විපක්ෂයේ අවුල

නිලන්ත ඉලංගමුව

නාමිකව හෝ රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ තවමත් කෙසේ හෝ නායකත්වය දරණ විපක්ෂය තුළ සිදුවන්නේ කුමක්ද? එය තවත් කොතරම් කාලයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ කරමින් සිටින බිම් මට්ටමේ ජනතාව රැවට්ටිමට පිටිවහලක් වන්නේද? එකසත් ජාතික පක්ෂයේ පවතින අර්බුදය සහ ඊට විසදුම් සොයන පොළව ඇතුලේ රිංගා ගෙන සිටිනවා යයි සිතමින් පෙරළෙන පස් කුට්ටියක ජීවත් වෙමින් අව්වෙන් මූවා වීමට යන්ත දරණ පණුවෙකුගේ තත්වට පත් වී ඇති එහි නායකත්වය පුටුව රැකගැනීම සදහා කොතරම් කාලයක් මහින්දගේ තනපුඩුවෙන් කිරි උරන්නට ලෑස්ති වෙන්නේද? තමා උරන්නේ කිරි නොව දේශපාලන සියදිවි නසා ගැනීම නමැති විෂ බව විපක්ෂ නායකයට තේරුම් ගැනීමට නොහැක්කේ ඒ තරමට ඔහු තමා තුළම අසරණයෙකු වී සිටින හෙයිනි. රනිල්ට දේශපාලනයෙන් සමුගත් කළ, කළ හැකි කිසි දෙයක් නැත. ඒ නිසා කෙසේ හෝ ලෝකයෙන් තුරන් වෙන තාක් ඔහු ඔහුගේ බල පුටුව රැක ගැනීමට කළ හැකි උපරිම මට්ටමේ ඔලමොට්ටල කම් කරණු ඇත.

ඇතැමෙකුට අනුව යු.එන්.පි යේ බිඳ වැටීමට හේතුව ප්‍රේමදාස මහතා කළ දෙවෙනි පෙළේ නායකයෙකුට ඒමට තිබූ ඉඩ ඇහිරීමයි. කතාව එක පැත්තකින් ඇත්තය. නමුත් අනෙක් පැත්තෙන් පැවති දෑ වලට චෝදනා කරමින් පවතින දෑ වල අවුල එලෙසම තබා ගැනීමට මාන බැලීම තමා තමාවම රවටා ගැනීමක් මිස වෙන කිසිවක් නොවේ. එසේම ප්‍රේමදාස ජීවතුන් අතර සිටියේ නම් රනිල්ගේ තත්වයට පත් වෙන තෙක් ඔහු දේශපාලනය කරාවි යැයි සිහිනයකින්දු සිතීමට නොහැකිය.

ප්‍රේමදාස යුගය අවසන් වී දශක දෙකකටත් අසන්න කාලයක් උද වී තිබේ. නමුත් පසුගිය දශක දෙකකට ආසන්න කාලය තුළදී සිදු වූ යු.එන්.පි යේ නිවට බිඳ වැටීමට හේතුව රනිල් මිස වෙන කිසිවෙක් නොවේ. අනෙක් අතින් මහින්ද පසුගිය කාලය පුරා ලබා ගත් ජනප්‍රියතාවයට හේතුව රනිල්ට ඇති අකමැත්ත නිසා ඇති වූවක් මිස එය මහින්ද සතු වූ දක්ෂතාවයක් නිසා ප්‍රාධුර්බුත වූවක් නොවේ. මෙය ශුද්ද වූ සතයක් වන්නේ චන්ද බලය තීරණය කරන ග්‍රාමීය මට්ටම මහින්ද රාජපක්ෂ විසින් ගොනාට අන්දවා ඇති ප්‍රමාණය සැලකීමෙදීය. එය ආපසු හැරවීමටනම් සිදු විය යුත්තේ රටට අත් වී ඇති ඉරණම සලකා පුටු රැක ගැනීම වෙනුවට දේශපාලන පක්ෂයක ඇති අවශ්‍ය තාවය උදෙසා ඒකරාශි වීමයි. එය නොවන තාක් දුරට රාජපක්ෂගේ බලය තව තවත් තහවුරු වීමත්, නීතියක් විනයක් නැති රටක් බවට ලංකාව පත් වීමත්ය. රාජපක්ෂ දේශපාලන පක්ෂ ක්‍රමය පුපුරුවා හැර ඇත. නීතිය, විනය, දඩුවම රාජපක්ෂ වේ.

මෙහිදී ජනරාල් සරත් ෆොන්සේකා මහතාට යු.එන්.පිය කළා යැයි කියන යෝජනාව ගැන සැලකීම වැදගත් වේ. කෙසේ වෙතත් ජනරාල් ෆොන්සේකා එය බුද්ධි ගෝචරව ප්‍රතික්ෂේප කිරීම අතිශය වැදගත් වේ. ඒ මන්ද කුණු වී තිබෙන දේශපාලන මතවාදයකට හවුල් වීම වූ කලි සියදිවි නසා ගැනීමකි. එසේම යු.එන්.පිය එවැනි යෝජනාවක් කළද, එහි කතුවරයා මහින්ද රාජපක්ෂ වුවහොත් එගැනද පුදුමයක් නොවේ. ඒ මන්ද සමස්ත රටක් රැවටීම සදහා විපක්ෂ නායකයා සහ ජනාධිපතිවරයා පැවැත් වූ සාකච්චා වල සබැ අරමුණු විය හැක්කේ එවැනි දෑ මිස රටට හෝ ජනතාවට සුජාතබවක් ලබා දීමට හැකි ශාපයක් වී තිබෙන නීතියට ඉහලින් පුද්ගලයෙකු තැබීම සහ ඒ පුදගලයා තමන්ගේ පවුලේ උදවිය සමග රිසි සේ පිස්සු කෙලීම නැවතවීමට නොවන හෙහිනි. එබැවින් ජනරාල් ෆොන්සේකා පවතින තත්වය නිවැරදිව වටහා ගෙන එය ප්‍රතික්ෂේප කිරීම කාලෝචිත වේ. එසේම රාජපක්ෂ, ජනරාල්ගේ තරු ගැලවීම පමණක් නොව තවත් බොහෝ දේ ඔහුගේ නිතීය මාර්ගයෙන් ඉදිරියේදී කරනූ ඇත. සැබවින්ම විපක්ෂය අවබෝධ කර ගත යුත්තේ මෙයයි. විපක්ෂය යොමු විය යුත්තේ ග්‍රාමීය මට්ටමේ ජනතාව දැනුවත් කරමින් නීතියක් විනයක් නොමැතිව රාජපක්ෂගේ අල්ලේ නැටවෙන රටට දේශපාලන බල තුලනයක් ස්ථාපිත කිරීමට යන්ත දැරීම මිස අරලිය ගහ මන්දීරයට ගොස් රජු විලිස්සන දත් කුට්ටමේ දත් ගණන් කිරීම නොවේ.

වික්‍රමසිංහට තව දුරටත් දේශපාලනය කිරීමට වුවමනාව ඇත්තේ නම් කළ යුත්තේ ශක්විති මෙන් රූපයද විමල් වීරවංසමෙන් තම නමද වෙනස් කරගෙන කරලියට පැමිණීමයි. ඒ හැරෙන්නට ඔහු තමාගේ සිහිනය තුළ අතරමං වී සිටින තටු නැති කුරුල්ලෙකි. යොමිවිය යුත්තේ රනිල් නැති තැන යු.එන්.පියේ අනාගතය ගැන සිතනවාට වඩා ඔහු සිටින හෙයින් සිදු වී ඇති ශාපයෙන් පක්ෂය ගලවා ගැනීමය. කෙසේ වෙතත් ඔහු කෙලෙසාගත් දේශපාලන ගෞරවය යලිත් "කවදා හෝ අනාගතයේදී " ඔහුට ලබා ගැනීමට හැකියැයි සිතන්නේනම් එය මුලාවක් මිස වෙන කිසිවක් නොවේ. එළුවා පස්සේ යන නරියාමෙන් පවතින තත්වයේ සැබෑ ස්වරූපය නොතේරුම් ගන්නා තාක් දුරට පවතින කණගාටු දායක තත්වයේ වෙනසක් බලාපොරොත්තු වීමද උගහටය. තෙවැනි පෙළ පක්ෂයකට ප්‍රධාන විපක්ෂය විසින් කළ යුතු කාර්ය බලෙන් පැට වී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහගේ සහ ඔහුගේ උපදේශකයින්ගේ ඔලමොට්ටල කම් නිසාය.