බල තණ්හාව නිසා ඔලුව නරක් වුණු මානසික රෝගීන්ගේ ගොදුරු බවට සමස්ත රට ගොදුරුවීම නැවත්වීමට තරම් පුළුල් බලවේගයක් වේ යැයි සිහිනෙකින්වත් සිතිය නොහැකිය.
උන්ට ඕන දේ සිදු කර ඇත. තව දුරටත් මානව නිදහස සහ අයිතිය ගරු කොට ගත් සමාජ වට පිටාවකට වඩා සිදු වී ඇත්තේ ලැබෙන සියල්ල යුක්තිය ලෙස පිලිගැනිමටය. අදෝ මුඛයද පෙර මුඛයද වසාගෙන රාජපක්ෂගේ යතුරින් බලය නමැති දොර අරින තෙක් සියලු දේශපාලකයින්ට සේම ඔවුන් තෝරා පත් කරගත් ජනතාවට ඔහු කියන කරණ දෑ එහෙයි කියා පිළිගැනීමට සිදු වී තිබේ. තවදුරටත් ලංකාව තුළ ප්‍රජතත්‍රවාදයක් හෝ සමාජවාදයක් නැත. එය සර්ව සම්පුර්ණයෙන්ම රාජපක්ෂකරණය වී ඇතිවා සේම නැවත හැරවිය නොහැකි මට්ටමට රාජපක්ෂගේ බල තණහාව විසින් ශ්‍රීලංකික ප්‍රජාතන්ත්‍රවාදය ගාල් කොට ඇත. මෙය ජේ ආර් විසින් සිදුකළ බරපතළ වරදේ අස්වැන්නයි. දේශපාලන ශිෂ්ටත්වය මෙතරම් අසමජ්ජාති ලෙස කෙළසීමට රාජපක්ෂට හැකි වූයේ රනිල් වික්‍රමසිංහගේ ඔලමොට්ටල දේශපාලනය නිසා මිස වෙන කිසිවක් නිසා නොවේ. එයට යම්තාක් දුරකට බාධාවක් වූයේ ජනරාල් සරත් ෆොන්සේකාය. රාජපක්ෂට, ජනරාල් සමග ඇති වෛරයට සැබෑ හේතුව වන්නේ එයයි. ජනරාල් ෆොන්සේකා නොසිටියේනම් මෙය රාජපක්ෂ සිදු කරන්නේ පසු ගිය මැතිවරණය අහවර වීමත් සමගය. නමුත් ජනරාල් කූඩු කිරීමෙන් එය කෙසේ හෝ තමාට වාසිදායක ලෙස හරවා ගැනීමට රාජපක්ෂ සමත් වූ අතර මෙහි ඇති වේදනාව වඩාත් බරපතල ලෙස අත්විදින්නා විය හැක්කේ ජනරාල් ෆොන්සේකාය. ඔහු දේශපාලන පද්ධතිය තුළ රාජපක්ෂගේ මානසික රෝගය අර්ධ වශයෙන් හෝ අවබෝධ කරගත් අයෙකි.
ව්‍යවස්ථා සංශෝදනය ගැන ආණ්ඩු පක්ෂය ගෙන එන සංදේශ වල ඇත්තේ අමුතු සංගීතයකි . ඔවුන්ට අනුව යෝජිත ව්‍යවස්ථා සංශෝදනය පාර්ලිමේන්තුවට ගෙන එනු ලබන්නේ හදිසි පනතක් ලෙසය. එනම් 2017 දී ජනාධිපතිධූරයට තරග කිරීමට රාජපක්ෂගේ සැලසුම ඉතා හදිසිය. රටේ මෙතරම් ගැටලූ තිබියදී රාජපක්ෂගේ හදිසිය පුදුම සහගත වන්නා සේම ඔහුගේ කෙවට්ටයින්ගේ වැදි බණ ජුගුප්සාජනකය. පසුගිය සතියේදී මෙම ලියුම්කරු සදහන් කළා සේම බුද්ධිය මෙතරම් බාල්දු වී ඇති වෙනත් රටක් ලෝකයේ නැති තරම්ය. මහාචාර්ය ජි. එල්. පිරිස්ට අනුව නව සන්ශෝධනය පලිමෙන්තුවට වගකියන ජනාධිපතිවරයෙකු නිර්මාණය කරනු ඇත. සැබවින්ම මේ ආකාරයෙන් තුට්ටු දෙකේ තත්වයට පත්වුණු නීතිය පිළිබඳව මහාචාර්ය වරයෙකුගෙන් තවදුරටත් අපේක්ෂා කළ හැක්කේ දීන පාවාදීම් මගින් නිවටයෙකු බවට පත්වූවෙකුගේ ප්‍රතිබිම්බය මිස වෙන කිසිඳු පුරුෂත්වයක් හිමි පුරුෂයෙකුගේ කාර්ය භාර්ය නොවේ. එසේම මෙවැනි පට්ටපල් බොරු ලංකාවේ මිනිසුන්ට ඇත්ත මෙන් ප්‍රකාශ කිරීමට හැකිවීම, රටේ සමස්ත ජනතාවගේ බුද්ධිය පිළිබඳව වන ගැටලුවකි. සැබැව නම් යෝජිත ව්‍යවස්ථා සන්ශෝධනය කිසිම ආකාරයකින් ජනාධිපතිවරයා මත වගකීමක් පවරා නැතිවා සේම එය තිබුණත් වඩා බලය එකතුකොට ගෙන ඇත. එසේම ඔහු වගකීමෙන් නිදහස් කොට ඇත. මෙය හදිසි පනතක් ලෙස ගෙන එනු ලබන්නේ තවත් උපරිම වසර දෙකකින් රාජපක්ෂ රගන නාඩගමේ හෙළුව දිස්වෙනු ඇති හෙයිනි. ඉන් තවදුරටත් තමා සමග ජනතාව නොසිටින බව රාජපක්ෂ දන්නේය. එම නිසා රට රවටා ගෙන සිටින අවස්ථාවේදී ඔහු හදිසි යැයි සලකා අදාල සංශෝදනය සිදු කිරීමට බලාපොරොත්තු වන්නේය.
