අහිමි විමුක්තිය

නිලන්ත ඉලංගමුව

තව දුරටත් එකසත් ජාතික පක්ෂයෙන් බලාපොරොත්තු වූ කාර්ය තවත් වසර ගණනාවකට බලාපොරොත්තු විය නොහැකිය. ඒතාක් දුරට මංගල සමරවීරගේ හරිතකරණය ඔහුගේ දේශපාලන අනාගතය විෂයෙහිලා එතරම් සුබදායක පැත්තක් නොපෙනේ. සැබවින්ම මංගල වූ කලි ඉතාමත් දක්ෂ ප්‍රචාරක ක්‍රමවේදය දන්නා ක්‍රමෝපායිකයෙකි. මහින්දගේ සාටකයට චන්ද වටිනාකමක් ලබාදී , පක්ෂය තුළ හඬා වැළපෙමින් සිටි මහින්දගේ කොන්දට පණ දුන්නේ මංගල සහ ඔහුගේ කණ්ඩායමේ සිටි අය වලුන්ය. මහින්ද වීරයෙක් වුණේ ඔවුන්ගේ පිහිටෙන් මිස පසුව තම මඩිය තර කර ගැනීමට මහින්දගේ සාක්කුවේ එල්ලුන අවස්ථාවාදීන් නිසා නොවේ. නමුත් මංගල අද හතරගාතෙන් වැටී සිටිමින් තම නායකත්වය රැක ගැනීම සදහා මහින්දගේ සාක්කුවේ එල්ලී සිටින යු. එන්.පියට පණදීමට කරලියට පැමිණ සිටින්නේ කිසිවෙකුත් භාර නොගන්නා දේශපාලනයක් කර තියාගෙනය. එහෙවි මංගලට පාර්ලිමේන්තුවේදී සාටකය ගැන පාඩම් ඉගැන්වීමට ගිය රජු තවත් රංගනයක නිරත විය. ඒ ඔහුගේම සහෝදරයා වන බැසිල් කියන හැටියට ආඩම්බරකාර තාත්තාගේ මානසික තත්වයේ හැටිය. ආඩම්බරකාර තාත්තා; පවුලට අප්පච්චි විය; පරම්පරාවට කදිම ඉල්ලම විය; රටට නිතීය පයිසෙකට මායිම් නොකරන හිතුවක්කාර රජු විය. ඔහු යටතේ සිටින ජනතාව, කළ දුටු තැන පාවිච්චි කල හැකි විෂයන් විය. මෙය මංගල මීට මාස කිහිපයකට පෙර මහින්දගෙන් බැට කෑමෙන් පසු දුටු සිහිනයේ අභියෝගයද ?

"විශාල වශයෙන් සමාජ-දේශපාලන අර්බුදයක ගැලී සිටින නමුත් කලකට ඉහත අභිමානවත් ජාතියක් වශයෙන් බැබුලුණු අප රට ඉන් මුදවා ගැනීමට නම් කෙතරම් අප්‍රසන්න වුවත් තිත්ත ඇත්තට මුහුණ දිය යුතුව ඇත. ආසියාවේ සෙසු රටවල් ආර්ථික පුනර්ජීවයක් ලබන විට අපි දුප්පත්කමින් සහ දූෂණ‍යෙන් පීඩිත වූ අසාර්ථක රාජ්‍යයක් ලෙස සෙසු රටවලින් කොන් වී සිටිනු ඇත." මෙහෙම මංගල ප්‍රකාශ කළේ මීට මාස කිහිපයකට පෙර ඔහු ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශවය පිහිටුවීමට අදාලව නිකුත් කරනු ලැබූ ඔහුගේ " සිහිනයේ අභියෝගය" නමැති ප්‍රතිපත්ති ප්‍රකාශනයේය. එසේම රටේ පවතින තත්වය විනිවිදීමට උත්සහ කරන හෙතම ," විධායක ජනාධිපති ක්‍රමය වර්තමානයේ අප අත් විඳින ව්‍යසන බොහෝමයකට වගකියන දුෂ්ඨබවේ උල්පතයි. ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයින් පත්කිරිම ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා රටේ වැදගත් ආයතනවල ස්වාධීනත්වය කෙලෙසා තිබේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ අවශ්‍යතාවය ජාතික වැදගත්කමක් උසුලන්නේ මේ පසුබිම තුළය. ඒ හැරැණු විට ජනතාව ලබාදෙන ජනවරම වගකීමෙන් දරා සිටින පාර්ලිමේන්තුව සවිබල ගැන්වීමද හදිසි ජාතික අවශ්‍යතාවයක් වෙයි." ( උපුටා ගැනීම සිහිනයේ අභියෝගය ) මංගල පෙන්වාදෙන අවශ්‍යතාවය මෙරට වර්තමාන දේශපාලන ක්‍රමයෙන් කිසිලෙසවත් බලාපොරොත්තු විය නොහැකිය. එසේම රනිල් සිටින තාක් දුරට යු. එන්. පි.න්ද එවැන්නක් බලාපොරොත්තු විය නොහැකිය.

