පේමන්ට් පෑන්ටියේ ආශා අවිඥාණය - Parasite




- මහේෂ් හපුගොඩ - 



'ප්‍රගතියේ නූතනත්ව නාඩගම'

විසි වෙනි සියවසේ ලෝක බල කේන්ද්‍රය ඇමෙරිකානු අධිරාජ්‍යයෙන් විසි එක් වන සියවසේ ආසියාවට පැමිණෙමින් තියන මොහොතක Parasite වගේ ආසියානු චිත්‍රපටයක් ඔස්කාර් දිනීම සතුටට කරුණක්. ඒත් දැන් විසි එක් වන සියවසේ ප්‍රගතිශීලි දේශපාලනය වෙනුවෙන් බලාපොරොත්තු සහිත අය හැටියට චීන අධිරාජ්‍යය නැත්නම් ආසියාව ගැන විශ්වාස කරන්නේ නැතුව නැවතත් ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සැන්ඩර්ස් දිහා බලා ඉන්නට සිදුවීම ආසියාතිකයෙක් හැටියට පරස්පරතාවයක් කියලත් හිතෙනවා. මාරාන්තික කොරෝනා වෛරස් එක ගැනවත් හරි තොරතුරක් ලෝකයට දෙන්නේ නැතුව පරණ මාක්ස්වාදී උරුමයක් තියනවා කියන චීනය නටන 'ප්‍රගතියේ නූතනත්ව නාඩගම' දැක්කම ප්‍රගතිශීලි දේශපාලනය ඇතුලේ ආසියාතික උරුමය දැන් ස්ථානගත වෙලා තියන තැන ගැන ලොකු කණගාටුවක් ඇති වෙනවා.

සමානාත්මතාවය, ධනය බෙදීයාම, ප්‍රජාතන්ත්‍රවාදය, පරිසරය, මනුෂ්‍ය අයිතිවාසිකම්, සාංදෘෂ්ටික නිදහස ගැන තියන 'සමාජවාදී' උසස් නූතනත්ව (higher modernity) දැක්ම නැවත ඇමෙරිකානු දේශපාලනය ඇතුලේ කතා බහට ලක්වෙනවා. ඒක ඉතාම හොඳ දෙයක්. විශේෂයෙන් Parasite චිත්‍රපටය ඇතුලේ දිගහැරෙන තේමාව විතරක් සැලකුවත් ඇති නැති පරතරය ගැන සැන්ඩර්ස් ඇතුළු ප්‍රගතිශීලි කොටස් වල මතය මෙතැනදී ඉතාම වැදගත්. ඒ තේමාවල් ලෝක දේශපාලනය ඇතුලේ නැවත කතා කරන්න ඇමෙරිකානු දේශපාලනය ප්‍රමුඛ වීමත් වැදගත් දෙයක්. මොකද සද්ගුරු කියනවා නේ ඇමෙරිකන් කාරයෝ ඩෙනිමක් ඉරලා ඇන්දොත් ලෝකෙම එවුන් ඩෙනිම් ඉරලා අඳිනවා කියල. ඇමෙරිකන් කාරය එයාගේ දේශපාලන තේමා වෙනස් කරන කොට සත්ගුරුටත් එයාගේ තේමා වෙනස් කරන්න වෙයි. මොකද ලෝකයේ පැවැත්මේ ෆැන්ටසි එක හදන්නේ තවදුරටත් සද්ගුරු නෙවෙයි ඇමෙරිකන් කාරය නිසා ඇමෙරිකාව ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදී සමානාත්ම දේශපාලනයක් මතුවීම වැදගත් දෙයක්.

Parasite (2019) කියන්නේ අතිශයින් 'දියණු' කියල කියන දකුණු කොරියාවේ ෆැන්ටසි එක ඇතුලේ තියන කළුවර පැවැත්ම පෙන්නන චිත්‍රපටයක්. අපේ අයත් ගොඩක් ඒහේ යනවා සල්ලි හොයන්න. දැන් අපිට තියෙන්නේ දියණු බව ගැන ආසියාතික ෆැන්ටසි එකක්. ඒ නිසා මිල්ලේ සොයා ගෙන ඉතාලි යන්නේ නැහැ. ඉතාලියේ ඉන්න උන් මෙහේ ඇවිත් මෙහෙ චීනය වගේ කරන්න කියනවා. අග්නිගිග ආසියාවේ 'පුපුරා යන දියුණුව' ඇතුලේ තියන යටපත් කළ බිම්ගත ඇත්ත තමයි මෙහි තේමාව. ලෝකයේ ප්‍රමුඛම වෛද්‍ය උපකරණ නිෂ්පාදකයෙක් වන දකුණු කොරියාව කොරෝනෝ වෛරස් කඩා වැදීම නිසා මිනිස්සු මුහුණු වැසුම් සොයන කොට ඒ වෙනුවෙන් අවශ්‍ය මුහුණු වැසුම් ගන්න දිග පෝලිම් තියනවා ලෝක ජනමාධ්‍ය පෙන්නුවා. එහෙම ආපතික බවකට එයාල ලැහැස්ති නැහැ. හැබැයි කෝටි ගණන් හොයනවා ගෝලීය වෛද්‍ය වෙළඳපළ එක්ක ගැට ගැහිලා. මේක තමයි හැම තැනම ඇත්ත. ලොකු පරතරයක් තියනවා නිෂ්පාදනය සහ ඇත්ත මිනිස් පැවැත්ම එක්ක.

ෆැන්ටසි මිස ඇත්ත නොවන හොලිවුඩ් ජීවිත

මේ දකුණු කොරියානු චිත්‍රපට තේමාව ඔස්කාර් දිනන්නේ තව හොලිවුඩ් දැවන්තයෝ ගණනාවක් පරද්දලා. හොලිවුඩ් සද්දන්තයෝ ඉන්නේ එක එක ෆැන්ටසි වල මිසක් ඇත්ත ජීවිතය එක්ක නෙවෙයි. එයාලගෙම 'මේ මොහොත' අල්ලා ගන්න එයාල සමත් නැහැ. හොඳම උදාහරණය ටැරන්ටිනෝ. එයාගේ Once Upon a Time in Hollywood ඇත්තටම ෆේල් ප්‍රොජෙක්ට් එකක්. දිගටම එයා ඉන්නේ එක්කෝ ඉතිහාස සබන් ෆැන්ටසි වල. නැත්නම් ත්‍රිලර් වල. 'ජෝකර්' විතරයි එයාලගේ 'මේ මොහොත' අල්ලා ගන්න ට්‍රයි කරපු ෆිල්ම් එක. ඒ උනාට හොලිවුඩ් ෆැන්ටසි පරද්දලා කිසිදා ඉර එළිය වැටෙන්නේ නැති තැනක තියන බිම්ගත පවුලක් සහ ඉර එළිය හොඳට වැටෙන තැනක තියන පොහොසත් පවුලක් අතර පැවැත්මේ ආතතියක් දකුණු කොරියානු සිනමාකරු බොන් ජෝ හෝ අප වෙත අරන් එනවා.



දුප්පත් පවුලක් - පොහොසත් පවුලකට ක්‍රමානුකූලව ගහන ගේම් එකක් 

කෙටියෙන් ගත්තොත් Parasite චිත්‍රපටය ඇතුලේ සිද්ද වෙන්නේ දුප්පත් පවුලක් (කිම් පවුල) පොහොසත් පවුලකට (පාක් පවුල) ක්‍රමානුකුල ගේම් එකක් ගහල පොහොසත් පවුල ආක්‍රමණය කරන්න හදන එක. එක පවුලක් තවත් පවුලක් ඇතුළට කාන්දු වෙන එක (infiltrate). දුප්පත් කිම් පවුල පාක් පවුල ගැන ෆැන්ටසි එකක් මවන එක සහ එය අත්පත් කර ගන්න ඉතාම ශුක්ෂම ගේම් එකක් ගහන එක. ලංකාවෙත් ග්‍රාමීය ප්‍රභූ පවුලක් කොළඹ ප්‍රභූ පවුල් සෙට් එකක් ම මේ වෙනකොට ඉවර කරමින් තමයි පවතින්නේ. ඉතිං පියුමි හංසමාලි රන්ජන් හඬ පටය ඇතුලේ උනත් ඒ ප්‍රාග්ධන පරායත්ත බව තියනවා. ගේම් තියරි එක තියනවා. අනික් අතට සල්ලි තියෙන එවුන් අර ලුම්පන් ශරීර හරහා තම නැති වෙච්ච ආශාව ප්‍රතිස්ථාපිත කර ගන්නවා. ඒ කියන්නේ දෙගොල්ලොම පරපෝෂිතයෝ.

පොහොසත් පාක් පවුල කියන්නේ ඉතාම පොඩි දෙයකින් උනත් සෙලවෙන්න පුළුවන් ඉහල පරිභෝජන හැකියාවක් සහ ඉහල කියල කියන සංස්කෘතික සංකේත ටිකක් එල්ලාගත්ත පවුලක්. චිත්‍ර, සංගීතය, ගෘහ නිර්මාණය, ආහාර පාන, රැකියාව, යාන වාහන අතින් ගත්තම ඔවුන් ඉන්නේ කොරියාවේ මධ්‍යම පන්තික ස්ථරයක් ඇතුලේ. සාමාන්‍ය සමාජයෙන් විගලිතයි. හැබැයි නිර්ධන ලුම්පන් පංතියට ඔවුන්ගේ ආශාව පුබුදුවන්න පුළුවන්. කෙවින් ටීචර් මෙතැනදී ප්‍රධානයි. එයා තමයි ආශාව මුලින් ම පාක් පවුල ඇතුලට අරන් එන්නේ.

ඒ එක්කම සියල්ල වෙනස් වෙන්න ගන්නවා ජෙසිකා ටීචර් (කෙවින් ගේ සොහොයුරිය) එයාගේ පෑන්ටිය පාක් ගේ කාර් එකේ පිටිපස්සේ සීට් එක යට තිබ්බම. පාක් ඒක නහයට කිට්ටු කරලා ඉඹල බලනවා. ලුම්පන් නිර්ධන පංතියේ කෙල්ලෙකගේ සාමාන්‍ය පෑන්ටියක 'සුවඳ' එයාගේ නහය විනිවිද යනවා. දැන් ඔයාලට මතක් වෙන්න ඕනි පාක් පවුලේ අය අර කෑම්පින් කරන්න ගිහිල්ලා වැස්ස වැඩි නිසා ආපසු එනකොට කිම් පවුලේ අය නාඩගමක් නටලා සෙටි එක යට ඉන්න වෙලාවේ පාක් එයාගේ වයිෆ් එක්ක සෙක්ස් කරන දර්ශනය. එතකොටත් පාක් අහනවා එයාගේ බිරිඳ ගේ පරණ පෑන්ටි එකක් ගැන.

ඒ වගේම ෆිල්ම් එකේ එක තැනක් තියනවා මේ කාර් පෑන්ටි සිද්දියෙන් පස්සේ පාක් බිරිඳ ට කතා කරන. ඒ සංවාදයේ හඬ අපට ඇහෙන්නේ නැහැ. වාරණය කරලා තියෙන්නේ. නමුත් අපේ කුතුහලය අවුස්සනවා ඒ කතාව නැති කෑල්ල. මම ඒ කතාව නැති කෑල්ලට මගේ පරිකල්පනයේ කෑල්ලක් මෙහෙම අමුණනවා. 'ඔයා දන්නවද ඒක අර ඔයා අඳින මම ආස ලාභ පෑන්ටි එකක්'.

'මේ මොහොතේ ආශාව' 

මෙච්චර පොහොසත් වික්ටෝරියාස් සික්‍රට් සීයක් උනත් එකවර ගන්න ක්‍රය ශක්තියක් තියන පාක් ආශා වෙන්නේ එයාගේ බිරිඳගේ පරණ අඩු මිළට ගත්ත යට ඇඳුමට. එයා කියනවා මට ඒ ලාභ පෑන්ටි එක ඔයා ඇඳගෙන ඉන්නවා දැක්කම ඉහිලුම් නැතුව යනවා කියල. ඉතින් එයාගේ අර පරණ ලාභ පේමන්ට් එකෙන් ගත්ත පෑන්ටිය දක්වා ඈතට යනවා. ඒ කියන්නේ කොජින් කරතානි කියන විදියට ආශාව එහි සම්භවය වෙත යන්න ආශා කරනවා. ඉතින් අපේ අය උනත් කොච්චර ආශා කරනවද රෙද්ද හැට්ටේ ඇඳලා ඉන්න, කොන්ඩේ ගොතල ඉන්න සුන්දර ගැමි ළඳකට. පට්ට බටහිර පොරවල් ආසියාවට ඇවිල්ලා හොයනවා ආසියාතික ලස්සන. ඒ තමයි ධනවාදයට මඟ හැරුණු (සහ මාක්ස්වාදය නොසලකා හැරිය) මිනිස් ආශාවේ ස්වභාවය.

ඒ අනුව පෑන්ටියක් හැටියට කාර් එකේ සීට් එක යටින් මතු වෙන්නේ එයාගෙම ආශාව. එයාගේ ආශාවේ ආරම්භක වස්තුව. ගමේ හිටපු ගැමි ගැහැණිය කියලත් කියන්න පුළුවන් අපේ විශ්වය ඇතුලේ. දැන් නගරේ වුණාට, පන්ති සීමා තරණය කළාට, මුල් ෆැන්ටසි එක එතනමයි.

දැන් මේ පරණ ලාභ පෑන්ටි එකයි පාක් එයාගේ කාර් එකේ පැතිරෙන ලුම්පන් පංතියේ සුවඳට ආශා කරන එකයි කියන ආත්මයේ කළු කුහරය සෙටියේ යට ඉන්න කිම් තාත්තා ට ඇහෙන්න ගන්නවා. එයා එයාගේ ටී ෂර්ට් එක ඉඹලා බලනවා. ඔව් ..ඒ දහඩිය සුවඳ තමයි. එයාගේ ඇත්ත පංති ස්වභාවය පාක් තමන්ට දැනෙන සුවඳ ඔස්සේ නිරාවරණය කර ගන්නවා සෙටියේ යට ඉන්න කිම් ට දැනෙනවා. පාක් ගේ ආශාවේ වස්තු හේතුව වෙන්නේ එයාගේ ෆැන්ටසි ගෙදරින් පිට ඉන්න අර මුඩුක්කුවේ සුවඳ තියන මිනිස්සු. එයාලගේ යට ඇඳුමක් තමයි පාක් ගේ අර්චන වස්තුව (එයාට වැඩි දෙය). ඉතිං පාක් ගේ ආත්මය වෙතට අනවශ්‍ය ලෙස ලංවෙච්ච කිම් පවුලට සිද්ධ වෙනවා එයාගේ අර අඳුරු ආශාව දෙස බලන්ඉන්න. නැත්නම් ඒ කෙඳිරිලි හඬ අහන්න. තමන්ගේ දරුවන් එක්ක එයාට අනෙකාගේ ප්‍රමෝදයේ කෙඳිරිය අහන්න සිදුවීම එයාලා මේ ගේම් එක ඇතුලේ නොසිතුව දෙයක්. ආපතික දෙයක්. ඒ දේ වෙනුවෙන් එයාල සුදානම් වෙලා හිටියේ නැහැ. ඒ කළුවර දරා ගන්න බැරි වීම කිම් තාත්තා එක මොහොතක පාක් මරා දැමීම දක්වා වන ක්ෂිතියක් -යථක් - කර ගන්නවා.


පාක්ගේ ආශාව හිතාගන්න බැරි තරම් ප්‍රාථමිකයි

ඒ කියන්නේ කිම්ල මහා ලොකුවට හිතාගෙන හිටියට පාක් ගේ ආශාව 'මෙහෙම වෙන්න ඇති' කියල ඇත්තටම ගත්තම පාක් ගේ ආශාව සමහර වෙලාවට කිම්ල ටත් හිතාගන්න බැරි තරම් ප්‍රාථමික එකක්. ඔරිජිනල් එකක්. එයාගේ ආශාව පවතින්නේත් එහි ප්‍රාරම්භක අවධියේම තමයි. විකාශනය වෙලා නැහැ. පිරිමි ආශාවේ පරිණාමය පිළිබද මේ ප්‍රශ්නේ නිසා වෙන්න ඇති එයාගේ බිරිඳටත් බෙහෙත් (therapy) ඕනි වෙලා තියන්නේ.

ඉතින් සෙටිය යට ඉඳන් උඩට එන්න (පංති සංචලතාව) ෆැන්ටසිකරණය කරන කිම් පවුල සෙටිය උඩ මේ වෙනකොටත් දිග හැරෙන ප්‍රාථමික ෆැන්ටසි එක නිසා අවුල් වෙනවා. ඊටත් අමතරව ඒ ලස්සන නිවස යට පවතින බිම්ගත කළුවර යථාර්තය වෙනම අධ්‍යයන කරන්න ඕනි පංති පරස්පරතාවය ඇතුලේ ගොඩ නැගෙන ආශා කලාපය අධ්‍යයනය කරන කෙනෙක් ඉන්නවා නම්. පාක් ල කැමතියි ඒ වහල් ශ්‍රමය දිගටම පවත්වා ගෙන යන්න. නිර්ධන ශරීර ඒ විදියටම පවත්වා ගෙන යන්න. ඒ සුවඳ දිගටම තමන්ගේ කාර් එකේ තියනවා දකින්න. මොකද එයාගේ ආශාව පවතින්නේ අර මූලික ලාභ පෑන්ටි අවධියේ නිසා ඒ ආශාව දිග්ගස්සා ගන්න එයා ආසයි. එයාගේ ආශාව, එහෙම නැත්නම් එයාගේ ඇත්ත ආත්මය, මිය යනවට එයා බයයි. එහෙම කෙනෙක් අනෙකා ඇත්තටම නිදහස් වෙනවා දකින්න කැමති වෙන්නේ නැහැ. මොකද එයා තමන්ගේ ආශා ගැටයේ හිර වෙලා ඉන්න නිසා. ස්වාමියාගේ ආශාව මියගියොත් ලොකුම අවුල ඇති වෙන්නේ වහලා ට කියල හේගල් කියන්නේ ඒකයි. ස්වාමියාගේ ආශාව වහලාගේ පැවැත්ම තුළ හිරවීම තමයි ශිෂ්ටාචාරයේ ලොකුම හිරවීම වෙන්නේ. ඉතිං ඇත්ත පරපෝෂිතයා වෙන්නේ කිම් ල ගේ සුවඳ මත අවිඥාණිකව පරායත්ත වෙන පාක් මිසක් පාක් වෙන්න ෆැන්ටසි කරන කිම් ගේ පවුල නෙවෙයි.

පාක් නම් ස්වාමියා හිරවෙලා ඉන්න මේ අවිඥානික උගුල තේරුම් ගන්නා කිම් එයාගේ ස්වාමියා මරා දාන්නේ ඒ හේතුව නිසා වෙන්න ඕනි. මොකද ඒ ආශා ගැටයෙන් එළියට එන්න වෙන විදියක් නිර්ධන පංතියට නැහැ. කිම් තාත්තා එහෙම එයාගේ ස්වාමියා මරා දැමුවාට පස්සේ තමයි මේ නිවස මිළට අරගෙන එයාගේ තාත්තා ගේ බිම්ගත පැවැත්ම නිදහස් කර ගන්න ඕනි කියල ෆැන්ටසි ගත කර ගන්න එයාගේ පුතාට හැකි වෙන්නේ. ඒ අර්ථයෙන් මේ ෆිල්ම් එක නියම මාක්ස් හෙගලියන් වියමනක්.