සැබවින්ම මෙම අවස්ථාව, දේශපාලනය ගැන අත්මගරුත්වයක් තිබේනම් දේශපාලකයින්ට ඉන් ඉල්ලා අස්විය යුතු කාලයයි. නීතියේ ගරුත්වය රැක ගැනීම ගැන එක අංශු මාත්‍රයක විශ්වාසයක් ඇත්තෙනම් ඉන් ඉල්ලා අස් වී තමන්ගේ පෞද්ගලික කටයුත්තක් ගැන බලාගැනීමට කාලයයි මේ. වඩාත් සරලව කිවහොත් රාජපක්ෂ ඉදිපත් කොට ඇති අදාල ව්‍යවස්ථා සංශෝදනය සඳහා සහය දක්වන සියල්ලන්ම ඝාතනය කරනු ලබන්නේ රටේ ස්වාදීනත්වයයි. එසේම සමස්ත ජනතාව බල තණ්හාවෙන් රෝගී වී සිටින මානසික ව්‍යධියෙකු ඉදිරියේ වහලුන් බවට පත් වීමය. මින් ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ දිනීම කටයුතක් නොවන බව රාජපක්ෂ හොද කාරවම දනියි. එය ඔහුට පෙර මැතිවරණ වලදී අද්දැකීම් ලබා දී ඇත. ඔහුට ගැටලුව තිබුනේ පරමාධිපත්‍ය යම්තමින් හෝ තහවුරු කිරීමට උත්සහ කර තිබු නීතිය මිස ජනතාව නොවේ. රැවටිලි කාරයෙකුට රැවටිලි වලට හසුවන්නෙකු නිතරම හමුවෙන තරමට මිනිස් මනස සරලය. රාජපක්ෂ අනුගමනය කරමින් සිටින්නේ මෙම ක්‍රමෝපායයි. මෙය ඔහුට ප්‍රමෝදය නිපදවනු ඇත, නමුත් එහි අවසානය ඛේදවාචක මිස සුර පුර නොවේ.
කිසිවෙකු හෝ විශ්වාස කරන්නේ නම් ලී ක්වාන් යු හෝ වෙනත් ලංකාවට පරමාදර්ශයක් වූ අයවලුන් අනුගමනය කළේ මෙවැනි උපක්‍රමයයි, එය ඔවුන්ගේ දැනුම පිළිබඳව වන ගැටලුවකි. ඕනෑම රටක් පිළිගත් මුලිකාංග (ප්‍රින්සිපලිටිස්) වලින් පිටපැන ඒ වෙනුවට තමන්ගේ අභිමතාර්ථයන් මත රටක් ගොඩ නැගීමට හැකියි යැයි සිතන්නේ නම් එය මුලාවක් හෝ අමනකම මිස වෙනත් දෙයක් නැත. කොටි අතුගා දැමීම පමණක් ලංකාවේ ගැටලුව නොවන වඩාත් හොඳින් තේරුම් ගැනීමට ඉදිරියේදී අපට හැකි වනු ඇත. එසේම බල තණ්හාව ඇති මානසික රෝගියෙකුට රාජ්‍ය බලය සමග සෙල්ලම් කළ හැකි ආකාරය සහ එවැනිම රෝගියෙක් නිතීවිරෝධිව දෙමළ ජනතාව පාවාදෙමින් වසර තිහක් තිස්සේ ගෙනගිය සෙල්ලම අතර ඇති වෙනස වඩාත් හොදින් ඉදිරියේදී අවබෝධ කර ගැනීමට හැකි වනු ඇත.
Home Unlabelled නිදහසේ අවසානය
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment