මාක්‌ස්‌ගේ දරුවෝ

 කැරොලයින් වැදූ දරුවන්ගෙන් මිය ගියේ 1873 හා 1878 උපන් දරුවන් දෙදෙනා පමණි. ඉතිරි සිව්දෙනා සාර්ථක වෘත්තීය ජීවිත ගත කරමින් ද, සමාජවාදී ව්‍යාපාරයේ නියැළෙමින් ද දිවි ගෙවූහ. එක් අයෙකු සමාජවාදී සෝවියට් දේශයෙන් සම්මානද ලබා 1952 දක්වා ජීවත් විය.

චන්ද්‍රසේන බදුගම

"ආදරය - ඉකුත්වූ දීර්ඝ ශෝකී වසරවල මා යළි යළිත් පැවසූ ඒ වචනය, ම වෙතින් ඔබට පැවසෙන අවසන් වචනය ද වේ."

ඒ එලනෝර් මාක්ස් සිය දිවි නසා ගැනීමට පෙර ඈ සමඟ වසර 14 ක් සැමියා ලෙසින් වාසය කළ එඞ්වර්ඞ් අවෙලිං අමතා ලියන ලද කෙටි ලිපියයි. එලනෝර් කාල්මාක්ස්ගේ බාලම දියණියයි. ජෙනී වොන් වෙස්ට්පාලන් නම් වූ කාල් මාක්ස්ගේ බිරිය ඔහුට දාව දරුවන් සත් දෙනකු බිහි කළාය.



ජෙනී කැරොලයින්- 1844, ජෙනී ලෝරා -1845 , හෙන්රි එඞ්වර්ඞ් ගයි -1849, ජෙනී එව්ලින් ප‍්‍රැන්සිස් 1851, ජෙනී එලියා එලනෝර්- 1855 ඉන් සය දෙනෙකි.

පිටුවහල් කිරීම හා පලා යාම් හේතුවෙන් මාක්ස් පවුලට වරින් වර රටවල් 3 ක වාසස්ථාන සලසා ගැනීමට සිදුවිය. එම වාසස්ථාන උපත් වලින් පමණක් නොව මරණ වලින් ද අඩුවක් නොවීය. ඒ අනුව ඉහත දරුවන් අතරින් එඞ්ගාර් 8 හැවිරිදි වියේදී මිය ගිය අතර හෙන්රි ගයි දිවි ගෙවූයේ වසරක් පමණි. ජෙනී එව්ලින්ගේ ආයු කාලය ද වසරකට සීමා විය. 1857 වසරේදී උපත ලද දරුවාට නමක් තබන තුරුවත් දිවි ගෙවීමට නොහැකි විය. ඒ අනුව මාක්ස්ගේ දරුවන්ගෙන් වැඩිවියට පත්වන තුරු ජීවත්වීමට භාග්‍ය ලද්දේ ජෙනී කැරොලයින් හා ජෙනී ලෝරා යන වැඩිමල් හා දෙවන දියණියන් ද, 1855දී උපත ලද ජෙනී එලනෝර් නම් වූ ඉහත අවසන් ලිපිය ලියන ලද දියණියද පමණි.

කාල් මාක්ස් විධිමත් උසස් අධ්‍යාපනයක් ලද බර්ලින් විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍ර හැදෑරූවකු වූ නමුත් ඔහුගේ දරුවන් කිසිවෙකුටවත් විධිමත් උසස් අධ්‍යාපන අවස්ථා නොලැබුණි. වැඩිමහල් දියණිය 24 වන වියේදී ප‍්‍රංශ භාෂාව උගන්වන ගුරුවරියක වශයෙන් වෘත්තීය ජීවිතය ඇරඹුවාය. 1872 දී චාර්ල්ස් ලෝන්ග්අට් නම් වූ සමාජවාදී ක‍්‍රියාකාරිකයෙකු හා විවාහ වූ ඇය ප‍්‍රංශ හා ජර්මන් භාෂා උගන්වන ගුරුවරුන් වශයෙන් සිය සැමියා සමග ඔක්ස්පර්ඞ්හි දිවි ගෙවූහ. දශකයක් පමණ වූ විවාහ ජීවිතයෙහිදී ඇය දරුවන් සය දෙනකු බිහි කළාය. ඒ දරුවන්ගේ විශේෂත්වය වන්නේ කාල් මාක්ස්ගේ ඊළඟ පරපුරක් පැවතියේ ඒ දරුවන්ගෙන් පමණක් වීම නිසාය.

කැරොලයින් වැදූ දරුවන්ගෙන් මිය ගියේ 1873 හා 1878 උපන් දරුවන් දෙදෙනා පමණි. ඉතිරි සිව්දෙනා සාර්ථක වෘත්තීය ජීවිත ගත කරමින් ද, සමාජවාදී ව්‍යාපාරයේ නියැළෙමින් ද දිවි ගෙවූහ. එක් අයෙකු සමාජවාදී සෝවියට් දේශයෙන් සම්මානද ලබා 1952 දක්වා ජීවත් විය.

විවාහයෙන් වසර 8 කින් පසු 1880 සිට ඕ පිළිකාවකින් පෙළෙන්නට වූවාය. 1881 දී ඇය පස්වන දරුවා බිහි කරන ලද්දේ එසේ රෝගීව සිටිමිනි. කාල් මාක්ස් හා බිරිඳ ද ඒ වන විට රෝගීව සිටියහ. මාක්ස්ගේ බාල දියණිය වූ එලනෝර් එතෙක් කරමින් සිටි ගුරු වෘත්තිය අතහැර මාපියන්ට උවටැන් පිණිස ගෙදර නැවතී සිටියාය. තවද පිළිකාවකින් පෙළෙමින් සිටියදී බිහිකරන ලද වැඩිමහල් සහෝදරියගේ දැරිය රැුකබලා ගැනීමේ ද ඇය නියැලූනාය.

මේ අතර කැරොලයන්ගේ පිළිකාව උග‍්‍ර වෙමින් පැවතියේය. ඇය එසේ සිටිමින්ම 1882දී සිය සයවන දරුවා වූ ජෙනී ලෝන්ගඅට් (1882- 1952) දියණියට ද උපත ලබා දුන්නාය. ඉනික්බිති මසකින් පසු 1883 ජනවාරි මාසයේදී ඇය මිය ගියාය.

මාක්ස්ගේ දරුවන් අතරින් මාක්ස් සතු වූ නිපුනතා බොහොමයක් උරුම කරගත් දියණිය වූයේ මෙහි මුලින් සඳහන් කළ බාල දියණිය වූ එලනෝර් ය. ඇය තුන් හැවිරිදි වියේදී ශේක්ෂ්පියර්ගේ කාව්‍යමය නාට්‍ය කණ්ඩ මතකයෙන් කීමට සමත්කම් දැක්වූවාය. නිලාරා කොලම්ස් නම් වූ මාක්ස්ගේ හිතවත් පවුලක අය සමඟ එලනෝර් ශේක්ෂ්පියර්ගේ කාව්‍යමය වාග් පාඨයන් උසුරුවමින් වාචික රංගනයේ නියැලූන අතර මාක්ස් පේ‍්‍රක්ෂකයා වී ඒවා ආශ්වාදනය කරන ලද්දේ යැයි සඳහන් ය. තවද ඇය තුන් හැවිරිදි වයස වන විට ප‍්‍රංශ සහ ඉංග‍්‍රීසි භාෂා දෙකම දැන සිටියාය. මාක්ස් ”ප‍්‍රාග්ධනය” ලියමින් සිටි ඒ අවධියෙහි ඔහු අසල ගැවසෙමින් සිටි ළදරු දියණිය වෙනුවෙන් මාක්ස් ළමා කථාවක් ප‍්‍රබන්ධ කරන ලද්දේය.

”ප‍්‍රාග්ධනයෙහි” වූ අර්ථ ශාස්ත‍්‍ර න්‍යායන් ඇසුරින් නිර්මාණය කළ ඒ ප‍්‍රබන්ධය ඇගේ ප‍්‍රියතම ළමා කථාව වූ බව ඇය පසු කලෙක පවසා තිබුණි. එලනෝර් එම අවධියෙහි මාක්ස් හා පැවත්වූ ළඟ ඇසුර ඇයට බි‍්‍රතාන්‍ය ආර්ථික, දේශපාලන හා සමාජ ඉතිහාසය පිළිබඳ අවබෝධයේ පදනම ලූ බව ඇය පවසා සිටියාය. ”ප‍්‍රාග්ධනයද”, ටුසී ද (ඇය ගෙදරදී අමතනු ලැබූ සුරතල් නාමය එය විය." එකට හැදුනාහ, වැඩුනාහ’යි ඇගේ චරිතාපදානය ලියූ රැුචල් හෝම්ස් සඳහන් කරයි.

1873 දී එලනෝර්ට ප්‍රොස්පර් ඔලිවියර් නම් වූ ප‍්‍රංශ ජාතික තරුණයෙකු මුණ ගැසිණි. ඔහු පැරිස් කොමියුනයේ පරාජයෙන් පසු දිවි ගලවාගෙන බි‍්‍රතාන්‍යයට පලා ආවෙක් විය. එවකට 18 හැවිරිදි එලනෝර් ද 34 හැවිරිදි ඔලිවියර් ද අතර දලූ ලෑ ආදරයට කාල් මාක්ස්ගේ කැමැත්තක් නොවීය. හේතුව වූයේ වයස් පරතරයයි. කෙසේ වෙතත් 1876 දී තරුණ යුවළ එක් වී පැරිස් කොමියුනයේ ඉතිහාසය ග‍්‍රන්ථරූඨ කිරීමේ නියැලූනහ. කාලයාගේ ඇවෑමෙන් 1880 වනවිට ඔවුන්ගේ සබැඳියාව කෙරෙහි වූ මාක්ස්ගේ අකැමැත්ත පහවී ගියද, ඒ වනවිට ඔලිවියර් කෙරෙහි වූ කැමැත්ත එලනෝර් කෙරෙන් වියැකී යමින් තිබුණේය. ඒ අවධියේදී අවුරුදු 25 ක තරුණියක් වූ ඇය මාක්ස්ගේ දේශන සංස්කරණය කර පළකරමින් ද, පියාගේ ලේකම් වරිය ලෙස කටයුතු කරමින් ද සිටියාය. ටික කලක් ආදායම් මාර්ගයක් වශයෙන් ප‍්‍රංශ භාෂා ගුරුවරියක් ලෙසින් සේවය කළ ඇය 1880 වන විට එය අත් හැර දමා නිවසට පැමිණ රෝගාතුර මව්පියන්ට උවටැන් කිරීමේ යෙදී සිටියාය.

ඊළඟ වසරවල එනම් 1881 දෙසැම්බර් මස ඇගේ මෑණියෝද, 1883 ජනවාරි මස වැඩුමහල් සොහොයුරියද, ඉන් මාස දෙකකට පසුව කාල් මාක්ස් ද මිය ගියහ.

මා පිය ඇසුරින් මිදුණු ඉන් ටික කලකට පසු 1884 දී එලනෝර්ට සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙඩරේෂනයේ ක‍්‍රියාකාරිකයෙකු වූ එඞ්වර්ඞ් අවෙලිං මුණ ගැසුණ අතර ඔහු හා ඈ අතර හටගත් පේ‍්‍රමය විවාහය තෙක්ම විහිදියේය. එහෙත් ඔහු ඒ වන විටත් විවාහකයකුව සිටි බැවින් එලනෝර් හා විවාහය නීත්‍යනුකූල එකක් නොවීය. පරිනාම වාදය පිළිබඳ ප‍්‍රකට දේශකයෙකු වූ ඔහු ප‍්‍රසිද්ධව සිටියේ ”දොස්තර එඞ්වර්ඞ් අවෙලිං” නමිනි.

එලනෝර් පෙම් කල අවධීන් කවදත් ගෙවී ගියේ පේ‍්‍රම සල්ලාප දෙඞීම් හෝ උද්‍යානවල ගැවසීම් ආදියෙන් නොවේ. එලනෝර්- ඔලිවියර් ආලය ප‍්‍රකාශ වූයේ පැරිස් කොමියුනයේ ඉතිහාසය ලියවීමෙනි. එලනෝර් - අවෙයිලං පේ‍්‍රමය ප‍්‍රකාශ කෙරුණේ ”ප‍්‍රාග්ධනයේ” ඉංග‍්‍රීසි පරිවර්තනය ලියවීමෙනි. තවද විවාහයෙන් පසු තම ජීවනෝපාය ලෙස ග‍්‍රන්ථ පරිවර්තනයේ යෙදුණු ඇය ”මැඩම් බොවාරි” ග‍්‍රන්ථයේ ප‍්‍රථම ඉංග‍්‍රීසි පරිවර්තනය ප‍්‍රකාශයට පත් කළාය. පසු කලෙක කීර්තිධර නාට්‍යධරයෙකු බවට පත්වුණු එවකට සම වයසේ සිටි ජෝර්ජ් බර්නාඞ් ෂෝ සමඟ එක්වී හෙන්රික් ඉබ්සන් ගේ A doll’s house නාට්‍යයේ රංගනයේ යෙදුණාය. ඒ අතරම අති දක්ෂ දෙශිකාවක් වූ ඇය උද්ඝෝෂණ, වැඩ වර්ජන, සහ ස්ත‍්‍රීවාදී ව්‍යාපාරවල ක‍්‍රියාකාරිනියකද, සංවිධායකවරියක ද වී සිය පියා ඇරඹූ සමාජවාදී ව්‍යාපාරය ඉදිරියට ගෙන යෑමේ නියුක්ත වූවාය.

අවෙලිං හා ඇය අතර වූ විවාහය ඇයට ආදරය පදනම් කරගත් එකක් විය. ඇයට එය දේපළ පදනම් කරගත් එකක් නොවීය. එහෙත් අවෙලිංට එය එසේ නොවීය. ඔහු ඇගේ ස්වල්ප ආදායම සූරා ගත්තේ යැයි රිචල් හෝර්ම්ස් සඳහන් කරයි. ඔහු නීචයෙකු බව කවුරුත් පිළිගත්තේයැයි ද ඔහු ඇගේ කීර්තිය මකා දැම්මේයයි ද ඇගේ චරිතාපදානය ලියූ රිචල් හෝර්ම්ස් තවදුරටත් පවසයි.

අවෙයිලිං එලනෝර් අඹු සැමියන් ලෙස ජීවත් වන අතර අවෙයිලිංගේ නීත්‍යනුකූල බිරිඳ මිය ගොස් තිබිණි. එවිට අවෙයිලිං කර තිබුණේ තමන් පත්වූ නීත්‍යනුකූල අවිවාහක බව ප‍්‍රයෝජනයට ගනිමින් එලනෝර්ට රහසේ තවත් නීත්‍යනුකූල විවාහයක් කර ගැනීමය. එහෙත් අවසානයේදී එලනෝර්ට ඒ බව දැන ගැනීමට ලැබී තිබිණි. ඒ 1898 වසරේදීය.

අවෙයිලිං හා වාසය කළ ගෙවී ගිය වසර 14 තුළදී ඇය සටන් වැදුනේ රාජ්‍ය පාලනය පවා හිමි ප‍්‍රබල සමාජ බලවේග සමඟය. සමාජවාදය වෙනුවෙනි. ජයග‍්‍රහණය පෙනෙන තෙක් මානයකවත් නොතිබියදීය. ඒ සා ධෛර්යවත් බවක්, පරාජය කරනු ලැබිය නොහැකි බවක් ඈ තුළ විය. එහෙත් තමන් ආදරය යැයි සිතාගෙන සිට ඇත්තේ වසර 14 ක් තිස්සේ රැවටීමට ලක්වීමය යන වැටහීම ඈ ලැබූ විට එය සියලූ පසමිතුරු ප‍්‍රහාරයන්ට වඩා බලවත් විය. මුළු මහත් නිර්ධන පංතියට විලංගු ලා සිරකරගෙන සිටියේ යැයි ඇගේ පියා සඳහන් කර තිබූ, ප‍්‍රබල ධනේෂ්වර පංතිය ඉදිරියේ පරාජය නොවූ ඇය ආදරය නමින් වෙස්වලාගෙන පෙනී සිටි අවෙලිං ඉදිරියේ පරාජය වූවාය.

1898 මාර්තු 31 ද එලනෝර් තම නිවාස සහායිකාවට තුණ්ඩුවක් දී රසායනික ද්‍රව්‍ය වෙළෙඳ සල වෙත පිටත්කර හැරියාය. තුණ්ඩුවේ වූයේ ක්ලෝරෆෝම් හා හයිඩ‍්‍රජන් සයනයිඞ් ඇනවුමකි. තුණ්ඩුව යටින් අත්සන වශයෙන් යොදන ලද්දේ ”දොස්තර ඊ. ඒ.” යන තම සැමියාගේ මුලකුරුය. රසායනික ද්‍රවය බල්ලාට යැයි පැවසිණි.

රැුගෙන ආ රසායනික ද්‍රව්‍ය පරිභෝග කිරීමට පෙර අවෙලිං අමතා: ”ආදරය - ඉකුත්වූ දීර්ඝ ශෝකී වසරවල මා යළි යළිත් පැවසූ ඒ වචනය, ම වෙතින් ඔබට පැවසෙන අවසන් වචනය ද වේ.” යනුවෙන් ඈ ලියා තැබුවාය. ඉනික්බිති සයනයෙහි ඇලවුනාය.

සුවිශාල ජනකායක් ගමන් කළ අවමංගල පෙරහැරකින් එලනෝර් අවසන් ගමන් ගියාය.

එතැන් සිට ඉතිරිව සිටියේ කාල් මාක්ස්ගේ දියණියන් අතරින් දෙවන දියණිය වූ ලෝරා මාක්ස් පමණි. ඇය ප‍්‍රංශ ජාතික පෝල් ලපාර්ග්ගේ බිරිඳ වූවාය. ප‍්‍රංශ විශ්වවිද්‍යාල සිසුවෙකුව සිටියදී 1865 පැවති ජාත්‍යන්තර ශිෂ්‍ය සම්මේලනයට සහභාගි වීමේ වරදට ඔහුව විශ්වවිද්‍යාලයෙන් නෙරපන ලද අතර එතැන් සිට ප‍්‍රංශයේ සියලූම විශ්වවිද්‍යාල ඔහුට තහනම් වී තිබුණි. ඉනික්බිති පළමුවන ජාත්‍යන්තරයේ වැඩ කටයුතු පිණිස එංගලන්තයට ගිය ඔහු මාක්ස්ගේ ගෙදරට නිතර ආ ගිය අයෙක් විය. එහිදී ලෝරා සමඟ වැඩුණු පෙම් සබඳතාවක් මත 1868 දී විවාහ විය. ලෝරා ද, මා පිය රටාව අනුව යමින් විවාහයේ පළමු තෙවසර තුළදී දරුවන් තිදෙනකුටම උපත දෙන ලද්දීය.

එකල බොහෝ ළදරුවන්ගේ ඉරණම අනුව යමින් ඒ තිදෙනාම ළදරු අවධියේදීම මිය ගියහ. එතැනින් පසු ඒ යුවළ වෙතින් දරුවන් බිහි නොවිණි.

ලෝරා ලර්පාග් යුවළද පවුලේ සෙස්සන් මෙන් මාක්ස් පෙන්වා දුන් න්‍යායන්හි පිහිටා සමාජවාදී ව්‍යාපාරයේ ක‍්‍රියාකාරින්ව සිටියද මාක්ස් හා මේ යුවළ අතර මත ගැටුම් ද පැවතියේය. මාක්ස් විසින් ලෝරාගේ සැමියා වූ ලර්පාග් හා ප‍්‍රංශ සමාජවාදී පක්ෂ සංවිධායක ජූල්ස් වෙත ලියන ලද ලියුමක ඔවුන් විප්ලවවාදී සටන්පාඨ වෙළෙන්දන් ලෙසින් හඳුන්වා තිබිණ. (ඔවුන් ප‍්‍රතිසංස්කරණවාදී සටන් ප‍්‍රතික්ෂේප කිරීම මේ විරසකයට හේතුවිය. එනම් ඔවුහු අවසන් සටනේ එල්බ සිටියෝය. මාක්ස්ට අනුව ඔවුන් ජීවත්වූ අවදිය ධනවාදයේ ළදරු අවධිය බැවින් ද ඔවුන්ගේ සටන් ඉලක්කය වූයේ සමාජවාදය බැවින් ද ජයග‍්‍රහණය මෑතක නොව ඈතක වූවක් විය. එබැවින් ප‍්‍රතිසංස්කරණවාදී සටන් ප‍්‍රතික්ෂේප කළ ඔවුන්ට ඇත්ත වශයෙන්ම එල්බ සිටීමට සිදුවූයේ අවසන් සටනේ නොව අවසන් සටන් පාඨයෙහිය." තමන්ට ඔවුන් සම්බන්ධව සැකයකින් තොරව පැවසිය හැකි කාරණය වන්නේ ඔවුන් මාක්ස්වාදින් නම් තමන් මාක්ස්වාදියකු නොවන බව යැයි කාල් මාක්ස් තවදුරටත් එම ලිපියෙහි ලියා තිබුණේය.

කෙසේ වෙතත් ලෝරා - ලපාර්ග් යුවලෙහිද වූයේ මාක්ස් පවුල හා සබැඳි සෙසු කාගේ පවුල් වලත් වූ පොදු ජීවන රටාවය. එනම් ඔවුහු සමාජවාදී ව්‍යාපාරයෙහි ක‍්‍රියාකාරින්ව සිටීමය. ඒ පවුල් අතරින් ලපාර්ග් ලෝරා යුවළ සෙසු අය අතරින් කැපී පෙනෙන්නේ ඔවුන්ගේ ජීවිතය නිසා නොව මරණය නිසාය. ”වියපත්ව අබල දුබල වන කල්හි කෙනෙකුගේ ශාරීරික හා මානසික හැකියාවන් අඩපණ වේය” යන කාරණය මේයුවලෙහි දැඩි අවධානයට ලක්වූවක්ව තිබිණි. එබැවින් ඒ අවස්ථාව එළඹෙන මොහොතේ ජීවිතය අවසන් කළ යුතුය යන ගිවිසුමකට ඔවුහු එළඹ සිටියහ. තමන් දැන් ඒ වයසට එළඹ ඇතැයි ක‍්‍රි; ව: 1911 දී ඔවුහු නිගමනය කළහ. එවිට ලපාර්ග් 68 වන වියේද, ලෝරා 66 වන වියේද පසුවූහ. එම 1911 වසරේ මාර්තු මස 31 වන දින ඔවුහු තම නික්මයාම මෙසේ සටහන් කළහ:

"මාගේ සතුට හා ප‍්‍රමෝදය එකින් එක අහිමි කරනු ලබන, මා තුළින් ශාරීරික හා මානසික ශක්තීන් ඉවත් කරන, මගේ ජවය හා අධිෂ්ඨානය අඩපණ කරන, මා මටත් අනෙකුන්ටත් හිරිහැරයක් බවට පත්කරන, අනුකම්පා විරහිත මහලූ වයසට පෙර මා මගේ ජීවිතය අවසන් කරමි.

මා ජීවිතයෙන් ඉකුත්විය යුතු වයස කලකට පෙර නිගමනය කළ අතර එය අවුරුදු 70 කට ඔබ්බෙහි නොවිය යුතු යැයි මවිසින්, මා වෙත සපථ කර තිබුණි. අපගේ ප‍්‍රයත්නය ක‍්‍රියාවට නැගීමේ විධි ක‍්‍රමය ද අප තෝරා ගෙන සිටියෙමු. ඒ ක‍්‍රමය වූයේ සයනයිඞ් ඇසිඞ් ශරීරය තුළට විද ගැනීමය.

වසර 45 ක් තිස්සේ මා කැපවූ අභිප‍්‍රාය මතු දිනෙක විජයග‍්‍රහණය ලබනු ඇත. මා මිය යන්නේ ඒ විජයග‍්‍රහණය පිළිබඳ පරම සතුටින් යුතුවය.

කොමියුනිස්ට්වාදය දිගුකල් දිනේවා!

ජාත්‍යන්තර සමාජවාදය දිගුකල් දිනේවා!!”

පෝල් ලපාර්ග්

එලනෝර් මාක්ස්