අද මහජන පර්ශවක් තබා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක්වත් නැත. අද ඇත්තේ නාමික පක්ෂ ක්‍රමයක් සහ බලාත්මක පවුල්වාදයකි. එසේම ඒ තුළ පණුවන් මෙන් එල්ලී සිටින දේශපාලන කොන්දක් නැති අදේශපාලනික පිරිසකි. මට අනුව රනිල් වික්‍රමසිංහ සේම සජිත් ප්‍රේමදාසද මහින්දගේ දේශපාලන ගැටවල එල්ලී පිස්සු කෙලින්නන් මිස රටේ සුගතිය වෙනුවෙන් පෘථුල වුවමනාවෙන් කටයුතු කරන්නන් නොවේ. එසේනම් මෙවැනි අවස්ථාවක් විස්තර කළ හැක්කේ දේශපාලන බල තුලනය මියගිය සේම දේශපාලන ශිෂ්ටත්වයක් පේන තෙක් මානයකවත් නොමැති තත්වයක් ලෙසය. දේශපාලන ශිෂ්ටත්වය නමැති ජේ. ආර්. ජයවර්ධනගෙන් පාපී ලෙස දුෂණය වූ කන්‍යාවිය, ඉන් පසු පුටුවට පැමිණි අයවලුන් විසින්ද කෙලසුවා මිස වෙන කිසිම සුගතියක් හෝ සුදුසු තත්වයක් ඊට ලබා දුන්නේ නැත. මහින්දට ඇය හිතේ හැටියට කෙලසීමට හැකි වී තිබෙන්නේ ඔහු යටතේ කොටි සංවිධානය අතුගා දැමීම සිදු වූ හෙයිනි. නමුත් 2005 පැවති දේශපාලනික වටපිටාව තුළ කොටි සංවිධානය අතුගා දැමීම චන්ද ලබා ගැනීම සඳහා අනිවාර්ය අවශ්‍යතාවය වූවා පමණක් නොව එයට සියලු ජනවර්ග වලින් අඩු වැඩි වශයෙන් ආශීර්වාදයක් තිබුණි. රනිල් නිසා කොටින් හිරවෙන බව දුටු දෙමළ ජනතාව ඔහුට ආකර්ෂණය වූයේ ඒ නිසාය. මහින්දට, කොටි සමග මුල්‍ය ගනුදෙනුවකට ගොස් ගේම ගැසීමට සිදු වූයේ ඒ නිසාය.

එම ගේම මේවනවිට සමස්ත සමාජය ගොනාට ඇන්දවීම හරහා මහින්ද රටට කරමින් සිටි. සමාජය තුළ ඇති වී තිබෙන්නේ පලිගැනීමෙන් සතුටු වීම මිස වෙන කිසිවක් නොවේ. සැබවින්ම ලංකාවේ මේ වනවිට දක්නට තිබෙන ඛේදජනක තත්වය වන්නේ, සතුරාගෙන් පලිගැනීම සහ ඉන් ලබන අසීමිත ප්‍රමොදයයි. මෙය ඔවුන්ට තම ස්ත්‍රී හෝ පුරුෂ පාර්ශවයන් සමග යෙදෙන රමණයෙන් ලබන ප්‍රමොදයටත් වඩා එහා ගිය එකක් වී තිබේ. ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම තරු හතරේ ජනරාල්ගේ, හමුදාවේ කර්නල් වරයෙකු ලෙස සේවයකොට පසුව ආරක්ෂක ලේකම් දුරයට පත් ගෝටාබයගේ වුවමනාවන් ඉටු කිරීම සඳහා තරු දෙකේ ජනරාල් වරයෙකු විසින්, තරු ගැලවීමේ සිට නිවිතිගල ප්‍රදේශයේ තම බිරිඳ සහ දරුවන් සමග මංගල උත්සවයකට සහබාගි වීම සදහා මහ මග ගමන් කරමින් සිටි අයෙකුගේ බෙල්ල කපා යෑම අතර කිසිඳු වෙනසක් නැත. සැබවින්ම නීතිය ගැන විශාරදයෙකු වී සිටින මහාචාර්ය පීරිස්ටවත් නොතේරෙන දෙයක් ඇත. එනම් ජනරාල්ගේ තරු ගැලවීමට ප්‍රථමව කළ යුත්තේ අමාත්‍යංශ විධි විධාන උල්ලංගණය කරමින් දේශපාලන කටයුතු වල යෙදෙන ආරක්ෂක ලේකම් වරයා පන්නා දැමීමයි.

නමුත් බලය තුළ සියල්ල අසරණ වී සිටිති. ශිෂ්ටත්වය කෙලසමින් රංග දැක්වෙන භූමිකාව තුළ එකිනෙකා සොයන්නේ තම තමාගේ යැපීම සහ පණ කෙන්ද රැක ගැනීම සඳහා අවකාසශය මිස සබැ නිදහස වෙනුවෙන් අරගල කරන්නේ ඉතාමත් සුළු පිරිසකි. ඔවුන්ද ඉන් ඉවත් වීමට හෝ චුත කිරීමට, අනෙකාගේ අදහස් නොඉවසන, සියල්ල තමා අබුමුකව දන නමස්කාර කළ යුතුයි යන මානසිකත්වයෙන් පෙලෙන අශිෂ්ටයින්ට කළ හැකි සුළුදේය. එසේම එය "පොදු හැගීම " ඝාතනය කොට ඇති සමාජය විෂයෙහිලාද සදාරනිකරණය කිරීමට හැකිය. තමා, ජනරාල් කෙසේ හෝ දඬු කඳේ ගැසීම සදහා දන්ගෙට දැක්කීමෙන් ලබන තෘප්තිය රමණයෙන් ලබන තෘප්තියටත් වඩා ඉහල බව දන්නා ආරක්ෂක ලේකම්වරයා පලිගැනීමෙන් ප්‍රමෝදය ලබමින් සිටින්නේ මේ නිසාය. මෙය පොදු මානසික තත්වය බවට පත් වී ඇති බව පෙනෙන්නේ අප අවට සිදු වන අනෙක් සිදුවීම් දෙස වඩාත් විමසිලිමත්ව බැලීමෙනි. යම් කිසි දෙයක් පාලනයෙන් තොර වූ කළ බලාපොරොත්තු විය හැක්කේ ඛේදවාචක මිස බත බුලතින් පිරුණු පස් මහ බලවේගයන්ගෙන් සන්නද්ධ වූ රතු පලස් වල රඟන ජාතියක් නොවේ.

මහාචාර්ය පීරිස්ට, නව යොවුන් තරුණ මන්ත්‍රී නාමල් රාජපක්ෂ අසුන්ගන්නා තෙක් සභාව ඉදිරියේ සිට ගෙන සිටීමට සිදුවී තිබෙන්නේ මේ නිසාය. වර්තමානයේදී නිතිය වූ කලී මහින්ද චින්තනයට දක්වන නැමියාවයි. විනය වූකලී රාජපක්ෂ වරුන් ඉදිරියේ දන නැමීමට හැකි ප්‍රමාණයයි. මිනිසුන්ගේ නිදහස මනින මිමි සම්මත කරගත් පොදු නීතියෙන් අපගමනය වී පුද්ගල කේන්ද්‍රියව තීරණය වනතාක් දුරට එවන් සමාජයක පවතින්නේ වහල් සංස්කෘතියක් මිස වෙන දෙයක් නොවේ. ඒ තුළ නිපද වෙන්නේද ස්වාමියා සතුටු කරන නිෂ්පාදිතයන් මිස අවශ්‍යතාවයන් නොවේ. මර්වින් සිල්වා , විමල් වීරවංස දේශපාලනය නාමයෙන් සාර්ථක වූයේත් ජැක්සන් ඇන්තනි කලාවෙන් සාර්ථක වූයේත් ඔවුන්ගේ "පොකට් මනි" තීරණය කරන්නාට කතා කිරීමට තිබු හැකියාව මතය. එය සමස්ත සමාජය පුරා දෝලනය වන අහිමි විමුක්තියයි.